මුස්ලිම් ජනතාවගේ සහයෝගය නිසා ත්‍රස්තවාදීන් කොටු කරගත්තා
පක්ෂ මතවාද පැත්තකින් තියලා රට වෙනුවෙන් එකතු වෙන්න ඕනෑ
ඡන්දෙ දෙන විදිහ කතා කරන්න ආපු අයට මම උත්තර දුන්නා
මට ලොකුම දේ මැතිවරණ නොවේ ජනතාවයි
මේ දේශපාලනය ඇතුළේ අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මකයි
මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් නොවේ
- ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන
♦ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ගොඩක් දෙනෙක් ඇඟිලි දික්කරන්නේ ආණ්ඩුවට. ඇත්තටම මේකට වගකීම ආණ්ඩුව ගතයුතුයි නේද?
අද ආණ්ඩු දෙකක් තියෙනවා මේ රටේ. එකක් තමයි විධායක බලතලත් සහිතව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අනිත් එක අගමැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ කැබිනට් මණ්ඩලය. නමුත් මීට කලින් පැවතුණේ මේ දෙකම එකතු වෙලා එක කැබිනට් මණ්ඩලයක්. ඒ වගේම වර්තමානයේ හමුදාවට අණ දෙන්නේ, ආරක්ෂක අංශ පාලනය කරන්නේ ජනාධිපතිවරයා. එතකොට බුද්ධි අංශ වාර්තා පවා යන්නේ ජනාධිපතිවරයාට. ඔක්තෝබර් මාසේ ඉඳන් ආරක්ෂක කවුන්සිලේට, ආරක්ෂක රාජ්‍ය ඇමතිට කතා කරලත් නෑ. එතකොට මේකෙ තියෙන භයානකකම අපේ ආණ්ඩුවේ සිටින කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. ඒ අනුව බලද්දි වැඩිම බරක් තියෙන්නේ විධායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි.
♦ එහෙම කියලා ඇඟ බේරගත්තම හරිද?
නෑ. එහෙම කියලා අපිට ඒ වගකීමෙන් මිදෙන්න බෑ. මම පිළිගන්නවා. අපි සියලු දෙනාටම ඒ වගකීම තියෙනවා. ඒක වළක්වා ගැනීමට ගතයුතු ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා අපිට හොයන්න පුළුවන්. ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙය අදාළ තැන්වලට හරියට දැනුම් දීලා තිබුණනම් මේක අවම කරගන්න තිබුණා.
♦ 2015 අගෝස්තු මාසෙදි මිනිස්සු ඡන්දෙ දීලා ඔබලා බලයට පත්කරගත්තේ මේ රට පාලනය කරගන්න සුදුසුම අය හැටියට. මෙතන තියෙන්නේ ඔබලගේ පරිපාලනය උඩ මතබේදාත්මක ගැටුමක්. ඒක ඔබ කිව්වා. ඒ ප්‍රශ්නෙ මැරිච්ච මිනිස්සුන්ටවත් ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ටවත් අදාළ නෑ නේද?
ඒ කතාව ඇත්තටම හරි. ඒ නිසාම තමයි මාත් එක්ක ආපු මන්ත්‍රීතුමත් ලිඛිතව ඉල්ලීමක් කළේ පාට පක්ෂ පැත්තකින් තියලා එකතු වෙලා මේ ප්‍රශ්නෙ විසඳමු කියලා. මොකද මේක කරන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි. මොකද එතුමට සියලු පක්ෂ එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම දැන් අවශ්‍ය මේ රටේ දේශපාලන පක්ෂ මතවාද පැත්තකින් තියලා රට වෙනුවෙන් එකතු වෙන්න ඕන.
♦ මේ ප්‍රහාරයෙන් පස්සේ මැති ඇමැතිවරු හැසිරුණු අකාරය පිළිබඳ ජනතාව සෑහෙන කලකිරීමක ඉන්නේ. ඔවුන් කියනවා පාලකයන්ට මේ ගැන කනගාටුවක් නැහැ කියලා. ගොඩක් අය කළේ බෝලෙ පාස් කරගත්ත එක.
