2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

සුප්‍රසිද්ධ කුඩුකාරයකුට මගුල් කියන්න මම මෝඩයෙක් නොවේ

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

♦ මහින්ද මහත්තයට වඩා අසීමිත චෝදනා මේ ආණ්ඩුවට තිබෙනවා

♦ අපේ ජනපති අපේක්ෂකයා ජූනියේදී එළියට

♦ මධූෂ්ගේ නම කියලා අපට ගහන එක දේශපාලන පළිගැනීමක්

♦ මධූෂ් සල්ලි දුන්නා කියන කතාව අමු බොරුවක්

♦ මට උදව් කරන්නේ මගේ යාළුවෝ

♦ නලින් බණ්ඩාරට අපි ගැන කතා කීවේ පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක්ලු

♦ ශ්‍රීලනිපය නැති වුණේ ආණ්ඩුවේ ඉන්න ගිහින්

එජනිස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන

යහපාලන ආණ්ඩුවෙන් එළියට බැස්සේ ලොකු පෙරළියක් කරන බවට රටටම කියලා. දැන් ඒ කිව්ව පෙරළිය කළාද?

ඇත්තටම බැලුවේ එජාපය විරෝධී පුළුල් පෙරමුණක් ඇතිකර ගන්න. අපි මුලදී බැලුවා ජාතික රජයක් යටතේ පක්ෂ දෙක එකතුවෙලා ගමනක් යන්න පුළුවන් වෙයිද කියලා. ඒත් ඒක ප්‍රතිඵලයක් නැහැ. එහෙම කරගෙන යනකොට තමයි ඔය මහබැංකු වංචාව එළිවුණේ. අපි ඒ නිසා මධ්‍යම කාරක සභාවේදී කිව්වා මේ ගැන පරීක්ෂණයක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ නම දෙනෙකුගේ කමිටුවක් දැම්මා. ඒ කමිටුව එකතුවෙලා නිර්දේශ කළා ජනාධිපති කොමිසමක් අවශ්‍යයයි කියලා. ඒ හරහා අපි යෝජනා එකොළහක් දුන්නා. අපි ඒ වෙලාවේම හැදුවා යන්න. ඒත් ජනාධිපතිතුමා කිව්වා පළාත් පාලන මැතිවරණය වෙනකම් ඉන්න කියලා. අපි විශ්වාසභංගයකුත් ඒ අවස්ථාවේ ගෙනාවා.

ඔබ කියනවා මහ බැංකු සිද්ධියත් එක්ක තමයි මේ තීන්දුව ගත්තේ කියලා. ඒත් අල්ලපු හොරෙක්වත් කොටින්ම කොමිසමේ වාර්තාවක්වත් පේන්නවත් නෑනේ?

ඇත්තටම වුණේ එක දෙයයි. මේ වගේ ලොකු වංචාවක් වෙලා තියෙනවා කියලා මිනිස්සුන්ගේ හිතට ගිය එක විතරයි. ඒ හරහා රටේ වෙන්න ගිය ලොකු ලොකු දේවල් එළිවුණා. හැබැයි මම පිළිගන්නවා අපි බලාපොරොත්තු වුණු දේ සිදුවුණේ නෑ කියලා. කොමිෂන් වාර්තාවෙන් පවා ප්‍රතිඵලයක් වුණේ නෑ කියලා අපි පිළිගන්නවා. ඇත්තටම පළමුවැනිවම කරන්න ඕනේ අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම. ඒක කිය කිය ඉඳලා වැඩක් නැහැ.

හැබැයි එහෙම ජාත්‍යන්තර වශයෙන් උත්සාහයක් නැහැනේ?

ඔව් අපි ඒක පිළිගන්නවා. ජාත්‍යන්තර වශයෙන්වත් උත්සාහයක් නැහැ කියලා. අපි යම්කිසි ආකාරයක කලකිරීමකින් ඉන්නේ ගත්ත ක්‍රියාමාර්ග සම්බන්ධව. උත්සාහ කරනවා අපේ රජයෙන්වත් ඒ ගැන පියවරක් ගන්න.

ඔබතුමාලට කඩාවැටෙන්න දෙයක් නැහැනේ. පොලිසිය බාර ඇමැතිතුමා ජනාධිපතිතුමානේ?

