ඉස්ලාම් ත්‍රස්තවාදය පටන් ගත්තේ කොටි ත්‍රස්තවාදයට කලින්
මුස්ලිම් සමාජයට මරාගෙන මැරෙන ප්‍රශ්න නැහැ
හමුදාව, බුද්ධි අංශ අඩපණ කිරීම ආසන්න හේතුවක්
ප්‍රශ්නය විසඳාගන්න කෙටි මාර්ග නෑ
ආගමික නැගිටීම් මොන රටේ වුණත් හරි භයානකයි
මෙලෝ දෙයක් නොදන්න අය ජාතික ආරක්ෂාව පලු ගහනවා
රටේ ආරක්ෂක දැල 2015දී කඩාගෙනෙවැටුණා
- හිටපු යුධ හමුදාපති දයා රත්නායක
තිස් වසරක යුද්ධය නිමාකරලා ඒ යුද ජයග්‍රහණය අවුරුදු 10 පිරෙන්න යනකොටම නොහිතූ ඉරණමකට ලංකාව මුහුණ දෙන්නේ. ඔබ හිතන්නේ මොකක්ද මේකට හේතුව?
අපි මේක හිතන්නේ අවුරුදු 10ක් ඇතුළත වෙච්ච සිද්ධියක් හැටියට. නමුත් මේක එහෙම සිද්ධියක් නෙමෙයි. මේක දීර්ඝකාලීනව සිදු වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. මේක අපිට ඇඟට වදින්නේ මේ සිද්ධියත් එක්ක. මතක තියාගන්න ඉස්ලාමීය ත්‍රස්තවාදය කියන්නේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. ඒක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට කලින් පටන්ගත්ත දෙයක්. මේක අපේ රටේ සිදු නොවුණත් ලෝකය පුරා සිදුවුණු දෙයක්. මට මතකයි 1988 මම ඇමෙරිකාවට ගියා බුද්ධි පාඨමාලාවක් හදාරන්න. ඒ අවස්ථාවේ ඒ ගොල්ලෝ අනාගතයේදී වෙන්න පුළුවන් තර්ජන 3ක් ගැන කතා කළා. එකක් චීන නැගිටීම. අනෙක බටහිර රටවල නැගී සිටීම. ඊළඟ කාරණය ඉස්ලාමීය නැගී සිටීම. ඒ කාලේ ඉඳන් මේක ඒ අය දැක්කා.
ඔබ හිතන්නේ මේක දේශපාලනික නැගිටීමක්ද නැත්නම් ආගමික නැගිටීමක්ද?
පැහැදිලිවම මේක ආගමික නැගිටීමක්. මොකද ඒ අය දේශපාලනය කියලා දකින්නෙත් ආගම වටා ගොනුවෙච්ච දෙයක්.
දේශපාලනික නැගිටීමකුයි ආගමික නැගිටීමකුයි අතර තිබෙන වෙනස ඔබ දකින්නේ කොහොමද?
දේශපාලනික නැගිටීමක පරමාර්ථ එකිනෙක වෙනස් වෙනවා. ඔවුන් ඔවුන්ගේ මාර්ගය වෙනස් කරනවා. හැබැයි ආගමික නැගිටීමක් සුළුවෙන් තකන්න බැහැ. ඒක හරි භයානකයි. මරාගෙන මැරෙනවා. මාරාන්තිකයි. ඒ නිසා මේක පැහැදිලිවම ශ්‍රී ලංකාවට ලඝු කරලා හිතන්න බැහැ. ඒක ජාත්‍යන්තර වශයෙන් විහිදුණු ත්‍රස්තවාදයක්.
මේකට සම්බන්ධ වෙලා ඉන්නේ ශ්‍රී ලාංකික පිරිස්. හැබැයි ඔබ කියන්නේ මේක ජාත්‍යන්තර වශයෙන් විහිදුණු දෙයක් කියලයි?
