2019 ජුනි 15 වන සෙනසුරාදා

අට දෙනෙක් කළ වැඩේට මුළු මුස්ලිම් ජනතාවටම වන්දි ගෙවන්න වෙලා

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

අරාබි භාෂාව ලංකාවට අවශ්‍ය නෑ

තව්හිද් ජමාත් සංවිධානය කලින් ලියාපදිංචි වූ එකක්

ඒක අසාද් සාලි මා එක්ක තරහට කියපු බොරුවක්

ඉල්ලීමක් කළ ගමන් පල්ලියක් ලියාපදිංචි කරන්න බෑ

අපි හැමෝටම සිංහල ජනතාවගේ ඡන්දයත් ලැබෙනවා

ඥානසාර හිමිගේ පෙළපාළිය ආවා නම් රට ගිනිගන්න තිබුණා

පරීක්ෂණවලින් වැරදිකරුවන් වන අය හිරේ දැමිය යුතුයි

- තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු හිටපු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්

♦ පාස්කු ප්‍රහාරයත් එක්ක සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර යම් ආකාරයක සිත් බිඳීමක් වෙලා. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න ඇත්තටම කවුද වගකියන්න ඕන?

මේ සිද්ධියෙන් විශාල හානියක් වගේම රටට පාඩුවක් සිදුවුණා. ඒ වගේම විශාල ජීවිත හානියක් සිදුවුණා. අපි ඒ ප්‍රහාරය හෙළාදැකලා තිබෙනවා. ඒ අපරාධය කරපු අයගේ අවසන් කටයුතු මුස්ලිම් ආගමට අනුව සිදු නොකරන්නත් අපි වගබලා ගත්තා. මේක දැනට තහවුරු වෙලා තියෙන්නේ ජාත්‍යන්තර පිරිසක් විසින් සිදුකරපු ප්‍රහාරයක් හැටියට. ඒකට සම්බන්ධ බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒත් මේ අට දෙනෙක් කරපු දේ නිසා මුළු මුස්ලිම් ජනතාවටම වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙනවා.

♦ මුස්ලිම් ප්‍රජාව ඉතාම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. එම සීමිත ප්‍රමාණය ඇතුළේ මෙවැනි අන්තවාදී කණ්ඩායමක් ගොඩනැගෙනකම් ඇයි මුස්ලිම්වරු කවුරුත් නොදැන සිටියේ?

අපි කිසිම ආකාරයකින් අන්තවාදය ගොඩනගන්න උදව් කරලා නැහැ.

♦ එහෙනම් මේ අය ගොඩනැගුණේ කොහොමද?

මේ අයට ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධතා තිබුණා. ගොඩක් අය සමාජ මාධ්‍ය හරහා සම්බන්ධතා ගොඩනගාගෙන තිබුණා. ඒ නිසා මේක හොයාගන්න හරි අමාරු කාර්යයක්. ඒ නිසා මේක ගැන බුද්ධි අංශ අවදියෙන් ඉන්න ඕන.

♦ මේ සිද්ධියත් එක්ක ගොඩක් අය මුස්ලිම් ප්‍රජාව ගැන නොයෙකුත් සැකසංකා මතුකළා. ඔබ හිතන්නේ කොහොමද මේ වගේ අවස්ථාවක මුස්ලිම් අය ඊට මුහුණ දිය යුත්තේ?

මම මුස්ලිම් කටයුතු ඇමැතිවරයා හැටියට මේක මුල ඉඳන්ම දැක්කා. මුල ඉඳන්ම සිංහල ජනතාවට යම් සැකයක් මුස්ලිම් ජනතාව කෙරෙහි තිබුණා. ඒකට හේතු වුණේ භාෂාව සහ අපේ යම් යම් ආගමික ක්‍රමවේද නිසා. අපි සිකුරාදා දිනයේ පවත්වන දේව මෙහෙය පවා ගොඩක් අය හිතුවේ සංවිධාන වීමක් කියලා. කුමන්ත්‍රණයක් කියලා. ඒ නිසා අපි සිකුරාදා දවසේ පැවැත්වෙන දේව මෙහෙයන් සිංහල භාෂාවෙන් කරන්නත් යෝජනා කළා. විශේෂයෙන්ම මද්‍රසා පාසල් සම්බන්ධව තීරණයක් ගන්න අපිට හැකියාවක් තිබුණේ නෑ. අපි ඒ ගැනත් තීරණයක් අරගෙන තිබුණේ. අපි දැන් කොහොම හරි නැවත මේ සිත් බිඳීම් සුවපත් කරලා නැවත එකතු කරන්න වැඩපිළිවෙළක් සකස් කරමින් ඉන්නේ.

