♦ ඇමති රිෂාඩ්ව රැකගන්න ගියොත් ඡන්දදායකයෝ නැතිවේවි
♦ සැබෑ අපරාධකාරයෝ එළියේ: විපක්ෂයේ අය හිරේ
♦ අයි.එස්. කාරයෝ 166 දෙනෙක් එදා අපි රටින් පැන්නුවා
♦ ආණ්ඩුව බුද්ධි නිලධාරීන් කඩා වැට්ටුවා
♦ ජනාධිපතිතුමා කරන්නේ බෝලෙ පාස් කරන එක
♦ අපි මේ ඉටු කරන්නේ විපක්ෂයේ කාර්යයයි
- පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
පාස්කු ප්‍රහාරයත් එක්ක දේශපාලන ලෝකය කැළඹීමට පත්වෙලා. විවිධ පාර්ශ්වවලට ඇඟිල්ල දික් වෙනවා. ඔබ හිතන්නෙ මේ අවස්ථාවේ විපක්ෂයේ කාර්යභාරය නිසි අයුරින් ඉටුවෙනවාද?
ඇත්ත වශයෙන්ම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වගකිවයුතු විපක්ෂයක් හැටියට විපක්ෂය හැසිරිලා තිබෙනවා. මේ සිද්ධි සිදුවුණු මොහොතේම රටේ රාජ්‍ය නායකයන්ටත් කලින් ඒ තැන්වලට ගියේ විපක්ෂනායකතුමා. ජනතාව එක්ක දුක බෙදාගත්තා. ඒ අවස්ථාවේ ජනතාවට නායකයෙක් ඉන්නවා කියන හැඟීම ඇතිවුණු නිසා ජනතාව කලහකාරී නොවී තමන්ගේ දුක බෙදාගත්තා. දෙවැනි කාරණය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සර්ව පාක්ෂික සමුළු වර්ජනය කිරීමේ සම්ප්රදාය වෙනුවට අපි එයට සහභාගි වුණා. අපි රටේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න ඒ අවස්ථාවේ කැපවුණා. ඒ වගේම ත්‍රස්තවාදය නිම කරන්න මැදිහත් වුණ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කැඳවලා වාර්තාවක් සකසලා රටේ ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළක් අපි ජනාධිපතිවරයාට දුන්නා. ජනාධිපතිත් අගමැතිත් දරුවන්ට පාසල් එන්න කිව්වාට පාසල් ගියේ නැහැ. අපි විපක්ෂය හැටිය විපක්ෂ නායකතුමාම එළියට බැහැලා දෙමව්පියන්ට ආරාධනා කළා දරුවෝ පාසල් එවන්න කියලා. ඒ වගේම රිෂාඩ් බදුයුදීන්ට විරුද්ධව ඔහු මුස්ලිම් අන්තවාදය පෝෂණය කළ නිසා අපි විශ්වාසභංගයකුත් ගෙනැල්ලා තිබෙනවා. ඒ නිසා විපක්ෂය සාර්ථකව කටයුතු කරලා තිබෙනවා.
ඔබලා නොයෙකුත් කතා කිව්වාට ආණ්ඩුවෙන් ගෙනන තර්කය තමයි විපක්ෂය මේ කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න වැඩක් කියලා?
දැන් ඔබට අපි කරපු වැඩ ටික කිව්වා. ඒ ටිකේ කොහොමත් තියෙනවාද අවස්ථාවාදී බවක්. හරි දැන් බලන්නකො ආණ්ඩුව මොකක්ද කරන්නේ කියලා. ජනාධිපතිතුමා බෝලය පාස් කිරීමේ ක්‍රමවේදය නේද තාමත් අනුගමනය කරන්නේ. මේ අර්බුදය අස්සේ සභානායකතුමා මොකද කළේ? ජනාධිපතිතුමාට මඩ ගහලා ලියුමක් තැපැල් කළා පන්සල්වලට. ඒ වගේම ආණ්ඩුවට උදව් කරන අපිව පහුගිය කාලේ වෙච්ච සිද්ධිවලට කොටුකරන්න උත්සාහ කරනවා. අපි වගකීම් සහගතව වැඩ කළේ. ආණ්ඩුව තමයි අවස්ථාවාදී වුණේ.