මේ නැති වුණේ කිසිම කෙනකුට හානියක් නැති අහිංසක පිරිසක්. මීට වඩා මොවුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න අවශ්‍යයි. මේකෙ තියෙන වේදනාව මට පෞද්ගලිකව දැනෙනවා. මේ සිද්ධිය වෙලා තත්ත්පර ගාණක් ඇතුළත මම කටුවාපිටියට ගියා. පැයක් ඇතුළත කොච්චිකඩේ පල්ලියට ගියා. ඒ වගේම දින කිහිපයකට පස්සේ මඩකලපුව පල්ලියට ගියා. ඒ හැම මොහොතෙම දැක්කේ අහිංසක දරුවෝ නැති වෙලා, අබ්බගාත වෙලා ඉන්න ආකාරය. අම්මා තාත්තා නැති දරුවො ඉන්නවා. මේ දුක ගැන තැකීමක් නැති කණ්ඩායමක් ඉන්නවනම් ඒ අයට ඇත්තටම ජනතාව ගැන කැක්කුමක් නෑ. මේ ජනතාවගේ දුක අපිට තේරෙන්න ඕන. එහෙම නැති වුණොත් සාධාරණයක් ඉෂ්ට කරන්න වෙන්නෙ නෑ. මොකද මේක අපරාධයක්. මේ සිදුවෙච්ච අපරාධයට කිසිදු ආකාරයකින් සමාවක් දෙන්න බෑ.
♦ ඔබ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 එක්ක බලද්දි වැඩියෙන්ම මේ ප්‍රහාරයට හානි වෙච්ච ප්‍රදේශ බාරව ඉන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරයා. ඔබ කොහොමද නැවත ආණ්ඩුව ගැන විශ්වාස කරන්න කියලා රටේ මිනිස්සු ආරක්ෂිතයි කියලා ඡන්දයක් ගන්න ගමේ මිනිස්සු ඉස්සරහට යන්නේ?
මම මේ අවස්ථාවේ මැතිවරණයක් ගැනවත් ආණ්ඩුවක් පිහිටුවීම ගැනවත් නෙවෙයි කතා කරන්නේ. මම මේ වෙලාවේ ජනතාව ගැනයි කතා කරන්නේ. මම මේ වෙලාවේ කටයුතු කරන්නේ කතෝලික ජනතාව ආරක්ෂා කරන්න. ඔවුන්ට අවශ්‍ය ආගමික කටයුතු කරන්න අවශ්‍ය පරිසරය සකසලා දෙන්න. මම සිද්ධිය වෙච්ච දවසේ ඉඳලා අද වෙනකල් අවශ්‍ය කටයුතු ජනතාව වෙනුවෙන් කරනවා. විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමා මට සෑහෙන්න සහයෝගයක් ලබා දුන්නා. එතුමා නිසා තමයි මට ගොඩක් දේවල් ඉක්මනින්ම කරගන්න ලැබුණේ.
♦ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පිහිටෙව්වා මේ පාස්කු ප්‍රහාරයක පිළිබඳ පරීක්ෂණ කරන්න. ඒත් ඔබ ඒකෙන් ඉවත් වුණා. ඇයි ඒ එවැනි වගකීමකින් ඔබ ගැළවුණේ?
ඇත්තටම මම අයින් වුණේ මේ විපතට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරන්න ඕන වුණ නිසා. මොකද ගොඩක් අය තවම තුවාල ලබලා, අබ්බගාත වෙලා ඉන්නවා. සමහර අය මානසිකව වැටිලා. ඒ අයගේ ජීවිත නගාසිටුවන්න අනිවාර්යයෙන්ම මම කටයුතු කරන්න ඕන. කියන්න ඕන මේ කමිටුව ඉතාමත් සර්ව සාධාරණ කමිටුවක්. මෙතන තියන ප්‍රශ්නෙ තමයි මේක පූර්ණ කාලීන කමිටුවක් මේ ප්‍රශ්නෙ ඉවරවෙනකල්ම.
♦ ඔබට හිතෙන්නෙ නැද්ද ඔබේ ජනතාවට වුණ අසාධාරණය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න තිබ්බ අවස්ථාවක් ඔබ මගහැරගත්තා කියලා.
කවුද වැරදි කියලා ඔප්පු කරන්න තහවුරු කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේම ආරක්ෂක අංශය ඉන්නවා. ඒක ඒ අය කරයි. ඒ වගේම නීතිපතිවරයත් ඊට අදාළ කටයුතු සිදුකරනවා.
