2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

මේ ප්‍රශ්න විසඳගන්න ඕන පාරෙදි

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

►ක්ෂණික නූඩ්ල්ස් වගේ දේශපාලන පෙරළි වෙන්නෙ නැහැ
►ජනාධිපති ව්‍යවස්ථාවට පිටිනුයි වැඩ කළේ
►අපේ පක්ෂය පොඩි මිනිස්සු අමතක කළා
►අපි ගුටිකාලයි ජනාධිපතිතුමා පත්කළේ
►කේලම්කාරයො, දෙන්නා භේද කළා

 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

මන්ත්‍රීතුමා මේ වෙනකොට දේශපාලනය අලකලංචි ගොඩක තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බල කඳවුර හැටියට අරලියගහ මන්දිරය අල්ලාගෙන. දැන් මේ මන්දිරය අල්ලාගෙන මොකක්ද කරන්න හදන්නේ?

ව්‍යවස්ථානුකූලව පත්කරපු අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස තමයි අරලිය ගහ මන්දිරය. ඒ නිසා ව්‍යවස්ථානුකූල අගමැතිවරයා මේ වෙනකොට රැඳී ඉන්නේ තමන්ගේ නිල නිවසේ.

අරලියගහ මන්දිරය කේන්ද්‍ර කරගෙන ජනතා විරෝධතා උද්ඝෝෂණ, පෙළපාලි යනවා. ඒ කරපු කිසිදේක ප්‍රතිඵලයක් පේන්න නෑනේ?

ඔබ හිතනවා නම් මේ වගේ දේශපාලන පසුබිමක් ඇතුළත ක්ෂණික නූඩ්ල්ස් වගේ දේශපාලන පෙරළියක් සිදුවෙයි කියලා එහෙම වෙන්නේ නෑ. එහෙම වෙනවා නම් ව්‍යවස්ථාවට පිටින් තමයි ක්ෂණික නූඩ්ල්ස් හදන්න ඕන. හැමදාම ජනබලය ජනසටන තමයි ජයග්‍රහණය කරන්නේ. එනිසා නිසි වෙලාව එනකම් බලන් ඉන්න ඕන ජනබලය ජයග්‍රහණය කරන්න.

ඔබලා කියනවා නිල අගමැති ඔබලා ගාව ඉන්නේ කියලා. ජනාධිපතිවරයා කියනවා ඔහු පත්කළ අගමැති තමයි නිල අගමැති කියලා. දැන් ජනතාව වන අපි හරි අගමැති කොහොමද හොයාගන්නේ?

ඉතින් නිල අගමැති කවුද කියලා ව්‍යවස්ථාවේ පැහැදිලිවම තියෙනවා. අගමැතිවරයෙක් පත්කරන්නේ කොහොමද? ඉවත් කරන්නේ කොහොමද? ඉවත් කළාම පත්කරන්නේ කොහොමද කියලා ජනතාවට ව්‍යවස්ථාව අනුව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසයි ජනතාව හරි අගමැති සහ අරලියගහ මන්දිරය වටා රොක්වන්නේ.

ඔබලා ඔහොම කිව්වාට ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාවට පිටින් වැඩකරයිද?

ඔව්. ජනාධිපතිවරයා පැහැදිලිවම ව්‍යවස්ථාවට පිටින් වැඩකරලා තියෙනවා. ඒකනෙ අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා තවම නිත්‍යනුකූල අගමැති කියලා.

දැන් ඔබලා කියන විදිහට මේක නිත්‍යනුකූල නොවන වැඩපිළිවෙළක් නම් පත් කිරීම නිත්‍යනුකූල නොවන්නේ නම් ඇයි නීතියෙන් මේ ප්‍රශ්නය විසඳගන්න උත්සාහ නොගන්නේ?

දැන් මෙහෙමයි, සමහර දේවල් තියෙනවා නීතිය පැත්තෙන් ක්ෂණිකව විසඳගන්න පුළුවන් දේවල්. සමහර දේවල් තියෙනවා දේශපාලනිකව විසඳගන්න පුළුවන් දේවල්. තවත් සමහර දේවල් තියෙනවා පාරෙදි විසඳගන්න පුළුවන් දේවල්. මෙතැන තියෙන්නේ දේශපාලනිකව පාරෙදියි විසඳගන්න ඕන දෙයක්.

