තේරීම් කාරක සභාව අලුත් අත්දැකීමක්
ජනපතිගේ ඇතැම් ප්‍රකාශවල සදාචාර බවක් නෑ
ආණ්ඩුව බේරන්න අපට උවමනාවක් නෑ
ජන ජීවිත රැකදීමටත් ආණ්ඩුවට බැරිවුණා
ජනාධිපතිතුමා එදා කළ දේවල් අද විවේචනය කරනවා
එල්ලුම් ගහත් ලාබ දේශපාලන කතාවක්
- ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස
21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ විශාල භූමිකාවක් ඔබ සිද්ධ කරනවා. දැන් මොකද්ද මේ පරීක්ෂණවලට වෙන්නේ?
මේ වෙනකොට කාරක සභාව දින 9ක් කටයුතු කරලා පුද්ගලයන් 20 ගණනකට එහායින් ප්‍රකාශ අරගෙන තියෙනවා. ඒවගේම ඉදිරියේදීත් ප්‍රකාශ ලබාගැනීම් කිහිපයක් තිබෙනවා. ඒ වගේම ජූලි මාසේ අන්තිම වෙනකොට ඒ සභාවේ කටයුතු අවසන් කර වාර්තාවක් කතානායකවරයාට ලබාදෙන්න අපි අරමුණ කරගෙන ඉන්නවා. ඒක ඉතිහාසයේ අලුත් අත්දැකීමක් වගේම අභියෝගයක්. මේක ලෝකේ බොහෝ පාර්ලිමේන්තුවල ක්‍රියාත්මක වෙන දෙයක්. අපි මේකෙදී බලාපොරොත්තු වෙනවා මේ ප්‍රහාරයේදී ඇතිවෙලා තියෙන ආරක්ෂක අඬුලුහුඩුකම් වගේම ඉදිරියේදී මෙවැනි ප්‍රහාර ඇති නොවීමට වගබලාගන්න ක්‍රමවේදයක්.
අපි දැකලා තියෙනවා මේ රටේ විවිධ කොමිෂන්, කමිටු පත්කරලා තියෙනවා. හැබැයි ඒ එකකවත් සාර්ථක ප්‍රතිඵලයක් දැකලා නෑ. එවැනි තත්ත්වයක මේ කාරක සභවේ ජනතාවට සාධාරණයක් වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද?
ඇත්තටම අපේ රටේ ප්‍රශ්නයක් වුණාම කමිටුවක් හරි කොමිසමක් හරි පත්කළේ ඒ ප්‍රශ්නය යටගහන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ ඉඳන් පිහිටුවූ කොමිෂන්වලින් ලැබුණු වාර්තාවලට තවම හරි තොරතුරක් නෑ. අවසාන වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව පවා තවම ජනතාව දැකලා නෑ. ඒනිසා ජනාධිපති කොමිෂන් කමිටු කියන්නේ ජනතාවගේ වේදනාව යටපත් කිරීම සඳහා යොදාගන්නා ඖෂධයක්. මීට කලින් කාරක සභාවක් තිබ්බා හිටපු අග්‍රවිනිශ්චයකාරතුමියට විරැද්ධව පරීක්ෂණයක් කරන්න. ඒක ඉතාමත් පක්ෂග්‍රාහී පරීක්ෂණයක්. නමුත් මේක ඊට වඩා විධිමත් ආකාරයට සිද්ධවෙනවා. ජනතාව දැනගන්න පුළුවන් මේ හරහා තේරීම්කාරක සභාවක් කියන්නේ මොකද්ද කියලා.
මෙම කාරක සභාව සම්බන්ධව විධායක ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේක රටට හානිකර කමිටුවක් කියලා. ඇත්තටම මේක රටට අහිතකර එකක් ද?