මේ ත්‍රස්තවාදී වෙච්ච සහරාන්ලාට මුදල් ආධාර දුන්නේ රාජපක්ෂ ආණ්ඩුව ප්රමුඛ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා චෝදනා තිබෙනවා. ඒක ඇත්තද?
ඒක පට්ටපල් බොරුවක්. ත්රස්තවාදයට උදව් කරපු බුද්ධි අංශ නිලධාරීන් හරි කවුරැ හරි ඉන්නවා නම් ඇයි ආණ්ඩුවට ඒ ගැන හොයන්න බැරි. ඒ නිසා මේක පට්ටපල් බොරුවක්. මේ කරන්න හදන්නේ රණවිරු දඩයමේ තවත් කොටසක්. කොහොමත් කියන්න ඕන මේ අය බුද්ධි අංශ කියන්නේ මොනවාද කියලා දන්නේ නැහැ. බුද්ධි අංශ නිලධාරීන් තොරතුරු ගන්න විවිධ ක්‍රමවේද සිදුකරනවා. ඔත්තුකරුවන්ට මුදල් දෙනවා. ඒවා නීත්‍යානුකූලව සටහන් කරලා සිදුකරන්නේ. මේ චෝදනාව හැදුවේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් වුණේ මාධ්‍ය ප්‍රකාශකට මොළයක් නැතිකමයි.
ඔබලා චෝදනා කරනවා මේ රණවිරු දඩයම නිසා තමයි මේ ආරක්ෂාව කඩා වැටුණේ කියලා. හැබැයි ආණ්ඩුව කියනවා අත්අඩංගුවේ ඉන්නේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු සංඛ්‍යාවක් කියලා. ඒ නිසා එහෙම බුද්ධි අංශ කඩා වැටෙන්නට පුළුවන්ද කියලා ආණ්ඩුව ප්‍රශ්න කරනවා?
නැවත වතාවක් කියන්න තියෙන්නේ ආණ්ඩුවට බුද්ධි අංශ ගැන දැනුමක් නැහැයි කියන එක තමයි. බුද්ධි අංශ ප්‍රධානියා ඒ තනතුරට ආවේ දේශපාලන සහායෙන්. ඒ ආපු ගමන් බුද්ධි නිලධාරීන් ඒ ඇමැතිවරයා ගාවත් ඉඳලා තිබුණා. නමුත් බුද්ධි නිලධාරියා කළේ එම නිලධාරීන් ඒ ස්ථානයෙන් ඉවත් කරන එක. ඔය මම කිව්වේ උදාහරණයක්. ඔහොම දේවල් වෙනකොට බුද්ධි නිලධාරීන්ට හිත හදාගෙන වැඩ කරන්න පුළුවන්ද? මේ නිසා සමහර බුද්ධි නිලධාරීන්ගේ ජීවිත බේරාගන්න වැඩකරන බුද්ධි නිලධාරීන්ටත් නිහඬ වන්න සිදුවුණා.
ආණ්ඩුව කියන දෙයක් තමයි නැගෙනහිර සහරාන්ලා බිහිවුණේ දකුණේ වෙනම අන්තවාදයක් රාජපක්ෂ ආණ්ඩුව විසින් බිහිකරපු නිසා කියලා. ඒක ඇත්තද?
ඔය කාරණෙත් ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ වහබ්වාදය පිළිබඳ ආණ්ඩුවේ නොදැනුවත්කම. වහබ්වාදය ආරම්භ වෙන්නේ 18 වැනි සියවසේ සෞදි අරාබියේදී. අයි.එස්. ත්රස්තවාදීන් බෝම්බ පිපිරවූ පළමුවෙනි රට ලංකාව නෙමෙයි. ආසියාවේත් රටවල් කිහිපයක පිපුරවලා තිබුණා. මොවුන්ට ආධාර අනුබල දුන්නේ ඔවුන්ගේම ඇතැම් අය. අපේ බුද්ධි අංශ නිලධාරීන් වහබ්වාදය පතුරන සිරියාවේ පුහුණුවීම් කළ 166 දෙනකු අඳුනාගෙන හිටියේ. ඒ අය මේ රටෙන් පිටුවහල් කළා. ඔවුන් ගුරුවරු. මේ සිද්ධිය නිසා ප්‍රධාන මුස්ලිම් පක්ෂ ගොඩක් එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි 21 වැනිදා මේ සිද්ධිය වුණේ. සහරාන් මිනීමරණ කතා කියලා තිබුණේ 2016. නමුත් ඒ වෙලාවෙත් ඔහුව අත්අංගුවට ගත්තේ නැහැ. ඒ වැඩපිළිවෙළ දිගටම කරගෙන ගියා නම් සහරාන් අල්ලා ගන්න තිබුණා. අපි ලැජ්ජා වෙන්න ඕන අල්ලපු රටෙන් කියලත් අපිට ඒක නතර කරගන්න බැරිව ගියා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාත් මේ පිළිබඳව කලින් උසාවියට දැනුම් දීලා තිබුණා. නමුත් ඔහු ඝාතන කුමන්ත්‍රණයකට ඇතුළට ගියා. ඒ අතින් බලනකොට ඔහුව මෙලෙස හිරකිරීමත් කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?