♦ මේ සිද්ධියෙන් පස්සේ ස්ථාන පරික්ෂාවට ලක්වුණා. එහිදී මුස්ලිම් දේවස්ථාන තුළ තිබී කඩු කිණිසි හමුවුණා. මේ හේතුවෙන් රටේ ජනතාව අතර සැක සංකා මතුවෙලා තියෙනවා අනෙකුත් ජනතාව කෙරෙහි. මේක මගහරවගන්න මොකද්ද ඔබ හිතන්නේ ගතයුතු ක්‍රියාමාර්ගේ?
අපිට ප්‍රශ්නෙ තියෙන්නේ මුස්ලිම් ජනතාව එක්ක නෙවෙයි. මෙතන තියෙන්නේ ත්‍රස්තවාදීන් මුස්ලිමේ නාමයෙන් පෙනී ඉන්න එක. අපි දන්නවා මුස්ලිම් මිනිස්සු ත්‍රස්තවාදීන් නෙවෙයි. ඒ අයට ඕනවෙලා තියෙන්නේ සියලුම මුස්ලිම් මිනිසුන් ත්‍රස්තවාදීන් කරන්න. අපි මුස්ලිම් නායකයන්ට කියන්නේ මේ ගැටුම ඇතිකරන්න හදන්නේ අපි අතර කියලා. ඒ වගේම මුස්ලිම් නායකයන් කරන්න ඕන ඒ අය හඳුනාගෙන අපට ඒ අය ඉදිරිපත් කරන්න. ඒ හරහා අපට පුළුවන් මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. අපි කාරැණිකව ඉල්ලනවා මේ ත්‍රස්තවාදීන් නැති කරන්න පරිසරය ගොඩනගලා දෙන්න කියලා. මොකද ඒ අය මේ අයව හඳුනනවා. මේ අයට පුළුවන් ඒ අයව ඉක්මනින් හඳුනගන්න. ගොඩක් අය අවස්ථාවාදී වෙලා මේ ප්‍රශ්නය හරහා සියලුම මුස්ලිම් අය ත්‍රස්තවාදී ගොඩට දාන්න හදනවා. ඒකට අපි විරුද්ධයි.
♦ ජනතාවගෙන් එල්ල වන චෝදනාවක් තමයි මේ මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලනඥයන් පිරිසක් විපක්ෂයේ වගේම ආණ්ඩුවෙත් ඉන්නවා කියලා. ඔබ පිළිගන්නවද එවැනි අය ඔබ අතරේ ඉන්නවා කියලා.
ඔව්. අනිවාර්යයෙන්ම පිළිගන්නවා. යම් යම් සිද්ධිවලින් ඔප්පු වෙලා තියෙනවනේ කවුද ඒ අය කියලා. ගොඩක් දෙනෙක් අත්අඩංගුවට ලක්වෙලත් තියෙනවා. සමහර අයට පරීක්ෂණ කටයුතු සිදුවෙනවා. ඔය සමහර දේශපාලනඥයන් ගාව තිබිලා හමුවන දේවල් එක්ක බලද්දි අපිට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද ඒවා හම්බුණේ කියලා. සමහර අය ගාව සහරාන් එක්ක ගත්ත පින්තූර තියෙනවා. සමහර දේශපාලනඥයෝ විනිසුරැවන් පවා ඉවත් කරලා තියෙනවා. මේ දේවල් එක්ක පැහැදිලිව පේනවා අන්තවාදී කණ්ඩායම් මේ දේශපාලනය ඇතුළේ ක්‍රියාත්මක වනවා කියලා.
♦ මේවට සෘජුවට ඇඟිලි දික්වෙන ඇමැති කෙනෙක් තමයි රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා. ඇයි ඔහුට විරුද්ධව රජයෙන් විනය පියවරක් නොගන්නේ?
ආණ්ඩුව ඇතුළේ විනය ක්‍රියාමාර්ග ගන්න බෑනේ. විනය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් පක්ෂෙට විතරයි. ඒත් එයා අපේ පක්ෂෙ කෙනෙකුත් නෙවෙයි. ඒ නිසාම තමයි කාරක සභාවටත් එතුමා කැඳවන්න තීරණය කරලා තියෙන්නේ. මට කාවවත් රැකබලාගන්න ආරක්ෂා කරන්න උවමනාවක් නෑ.
