2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

එදා ඇමැතිලාගේ නියෝගවලින් අපේ අය හිරේ දැම්මා

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

විපක්ෂයට බැණලා හිරේ දාන ආණ්ඩුවක් නෙවෙයි මේ
පොහොට්ටුව සුබ ලකුණක් කියලා ජනතාවට විශ්වාසයි
රාජිතගේ දේශපාලනය හැමදාම බඩගෝස්තරවාදීයි
අපේ ඩීල් එක මහජනතාව එක්ක පමණයි
සුදු වෑන් චෝදනා සත්‍ය විකෘති කිරීමක්
වැරදි කරපු අයට අපිත් එක්ක සෙට්වෙලා පනින්න දෙන්නෙ නෑ

සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 69ක් පමණ වෙනවා. ඒක විශිෂ්ට ජයග්‍රහණයක්. මෙවැනි ප්‍රතිඵලයක් ලැබීමත් මෙම ජයග්‍රහණය ගැනත් ඔබ අර්ථකථනය කරන්නේ කොහොමද?

එක්සත් ජාතික පක්ෂයේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් එක්සත් ජාතික පක්ෂයේ පරාජයත් තමයි මේ ජයග්‍රහණයෙන් පිළිබිඹු වෙන්නේ. ඒ වගේම රටට ගැලපෙන පාලන තන්ත්‍රයක් පවත්වාගෙන යා යුතුයි කියන එක මේ හරහා තහවුරු කරලා තියෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය විසින් අවුරුදු 4ක් තිස්සේ කරපු වැරදි ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමක් තමයි පැහැදිලිව පේන්නේ. ඊට විරුද්ධව ජනතාව නැගී සිටියා.

විපක්ෂය විසින් කියන්නේ මේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සුළු ජාතිකයන් විසින් ප්‍රතික්ෂේප කරලා තියෙන ආණ්ඩුවක් හැටියටයි. ඇත්තටම එහෙම ආණ්ඩුවක්ද මේක?

එහෙම අර්ථ ගන්වන්න බෑ මේක. එක්සත් ජාතික පක්ෂය අල්ලස් දීලා ඡන්ද ගත්තා කියලා කියන්න පුළුවන්. අපි පිළිගන්නවා සිංහල බෞද්ධ, සිංහල කතෝලික බහුතරයක් අපිට ඡන්දෙ දුන්නා කියලා. ඒ දුන්නේ ඒ රටේ අනන්‍යතාවය තහවුරු කරගන්න. විශේෂයෙන් කියන්න ඕන සමහර මුස්ලිම් සහ දෙමළ නායකයෝ මේ ජනතාව පළිහක් ලෙස භාවිත කරනවා. ඉදිරියේදී අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් දෙමළ හා මුස්ලිම් නායකයන් රටේ බිහි කරනවා. ඒ හරහා ඒ ජනතාවගේ විශ්වාසය දිනාගන්නවා. එහෙම නැතුව මැතිවරණ ජයග්‍රහණය කරන්න එල්.ටී.ටී.ය, රිෂාඩ්ලා වගේ මිනිස්සු අපි ළං කරගන්නේ නෑ.

අසීමිත ඡන්ද ප්‍රමාණයක් එක්ක බලය ලැබීමත් සමඟ ඒකාධිපති පාලනයක් ගෙනයයි කියලා බොහෝදෙනකුට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන් නේද?

ඒක වෙන්නේ නායකයගේ සිතුවිල්ල සහ වැඩපිළිවෙළ අනුව. එහෙම වැඩ කරන නායකයෙක්, පාලන ක්‍රමයක් තිබ්බොත් එවැනි දේවල් සිදුවෙයි. එහෙම තත්ත්වයක් එපා කියලා තමයි ජනතාව අපිට ඡන්දෙ දීලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයත් මහින්ද රාජපක්ෂ මහත්මයත් පත්කරගත්තේ. ඒකනේ ජනතාව 2015දී පරාජයට පත්කරලා නැවත ඕන කියලා අපිට බලය දුන්නේ. ජනතාව පිළිගන්නවා ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ විසින් ගෙන යන පාලනය රටට යහපතක් කියලා.