ඔව් ජනාධිපතිතුමා පොලිසිය බාර ඇමැතිතුමා බව ඇත්ත. පොලිසියට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සිංගප්පූරු පුරවැසියෙක් අත්අඩංගුවට ගන්නා ආකාරය පිළිබඳව. හැබැයි මටත් පේනවා ජාත්‍යන්තර වශයෙන් එවැනි උත්සාහයක් ගන්න තත්ත්වයක නැහැ. අපි කියන්නේ ඒක කරන්න කියලා. එතකොට ගන්න බැරි බව හරි පෙනෙයිනේ.

හැබැයි ඔබලා ගෙනාපු කොමිසමෙන් ඇත්තටම වාසිය ගියේ මහින්ද රාජපක්ෂ මහත්තයාට නේද? පළාත් පාලන මැතිවරණයත් ඔහු දින්නේ?

ඒකට කමක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට කරපු චෝදනා වලට වඩා අසීමිත චෝදනා ප්‍රමාණයක් මේ කාලය ඇතුලේදී ඇතිවුණා. එතුමාගේ කාලයේදී යම් යම් අඩුපාඩු සිදුවන්න ඇති. හැබැයි රට සංවර්ධනය අතින් ඉදිරියට ගියා. අද බලන්නකෝ රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් කඩා වැටිලා. කවුරුත් කියන්නේ නැහැ රට ඉදිරියට යනවා කියලා. අද මේ ආණ්ඩුව පෙන්වන්නේත් ගිය ආණ්ඩුව ගෙනාපු සංවර්ධන ව්‍යාපෘති. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තට වාසිවුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන්ම වාසිවෙන්න ඕන. එතුමාට වාසිනොවෙන්න මේ ආණ්ඩුවෙන් කරපු දෙයක් නැහැනේ. අපි සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්.

හැබැයි ඒකෙන් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති වීම නේද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිවෙන්න හේතුව තමයි ආණ්ඩුවේ සිටීම.

ජනතාව බලය පෙන්වලා තියෙද්දී ඔබලා හදිසියේම පහුගිය ඔක්තෝබර් 26 වැනිදා බලය අල්ලනවා. අන්තිමට ඒක නැතිවෙනවා. ඒකෙන් වුණේ ශ්‍රීලනිපයයි, මහින්ද මහත්තයායි ජනතාව අතර අප්‍රසාදයට ලක්වීම නේද?

රටේ ජනාධිපතිතුමා විශ්වාස කරනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක ගමනක් යන්න බැහැ කියලා එතුමා විශ්වාස කරන ගමනක් යා හැකි කණ්ඩායමක් එක්ක මේ ගමන යන්න තීන්දු කරන්න ඕන. ඒ තීන්දුව ජනතාව වෙනුවෙන් ගන්නේ. අධිකරණය ගන්න හැම තීන්දුවක්ම හරියි කියලා කියන්න බැහැ. හැබැයි ඒ තීන්දුව විවේචනය කරන්න අපිට අයිතියකුත් නැහැ. අපේ හෘද සාක්ෂිය කියනවා මහජනතාවට ඒ බලය ලබාදිය යුතුයි කියලා. ජනතාව පරමාධිපත්‍යය ලබාදුන්නේ අපිට. ජනතාවට අයිතියක් තියෙනවා ඒ පරමාධිපත්‍ය බලය කාටද දෙන්නේ කියලා තීන්දු කරන්න.

හැබැයි පරමාධිපත්‍ය බලය විමසලා ඡන්දයකින් ගන්න පුළුවන්කම තියෙද්දිනේ හදිසියේම පස්ස දොරෙන් ගිහිල්ලා අගමැතිකම ගත්තේ?

පරමාධිපත්‍ය බලය බලන්න කොහෙද මැතිවරණයට යන්නේ නැතිව.

ඉතින් ඕගොල්ලන්ට පුළුවන්නේ එකතුවෙලා මැතිවරණයකට යන්න?

අපි උත්සාහ කළා. ඒත් සමහර අය කැමැති නැහැ.

හැබැයි බොහෝ දෙනා චෝදනා කරන්නේ මහින්ද මහත්තයාටත් ජනාධිපතිවරයාටත් මේ ඉරණම ගෙනාවේ ඔබලා 11 දෙනා කියලා?

නැහැ එහෙම එකක් නැහැ. මහින්ද මහත්තයා කිසිම වෙලාවක ඒ වගේ කතාවක් කියලා නැහැ. ඒකෙන් ජනප්‍රියතාව තව වැඩිවුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාට හිටියේ 54යි. ඒක දැන් 70 දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ තමයි හයිය. ඒ හයිය පිටින් තමයි අපි පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ගියේ. ඒත් ඒක ගන්න බැරිවුණා. දැන් ආණ්ඩුව හිතුමතේට වැඩකරන තැනට ඇවිල්ලා තියෙන්නේ.