♦ විරුද්ධ පක්ෂයෙන් ගෙනාපු රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට විරුද්ධ විශ්වාසභංගයට ඔබ පක්ෂව ඡන්දය දෙනවා කියලා ප්‍රකාශ කළා. ඇයි ඔබ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට විරුද්ධ වුණේ?
බොහොම ස්තූතියි ඒ ප්‍රශ්නෙ ඇහුවට. අපි හෘද සාක්ෂියක් තියෙන මන්ත්‍රීවරු. අපිට පක්ෂයේ නායකයා කියලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න කියලා. අපි ආයුධ අතට ගන්නෙ නෑ. ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ නෑ. අපි මේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදීව විසඳන්න ඕන. මම ඒ සඳහා විශාල අරගලයක යෙදිලා ඉන්නවා. මේ අවස්ථාවේ මම හිටගන්නේ රටේ ජනතාවගේ පැත්තේ. ඒ නිසා රටේ ජනතාව වෙනුවෙන් මම මගේ ඡන්දය පාවිච්චි කරනවා. මම පක්ෂය වෙනුවෙන් හිස නමලා කටයුතු කරනවා. හැබැයි මේ අවස්ථාවේ රටේ ජනතාව වෙනුවෙන් මම පෙනී ඉන්නවා.
♦ ඔබ මේක පක්ෂයේ ඉහළට දැන්වුවද?
ඔව් පැහැදිලිවම. මම නැගිටලා කණ්ඩායම් රැස්වීමෙදි කිව්වා මට සමාවෙන්න මේ සියලු දෙනාගේම ප්‍රකාශවලට මම ඇහුම්කන් දුන්නා. නමුත් මට මේ අවස්ථාවේදී ජනතාවගේ තීන්දු වෙනුවෙන් කටයුතු කරන්න වෙනවා. මට මොන බලපෑම් ආවත් මට මෙයට විරුද්ධව කටයුතු කරන්න වෙනවා කියලා මම කිව්වා. මම ජනතාව ඉල්ලන දේ දෙන්නත් කටයුතු කරනවා කියලා කිව්වා.
♦ නවක මන්ත්‍රීවරයෙක් හැටියට ඔබට බය නැද්ද මෙවැනි තීරණයක් ගත්තම නැති ප්‍රශ්න පක්ෂය ඇතුළේ ඇතිවෙන්න පුළුවන් කියලා.
මන්ත්‍රීවරු තරහා වෙන්න පුළුවන්. මම දන්නවා මගේ පක්ෂෙ නායකයා මම හරි තීන්දුවක් ගන්නවනම් මට කිසිම හානියක් කරන්නෙ නෑ කියලා. අනික මම කිසිසේත්ම බය නෑ. මේ දේශපාලනය කියන්නේ සදාකාලික දෙයක් නෙවෙයි. මම ගෙනාපු දෙයකුත් නෙවෙයි. මම අරගෙන යන දෙයකුත් නෙවෙයි. ඒ නිසා මම මේක දීලා යන්න ඕන වෙලාවක සූදානම්. මට මේකෙන් ලබාගන්න දෙයක් නෑ. මම මේ දේ ජනතාව වෙනුවෙන් කරන්නේ. හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න බැරිනම් අපි වෙන දෙයක් කරන එක තමයි හොඳම දේ. මොකද අපිට දේශපාලනය කරන්න රටක් තියෙන්න එපැයි.
♦ දැන් ඔබ විශ්වාසභංගයට පක්ෂ වෙනවා වගේම ඒකට විරුද්ධ වන පිරිසකුත් ඉන්නවා. ඇයි ඔබට පේන හරි වැරැද්ද ඒ අයට නොපෙනෙන්නේ?
මට ඒ අයගේ දේශපාලන කියවීම ගැන අවබෝධයක් නෑ. අපි දන්නවා අසූ ගණන්වල අනූ ගණන්වල ගත්ත තීන්දු තීරණ නිසා අපිට දුක් විඳින්න සිද්ධ වුණා. ඒ නිසා මගේ දේශපාලන තීන්දුවෙන් අහිංසක දරුවන් අහිංසක මිනිස්සු පීඩාවට ලක්වෙනවට මම කැමති නෑ.