විශේෂයෙන් ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවට සහනදායී පාලන ක්‍රමයක් සහ ජනතාවට දැනෙන ජීවන බර අඩු කරන ක්‍රමවේදයක්. ඒ ජනතා අභිලාෂයන් කොහොමද ඔබලා ජනතාවට ලබාදෙන්නේ?

විශේෂයෙන් අපි ජනතාවට ප්‍රශ්නයක් වෙලා තිබ්බ බදු බර ඉවත් කරලා බදු සහන ලබාදීලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගාසිටුවන්න කෘෂිකර්ම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත් අපි කටයුතු කරනවා. ඒ හරහා නැවත ආර්ථිකය ශක්තිමත් වෙලා රට ප්‍රකෘති තත්ත්වයට පත් වෙයි.

මේ වෙනකොට අවශ්‍ය වැඩකටයුතු කරන්න ආණ්ඩුවට මුදල් නෑ කියලා කතාබහක් තියෙනවා. ඇත්තටම ආණ්ඩුවට මුදල් නැද්ද?

ඔව්. ආර්ථිකයේ බරපතළ අර්බුදයක් තියෙනවා. හැබැයි අපි ගිය ආණ්ඩුව වගේ ඔහේ නිකරුණේ පාලනය කරන්න අපි සූදානම් නෑ. අපිට ඊට වැඩිය ආර්ථික කළමනාකරණ හැකියාවක් තියෙන නිසා තමයි අපි ඒ අභියෝගය භාරගත්තේ. අපි ඒ අභියෝගය වෙත මුහුණදෙනවා.

ආණ්ඩුව විසින් ලබාදෙන සහන ඇතැම් වෙළෙඳපොළ අධිකාරියක් විසින් ජනතාව අතරට යන්න ඉඩ ලබාදෙන්නේ නෑ. මේක හැම ආණ්ඩුවකම වෙන දෙයක්. විශේෂයෙන්ම බඩු මිල ඉහළ යන්නෙත් මෙවැනි දේවල් නිසා. මේ කාරණයට ඔබලා මුහුණ දෙන්නේ කොහොමද?

ගිය ආණ්ඩුව විසින් මේ ආර්ථිකය පවත්වාගෙන යන්න හිතාමතාම එක්තරා පිරිසකට පවරලා තිබ්බා. උදාහරණයක් හැටියට හාල් මිලත්, වී මිලත් පාලනය කළේ එකම කල්ලියක් විසින්. හැබැයි අපි ඒ ඒකාධිකාරිය නැති කරනවා. ජනතාවට අපි අනිවාර්යයෙන්ම අවශ්‍ය පහසුකම් ලබාදෙනවමයි. විශේෂයෙන් මේ දවස්වල එළවළු මිල යම්කිසි දුරකට ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ කාලගුණ තත්ත්වය. කොහොම වුණත් වගකිවයුතු රජයක් හැටියට ජනතාවට ලබා දිය හැකි උපරිම සහන අපි ලබාදෙනවා.

මේ වෙනකොට විපක්ෂයෙන් ගේන චෝදනාවක් තමයි දේශපාලන දඩයමක් ආරම්භ කරලා තියෙනවා කියලා ආණ්ඩුව විසින්. ඇත්තටම එවැනි දෙයක්ම මේ සිද්ධ වේගෙන යන්නේ?

මේකට හේතුව තමයි පැවැති ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළේ දේශපාලනඥයන් විසින්. හැබැයි අද පොලීසියයි, අධිකරණයයි, නීතිපති දෙපාර්තමේන්තුවයි එකතු වෙලා නීතිය ක්‍රියාත්මක කරනකොට මේ අයට පේන්නේ දේශපාලන පළිගැනීමක් හැටියට. ඒ දේවල් කළේ ගිය ආණ්ඩුව. දැන් ඒ සියලු දේවල් ස්වාධීනයි.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන ප්‍රශ්නයේදී ඒ නඩුව අවසන් වී තිබුණු නඩුවක්. හැබැයි නැවත මෙය පරික්ෂණවලට ගෙනල්ලා ඔහුව අත්අඩංගුවට ගත්තා. මේ දේවල් කාට වුණත් කියන්න පුළුවන් නේද දේශපාලන පළිගැනීම් කියලා?