ඒ කියන්නේ ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුව අවනත නෑ නේද?

දෙපාර්ශ්වයක් ආණ්ඩු කරන්න ගියාම මේ දේ සිද්ධ වෙනවා. මේක ලෝකයේ පළවෙනි අවස්ථාව.

හැබැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය ඉන්න කාලේ ඇය ගාණට ආණ්ඩුවට විරුද්ධව තීරණ ගත්තා.

පාලනයක් නෑනේ. එතුමියගේ කාලයේත් දෙපාර්ශ්වය අතර ප්‍රශ්න ඇතිවුණා.

මේ වෙනකොට දෙපාර්ශ්වයේම ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා. දැන් ගැටුමක් වෙලා තියෙන්නේ.

කිසිම ගැටුමක් නැහැ. ජූනි මාසයේදී ඒකාබද්ධය ප්‍රකාශ කරනවා මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා.

ඒ කියන්නේ තාම ජනාධිපතිවරයාත් මහින්ද මහත්තයාත් අතර එකඟතාවයක් නැද්ද?

කොයිවෙලාවකවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ නැහැ එතුමා ඉල්ලනවා කියලා. එතකොට මහින්ද මහත්තයා කියලත් නැහැ කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා. ඒ නිසා දෙපාර්ශ්වයම එක එක අය කියන්නේ. මහින්ද මහත්තයාගේ ආශීර්වාදය මැද්දේ නැතිව වාමාංශික අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බැහැ. අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කළාම කිසිම බෙදීමක් නැතිව හැමෝම එකඟ වෙනවා. මොකද අපි ගේන්නේ පොදු සතුරාට මුහුණ දෙන්න පුළුවන් අපේක්ෂකයෙක්.

ඔබත් හිතනවාද රාජපක්ෂ කෙනෙක්ම තරග කරන්න ඕන කියලා?

ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි තීරණය කරන්නේ.

ඇයි ඔබතුමාලාට සාමූහික වශයෙන් තීරණයක් ගන්න බැරි?

ජනාධිපති අපේක්ෂකයා අපි නියම වෙලාවට ඉදිරිපත් කරනවා. කලින් ආවොත් ප්‍රතිප්‍රහාර වැඩියි. මේක පල්වෙන්න දෙන්න නරකයි. එවෙලේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා.

එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද ඉදිරිපත් කරන්නේ?

කොහෙත්ම නැහැ. කිසිම කෙනෙක් මැතිවරණය කඩාකප්පල් කරන්න කටයුතු කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික පක්ෂයක්. මෙතැන තියෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක්. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන පක්ෂයක් කවදාවත් සතුරාට ආයුධ දෙන්නේ නැහැ. යූඑන්පී එක තාම කියලත් නැහැනේ ඒගොල්ලන්ගේ අපෙක්ෂකයා කවුද කියලා. අපේ අපේක්ෂකයාගේ හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

හැබැයි එජාපයත් පුළුල් සන්ධානයක් ගොඩනගනවා කියලා තියෙනවා. එහෙම වුණොත් ලොකු අභියෝගයක් නේද?

අපේ පැත්තෙනුත් ලොකු සන්ධානයක් හදන් තියෙනවා. පේනවානේ ඉතිහාසයේ පළවෙනි වතාවට පළාත් පාලන මැතිවරණයකදී ආණ්ඩුවක් පැරදුණේ. ඒක දරැණු පරාජයක්. අපි පක්ෂ 28ක් එක්ක මෙවර එකතුවෙලා තියෙනවා.

අර පහුගිය දවසක බලය ගත්තේ මෛත්‍රී මහත්තයා ජනාධිපති කරනවා කියලා එකඟතාවයක් මත කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද?

අනේ නැහැ. කිසිම එකඟතාවයක් නැහැ.

මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකුත් එහා පැත්තට ගිහිල්ලා තියෙනවා?

රටේ ජනතාව ගැන තීන්දු ගන්නේ නැතිව තමන් ගැන විතරක් හිතලා තීන්දු ගත්තොත් ඒ අයට අවශ්‍ය ප්‍රතිඋත්තර ජනතාව දෙනවා. ඔහුට දේශපාලන ගමනකුත් නැහැ. සමහර අයට ඇමැතිකම් දෙනවා කියලා ඒවාවලට යනවා. සමහර අය යූඑන්පීයෙන් ඡන්දේ ඉල්ලුවොත් දිනන්න පුළුවන් කියලා හිතනවා. ඒ අයගේ අනාගතය ජනතාව තීන්දු කරයි.