ඒ කියන්නේ නීතියෙන් ගොඩදාගන්න බෑ මේක?

බෑ. මේක ඉක්මනින් විසඳගන්න ඕන දෙයක්. අස්ථාවර වෙලා තියෙන රට ඉක්මනින් ස්ථාවර කරගන්න ඕන.

දැන් ඔබලා ඔහොම සටන් කර කර ඉන්නකොට ජනාධිපතිවරයා ඇමැතිවරු, අමාත්‍යංශ ලේකම්වරු, සභාපතිවරු පත්කරලා තියෙනවා. එහෙම කොහොමද ඉතින් කරන්නේ?

ඔබතුමා ජනාධිපතිවරයාගේ පැත්තෙන් පිළිතුරු අපෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒක අපිට දෙන්න බෑ. හැබැයි අපේ පැත්තෙන් දෙන්න පුළුවන් පිළිතුරු මම දෙන්නම්. ජනාධිපතිතුමා නිත්‍යනුකූල නොවන අගමැතිවරයෙක් පත්කරලා ඔහුට බහුතරය තියෙනවාද නැද්ද කියලා බලන්නත් කලින්නේ මේ පත්වීම් සිදුකරලා තියෙන්නේ. ඉතින් අපි කියන්නෙත් පාර්ලිමේන්තුව කැඳවලා බලමු කාටද 113 තියෙන්නේ කියලා. හැබැයි එක දෙයක් කියන්න කැමැතියි අපිට 113 නැත්නම් තත්පරයක්වත් අපි ඉන්නේ නෑ. අරලියගහ මන්දිරයෙන් නෙමෙයි අපි සියලු තැන්වලින් අයින්වෙලා විපක්ෂයට යනවා.

ජනාධිපතිවරයා නම් එළිපිට කියනවා එතුමාට 113ක් තිබෙනවා කියලා?

ඉතින් තියෙනවා නම් පාර්ලිමේන්තුව ඉක්මනින් කැඳවලා පෙන්වන්න 113 තියෙනවා කියලා. කවුරු හරි කාට හරි 113 පෙන්වලා රට ස්ථාවර කරන්න කියන්න. හැංගි හැංගි ඉන්න ඕනේ නෑනේ එහෙනම් කරන්න පුළුවන්නේ.

ඔබලා කියන්නේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලානේ?

ඔව්.

ජනාධිපතිවරයා නම් කිව්වේ සජිත්ට, කරූට එන්න කියලා අගමැතිවරයා සමඟ වැඩකරන්න බෑ කියලා මුල ඉඳන්ම දැනුම් දුන්නා කියලා. එහෙම කියලත් වුණේ නැති නිසයි මේ පත්වීම කළේ කියලා. එතකොට මෙතැන කුමන්ත්‍රණයක් වෙන්නේ කොහොමද, මුල ඉඳන්ම එක්සත් ජාතික පක්ෂය දැනන් ඉඳලා තියෙනවානේ?

ඔබතුමා මගෙන් ප්‍රශ්න අහන්නේ එතුමා කියපු දේවල් හරියි කියන තැන ඉඳන්නේ. මට ඒකට ඒ විදිහට උත්තර දෙන්න බැහැ. එතුමා ඒ නායකයොත් එක්ක කතා කළාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම ගෙනැල්ලා මේ ප්‍රශ්නය විසඳන්න තිබ්බා. අපි තමයි ගුටිබැට මැද්දේ දුක් විඳලා එතුමා මේ තැනට ගෙනාවේ. ඒ නිසා අපිත් එක්ක සාකච්ඡා කළා නම් මේ ප්‍රශ්නේ මීට වැඩිය හොඳට විසඳගන්න තිබුණා කියලයි අපේ විශ්වාසය.

ඔබලගේ පැත්තේ සජිත්ට හරි කරූට හරි මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්නේ?

ඒක එතුමන්ලාගේ දෙයක්. එතුමන්ලාට කියනවා වගේ අපිටත් කිව්වා නම් අපි මීට වැඩිය දෙයක් කරන්න තිබුණා. 