පාඨලී චම්පික මන්ත්‍රීතුමාට කරන්න තිබුණේ තමන්ගේ අතින් රිය අනතුරක් සිදුවුණානම් රටේ සාමාන්‍ය නීතිය යටතේ අදාළ ප්‍රශ්නය විසඳගන්න තිබුණ එක. නමුත් එතුමා තමන්ගේ තනතුරයි තමන්ගේ බලයයි පාවිච්චි කරලා ඒකෙන් හොර විදිහට පැනලා ගියා. ඒ නිසා ඒ ගැන නීතිපති දෙපාර්තමේන්තුවයි පොලීසියයි මේ වෙනකොට පරීක්ෂණ කරනවා. සාමාන්‍ය නීතිය යටතේ හැමදෙනාම නීතියට යටයි.

මෙතන පරීක්ෂණවල ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඔහුව අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයත්, එය පොලීසිය මැදිහත් වෙලා සිදුකරපු විදිහත් සම්බන්ධයෙන් විවේචන තිබෙනවා. ඒවා කතා නායකතුමා පවා නිවේදනයක් නිකුත් කරලා කියලා තියෙනවා.

පහුගිය ආණ්ඩු සමයේදී විරුද්ධ පක්ෂයේ පිරිස් අත්අඩංගුවට ගත්තේ සමහර ඇමැතිවරුන්ගේ නියෝග මත ඇතැම් අය පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරලා. හැබැයි අද නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු මත තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදුවෙන්නේ. එතකොට පැහැදිලිවම මේ ප්‍රකාශය පක්ෂග්‍රාහියි. එදත් කතානායකතුමා මේ වගේම ප්‍රකාශ කළානම් අපිට මේ ප්‍රකාශය පිළිගන්න තිබ්බා. හොඳම දේ එතුමා මේ වගේ දේවල්වලට මැදිහත් නොවී ඉන්න එක. දන්න තරමින් මේ සම්බන්ධව නියෝජ්‍ය කතානායකතුමාව දැනුවත් කරලා තියෙන්නේ.

යහපාලන ආණ්ඩුව එන්න කලින් කිව්වේ රත්තරන් අශ්වයෝ, කෝටි ගණන් සල්ලි, මැරියට් හෝටලේ අයිතිවාසිකම් රාජපක්ෂලට තියෙනවා කියලා. හැබැයි ඇවිත් ඇල්ලුවේ බට ලබාදුන්න ඒවයි සිල් රෙදි බෙදපු ඒවයි. දැන් ඔබලත් ආවේ පාස්කු ප්‍රහාරය, මහබැංකු වංචාව වගේ දේවල්වලට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් තවම ඒ දේවල් වෙලා නෑ. මේ දේශපාලන දේවල් කරන්නේ ඒ දේවල් යට ගස්සන්නද?

එහෙම හිතනවනම් ඒක ප්‍රශ්න කරන්න ඕන නීතිපති දෙපාර්තමේන්තුවෙන්. විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරණ පරීක්ෂණයට අදාළ එක් අතුරු වාර්තාවක් ජනාධිපතිතුමාට දීලා තියෙන්නේ. ඒ වගේම මහ බැංකු වංචාවට සම්බන්ධ අය හිතනවනම් අපිත් එක්ක මිතුරු වෙලා පැනලා යන්න පුළුවන් කියලා කවදාවත් එහෙම වෙන්නෙ නෑ. කොහොම වුණත් මේ සියල්ලටම නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වෙනවා. හැබැයි මතක තියාගන්න මේ ආණ්ඩුව පත්වෙලා තාම මාසයයි. අර ආණ්ඩුව අවුරුදු 5ක් ඉඳලා නොකරපු බොහෝ දේ අපි කරලා තියෙනවා. විශේෂයෙන් ඒ ආණ්ඩුව කරපු බොරු අපේ ආණ්ඩුවට සමාන කරන්නත් එපා.