මේ වෙනකොට රටම කතා කරන මධූෂ් ඉන්නේ ඩුබායි පොලිසියේ. දැන් තැන් තැන්වල කතාවෙනවා ඔබතුමාත් එක්කත් සම්බන්ධතා තිබුණා කියලා. මොකක්ද ඒ සම්බන්ධය?

පළමුවෙනිවම කියන්න ඕන මධූෂ් අපේ ගමේ නෙමෙයි. හැමෝම කතාවෙන්නේ මධූෂුත් මමත් මාකඳුරේ කියලා. මධූෂ් කඹුරුපිටියේ. මධූෂ්ගේ අම්මා ජේ.වී.පී. එකෙන් කුලප්පු කරලා බලෙන් යවපු පා ගමනකදී වෙඩිවැදිලා මැරුණා. එතකොට වයස අවුරුදු 8යි මධූෂ්ට. ඊට පස්සේ ඔහුගේ පියා වෙනම විවාහයක් කර ගත්තා. ඔහුගේ පියාගේ අතක් නැහැ. ඔහු මධූෂ්ට බැලුවා. මධූෂ් ඉස්කෝලේ ගියේ කඹුරුපිටියේ. ඔය ඉස්කෝලෙට ගියා අපේ ගමේ ගැහැනු ළමයෙක්. ගයනි කියලා. හොඳ පවුලක ළමයෙක්. ඒ ළමයා එක්ක යාළුවෙලා බැන්දා. ඊට පස්සේ මාකඳුරේ ඒ ළමයාගේ ගෙදර පදිංචි වුණා. මම දැක්කේ මධූෂ්ව 1999 දී. ඔය ගයානිලාගේ ගෙදර රැස්වීමක් තිබුණා.

ගයානිගේ නිවසයි ඔබෙයි අතර සම්බන්ධය කොහොමද?

මගේ හොඳම පාක්ෂිකයෙක්. ගයානිලාගේ තාත්තා අපේ තාත්තාගේ දේශපාලනයට පවා උදව් කළ අයෙක්. හොඳ පාක්ෂිකයෙක්. ඔය ළමයා කාන්තා සංවිධානයේ සභාපති. 1999 පස්සේ මගේ මතකය අනුව කිසිම සම්බන්ධයක් නැහැ.

ඔබත් එක්ක මධූෂ් වචනයක්වත් කතා කරලා නැද්ද?

1999 පස්සේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. අපි ඒ අපරාධවලට උදව් කළේත් නැහැ. කොටින්ම කියතොත් අපි අතර කිසිම ගනුදෙනුවක් නැහැ. අපි හම්බුවෙලාවත් නැහැ.

එහෙනම් මාකඳුරේ මධූෂ් කෙනෙක් හැදුණේ කොහොමද?

මධූෂ්ට පොඩි ආරවුලක් තිබුණා. මධූෂ් දර කැපුවා. කරවල වික්කා. පොඩි පොඩි වෙළෙඳාම් කළා. ඉඩමක නැවතිලා හිටියා මධූෂ්. ඒ ඉඩමෙන් අයින් වෙන්න වුණා. පළාත් සභා ඉඩම් ඇමැති ඩැනී හිත්තැටිය හින්දා.

ඒ ප්‍රශ්නෙ නිසාවත් මධූෂ් ඔබව හොයාගෙන ආවේ නැද්ද?

නැහැ. කොයි වෙලාවකවත් එහෙම හොයාගෙන ආවේ නැහැ. ඩැනී හිත්තැටියගේ මස්සිනා යතුරුපැදියක් මධූෂ්ගේ කකුල උඩින් යැව්වා කියලා පොඩි ප්‍රශ්නයක් වුණා. දෙගොල්ලෝ ගහගත්තා. මධූෂ් ගමෙන් පැන්නා. මීගමුවට. එහෙම ගිහිල්ලා බන්ධනාගාරයේ ඉන්නකොට තමයි ඩැනී හිත්තැටිය ඝාතනය වුණේ. ඔය ගයනිලාගේ පවුලත් එක්ක දේශපාලන සම්බන්ධතාවයක් තිබුණා. ඒක ඇරෙන්න වෙන දෙයක් නැහැ.