මේ දේවල්වලට මැදිහත්වෙලා ඉන්නේ මොඩියුලයිර්ස් වුණු මුස්ලිම් කණ්ඩායමක්. මේ අය ජාත්‍යන්තර වශයෙන් සබඳතා පවත්වනවා. මේ පිරිසට එන අන්තගාමී අදහස්වලින් තමයි ඔවුන් මේ දේවල්වලට පෙළඹුණේ. මේකේ භයානකත්වය වෙන්නේ මේ අයට තව පිරිස් එකතුවෙන්න පුළුවන්. මේ තරම් හරි ප්‍රමාණයක් මේක ආරක්ෂා වෙන්න හේතුවුණේ විශාල මුස්ලිම් ප්‍රජාවක් සිංහල සංස්කෘතියත් එක්ක අනුගත වෙලා සිටීමෙන්. ඒ නිසා ඔවුන්ට ප්‍රශ්න නැහැ අපිත් එක්ක. ඒ නිසා ඔවුන්ගේ අන්තවාදීකම අඩුවෙලා තිබෙන්නේ.
ඇයි මේක අපේ ඇඟට මුලින් කාවැදුණේ නැත්තේ?
මෙතැන තිබෙන ප්‍රශ්නය තමයි උතුරේ ත්‍රස්තවාදය තියෙන කොට අපි රටක් වශයෙන් සහ පුද්ගලයන් වශයෙන් මේකට තිබුණ අවධානය අඩු මට්ටමක තිබුණේ.
ඒ නිසාද අපිට එහෙම ගැහුවේ?
නෑ.. නෑ.... මතක තියාගන්න මුස්ලිම් සමාජයට මරාගෙන මැරෙන්න ප්‍රශ්න නැහැ. අපි ඒ අය කොන් කළේ නැහැ. අප අතර සහ ඒ අය අතර හොඳ බැඳීමක් තිබුණා. එහෙමනම් එවැනි මරාගෙන මැරෙන ප්‍රශ්න නැතිනම් අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර වශයෙන් අන්තවාදී හැසිරීමක් තියෙන්නම ඕන. ඒ නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ.
ඒ කියන්නේ ඔබ හිතන්නේ මේක අහඹුවක්?
නෑ... නෑ... අහඹුවක් නෙමෙයි. මෙතැන තියෙන්නේ අපේ රටේ මේ ප්‍රශ්න විසඳගන්න ක්‍රමවේදයක් නැතිකම නිසා මේ දේවල් ඔඩුදිව්වා. ඒක තමයි මෙතැන ප්‍රශ්නය. රටක් හැටියට අපි අසමත් වෙලා තිබෙනවා මේවා තේරුම් ගන්න. ඒ සඳහා වන ක්‍රමවේදය සැකසීම. විකල්ප සෙවීම, පිරිස් සොයාගැනීම ආදී ක්‍රමවේදවල දුර්වලතාවය නිසා තමයි අද මෙවැනි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ.
බහුතරයක් කියන දෙයක් තමයි යුද හමුදාව සහ බුද්ධි අංශ අඩපණ කිරීම තමයි මේකට ප්‍රධාන හේතුව කියලා?
ඒක ආසන්නම හේතුව.
මීට කලින් යුද්ධය අවසානයත් සමඟ බුද්ධි අංශ නිවැරදිව ක්‍රියාත්මක වුණා නම් මේ කණ්ඩායම මුලදිම හඳුනාගෙන මර්දනය කරන්න තිබුණා නේද?