♦ ඔබත් එක්ක මේ ගමන යන්න කීදෙනෙක් ඉන්නවද?
සෑහෙන පිරිසක් ඉන්නවා. ඒක පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම තියෙනවා. මම හිතන්නේ මේක රටේ වාසනාවක්.
♦ ඔබට හමුවුණාද කවුරුහරි පිරිසක් ඇවිත් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න එපා ඔහුට සහයෝගය දක්වන්න කියනවා? ඔබ ඔවුන්ට බැනලා තියෙනවා කියන්නේ ඇත්තද?
මට කීපදෙනෙක්ම කතා කළා එක් එක් පාර්ශවයන්. මම ඒ අයට කිව්වා පැහැදිලිවම මගේ තීරණය රට වෙනුවෙන් අරන් තියෙන්නේ, ඒ ගැන කතා කරලා තේරැමක් නෑ කියලා.
♦ මංගල සමරවීර ඇමැතිවරයා කියනවා මේක බෞද්ධ රටක් නෙවේ කියලා. ඒක බොහෝ අය විවේචනයට ලක්කළා නැති ප්‍රශ්න ඇති කරනවා කියලා. ඔබ හිතන්නේ මොකද්ද මේ ප්‍රකාශය ගැන?
බෞද්ධ ජනතාව අපිව ඉතාම ආරක්ෂිතව බලාගත්තා. මම පාසල් ගියෙත් බෞද්ධ පාසලකට. අනිවාර්යයෙන්ම මේක බෞද්ධ රටක් කියන එක අපි පිළිගන්නවා. මෙහෙම දේවල් කිව්වට පස්සේ තවත් බෙදීමක් තමයි ඇතිවෙන්නේ.
♦ මේ දවස්වල වැඩියෙන්ම කතා බහට ලක්වෙන කෙනෙක් තමයි ඥානසාර හිමියන්. උන්වහන්සේ මීට කලින් මේ අවදානම ගැන කිව්වා කියලා කියනවා. එහෙම දැනන් හිටියනම් ඒ ගැන අවධානයක් යොමු කළානම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ නේද?
එදා ගැන විතරක් නෙවෙයි අද උන්වහන්සේ කියන දේ ගැනත් හොයලා බලන්න ඕන. මේ තියෙන තත්ත්වය එක්ක මේ හැමදෙයක් ගැනම අවධානයෙන් ඉන්න ඕන. රටේ ආරක්ෂක අංශ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒත් මෙවැනි හෙළිදරව්කිරීම් තුළ යම්කිසි දෙයක් තියෙනවනම් ඒ ගැන හොයාබලන්න අත්‍යවශ්‍යයි. ඒ නිසා හැමදෙයක් ගැනම අවධානයෙන් ඉන්න ඕන.
♦ කඩු කිණිසි තිබිලා ගොඩක් මුස්ලිම් අය අරගෙන යනවා. අපි දැක්කා අමාත්‍යංශයක මාධ්‍ය අධ්‍යක්ෂක කෙනෙක් ගත්තම ඔහුගෙන් ප්‍රකාශයක් අරන් නිදහස් කරලා යවනවා. එතකොට මුස්ලිම් ජනතාවට හිතෙන්න පුළුවන් නේද බලය ඇති කෙනාට විතරයි නීතියේ සැලකිලි තියෙන්නේ කියලා.
පැහැදිලිවම කියන්න ඕන මේ රටේ ආරක්ෂක අංශ හැම මොහොතෙම කටයුතු කරන්න ඕන නීතිය සාධාරණත්වයෙන්. කාටවත් විශේෂයක් කරන්න හොඳ නෑ. කාටහරි විශේෂයක් කළොත් ඒකෙන් වෙන්නේ ජාතික ආරක්ෂාවට හානියක් වෙන එක. දැන් බලන්න මෙච්චර කල් අවශ්‍ය ත්‍රස්තවාදීන් නියමාකාරයෙන් අත්අඩංගුවට ගත්තේ මුස්ලිම් ජනතාවගේත් සහයෝගය මත. ඒ නිසා සැමට එක විදිහට සැලකුවොත් මේ ප්‍රශ්නය ඉක්මනින් ඉවර කරගන්න පුළුවන් වෙයි.
► ගයාන් ගාල්ලගේ