කතානායකතුමා පසුගියදා කිව්වා පෙර පැවැති තත්ත්වය තමයි එතුමා පිළිගන්නේ කියලා. නමුත් පාර්ලිමේන්තුව ඇතුළේ නව ආණ්ඩුවේ තනතුරුවලට අදාළව නිල කාමර, නිල ස්ථාන ලබාදීලා ඉවරයි.

කථානායකවරයා තමයි පාර්ලිමේන්තු ප්‍රධානියා. එතුමාට අයිතියක් තියෙනවා නීතිය නීතියක් හැටියට ක්‍රියාත්මක කිරීමට. එතුමා ඒක වෙනුවෙන් පෙනී සිටිනවා. කතානායකවරයා හැටියට එතුමන්ට තනි තීරණ ගන්න බෑ. ව්‍යවස්ථානුකූලව තමයි එතුමා කටයුතු කරන්නේ.

ජනාධිපතිවරයා කියනවා එතුමන්ට 113 තියෙනවා කියලා?

මේ ජනවාරි 8 වැනිදාට කලින් තිබ්බ බලහත්කාරකමනේ තියෙන්නේ. නීතියේ ආධිපත්‍යය රැකගන්න යන්න තමයි අපි එදා එතුමා පත්කර ගත්තේ. ඒ අපි පත්කරගත්තු ජනාධිපතිතුමා වැඩිකල් යන්න කලින් එතුමා විසින්ම ඒ නීතිය බිඳ හෙළලා තියෙනවා. ඒකට විරුද්ධව තමයි අපි ජනතාව පාරට බස්සලා තියෙන්නේ. 

ජනාධිපතිතුමා කිව්වා 113 නැති වුණොත් අදින්න පුළුවන් අන්තිම තුරුම්පු ටිකත් අදිනවා කියලා. ඒ කියන්නේ එජාපයට විරුද්ධව ජනාධිපතිවරයා ගාව තුරුම්පු තියෙනවා නේද?

මෙහෙමයි, එකවරක් ගණිකාවක් ළඟට ගිය කෙනෙකුට තව පාරක් ගණිකාවක් ළඟට යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මෙතැන ජනාධිපතිතුමාට වඩා ජනාධිපතිතුමා වටකරන් ඉන්න පිරිස තමයි මෙහෙයවන්නේ. ඒ වගේම අපි දන්න මෛත්‍රීපාල සිරිසේන නෙමේ කතා කරන්නේ. එතුමා කුමන්ත්‍රණකාරී දෙයකට අහුවෙලා ඉන්නේ.

ඔබ කියන්නේ ජනාධිපතිතුමා වෙනත් කණ්ඩායමක උගුලකට අහුවෙලා ඉන්නවා කියලද?

අනිවාර්යයෙන්ම. 113 පෙන්වලා එතුමාවත් මේ ග්‍රහණයෙන් මුදවාගන්න තමයි මේ කටයුතු කරන්නේ. 

ඔබලයි හිටපු අගමැතිතුමයි කියනවා ජනාධිපතිවරයාත් එක්ක ගමනක් යන්න ලෑස්තියි කියලා. හැබැයි තවත් පිරිසක් එතුමා පාරට ඇදලා දාන්න ප්ලෑන් කරනවා. ඉතින් කොහොමද මේ පිරිස එකතු කරන්නේ?

මෙහෙමයි. එන ආවේගය පාලන කරගන්න බැරිවුණාම ඕවගේ දේවල් කියනවා. අපිට තරහා යනවා. අපට කේන්ති යනවා. අපි පෘතග්ජන මිනිස්සුනේ. එතුමාට තව මාස 11ක් විතර තියෙනවා. ඉතින් එතුමත් එක්ක වැඩකරන්න අපි ලෑස්තියි.

ජනාධිපතිවරයානම් කියන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවෙලා ආවොත් ඔහු පැයක්වත් ජනාධිපති පුටුවේ ඉන්නේ නෑ කියලා?

අපි මේ ඔක්කොටම කලින් 14 වෙනිදා පාර්ලිමේන්තුවේ 113 තියෙන්නේ කාටද කියලා බලමු.

ඔබලත් හිටපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු. මේ දීගේ එකතු කරන්න කල්පනාවක් නැද්ද ආයේ?