♦ ඔබට හිතෙන්නේ නැද්ද මුස්ලිම් සමාජය කෙරෙහි මිනිසුන්ගේ සැකයක් ඇතිවෙන්න හේතුවුණේ විදේශයෙන් පැමිණි මුස්ලිම් නව සංස්කෘතීන් සහ නව නිකායවල් නිසා බව. උදාහරණයක් හැටියට ඔය මුහුණු ආවරණය කිරීම් වගේ දේවල්.

මම හිතන්නේ නැහැ නිකායවල් නිසා මුකුත් එහෙම දෙයක් වුණා කියලා. ඔය ඇඳුම් සම්බන්ධව ආපු සංස්කෘතිය ඉතාමත් මෑත කාලයේ මේ රටට ආපු සංස්කෘතියක්. විවෘත ආර්ථිකයත් එක්ක ගොඩක් දෙනෙක් මෙහෙන් යන්න ගියා විදෙස් රටවලට. ඒ යන්න ගියායින් පස්සේ විවිධ අය ඒ සංස්කෘතීන් අනුගත කරගෙන මෙරටට ආපසු ආවේ. ඕක තමයි බලපාන්න හේතුව. මේ වුණේ ඒ අය මේ වගේ දේවලට ආකර්ෂණය වුණා.

♦ ඔබට කියන්න පුළුවන්ද එවැනි විදෙස් ආක්‍රමණයකින් ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය විනාශයට පත්වුණා කියලා?

ඔව්. ඒ දෙයත් එක්ක අනෙකුත් සමාජයන් වලට මුස්ලිම් සමාජය කෙරෙහි සැකයක්, ප්‍රශ්නයක් ඇතිවුණා. ඇත්තම කියන්න ඕනේ අපේ අම්මලා ඇන්දේ ඔය අද මුස්ලිම් කට්ටිය අඳින ඇඳුම නෙවේ. සාරිය ඇඳලා සාරි පොටෙන් ඔලුව වහගත්තා. මේ දේවල් අලුතින් ආපු සංස්කෘතීන්. ඒවා අපි අනුමත කරන්නේ නැහැ.

♦ ඇයි ඒ සංස්කෘතියට විරුද්ධ නම් ඒවා නවත්වන්නට මැදිහත් නොවුණේ?

අපි ඒ ගැන අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. අපි කියලා තියෙනවා බහුතරය සිංහල සමාජයත් එක්ක ජීවත් වෙන්නේ කියලා. අපි ඒ සමාජයත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන්නේ. අපි ඒ නිසා කිව්වා පසුකාලයේදී මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කියලා.

♦ මේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන් ආණ්ඩුකාරවරු වන හිස්බුල්ලා, අසාද් සාලි යන අයට විරුද්ධව චෝදනා එල්ල වුණා. ඔබ හිතන්නේ මොකක්ද මේ චෝදනා සම්බන්ධව?

කෙනෙකු සම්බන්ධව චෝදනා තිබෙනවා නම් අපේ රටේ නීතියට අනුව පරීක්ෂණ කටයුතු සිදුකළ යුතුයි. ඒ අදාළ පුද්ගලයන්ට සිරදඬුවම් ලබාදිය යුතුයි කියන මතයේ අපිත් ඉන්නවා. ඒ අයට චෝදනා එල්ල කරපු පලියට ඔහු වැරදි කාරයා වෙන්නේ නැහැ. ඔහු නීතියෙන් වැරුදි කාරයා වෙනකම් නිවැරදිකරු.

♦ ඔබට මුස්ලිම් සමාජය තුළින්වත් මේ අය සම්බන්ධව චෝදනා එල්ල වෙලා නැද්ද?

මුස්ලිම් සමාජය තුළින් එහෙම කිසිම චෝදනාවක් එල්ල වෙලා නැහැ.

♦ රිෂාඩ් අමාත්‍යවරයාට ඉවත් වෙන්න කිව්ව වෙලාවේ ඔබලා සියලුදෙනාම ඇමැති ධුරවලින් ඉවත් වුණා. බොහෝ අය චෝදනා එල්ල කළේ ඔබලත් අන්තගාමී තැනට තල්ලු වුණා කියලා. ඇත්තටම ඇයි එහෙම කළේ?