නාලක සිල්වා සම්බන්ධව අපිටත් ප්‍රශ්න තිබෙනවා. ඔහුට ඝාතන චෝදනා එල්ල වෙලා තිබෙනවා. ඒ නැතත් දිගන සිද්ධිය සම්බන්ධව පිටුපස්සේ ඉන්නේ ඔහු. ඔහු ත්‍රස්ත විමර්ශන ප්‍රධානියා වුණාම ත්රස්තවාදීන් සම්බන්ධව තොරතුරු සොයන එක ඔහුගේ රාජකාරි වැඩක්. ඔය කියන හැටියට ඔහු හරියට වැඩේ කළා නම් 2016 වර්ෂයේ මාර්තු මාසය වනවිට සහරාන් ප්‍රසිද්ධියේ මුහුණු පොතේ කියපු ඝාතනය කිරීම් ගැන ඔහුව අත්අඩංගුවට ගන්න තිබුණා. ඒ නිසා නාලක සිල්වාගේ ඇඟෙත් එදා මැරුණු ජනතාවගේ ලේ ගෑවිලා තිබෙනවා.
අපි දැක්කා මේ සිද්ධියෙන් පස්සේ පොලිස්පතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් ඉවත් කරලා පරීක්ෂණ සිදුකරනවා. ඔබ හිතන්නේ ඔවුන් දෙන්නා විතරද මේකට වගකියන්න ඕන?
පැහැදිලිවම. මේ ගැන දැනුවත්ව විදේශයෙන් පවා තොරතුරු ලබා දී තිබියදී ක්‍රියාත්මක නොවුණු සියලුම දෙනා මේකට වගකිව යුතුයි.
මේ සිද්ධියෙන් පස්සේ රටේ තැන් තැන්වල කැරලි කෝලාහල ඇතිවුණා. ඒකට ඍජුවම වගකියන්න ඕන පොහොට්ටු පක්ෂයේ අය කියලා චෝදනා එල්ල වුණා. ඇයි ඔබලා එවැනි දෙයක් සිදුකළේ?
ඕක අලුත් තත්ත්වයක් නෙවෙයි. ආණ්ඩුව දිගන සිද්ධිය වෙලාවෙත් අපිට ඔය චෝදනාව එල්ල කළා. රවුෆ් හකීම් ඇමැතිවරයා ප්‍රසිද්ධියේ කිව්වේ නැත්නම් දිලුම් මන්ත්‍රීතුමා ආවේ මේක සමථයකට පත් කරන්න කියලා එදා ඔහුව අත්අඩංගුවට ගන්නවා. මේ ආණ්ඩුවේ තිබෙන පහත්කම තමයි තමන්ට උදව් කළ විපක්ෂයට වරද පැටවීමේ ක්‍රමවේදය. ආණ්ඩුව සම්පූර්ණයෙන් අවස්ථාවාදී දේශපාලනය යෙදිලා ඉන්නේ. ඒ නිසා ආණ්ඩුවට උදව් කරනවා කියන එක ගැන අපිට හිතන්න වෙලා තිබෙනවා. පැහැදිලිවම කියන්නේ එදා මිනුවන්ගොඩ සිද්ධිය වෙනකොට නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් එතැන. වැඩේ වෙන්නත් කලින් ඔහු ආවා. එතකොට වැඩේ වෙන්න කලින් ඔහු දැනගත්තේ කොහොමද? අනෙක් එක මේ ගොල්ලෝ කළේ අර පන්සලක දායක සභාවේ අහිංසක කට්ටියක් ගෙනිහිල්ලා හිරේ දාපු එක. මොවුන් අහිංසක ජනතාවත් තම දේශපාලන විරුද්ධ මතවාදීන් මර්දනය කිරීම සඳහා බලය යොදවනවා.