විපක්ෂයේ ඇතැම් අය ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා චෝදනාවලින් බේරෙයි කියලා හැම ආණ්ඩුවක් සම්බන්ධයෙන්ම ජනතාවට තියෙන්නේ සැකයක්. ඔබලත් එහෙම කරයිද?
අපේ කිසිම ඩීල් එකක් නෑ. අපේ එකඟතාවයක් තිබ්බනම් තිබ්බේ ඒ මහජනතාව එක්ක විතරයි. කවුරුහරි ඩීල් දාන්න බලාගෙන ඉන්නවනම් ඒකට සුදුසු රජයක් නෙවෙයි තියෙන්නෙ කියලත් ඒ අය මතක තියාගන්න ඕන.

අලුත් ආණ්ඩුවේ මැති ඇමැතිකම් ලබාදීම ගැන ඇතැම් අයට සිත් රිදීම් වෙලා තියෙනවා. මේ වෙනකොට ඇතුළේ ප්‍රශ්න හැදිලද?

අපේ තියෙන්නේ භාරකාර ආණ්ඩුවක්. එදා එකසිය ගාණට තිබ්බ කැබිනට් මණ්ඩලය අද පනස් ගාණට බස්සලා තියෙනවා. එහිදී යම් යම් සිත් රිදීම් වෙන්න පුළුවන්. බොහෝදෙනෙක් කැප කිරීම් සිද්ධ කළා. දැන් ජනතාව සතුටු වෙන්න ඕන එහෙම කැප කරන නායකයෝ ඉන්න එක ගැන.

සමාජයේ බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි රාජපක්ෂලා හිරේ යනකොටත් ඇමැතිවරු චම්පිකලා හිරේ යනකොටත් ඇමැතිවරැ කියලා. ඒ කතාව ඇතුළේ සැඟවුණු අර්ථයක් තියෙනවා නේද?

මෙතන අලුත් පාර්ලිමේන්තුවක් නෙවෙයි තියෙන්නේ. තියෙන පාර්ලිමේන්තුවෙන් තමයි පිරිස තෝරගත්තේ. ජනතාවට පුළුවන් ඔය කියන කාරණය ගැන හිතලා හොඳ තීන්දුවක් ඉදිරි මහමැතිවරණයේදී ගන්න.

මේ ලැබුණු බලය යොදාගෙන රාජපක්ෂ පවුලේ අයට වැඩි බලතල ලබාදෙන්නත් වැඩි තනතුරු ලබාදෙන්නත් කටයුතු කරනවා කියලා කතාවක් තියෙනවා. ඇත්තටම ඒකද මේ කරන්නේ?

විපක්ෂය සතුටු වෙන කාරණාවලට අපි උත්තර දෙන්න ඕන නෑ. ජනතාව තමයි ඒ අය තෝරගෙන තියෙන්නේ. ඒ දේ ඒ අය කරගෙන යනවා. එහෙම නැතුව විපක්ෂයට බැණ බැණ හිරේ දාන ආණ්ඩුවක් නෙවෙයි මේ ඇවිත් තියෙන්නේ. ජනතාවට වැඩ කරන ආණ්ඩුවක් ඇවිත් තියෙන්නේ.

මේ ආණ්ඩුව පත්වෙලා ගිය ආණ්ඩුවේ වැඩ කටයුතු කරපු පොලිස් නිලධාරීන්ව දඩයම් කරනවා කියලා චෝදනාවක් තියෙනවා. ඇයි එහෙම කරන්නේ?