දැන් ගොඩක් දුරදිග ගිහිල්ලා ඉවරයි. දැන් මොනවත් කරන්න වෙන්නේ පාර්ලිමේන්තුව කැඳවලා 113 පෙන්නුවායින් පස්සේ. තව කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ.

දැන් මේ 113 ගන්න කෝටි 50ක් දෙනවා කියලා ලොකු කතාවක් තියෙනවා. ඇත්තටම කෝටි 50ක ගනුදෙනුවක් වෙනවාද?

මම නම් දන්නේ නෑ ඒක ගැන. මම නම් කියන්නේ කවුරු හරි මන්ත්‍රී කෙනෙක් ජනතාවගේ ඡන්දය විකුණලා පැත්ත මාරු කරනවා නම් ඔහුව ප්‍රතික්ෂේප කරන්න ඕන ජනතාව.

ඔබ කියන්නේ සල්ලිවලට ගියොත්නේ. සල්ලිවලට නොගිහිල්ලා පක්ෂ මාරු කළොත් හරිද? යන අය කියන්නේ රට ගැන හිතලයි තීන්දු ගන්නේ කියලා?

රට ගැන හිතලා තීන්දු ගන්න අය මුදල්වලට යන්න ඕන නෑ. මේ ප්‍රතිපත්ති රටට ගැලපෙන්නේ නෑ හරියන්නේ නෑ කියලා විශ්වාස කරනවා මීට කලින් ඒ වෙනස කරන්න තිබුණා. මේ වෙලාවෙම තනතුරු වරප්‍රසාද අරගෙන මාරුවෙන එක තමයි ජනතාවට ප්‍රශ්න වෙලා තියෙන්නේ.

ඔබ කියන්නේ මේ සංක්‍රාන්ති සමයේ පනින කට්ටිය තනතුරු වරප්‍රසාද මුදල්වලට මාරුවෙනවා කියලද?

එහෙම සාධාරණ සැකයක් තියෙනවා.

ජනාධිපතිවරයා දිගින් දිගටම කියන දෙයක් තමයි කැබිනට් මණ්ඩලයේ තීන්දු තීරණ ගත්තේ එතුමා නෙමෙයි සමනල කණ්ඩායමක් කියලා. කවුද මේ කණ්ඩායම?

කැබිනට් මණ්ඩලයට නම් කවදාවත් මම ගිහිල්ලා නෑ. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් දෙක තුනකටම ගිහිල්ලා තියෙනවා. ඒවායේ නම් හැමෝම සාමූහික තීන්දු ගත්තේ.

මම අහන්නේ එක්සත් ජාතික පක්ෂයේ එහෙම පිරිසක් ඉන්නවාද?

මම දන්නේ නෑ. මගේ ආසනයේ නම් එහෙම තීන්දු තීරණ ගන්න කිසිවෙක් ආවෙත් නෑ. එහෙම කළෙත් නෑ. මගෙ ආසනේ ඇතුළේ නම් එහෙම තීන්දු තීරණ ගන්න කාගෙන්වත් ඇහුවෙත් නෑ. එනිසයිනේ මම ජය්‍රගහණය කළේ.

ඔබ හිතන්නේ මොකක්ද මේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුම පටන් ගන්න හේතුව?

කේලම්කාරයෝ තමයි. 

කේලම්කාරයෝ ඒ පැත්තේ විතරද හිටියේ?

මම කියන්නේ ඒ පැත්තේ විතරයි කේලම්කාරයෝ ඉන්නේ කියලා. අපේ පැත්තෙත් කේලම්කාරයෝ ඇති. නැත්නම් එහෙම වෙන්නේ නෑනේ. තනි අතින් අප්පුඩි ගහන්නත් බෑනේ.

මේ දීගේ එකතු කරන්න එක්සත් ජාතික පක්ෂයේ අරමුණත් නැද්ද ආයේ?

එකක් පැහැදිලියිනේ. 2020 ජනාධිපතිවරණය එනකම් මෛත්‍රීපාල ජනාධිපතිවරයා තමයි ජනාධිපති. අපි 113 ගත්තත් ඒ කාලය වෙනකම් එතුමත් එක්ක වැඩකරන්න වෙනවා. ඒ කාලෙදි අපි දැනගන්න ඕන එතුමත් එක්ක වැඩකරලා රටේ ජනමතය හරි විදිහට හදාගන්න අපි වෙනුවෙන්. ඊට පස්සේ තනි යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්න ඕන.