මෙතැනදී පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්දට චෝදනා එල්ලවෙනවා. ඔහු මිනුවන්ගොඩ සිද්ධියට සම්බන්ධ බවට?
මම මුලදීම කිව්වානේ.... සැබෑ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට විපක්ෂයේ අය සිරගත කිරීමයි මොවුන්ගේ අරමුණ. මධුමාධව දිවුලපිටියේ පුද්ගලයකුට කතා කරලා එයා හම්බවෙන්න රෑ මීටින් එකක් දාගෙන තිබුණේ. ඔහු එලෙස යන අතරතුර තමයි වාහන තදබදයට බැහැලා බලන්නේ. ඒ සියලුම සංවාද දුරකතනයේ තිබෙනවා. ඊට අදාළ සී.සී.ටී.වී. දර්ශණ තිබෙනවා. හැබැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා තැන් තැන්වල කියනවා මධුමාධව හිටියා කියලා තැන් තැන්වල. ඒක අමූලික බොරැවක්. මධුමාධව කුලුනු පරීක්ෂාවක දුරකතන තොරතුරුත් අරගෙන තිබෙන්නේ. ඔහු මිනුවන්ගොඩ නගරයේ ඉඳලා තිබෙන්නේ විනාඩි 10ක කාලයක්. එතකොට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද විනාඩි 10ක් ඇතුළත. ඒ නිසා මධුමාධවගේ ඇඟ උඩ වරද පටවලා සිදුවූ වැරැද්ද වහගන්න දඟලන පිරිසක් ඉන්නවා. අනෙක නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කවුද කියලා අපි හොඳට දන්නවා. ඔහු එජාපයට සම්බන්ධ කෙනෙක්. අපි දේශබන්ධු තෙන්නකෝන් මහත්මයාට අනතුරු අඟවනවා මේ කැත ක්‍රීඩාව නවත්වන්න කියලා. ඔහුට මම කියනවා ඔබ කෙටුවේ වැරුදි ගහට කියලා මේ පාර.
මධුමාධව අරවින්ද වැරැද්දක් කළේ නැත්නම් ඇයි පොලිසියට නොගිහින් ප්‍රකාශයක් නොදී කට්ටි පනින්නේ?
අන්තර්ජාතික සිවිල් හා දේශපාලන ප්රඥප්ති පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළොත් ඇප ලබාගන්න මාස හය හතක් යනවා. අපි ඒවා දිගන සිද්ධියේදී දැනගත්තා. මේ නිසා අපි 23 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා මේ ඇත්ත කතාව කියලා. අපි හිතනවා ඔහුට යුක්තිය ඉෂ්ට වෙයි කියලා.
රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහිව මේ වෙනකොට විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ලා තිබෙනවා. ඇයි ඔහුට විශ්වාසභංගයක් ගෙනාවේ. ඔහු විතරද වැරුදි?
මෙහෙමයි ත්රස්තවාදයට උදව් කරලා පෝෂණය කළාට චෝදනා එල්ලවෙන මුස්ලිම් දේශපාලකයෝ තුන් දෙනයි ඉන්නේ. දෙන්නෙක් ආණ්ඩුකාරවරු. රිෂාඩ් බදියුදීන් කියන්නේ ඇමැතිවරයෙක්. පාර්ලිමේන්තුවේ තීරණයක් ගන්න පුළුවන් රිෂාඩ් ඇමැති ගැන විතරයි. ත්‍රස්තවාදී ක්‍රියාවලට සහාය දෙමින් ත්රස්තවාදීන් බේරාගන්න කටයුතු කළ බවට නිශ්චිත තොරතුරු තියෙන එකම කෙනා රිෂාඩ් ඇමැතිවරයා විතරයි. ඒ නිසා අපි නිශ්චිතවම තොරතුරු තිබෙන පුද්ගලයාට එරෙහිව පළවෙනි ප්‍රහාරය එල්ල කළා.
දැන් මේකට ආණ්ඩු පක්ෂයේ අයගේ සහයෝගයක් තිබෙනවාද?