සියලු මාරුවීම් වෙලා තියෙන්නේ පොලිස් කොමිසමේ තීන්දු අනුව. විශේෂයෙන් කියන්න ඕන ශානි අබේසේකර වගේ අය වෙනුවෙන් නම් පෙනී ඉන්න එපා. විශේෂයෙන් ඔහු බොරු තොරතුරු අධිකරණයට ලබාදීලා පලිගන්න සංස්කෘතියක් හැදුවා. ඒ නිසා ඔහු වෙනුවෙන් කතා කරන්න අවශ්‍යතාවයක් නෑ.

ස්විට්සර්ලන්ත සිද්ධිය සම්බන්ධයෙන් නැවත විමසන්න එරට නියෝජිතයන් ලංකාවට එනවා. ඇත්තටම මේ ප්‍රශ්නය තාම රාජ්‍ය තාන්ත්‍රිකව විසඳගත්තෙ නැද්ද?

ස්විට්සර්ලන්ත නාටකයේ ඉන්න අය ඊයේ පාඨලී චම්පික අමාත්‍යවරයාගේ නඩු කටයුත්තෙදී හැසිරුණ හැටි අපි දැක්කා. ඔහු මාධ්‍යවේදීන්ට ගහන්න ගිහිල්ලා අවසානයේ පොලීසියටත් කොටු වුණා. විශේෂයෙන්ම මේ දේවල් පිටුපස්සේ පසුගිය ආණ්ඩුව ඉන්නවා කියලත් හෙළිදරව් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කරන්න ඒ ආණ්ඩුව උත්සාහ කළාට අපි ඊට ඉඩ දෙන්නේ නෑ.

සුදු වෑන් සංස්කෘතිය සම්බන්ධයෙන් ඊට සම්බන්ධ දෙන්නෙක් රාජිත සේනාරත්න විසින් ගෙනල්ලා මාධ්‍ය හමුවක් තිබ්බා. දැන් ඔවුන් දෙන්නත් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒක රටට හෙළිකරන්න ගෙනාපු රාජිත මන්ත්‍රීවරයත් අත්අඩංගුවට ගන්න හදනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද?

මෙතන වෙලා තියෙන්නේ සත්‍ය හෙළිකිරීමක් නෙවෙයි සත්‍ය විකෘති කිරීමක්. ඒ දේවල් සමාජගත කරන්න උත්සාහ ගත්ත අවස්ථාවක්. අපි දැක්කා මාධ්‍යවල තියෙනවා මේ සුදු වෑන් දෙන්නගේ ප්‍රකාශ. අනික එක එක්කෙනා කියන දේවල්වලට රාජිත සේනාරත්න නායකත්වය දෙන්නේ මොකටද? පේනවනේ අපේක්ෂිත ඇපයක් ඉල්ලීම තුළම ඇත්තේ ඔහු වරදක් කරලා තියෙන හැඟීමනේ. රාජත සේනාරත්න හැමදාම කළේ තමන්ගේ ආරක්ෂාවට බඩගෝස්තරවාදී දේශපාලනයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොහොට්ටුවත් එකතු වුණේ මහ මැතිවරණයේදී අලුත් ලකුණකින් තරග කරනවා කියලා. දැන් මේක ප්‍රශ්නයක් වෙලා. ඇත්තටම මොකද්ද වෙන්නේ?

රටේ ජනතාවගේ බලාපොරොත්තුව පොහොට්ටුවෙන් තරග කිරීම. ඊටපස්සේ එජාපය පරාජය කිරීම. මේක සුභ ලකුණක් නිසා ඒක ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ජනතාවට විශ්වාසයක් තියෙනවා. හැබැයි එහෙම වුණා කියලා කිසිම අපේ සහෝදර පක්ෂයක අයිතිවාසිකමක් නැති කරන්න අපි සූදානම් නෑ. අපිට ඉන්න එකම නායකයා මහින්ද රාජපක්ෂ මහත්මයා. ඔහු හැමදාම ජනතාව හමුවේ හිටගත්තේ. ඔහු නිවැරදි තීන්දුව ගනී. අපිට නායකත්වය ගැන ප්‍රශ්නයක් නෑනේ. ඒ නිසා මේක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

 ගයාන් ගාල්ලගේ