අපි යුද්ධයෙන් පස්සේ විවිධ කණ්ඩායම් යොදවලා ආරක්ෂාව සම්බන්ධව විශ්ලේෂණ සිදුකළා. ඒ විශ්ලේෂණවලට අනුව අදාළ කණ්ඩායම් සම්බන්ධව තොරතුරු සොයාගත්තා. එම විශ්ලේෂණවලට අනුව තමයි අපි ඉදිරි සති දෙක කොහොමද වැඩ කරන්නේ, ඉදිරි මාසය, ඉදිරි වසර සහ ඉදිරි වසර පහ වැඩකරන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ. අන්න එතැනදී අපට අහුවෙනවා ඔය අන්තවාදී කල්ලි සම්බන්ධ තොරතුරු. යුද්දෙ කාලෙදි නම් සුළු සුළු තොරතුරු මේ කණ්ඩායම් සම්බන්ධව ලැබුණා.
ඒ කාලේ ඒ කණ්ඩායම්වල නැගිටීම කොයි තරමටද තිබුණේ?
මේ කණ්ඩායම් ඉන්න බවට අපිට තොරතුරු ආවා. හැබැයි ඔවුන් මේ වාගේ දරුණු සූදානමකට ලෑස්ති වුණු බවට තොරතුරු ඒ කාලේ තිබුණේ නැහැ. අනාගතයේ එන බව පෙනුණා. ඔය කාලෙදී තමයි අපි ඒ විවිධ කණ්ඩායම්වලට විරැද්ධව කටයුතු කළේ.
ඇයි ඒ දේවල් ඒ කාලේදීම මර්දනය කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුණේ?
අපි ඒ කාලේදී විශ්වවිද්‍යාල තුළ පිරිස් එකතු කරගෙන මේ ගැන විශ්ලේෂණය කරලා වෙනම අපි බුද්ධි ඒකක පටන් ගත්තා. ඒ වගේම මේ කණ්ඩායම් විසින් සිදුකරන ලද විවිධ ජාවාරම් සම්බන්ධව... උදාහරණයක් හැටියට කුඩු, මිනිස් ජාවාරම් සම්බන්ධව සොයාබැලීම් කළා. මේ සියලු දේවල් ගැන සොයාබලන්න අපි විශේෂ ඒකකයක් හැදුවා. ඒ තමයි සෝශල් මීඩියා මොනිටරින් සෙන්ටර්.
මේ අන්තවාදී අයයි ත්‍රස්තවාදී අයයි අතර වෙනස මොකක්ද?
අන්තවාදී අය තමයි අවසානයේ ත්‍රස්තවාදීන් වෙන්නේ. දැන් අද වෙලා තියෙන්නේ ඒ දේ.
මට මතක හැටියට ඔබ හමුදාපති ධුරයේ ඉන්න කාලේ තමයි අලුත්ගම සිද්ධිය ඇතිවුණේ. ඒ අවස්ථාවේදීවත් මේ ගැන යම් ආකාරයක වෙනසක් කරන්න උත්සාහයක් ගත්තේ නැද්ද?
පැහැදිලිවම කියන්න ඕන එදා ඔය මුස්ලිම් කණ්ඩායම් පිටිපස්සේ ඉන්න සේරම නායකවරු පූජකවරු අපි කොළඹට කැඳෙව්වා. එදා නායකයෝ එක්දහස් ගණනක් පමණ ආවා. එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආරම්භයත් එක්ක මේ සිද්ධි සංසන්දනය කරලා මේ සිද්ධි මුලින්ම නතර කරන ආකාරය ගැන සාකච්ඡා කළා. අපි එදා ඔවුන්ට කිව්වා අවුරුදු 30 ගණනක යුද්ධයෙන් පස්සේ ඔය අන්තවාදී ක්‍රියා අපේ රටට ඔරොත්තු දෙන්නේ නෑ කියලා. අපි මේ කතාව එතැනින් නවත්වන්නේ නැතිව දිගටම අරගෙන ගියා. ඒ වගේම අනෙකුත් ආගම්වල කණ්ඩායමුත් අපි ගෙනාවා. අපි එතැන විශාල සංවිධානයක් ඇති කළා. මේ නිසා අවසාන වෙනකොට මුස්ලිම් නායකයෝම මේ අන්තවාදී කොටස් ගැන තොරතුරු අපිට දෙන්න පටන් ගත්තා. එදා ඒ අය කිව්වා එයාලාගේ පල්ලිවලින් මේ අන්තවාදීන් එළවනවා කියලා. ඒත් අපි කිව්වා එහෙම කරන්න එපා මේ අය හරි පාරට ගමුයි කියලා. ඒ වැඩපිළිවෙළ ඉතාම සාර්ථක ලෙස ඉදිරියට ගලාගෙන ආවා.