ඇත්තද ඔබතුමාගේ ඡන්ද ව්‍යාපාරවලට මධූෂ් වක්‍රාකාරයෙන් මුදල් යෙදෙව්වා කියන්නේ?

ඒක අමූලික බොරුවක්. මගේ ඡන්දවලට කිසිම නරක මුදලක් යොදවලා නැහැ. කොටින්ම මම ගමෙන්වත් සල්ලි අරන් නැහැ.

ඔබට පුළුවන්ද කවුරු හරි මේවා ඔප්පු කරන්න කියලා අභියෝග කළොත් ඒකට මුහුණ දෙන්න?

සියයට සීයක් පුළුවන්. ඕන කෙනෙකුට කියන්න ඒක ඔප්පු කරන්න කියලා. මම සත පහක මුදලක් අරගෙන නැහැ. මගේ ඡන්ද ව්‍යාපාරවලට උදව් කරන්නේ මගේ යාළුවෝ හතර දෙනෙක්. පසඳගේ මැතිවරණය කළෙත් ඒ ගොල්ලෝ. ඒ කළේ පාසල් යාළුකමට.

ඔබටත් වැඩිය ඔබගේ පුතා පසඳ සමඟ ගනුදෙනු කළා කියලා තමයි මේ කතාව යන්නේ?

පසඳ ඔහු දැකලාවත් නැහැ. පසඳ ආවේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා. ඒ 2012 දී. මධූෂ් කියද්දී එයා හිනාවෙනවා කවුද මේ මධූෂ් කියලා.

හැබැයි නලින් බණ්ඩාර ඇමැතිවරයා චෝදනා කළා ඔබගේ පුත්‍රයාගේ විවාහ මංගල්ලයට ඇවිල්ලා ගියා කියලා?

නෑ ඒක දැන් එයා නිවැරුදි කරලා තියෙනවා. ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියනවා ලක්ෂ්මන් යාපාගේ පුතාගේ වෙඩින් එකට මධූෂ් ගියේ නෑ කියලා. ගියැයි කියලා මට කිව්වේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කියලත් කියනවා. එතකොට මේක පේනවානේ දේශපාලන පලිගැනීමක් කියලා. මට ගහන්න ඕන හින්දා මේක කියන්න ඇති. හැබැයි එයා නමත් කියන්න ඕන කිව්ව කෙනා.

ඇත්තටම මධූෂ්ගේ සම්බන්ධයක් තිබුණේ නැද්ද ඔය වෙඩින් එකට?

ඇත්තටම වෙඩින් එක කළේ ෂැංග්‍රිල්ලා එකේ. ඒ කියන්නේ හැමෝටම තිබුණා ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක්. නමසීයකට විතර ආරාධනා කළා දෙපාර්ශ්වයේම. ඒ හැම කෙනාම ඉලෙක්ට්‍රොනික් කාඩ් එක ගැහුවාම එයාගේ නොම්මරේත් එක්ක නමයි සීට් අංකයයි වැදුණා. එතැනට ආවා ජනාධිපතිතුමා. හිටපු ජනාධිපතිතුමා. අගමැතිතුමා. කථානායකතුමා. පොලිසිය භාර ඇමැතිතුමා. නියෝජ්‍ය පොලිස්පතිවරු තුන්දෙනෙක් ආවා. හිටපු හමුදාපතිවරු ආවා. රාජ්‍ය නිලධාරීන් ආවා. හිතන්න ජනාධිපතිවරයෙක් හොටෙල් එකට එනවිට ඊට කලින් ඉඳන් බුද්ධි අංශයෙන් දාලා හැමදේම පරීක්ෂා කරනවා. අපේ ගමෙන් ආවේ 25ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මම මෝඩයෙක් නෙමෙයි මේ සුප්‍රසිද්ධ කුඩුකාරයෙකුට වෙඩින් එක කියන්න. මම එහෙම ඇඟේ කුණු ගා ගන්න කෙනෙක් නෙමෙයි. ඔය හෝටලේ සී.සී.ටී.වී. කැමරා හැමදේම තියෙනවා. ඕනෑනම් බලාගන්න පුළුවන්. ඉතින් මගෙන් තාම ප්‍රශ්නයක්වත් ඇහුවේ නැහැනේ.

හැබැයි කිව්වේ ඔබතුමාගේ පුත්‍රයා තමයි ගුවන් තොටුපොළේ වී.අයි.පී. දොරටුවෙන් එළියට අරගෙන ආවේ කියලා?