නෑ... නෑ... එහෙම දෙයක් නෙමෙයි අපි එදා කළේ. ඒකට මේක පටලගන්න එපා. රිෂාඩ් ඇමැතිවරයා සම්බන්ධයෙන් ඇති චෝදනාවලට අදාළ සිදුකරන පරීක්ෂණ නවත්වන්න අපිට කිසිම වුවමනාවක් නැහැ. ඒක ඒ ආකාරයෙන් කළයුතුයි කියන තැන තමයි අපිත් ඉන්නේ. අපි මේ තීරණය ගත්තේ රට ගැන හිතලා මුස්ලිම් සමාජයට දෙන්න පුළුවන් පීඩනය අවම කරන්න. මම උදාහරණයක් කියන්නම්. එදා රතන හාමුදුරුවෝ ආණ්ඩුකාරවරු දෙන්නටයි රිෂාඩ් ඇමැතිවරයාටයි අයින් වෙන්න කියලා කරපු උපවාසය වෙලාවේ ආණ්ඩුකාරවරු දෙන්නා අයින් වුණායින් පස්සේ රතන හාමුදුරුවෝ උපවාසය අතහැරියා. හැබැයි ඥානසාර හාමුදුරුවෝ ඒ උපවාසය හරහා පෙළපාළියකින් කොළඹට එන්න තීන්දු කළා. මේ තත්ත්වයත් එක්ක අපි තීරණය කළා මේ තනතුරුවලින් අයින් වෙලා රජයට අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරන්න ඉඩ ලබාදෙන්න. මොකද ඔය පෙළපාළිය ආවානම් ඒක රට ගිනිගන්න තිබුණු අවස්ථාවක්.

♦ ඒත් ඥානසාර හාමුදුරුවෝ කිව්වේ රතන හාමුදුරුවෝ කරපු උපවාසයෙන් හොඳ ඇමැතිවරුත් ඉවත් වුණා කියලා. ඒ ප්‍රකාශය ඔබලා වෙනුවෙන් දුන්නේ.

ඒක ඥානසාර හාමුදුරුවන්ගේ අදහස වෙන්න පුළුවන්. හැබැයි අපි එදා අයින් වුණේ රට ගැන හිතලා රටේ සිදුවුණු දේත් එක්ක.

♦ ඇයි ඔබලා මුස්ලිම් සමාජය ගැන විතරක් හිතලා එදා එයින් අයින් වුණේ? සිංහල සමාජයේ මිනිස්සුත් ඔබලාට එදා ඡන්දය ලබාදුන්නා නේද?

මෙතැන දැන් මුස්ලිම් සිංහල කියලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්ත... අපි හැමෝටම සිංහල ජනතාවගේ ඡන්දයත් මැතිවරණයේදී ලැබුණා. මමත් කබීරුත් ඒ කාලේ ඉඳලා සිංහල ජනතාවගේ ඡන්දෙන් තමයි පාර්ලිමේන්තු ආවේ. මේ ප්‍රශ්නය හැබැයි තවදුරටත් ගියොත් රට විනාශ කරනවා. දැනටමත් ආර්ථිකය බිංදුවට වැටිලා තියෙන්නේ. ඉතින් ඒ අදහසින් තමයි අපි අයින් වුණේ. මම පන්සල් 84කට පහුගිය කාලේ මූල්‍යාධාරවලින් උදව් කළා. ඒ නිසා අපිට සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් නැහැ. මගේ මාමා තමයි හාරිස්පත්තුවේ අමරපුර නිකාය වෙනුවෙන් සීමාමාලකයක් හැදුවේ.

♦ ඔබලා කිව්වා ඇමැති ධුර ගන්නේ මහනායක ස්වාමීන් වහන්සේලා හමුවෙලා කියලා. දැන් ඔබලා උන්වහන්සේලා හමුවුණා. දැන් ඇමැති ධුර බාරගන්නවාද?

උන්වහන්සේලා ඉතාම සුහදව අපිත් එක්ක කතා කළා. නමුත් ඒ හමුවට කබීර් හෂීම් ඇමැතිතුමා ගියේ නැහැ. විදෙස් ගතවෙලා සිටි නිසා. ඒ නිසා අපි කට්ටිය නැවත හමුවෙලා තීන්දුවක් ගන්නවා.

♦ ඒ කියන්නේ ඔබලා ඉදිරියේදී ඇමැති ධුර බාරගන්නවා...?

ඔව්. ඉදිරි තත්ත්වයත් එක්ක රට නිවිලා නිසා නැවත යථා තත්ත්වයට පත්වෙලා තියෙයි. මහනායක හිමිවරුත් අපිට යෝජනා කරලා තිබෙන නිසා ඒ ගැන තීන්දුවක් ගන්නවා.

♦ මේ ගැන තීන්දු ගන්නේ කා සමගද?