එතකොට ඒ කරපු දේවල් දැන් වෙන්නේ නැද්ද?
මට ආරංචි වූ හැටියට 2015න් පස්සේ මේ සියලු දේවල් මඟ නැවතුණා. මේ නිසා මේ ප්‍රශ්නය අයාලේ ගියා.
ඔබ කියන්නේ බුද්ධි අංශය විතරක් නෙමෙයි ආරක්ෂක අංශයේ පරිපාලනයේ පවා දුර්වලතාවය නිසා මේ තත්ත්වය ඇතිවුණා කියලාද?
රටක ආරක්ෂාව කියන දේ ඇඟට කාවදින්න ඕන දෙයක්. මේක සංස්කෘතියක්. අපි ඒකට ඒ නිසාම කියනවා නැෂනල් සික්‍යුරිටි කල්චර් කියලා. යුද්ධයේ අවසානයෙන් පස්සේ ඒ කල්චර් එක අපි ඉතාම හොඳින් ගොඩනැගුවා. හැබැයි ඒ කල්චර් එක ගොඩනැගෙන්නට පහළ සෙබලාගේ ඉඳලා ඉහළට එනකම් කටයුතු කරන්න පරිසරය ගොඩනැගිලා තියෙන්න ඕන. යුද්ධ කාලයේ පරිසරය තිබුණා. ඉස්සර තොරතුරු දුන්නේ පාරේ යන ත්‍රීවීල් රියදුරෝ. ඒ දුන්නේ යුද හමුදාපතිටවත් බුද්ධි ප්‍රධානියාටවත් නෙමෙයි. අපි ගොඩනැගූ ආරක්ෂක වැඩපිළිවෙළට. සරලවම කිව්වොත් ආරක්ෂක දැලක් එදා තිබුණා. අන්න ඒ ආරක්ෂක දැල 2015න් පස්සේ සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. මේ නිසා ඒ ආරක්ෂක සංස්කෘතිය බිඳ වැටුණා.
ඔය සංස්කෘතික බිඳ වැටීම වෙන්නේ 2015 දේශපාලන පෙරළියත් එක්ක. ඔබ කියන්නේ එතැනින් බිහිවුණු නායකත්වයේ ප්‍රශ්නයක් නිසාද මේ දේ වෙන්නේ?
නායකත්වය විතරක් නෙමෙයි ඔවුන්ගේ දර්ශනයත් මේකට බලපෑවා. ඒ අය ජාතික ආරක්ෂාව කියනකොටම ඒක ඇඟට ගත්තේ ජාතික අපරාධයක් හැටියට. ඒක පැහැදිලිවම පෙනුණා සමහර නායකයෝ කතාකරන හැටියෙන්ම. නොදන්න අයත් ආරක්ෂාව ගැන කතාව. සෙබළා කුණුකෑල්ල වගේ වුණා. ත්‍රිවිධ හමුදාපතිවරුම හොරු කියන තැනට ගෙනාවා.
ඒ කියන්නේ ඔබට අනුව ආරක්ෂක දැලට සිදුවුණු හානිය නිසා තමයි මේක වුණේ?