අනිවාර්යයෙන්ම ඔව්. අපි දන්නවා මේකට විශාල පිරිසක් උදව් කරනවා කියලා. එහෙම නොකළොත් එයාලගේ දේශපාලන ගමන විනාශ වෙනවා. මම ඒකයි මේ යෝජනාව ගෙනාපු ගමන් කිව්වේ මේක දිනුවත් දිනුම්, පැරදුණත් දිනුම් කියලා. මේක දින්නොත් අන්තවාදී අමාත්‍යවරයකුගේ බලය අහිමි වෙනවා. මේක පැරදුණොත් එවැනි අන්තවාදී අමාත්‍යවරයකු රැකගැනීමට ඉදිරිපත් වුණු මන්ත්‍රීවරු කවුද කියන මේකෙන් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක කොහොමත් දිනුම්.
ආණ්ඩු පක්ෂයේ අයනම් කියන්නේ රිෂාඩ් ඇමැතිවරයා හට සහයෝගය දක්වන බවයි?
මේකෙන් වෙන්නේ ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය රැකගන්න කිසිම ඡන්ද දායකයෙක් ඉතිරිවෙන එකක් නැහැ.
මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනැල්ලා තිබෙනවා. ඇයි ඔබලාට බැරිවුණේ? ඔබලා සහයෝගය දක්වනවාද ඒකට?
ඒක ආණ්ඩු විරෝධී විශ්වාසභංගයක් නෙමෙයි. ඒක ආණ්ඩුව රැකගැනීමේ විශ්වාසභංග යෝජනාවක්. අපි දැක්කා 2016 මාර්තු මාසයේ 2016 අගෝස්තු මාසයේ ගෙනා යෝජනාවලදී ආණ්ඩුවට බහුතරය තියෙන බව. මේකෙන් පුළුවන් රිෂාඩ් ඇමැතිවරයාට කියන්න මාව රකින්න ආණ්ඩුවේ සහයෝගය ලබා නොදෙන්නේ නම් ආණ්ඩුව රකින්න තමන්ගෙ පස්දෙනාගේ සහයෝගය ලබා නොදෙන බව. ඒ නිසා ජවිපෙට රිෂාඩ්ව රැකගන්න එක මගහරින්න බැහැ. ඒ දොගොල්ල ගැටගහලා තිබෙන ප්‍රධාන දම්වැල තමයි මොහොමඩ් ඊබ්‍රහිම් යූසුප් කියන සුප්‍රකට ව්‍යාපාරිකයා. ඒ නිසා ජවිපෙට සිදුවෙලා තිබෙනවා උපක්‍රමයක් භාවිතා කරලා ආණ්ඩුව රැකගන්න.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු කිව්වා රිෂාඩ් ඇමැතිවරයාට ගෙනාපු විශ්වාසභංගය ගෙනාවේ ඒකාබද්ධයට ඔහු එකතු කරගන්න කියලා. ඔබේ අය ඒ බව යෝජනා කළා කියලත් ඔහු කිව්වා කියලා ඒ අය කිව්වා?
ඔබ දකින්න ඇති මමත් විමල් වීරවංශ මන්ත්රීවරයාත් පැහැදිලිවම කියලා තිබෙනවා රිෂාඩ් ඇමැතිවරයා ඉන්න ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැයි කියලා. එහෙම කියලා තියෙද්දීත් අපේ කෙනෙක් කතා කරයි කියලා විශ්වාස කරන්න බැහැ. ඒ නිසා අපිට ඔහුව කිසිම ආකාරයකින් එකතු කරගන්න වුවමනාවක් නැහැ. ඔහු එවැනි ප්‍රකාශයක් කරන්න ඇති බාගෙට උමතු වෙලා. රිෂාඩ් ඇමැතිවරයාව එහෙම ගන්න ඕන නම් ඔහුට විරැද්ධව විශ්වාසභංගයක් ගේන්නෙත් නැහැ.
අවසාන වශයෙන් ඔබගෙන් අහන්න තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන්න හේතුවක් වූවා යැයි ඔබේ අයම කියන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලැබිලා තිබෙනවා. ඔබ හිතන්නේ ඒ ගැන මොන වගේ අදහසක්ද?
මම මුල ඉඳන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධව විරුද්ධ මතයක හිටියේ. මම කිව්වේ මදුරැවකුට වෙඩි තිබ්බා වගේ සුළු වරදකටයි ඔහු සිරගත කළේ. එනිසා ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මම ස්තූති වන්ත වෙනවා.
► ගයාන් ගාල්ලගේ