අගමැතිතුමා රට ඉඳන් ආවට පස්සේ අපි සාකච්ඡා කරලා අදාළ තනතුරු ගන්න අපි සූදානම්.

♦ පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අසාද් සාලි මහත්තයා කිව්වා ඔබගේ මල්ලි තමයි අන්තවාදී පල්ලි ලියාපදිංචි කරන්න අවසර ලබාදුන්නේ කියලා. ඒක ඇත්තද?

ඇත්තටම මම ඒක එකහෙලා ප්‍රතික්ෂේප කරනවා. එයාට මාත් සමඟ පෞද්ගලික තරහක් තිබෙනවා. ඒ ආරම්භයේ ඉඳලා. අනෙක මගේ සහෝදරයා මගේ පෞද්ගලික ලේකම්. ඔහු ලියාපදිංචි කරන කණ්ඩායමේ නැති කෙනෙක්. මේ මුස්ලිම් පල්ලි ලියාපදිංචි කරන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ අය තෝරලා මුස්ලිම් දෙපාර්තමේන්තුවට ආවාම ඒ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂතුමා තමයි මේ ලියාපදිංචි කිරීම කරන්නේ. මගේ සහෝදරයාට කිසිම හැකියාවක් නැහැ ඒ දේවල්වලට අත දාන්න. ඒක ස්වාධීන මණ්ඩලයක්. කවුරුවත් කිව්ව පළියට පල්ලියක් ලියාපදිංචි කරන්න බැහැ.

♦ ඇත්තද වැඩිම මුස්ලිම් පල්ලි ප්‍රමාණයක් ලියාපදිංචි කළේ ඔබගේ කාලයේ කියන්නේ?

මුස්ලිම් පල්ලි ලියාපදිංචි කරන්න ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණා. මම ඒ දේවල් නීත්‍යානුකූලව ලියාපදිංචි කළා. එහෙම කළ ඒ මුස්ලිම් පල්ලි සියල්ල ගැන අපි ළඟ තොරතුරු තිබෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් වුණොත් අපි ගාව තොරතුරු තිබෙනවා. උදාහරණයක් හැටියට මේ සිද්ධිය වුණු වෙලාවේ ඇතැම් පල්ලි පිළිසකර කරන්න තොරතුරු ඉල්ලද්දී ඒ අය ලියාපදිංචි කරලා තිබුණේ නැහැ. මම කළේ අලුතින් පල්ලිවලට වැඩිය තියෙන පල්ලි ටික ලියාපදිංචි කරන එක. අනෙත් එක එහෙම පල්ලි කිව්ව ගමන් ලියාපදිංචි කරන්නත් බැහැ. ඒ දේවල්වලට අවශ්‍ය තොරතුරු තියෙන්න ඕන.

♦ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන් ඔබව හමුවෙන්න පැමිණියාද ඔහුගේ පල්ලිය ලියාපදිංචි කරන්න?

සහරාන් කියන පුද්ගලයා දන්නෙත් මේ සිද්ධියෙන් පස්සේ.

♦ සහරාන්ලාගේ ඔය සංවිධානය ඔබලාගේ ආගමට පිළිගන්න කණ්ඩායමක්ද?

එක එක සංවිධාන තිබුණාට ඒ හැමෝම මුස්ලිම්වරු. මම මුස්ලිම් කටයුතු ඇමැතිවරයා හැටියට ඒ අය දිහා වෙන වෙනම බැලුවේ නැහැ. හැබැයි ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය, ඒ අය ලියාපදිංචි වෙලා තිබෙනවා සමාජ සංවිධානයක් හැටියට. හැබැයි ඒ මම එන්න කලින්. ඉස්සෙල්ලා ආණ්ඩුව කාලේ. ඒ අයගේ පොඩි ප්‍රශ්නයක් තිබුණා ඒ අය පල්ලියක් ළඟින්ම ගෙයක් අරගෙන තව පල්ලියක් හදනවා කියලා. මේ නිසා ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ ගැටුම් නිරාකරණය කරන්න වුණේ අපිට.

♦ කාත්තන්කුඩිවල ශරියා විශ්වවිද්‍යාලයක් හිස්බුල්ලා මහත්තයා විසින් හැදුවා කියලා චෝදනා එල්ලවෙනවා. ඔබ මේ විශ්වවිද්‍යාලය ගැන දරන අදහස මොකක්ද? ඒක මේ රටට ඕනද?

ඒක අපිට සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒක විශ්වවිද්‍යාල කොමිෂන් සභාවත් එක්ක විසඳා ගතයුතු දෙයක්. මොකද රටේ සියලුම විශ්වවිද්‍යාල ලියාපදිංචි වෙන්න ඕන උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක. අපේ රටේ නීතියක් තිබෙනවා. අන්න ඒ නීතිය අනුව වැඩ සිදුවෙන්න ඕන. රටේ නීති හැමෝටම එකයි.