පැහැදිලිවම. ඔබ දන්නවා බුද්ධි නිලධාරීන්ට වුණු දේ. මම දැක්කා පසුගිය දවසක එක්තරා දේශපාලනඥයෙන් කිව්වා බුද්ධි අංශයේ නිලධාරීන් හත් අට දාහක් ඉන්නවා දෙන්නෙක් තුන්දෙනෙක් නැතිවුණා කියලා එහෙම කඩාවැටීමක් වෙන්නේ නැහැ කියලා. මතක තියාගන්න දෙන්නෙක් තුන්දෙනෙක් වුණත් බලපානවා සමස්ත ක්‍රමවේදයම කඩා වැටෙන්න. ඒකට හේතුව තමයි රටේ පාලකයෝ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව තැකීමක් නැහැ කියලා තේරුණාම ඔවුන් පසුබහිනවා. මතක තියාගන්න සොල්දාදුවකුගේ සේවය වැඩිවන්නේ රටේ නායකයන් රටට තියෙන ආදරයත් එක්ක.
සරත් ෆොන්සේකා මහතාගේ සිට ඔබ යුදහමුදාපති ධුරය තාක් රටේ සිදුවුණු ඇතැම් අපරාධවල සෙබලුන් සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා. ඔබ කියන්නේ ඒවා අසත්‍යයි කියලාද?
තනිකරම මේවා දේශපාලන පලිගැනීම්. මමත් පුද්ගලිකව ගිහිල්ලා තියෙනවා හමුදාපති හැටියට පරීක්ෂණවලට ප්‍රකාශ දෙන්න. එහෙම ප්‍රශ්න පෙනෙනකොට අපට තේරෙනවා යම් යම් දේශපාලන පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන අහනවා කියලා. අපි බබ්බු නෙමෙයිනේ. අපිට ප්‍රශ්න අහද්දී තේරෙනවා උගුරට හොරා බෙහෙත් බොනවා කියලා. සමහර අයගේ නම් කිව්වොත් බේරිලා යන්න පුළුවන් කියලා කියලා තියෙනවා.
ඔබ හිතන හැටියට පැවැති ආරක්ෂක තත්ත්වය කොයිතරම් දුර්වලද?
මෙහෙමයි. ඔය ගහපු ප්‍රහාර සොෆ්ට් ටාගට් හැටියට තමයි සලකන්නේ. මතක තියාගන්න ඒ තිබුණ ආරක්ෂක ක්‍රමවේද අනුව ඊට එහා ගිය ප්‍රහාරයකට වුණත් ඔවුන්ට හැකියාව තිබුණා. ඒකට හේතුව මේ ජාතික ආරක්ෂාව පහළට වැටී තිබීම.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා කිව්වා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මේ අන්තවාදයට කිරි පෙව්වේ කියලා. ඔබ එතුමාගේ කාලයේ හිටපු යුදහමුදාපති. ඒ කතාව ඇත්තද?
එහෙම බැලුවොත් ඒ අය ලෝකයේ දරුණුම වුණු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයටත් කිරිපොවපු අයනේ. හැබැයි ඔය කියන කාලයේ ඉතාම තෘප්තියෙන් වැඩකළා. මොකද ඒ අයට වැටහීමක් තිබුණා. මතක තියාගන්න මේ කිසිම කෙනෙකුට කිරි පෙව්වේ නෑ. ඒ අය නැති කරපු එකයි කළේ.
ඔබ දකින්න ඇති මේ සිද්ධියත් එක්ක ලියුම් වගයක් එහෙ මෙහෙ වන ආකාරය. ඒ ලියුම්වලට අනුව ඔබ හිතන්නේ කොතැනද වැරදුණේ?
වැරදුණේ නම් අර මම මුලින් කිව්ව කරුණයි. රටේ ආරක්ෂාවට තිබුණු මූලිකත්වය නැතිවුණ එක. එහෙම වුණා නම් හරියට මේ දේවල් සිදුවෙනවා. ඒ නිසා දැන් බෝලේ එහාට මෙහාට පාස්කරලා වැඩක් නැහැ. මම නම් කියන්නේ එහෙම වැරැද්දක් තියෙනවා නම් ඒ අයට දඬුවම් දෙන්න ඕන.