ඔබ කියන්නේ එජාපය තනි ආණ්ඩුවක් නොහදපු එකේ ප්‍රතිඵල විඳින්නේ කියලද?

ඔව් පැහැදිලිවම. 2015 ජනවාරි 8 වැනිදා දින්නහම ඊට පහුවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නම් එහෙනම් ආසන 135ට වැඩිය ගන්නවා. එහෙම වුණානම් ඔය කතන්දර නෑනේ.

ඇයි පහුගිය කාලේ කියලා තිබුණා නේද එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවනවා කියලා?

කරන්න පුළුවන් වෙලාවේ කරන්නේ නැතුව පස්සේ බොරුවට කතා කරලා තේරුමක් නෑ.

ඔබ හිතන්නේ මේ දැන් වර්තමාන තත්ත්වය උඩ එජාපයේ වෙනසක් වෙන්න ඕනෑද?

අනිවාර්යයෙන්ම. පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්වෙන්න ඕන. අපිට අනාගත ජයග්‍රහණ ලබන්න නම් ඒ දේ නියත වශයෙන්ම කළ යුතුයි. නැවත එජාප රජයක් එන්න ඕන නම් හරි විදිහට රට දියුණු කරන්න ඕන නම් පක්ෂය ප්‍රතිසංවිධාන විය යුතුයි.

සමහර ප්‍රාදේශීය දේශපාලනඥයන් කියනවා එජාපයට බලය ලැබුණාම මුල අමතක වුණා කියලා පහුගිය කාලේ. ඇත්තද මේක?

ඇත්ත වශයෙන්ම පහුගිය කාලෙම ප්‍රාදේශීය මන්ත්‍රීවරු අමතක වෙලා තිබ්බේ. ඡන්ද පොළ නායකයෝ අමතක වෙලා තිබ්බේ. ඒ විතරක් නෙමෙයි පසුපෙළ මන්ත්‍රීවරුන්ටත් ලොකු දෙයක් කරන්න හැකියාවක් තිබුණේ නෑ. සම්පූර්ණ වැරදියි. අද මේ තත්ත්වය ඇතිවෙන්න ප්‍රධාන හේතුව ඒක තමයි. 

මේ වෙනකොට එජාපය ඇතුළේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවෙලාද?

එහෙම ප්‍රශ්නයක් දැනට නෑ. මේ මොහොතෙදි අපට තියෙන එකම ප්‍රශ්නය 113 පෙන්වලා පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න එක. ඊට පස්සේ තමයි ඉතුරු දේවල්.

අවසාන වශයෙන් ඔබෙන් අහන්නේ මරික්කාර්ටත් කවුරුත් කතා කරලා කිව්වේ නැද්ද ඒ පැත්තට එන්න කියලා?

ඔබ දන්නවා මම මාධ්‍යයේ ඉන්න කොටත් ශිෂ්ට සම්පන්න විනයගරුක මිනිහෙක්. මම මගේ ආත්ම ගරුත්වය රැකගෙන ජීවත් වෙච්ච මිනිහෙක්. කෙනෙක් තවත් පුද්ගලයෙක් එක්ක සිදුකරන දුරකතන සංවාද එළියට දාන්න මම සූදානම් නෑ. එහෙම තිරය පිටුපස කතා කරන දේවල් මාධ්‍ය ඉස්සරහට ඇවිත් පෙන්වලා පුහු වීරයෙක් වෙන්න මම ලෑස්ති නෑ. ඒවලින් ඡන්ද දිනන්න පුළුවන් කියන මතයේ මම නෑ. ජනතාවට වැඩ කළා නම් ජනතාව ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවයි.

ඒත් ඔබලගේ කට්ටිය නම් සංවාද එළියට දාලා ලොකු ප්‍රසිද්ධියක් ගත්තා?

අනෙක් අයගේ දේවල් මගෙන් අහන්න එපා මා සම්බන්ධව ඕනෑ දෙයක් අහන්න.

ගයාන් ගාල්ලගේ