♦ ඉහත නම් කියවුණු ආණ්ඩුකාරවරු ඇමැතිවරුන්ට විරුද්ධව නොයෙකුත් චෝදනා එල්ල වෙනවා. හිතෙන්නේ නැද්ද මේ අන්තවාදය පිටුපස්සේ ඉන්නේ දේශපාලනඥයෝ විතරයි කියලා?

චෝදනා කරන්න පුළුවන්. ඒ කිසිදෙයක් තවම තහවුරැ වෙලා නැහැ. ඒ දේවල් ගැන පරීක්ෂණ තියලා තීන්දු ගන්න ඕන.

♦ පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ තියන්න විශේෂ තේරීම්කාරක සභාවක් පාර්ලිමේන්තුවේ පත් කළා. ඒක හරහා රටේ බුද්ධි නිලධාරීන් අපහසුතාවයට පත්වුණා කියලා චෝදනා එල්ල වෙනවා. ඔබ හිතන්නේ ඒ කාරක සභාව නවත්වන්න ඕන කියලාද?

රටේ තිබෙන තත්ත්වයත් එක්ක ඒ ගැන කතා කරන්න මම කැමැති නැහැ. හැබැයි රටේ ජනතාව සිදුවුණේ මොකක්ද කියලා හරියටම දැනගන්න ඕන. ඒක තමයි අයිතිය.

♦ ඔබ ප්‍රකාශ කළා කඩු තියාගෙන ඉන්නේ පල්ලි වටේ තිබෙන ගස් කපන්න කියලා. ඇත්තටම මේ කඩු තියාගත්තේ ගස් කපන්නද? කැලෑ සුද්ද කරන්නද?

ඔය පල්ලි කිහිපයකින් කඩු හමුවුණා කියලා මම එදා දැනගෙන හිටියා. හැබැයි තොග ගණන් හමුවුණා කියලා දැනගෙන හිටියේ නැහැ. මම එදා ඔය මාධ්‍ය හමුවට වාඩිවන විට කඩු ගොඩක් හමුවෙලා තිබුණේ තොග පිටින්. මම ඒ වෙලාවේ විටින් විට කිව්වා මේ ප්‍රශ්නය අපි ආරක්ෂක අංශයට බාරදෙමු. ඊට පස්සේ කතාකරමු කියලා. හැබැයි මගේ කටින් වචනයක් ගන්න කට්ටිය දඟලපු අවස්ථාවේ මගේ හිතට ආවේ ඒ දවස්වල පල්ලිවල කඩු තිබුණේ ඔය සුසාන සුද්ද කරන්න සහ වටේ පිටේ කැලෑ සුද්ද කරන්න කියලා. මට ඔය කඩු කියන එක කැත්තක් වගෙයි දැනුණේ. ඒක ඔලුවේ තියාගෙන තමයි මම උත්තර දුන්නේ. අපි පොඩි කාලේ ඉඳන් ඒවා දැක්ක දේවල්.

♦ අවසාන වශයෙන් ඔබගෙන් අහන්නේ මේ රටේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාව තියෙද්දී ඇයි මේ කාත්තන්කුඩිවල විතරක් අරාබි භාෂාව පාවිච්චි කරන්නේ. ඔබ හිතන්නේ ඒක හරි දෙයක් කියලාද?

අරාබි භාෂාව නම් මෙහෙට අවශ්‍ය නැහැ. අපිට තිබෙන භාෂා තුන ප්‍රමාණවත්. විශේෂයෙන් හැබැයි ඔය අරාබියෙන් තිබෙන්නේ නාමපුවරු. මේ රජයෙන් තීන්දුවක් අරන් තිබුණා ඔය නාමපුවරුවලට අරාබි භාෂාව දාන්න බැහැ කියලා. හිතන්නකො පල්ලියට කවුරු හරි ආධාර දුන්නා කියලා. එතකොට ඒ මනුස්සයාගේ නම අරාබි භාෂාවෙන් සඳහන් කරලා තිබුණා කියලා. එහෙම නැතුව වෙන කිසිදෙයක් ඒ බෝඩ් එකේ ලියලා නැහැ. කොහොම වුණත් අරාබි භාෂාව ගැන බහුතර ජනතාවට දැනුමක් නැහැ. ඒ නිසා තිබෙන භාෂාවලින් වැඩකරන එක තමයි හොඳම දෙය.

► ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00