මේ සිද්ධියෙන් පස්සේ ආරක්ෂක හිටපු ලේකම්තුමා මේ ප්‍රහාරය සම්බන්ධව එතරම් බරපතළ ලෙසින් සිතුවේ නැහැ කියලා ප්‍රකාශයක් කළා?
ඒකෙන්ම පැහැදිලිව පේනවානේ මේ අයට මේ විෂය සම්බන්ධව බරපතලතාවය නැතිකම. විෂයට අදාළව මුහුකුරා බවක් ඔහුට නැහැ. ඔහු හොඳ පරිපාලන නිලධාරියෙක්. හුඟ දෙනෙක් සිතනවා රටේ ආරක්ෂක ලේකම් ධුරයට පරිපාලන නිලධාරියෙක් එන්න ඕන කියලා. එහෙම හොඳයි මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැත්නම්. ආරක්ෂක ලේකම් කියන්නේ පොතේ පතේ දැනුමට විතරක් වැඩකළයුතු කෙනෙක් නෙමෙයි.
දැන් මේ වෙනකොට තීරණය කරලා තියෙනවා මේකට ආරක්ෂක ලේකම් සහ පොලිස්පතියි වගකියන්න ඕන කියලා. ඇත්තටම ඒ දෙන්නද වගකියන්න ඕන?
මේක ඉතින් කොහෙන් හරි අඩු තැනින් වතුර ගලාගෙන යන්න එපැයි. ඒ නිසා එසේ සිදුවීය කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේකට ගොඩක් අය වගකියන්න ඕන. ඔබ දැකලා ඇතිනේ මෙලෝ දෙයක් නොදන්න මැති ඇමැතිවරු ඇවිල්ලා ජාතික ආරක්ෂාව පලු ගහන හැටි. මේ විහිලු තහලු විගඩම් සමාජයට බලපානවා.
එක්සත් ජාතික පක්ෂය ගෙනාපු චෝදනාව තමයි ජනාධිපතිතුමා ආරක්ෂක කමිටුවට අගමැතිවයි ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමාවයි ගෙනාවේ නෑ කියලා. ඔබ හිතන්නේ මොකද?
ඕවා ඉතින් පොඩි ළමයින්ගේ කතානේ. රටේ ජනතාව ඡන්දෙ දීලා යවන්නේ අපේ ආරක්ෂාව ඔවුන්ගේ අතට දීලා. එහෙම මොහොතක මෙවැනි කතා කීම කිසිසේත් සුදුසු නැහැ.
මේ සිද්ධියත් එක්ක අපි දැක්කා තැන් තැන්වලින් ආයුධ ගොඩගන්නවා. ඒවා අද ඊයේ ගෙනාපුවත් නෙමෙයි. මෙච්චර දේවල් රට ඇතුළේ තිබුණේ කොහොමද?
ඒක තමයි මෙතැන තියෙන ප්‍රශ්නය. මේවා පිටුපස සාමාන්‍ය අය විතරක් නෙමෙයි මේ පිටුපස්සේ බලවත් අයත් ඉන්නවා.
ඔව්. දේශපාලනඥයන්ගේ නමුත් තියෙනවා?
මේ රටේ සෑහෙන ජාවාරම් තියෙනවා. මේ පිටුපස්සේ ප්‍රබල අය ඉන්නවා. මට කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැහැ. මේක සමස්තයටම බෙදිලා යනවා. හොඳ අය ඇති. ඒ හොඳ අයත් නිශ්ශබ්දව සිටීම මෙතැන ප්‍රශ්නයක්.
ගොඩක් දෙනෙක් කියනවා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් එකම මනුස්සයා සරත් ෆොන්සේකා මහත්තයා කියලා?