ඇත්තම කතාව තමයි අපේ රටේ තියන අවුල රටේ ජනාධිපතිවරයා මානසික වශයෙන් ශිෂ්ඨසම්පන්න වෙලා නෑ. ඔහු තාමත් හිතන් ඉන්නේ ඔහු රජ්ජුරුවෝ කියලා. හැබැයි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවෙන්න පටන්ගත්තාම නීති හදන්න ව්‍යවස්ථාදායකය නීති ක්‍රියාත්මක කරන්න විධායකයත් යුක්තිය පසිඳගන්න අධිකරණයක් වශයෙන් ක්‍රියාත්මක වීම බෙදුවා. ඕනම රටක විධායක බලය හිමි පුද්ගලයා හෝ කණ්ඩායම සිදුකරන වැරැද්දක් සම්බන්ධව පරීක්ෂණ කරන්න ව්‍යවස්ථාදායක සභාවට අයිතියක් තියෙනවා. ඒකට හේතුව තමයි ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන්නේ වැඩිම ජනතාවක් නියෝජනය කරන කණ්ඩායම. ජනාධිපතිවරයා කළයුතු වන්නේ මේ කණ්ඩායමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යාමට ඉඩදීමයි. නමුත් ඔහු මේ කරන ප්‍රකාශ සාදාචාර සම්පන්න නැහැ. ඒකට හේතුව තමයි ඒ ප්‍රහාරය වෙනකොට රටේ ආරක්ෂාව බාරව තිබෙන අමාත්‍යාංශ දෙක අයිතිය ජනාධිපතිවරයා සතුව තිබ්බේ. එහෙනම් ඔහුට කතා කරන්න අයිතියක් නැහැ.
මේ කාරක සභාව ගැන බොහෝ දෙනා කියන්නේ ආරක්ෂක ක්‍රමවේද සහ බුද්ධි අංශ නිලධාරින් හෙළිදරව් කරන භයානක වැඩපිළිවෙළක් කියලා. ඇයි එහෙම දෙයක් කරන්නේ?
මේ තේරීම් කාරක සභාව පත්කළේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 40කගේ අත්සනෙන් යුත් යෝජනාවක් හරහා. ඒකෙ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරු 13ක් හිටියා. එහෙම බැලුවාම අත්සන්වලින් 1/3ක්ම එ.ජ.නි.ස අයගේ. එවැනි ඉල්ලීමක් කර තිබියදී රටේ හමුදා බුද්ධි අංශ නිලධාරින් හෙළිදරව් කිරීමට අවශ්‍ය ද? ඒ වගේම ඇතැම් නම්ගම් හෙළිවෙයි කියලා බයට තමයි ඔය බුද්ධි අංශ කතාව කියන්නේ. මේ වෙනකොට මේ කාරක සභාවේ දවස් ගණන 9ක් ඉක්මවා ගිහිල්ලා. මම දැන් ජනතාවගෙන් අහනවා මේ දින 9 ඇතුළත ඔබ දැනගත්ත බුද්ධි තොරතුරු මොනවාද? සැළසුම් මොනවාද? ඒවගේම සැඟවිය යුතුයැයි සිතන කවුරුන් හරි කෙනෙක් මෙතැනට ගෙනැල්ලා ප්‍රශ්න කරලා තියෙනවා ද?
රාජ්‍ය බුද්ධි ප්‍රධානියා හෙළිදරව් කළා කියලයි මේ ප්‍රශ්නය ඇති වුණේ?
එහෙම කවුරු හරි කෙනෙක් කියනවා නම් ඔහු ලෝකය සම්බන්ධව නොදන්නාකම. ලෝකයේ රාජ්‍ය බුද්ධි ප්‍රධානීන් සැඟවිලා ඉන්න කට්ටිය නෙමෙයි. නම ගහලා හොයලා බලන්න පුළුවන් රෝඑකේ, සී.අයි. එකේ ප්‍රධානීන් කවුද කියලා. අපේ රටෙත් බුද්ධි ප්‍රධානියා සැඟවුණ කෙනෙක් නෙවෙයි. මීට කළින් හිටිය බුද්ධි ප්‍රධානී හෙන්දාවිතාරණ මහත්මයත් මාධ්‍ය සාකච්ඡාවලට ඇවිත් පෙනී හිටියා. සිසිර මෙන්ඩිස් මහත්මයත් කවුරු හරි හොයලාබැලුවොත් ඔහුගේ ඡායාරූපය වගේම තොරතුරු දැනගන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි අලුත් පත්වෙච්ච රුවන් කුලතුංග මහත්තයාගේ ඡායාරූප රටේ සියලු මාධ්‍ය හෙළිකළා. හෙළිදරව් නොකළ යුත්තේ ජනතාව එක්ක ගැවෙසෙමින් මෙහෙයුම් සිදුකරන නිලධාරින්.
ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාවට අනුව පොලිස්පතිවරයාත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් නීතිපතිගේ උපදෙස් මත අත්අඩංගුවට අරන් තියෙනවා. ඔබට හිතන්නෙත් ඔවුන් දෙදෙනා විතරමද මේකට වගකියන්න ඕනේ?
මේ ප්‍රහාරය වෙනකොට ජනාධිපති හිටියේ සිංගප්පූරුවේ. එහිදි තමයි තීරණය කරලා තියෙන්නේ මේ ප්‍රහාරයට පොලිස්පති, ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගන්නවා කියලා. ඒ අරමුණෙන් තමයි ඔය කමිටුව පත්කළේ. ඒ අතරතුරේදී ජනාධිපතිවරයා පොලිස්පතිවරයා කැඳවලා කියලා තිබ්බා ඉවත් වෙන්න ඔහුට හොඳ රටක තානාපතිකමක් දෙන්නම් කියලා. කොහොමවුණත් ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පවා සදාචාර වෙලා නෑ. ඊළඟ කාරණය තේරීම් කාරක සභාවට අනුව පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා පමණ නොවෙයි වැරදිකාරයෝ ඊට වඩා පිරිසක් ඉන්නවා. මතකතියාගන්න මත්කුඩු ඇල්ලීමටත් ජනාධිපතිවරයාට යනවා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකී වීම වගකීම ජනාධිපතිවරයා ලබාගත යුතුයි.
රහස් පොලිසිය මගිනුත් පරීක්ෂණ සිදුකරනවා. තේරීම් කාරක සභාව මගිනුත් පරීක්ෂණ සිදුකරනවා. දැන් මේ දෙකේ අවසානය මොකද්ද?
රහස් පොලිසියට තියෙන්නේ මේකේ අපරාධමය කටයුතු සම්බන්ධයෙන් කටයුතු. අපට තියෙන්නේ ඊට එහා ගිය පරීක්ෂණයක්. අපි සිදුකළ යුත්තේ මෙවැනි ප්‍රහාර ඇතිවීමට හේතුව අන්තවාදයත් ඒ වළක්වාගැනීමට නොහැකිවීමත් සහ එවැනි ප්‍රහාර නැවත ඇතිනොවීමට කටයුතු සිදුකිරීමයි. ඇතැම් විට මේ පරීක්ෂණය සමාන වෙන්න පුළුවන්. නමුත් අපි ජාතික සමගිය ඇතිකිරීම සඳහා අවශ්‍ය කටයුතු ඇතිකිරීම තමයි සිදුකරන්නේ.
විපක්ෂයේ මන්ත්‍රිවරු කියනවා මේ හරහා ආණ්ඩුවට එල්ල වන චෝදනා වහගන්න උත්සහ කරනවා කියලා. ඒකද ඇත්ත කතාව?
කවුරු හරි එහෙම කියනවා නම් පාර්ලිමේන්තු සම්ප්‍රදාය හිතමතා වෙනස් කරන්න හදන කෙනෙක්. විශේෂයෙන් මෙතැන ආණ්ඩුවේ අයට වගේම විපක්ෂයේ අය තමයි නියෝජනය කරන්නේ. ජනතාවට දැන් බලන්න පුළුවන් මේක මාධ්‍ය හරහා එතකොට කල්පනා කරන්න පුළුවන් කාටද ආණ්ඩුව රකින්න උවමනාවක් තියෙන්නේ. ඒවගේම අපි ඉන්න තාක්කල් එවැනි දෙයක් ඇතිවෙන්න ඉඩදෙන්නේ නෑ.
ඔබලා විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙනල්ලා තියෙනවා. ඒ විශ්වාස භංග යෝජනාවට මොකද දැන් වුණේ?