ඔයා හිතන්නකෝ විවාහයේදී මනමාලයාට පුළුවන්ද ගිහිල්ලා තව පුද්ගලයෙක් වී.අයි.පී. දොරටුවෙන් අරන් එන්න. ඒ මිනිහා පිස්සෙක් වෙන්න එපැයි. මුළු ගමම දන්නවා එහෙම දෙයක් නැහැයි කියලා. ඒක නිසා මේක කවුරු හරි මෙහෙයව්වා. ඒත් එක්කම වැරුදි තොරතුරක් කවුරු හරි දුන්නා.

හැබැයි නලින් බණ්ඩාර කියන්නේත් පොලිසිය බාර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා?

ඉතින් එයාලගේ දුර්වලතාවයක්නේ එහෙම ආවානම් ගන්න බැරිවුණයි කියන එක. එයා ලොකු වැරැද්දක් අපේ දේශපාලන ජීවිතයට කළේ. එහෙම කරලා දැන් නිවැරැදි කළාට තේරුමක් නැහැ.

ඇයි එතුමා එහෙම වැරුදි ප්‍රකාශයක් කළා නම් ඔබතුමා ගත්ත තීන්දුව මොකක්ද?

මම නීතිමය පැත්තෙන් තීරණයක් ගත්තා. මම මිලියන හැටක් ඉල්ලලා එන්තරවාසියක් එතුමාට යවලා තියෙන්නේ. ඒ හින්දා වෙන්න ඇති දැන් නිවැරුදි කරනවා ඇත්තේ.

ඔබ මාකඳුරෙනේ. ඔබ දන්නේ නැද්ද මධූෂ් කා එක්කද දේශපාලන සම්බන්ධතා තිබුණේ කියලා?

අනේ මම දන්නේ නැහැ. 1999 ඉඳලා අපි හමුවෙලත් නැහැ. කතා කරලත් නැහැ ගමේ ඉඳලත්. ඉතින් මම කොහොමද දන්නේ.

ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඒ වගේම මධූෂ් සම්බන්ධව රටේ නැති කතාත් හැදිලා තියෙනවා. ඔබලාට වගකීමක් තියෙනවා නේද මධූෂ්ව ගෙන්වලා මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න?

මම කියන්නේ මධූෂ්ගෙන් ඒ දේවල් එළිකර ගන්න ඕන. එහෙම එළිකර ගත්තාම හැමදේම ඇත්ත වෙයි. ඒ හැමදේම දැනගන්න එක අයිතියක්. එතකොට අපිටත් හොඳයි. දැන් බලන්නකො අද කියනවා සී.අයි.ඩී. එක ඩුබායි ගිය මධූෂ් තුන් වතාවක් බෝට්ටුවෙන් ලංකාවට ආවා කියලා. දැන් නලීන් බණ්ඩාර මොකක්ද කියන්නේ. ඩිපෙන්ඩර් රථ කීපයකින් කටුනායක ගුවන් තොටුපළට බැස්සුවා කියලා. එතකොට පේනවානේ කටුනායකින් බස්සවලා බෝට්ටුවෙන් යන්න බැහැ කියලා. වගකියන මන්ත්‍රීවරු ඔහොම හැසිරෙන්නේ නැහැ.

අපි දැක්කා රන්ජන් රාමනායක ඇමැතිතුමා කියනවා පාර්ලිමේන්තුවේ කොකේන් පානය කරන ඇමැතිවරු ඉන්නවා කියලා?

එහෙම කියලා තිබුණා. එහෙනම් කොකේන් පානය කරන ඇමැතිවරයාගේ නම කියලා ඔහුව ඉවත් කළ යුතුයි. කොකේන් පානය කරලා පාර්ලිමේන්තුවේ ඉන්න බැහැ. ජනාධිපතිතුමා කුඩු නවත්වන්න සටනක් කරන වෙලාවේ මන්ත්‍රීවරු ඇමැතිවරු කුඩු ගහනවා නම් ඒ මන්ත්‍රීවරයාට මේ රටේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්න බැහැ. ඒක ජාතික අපරාධයක්.

හැබැයි ඔක්කොම හොරු රට පැන්නාම තවමත් ලංකාවට ගෙන්නා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒකට ඔබලාත් වගකියන්න ඕනෑ නේද?

ඒ නීති හදන්න ඕන. ඉක්මණින්ම. අතීතයට හරි බලපැවැත්වෙන විදිහට. ඒ වගකීම අපිටත් අයිතියි. ඒක අපිට මගහරින්න බැහැ.

►ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00