මගේ පෞද්ගලික අදහස අනුව එතුමා යුද්ධය කාලේ සෑහෙන සේවයක් කළ නිලධාරියෙක්. නමුත් ඔහු දේශපාලනයට ගෑවුණාත් සමඟ විශාල පිරිසක් ඔහු තරහා කරගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, එතුමා විතරක් නෙමෙයි වෙන ඕනෑම පුද්ගලයෙක් එතැනට යෙදීම හරහා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. සම්පූර්ණ ආරක්ෂක මණ්ඩලය වෙනස් කරන්න රජය හා නායකයෝ කටයුතු කරන්න ඕනෑ. එහෙම කට්ටිය එකතු වෙලා වැඩ කළොත් අනෙක් අයත් ඉබේම එතැනට එනවා.
අපි දැක්කා පසුගියදා විපක්ෂනායක තුමා හමුවෙලා ඔබලා සාකච්ඡාවක් කළා. මොකක්ද මේ සාකච්ඡාව?
ඔව් අපි ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරු නම දෙනෙක් පමණ විපක්ෂනායකතුමා හමුවුණා. එතුමා යෝජනා කළා අපට යෝජනාවක් දෙන්න කියලා වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව. අපි කීපවතාවක් එතැනදී සාකච්ඡා කළා. අපේ වාර්තාව මේ සති අන්තයේ භාරදෙනවා. ඒ වාර්තාවේ අපි කියන සියලු දේ අඩංගුයි.
මේ සිද්ධිය සම්බන්ධ පිරිස් සිවිල් සමාජයත් එක්ක ගැවසුණු අය. එතැනදී අභියෝගයක් තිබෙනවා ත්‍රස්තවාදීන් හඳුනාගන්න. ඔබ හිතන්නේ මේ ප්‍රශ්නය කොපමණ කාලයකින් විසඳාගන්න පුළුවන් වේවිද?
මේ ප්‍රශ්නය විසඳාගන්න කෙටි මාර්ග නැහැ.
දැනට යන පරීක්ෂණ ගැන ඔබතුමා සෑහීමකට පත්වෙනවාද?
යම්කිසි ප්‍රගතියක් තිබෙනවා. හැකි ඉක්මණින් සියලුදෙනා එකතුවෙලා සාකච්ඡාවකට එන්න ඕනෑ. ඊට පස්සේ විසඳුම් හොයන්න ඕන. එහෙම නොවුණොත් පොල්පිත්ත පෑගුවා වගේ වෙන්නේ. එක පැත්තක් පෑගුවාම තව පැත්තක් උඩ යනවා. මේකට උත්තර හොයන්න පුළුවන් හොඳම දේ 1983 සිද්ධියත් එක්ක පේනවා. මේක ඉතාම වෘත්තීමය විදිහට හසුරුවන්න ඕන ප්‍රශ්නයක්. දැන් සියලුදෙනා එකතුවෙලා ඉන්නේ. මේ මොහොත ආරම්භයක් ඉදිරි සුභවාදී අනාගතයට.
කාදිනල් තුමා කිව්වා මේ සිද්ධියෙන් පස්සේ වෙන ආරක්ෂක වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ කියලා?
ඒක ඇත්ත. සිද්ධියෙන් පස්සේ සිදුවන ආරක්ෂක වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. ඒක හරියට නොකළොත් කළු පැල්ලම එන්නේ ආරක්ෂක අංශයට සහ රජයට.
ඔබට රජයෙන් ආරාධනාවක් කළාද යම්කිසි තනතුරක් බාරගන්න?
එහෙම කිසිම ආරාධනාවක් කළේ නැහැ. මම දැක්කා තැන් තැන්වල ප්‍රචාරය වෙනවා මට කතා කළා කියලා. නමුත් එහෙම කිසිම ආරාධනාවක් නැහැ.
ඔබට ආරාධනා කළොත්?
වර්තමාන තත්ත්වයත් එක්ක රටට යම් දෙයක් කරන්න අවස්ථාව ලැබුණොත් ඒ වෙනුවෙන් නොපැකිළිව ඉදිරිපත් වෙනවා.
► ගයාන් ගාල්ලගේ