ලොකේ ඕනෙම රාජ්‍යයක ඒ රටේ ආණ්ඩුව කඩාවැටුණාම ඒ ආණ්ඩු ඉල්ලා අස්වෙනවා. ඒ වගේම ඇතැම් ඇමතිවරු ඉල්ලා අස්වෙනවා. ආණ්ඩුවක ප්‍රධාන වගකීම තමයි ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම. මේ ආණ්ඩුවට ඒකත් බැරිවෙලා තියෙනවා. මේ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාර්ශ්වය මේ සඳහා එකඟවෙලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කතෝලික මන්ත්‍රිවරුන්ටත් කියනවා ඔබගේ ජනතාව වෙනුවෙන් මේ සඳහා එකමුතු වෙන්න කියලා. එහෙම බලද්දී අපිට පුළුවන් මේ විශ්වාස භංගය ජයග්‍රහණය කරන්න. මේ වෙලාවේ ආණ්ඩුව ද විපක්ෂය ද කියලා බලන්න එපා. හෘද සාක්ෂිය ගැන හිතලා එකතු වෙන්න කියලා අපි ඉල්ලන්නේ.
මේ වෙනකොට මේ ප්‍රහාරය සම්බන්ධව දේශපාලනඥයන් කිහිපදෙනකුට චෝදනා එල්ලවෙලා තියෙනවා. ඔබ හිතන්නේ මොවුන්ගේ සම්බන්ධතාවයක් තියෙනවාද?
අපේ රටේ ජාතික ආරක්ෂාව පදනම් වෙන්නේ ඉන්න සෙබළු ප්‍රමාණයවත් අවිආයුධවලින්වත් නවීන අවිආයුධවලින්වත් නොවේ. අපේ ජාතික ආරක්ෂාව අවදානමට ලක්වෙලා තියෙන්නේ නිසි ආරක්ෂක ක්‍රමවේදයක් නැතිවීම සහ ජාතික සමගිය පළුදු වීම නිසා. ඒනිසා පළමු අරමුණ තමයි ජාතික සමගිය ආරක්ෂා කරන්න ඕනේ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි සුපුරුදු ගමනේ නැවත යන්නේ. අපට පැහැදිලිව පේනවා මේ අවස්ථාවේ යම්කිසි පිරිසක් බොරදියේ මාළු බානවා කියලා. බොහෝ අය ඊළඟ මැතිවරණයේදී තම මන්ත්‍රී පුටු ආරක්ෂා කරගන්න තමයි මෙවැනි කතා හදන්නේ. නැත්නම් ගිලිහුණු දේශපාලන බලය අල්ලගන්න. මෙතැන වෙන්නේ කිසිම දෙයක් සොයාබැලීමකින් තොරව අතාර්කික දේවල් පස්සේ ගිහිල්ලා සැබෑ ප්‍රශ්නය යටපත් කරනඑක. ඒ නිසා සැබෑ ප්‍රශ්නය යටපත් නොවී අවශ්‍ය කටයුතු කළ යුතුයි. එහෙම නැතිවුණොත් වෙන්නේ නැවත නතර කරගන්න බැරි යුද්ධයකට යන එක.
වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් නොයෙකුත් කතා පැතිරෙනවා. මොකද්ද සාෆිගේ ප්‍රශ්නය ඔබට දැනෙන විදිහට?
මේ ප්‍රශ්නය ඉතාම හොඳ විද්‍යාත්මක ක්‍රමයක් යටතේ පරීක්ෂණ සිදුකර නිරාකරණය කරගත හැකි ප්‍රශ්නයක්. ඊට අවශ්‍ය උපකරණ තියෙනවා. නමුත් වෙන්නේ විද්‍යාත්මක විසඳාගත හැකි ප්‍රශ්නයක් ජනතාව මුලාකරලා වෙනත් කෝණයකට අරගන්න. මේකෙන් වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයත් ජාතිවාදී බෙදීමකට යන එක.
මේ වෙනකොට පොහොට්ටුවෙන් ගෝඨාභයත් අතෙන් මෛත්‍රීත් අලියගෙන් සජිත් හරි රනිල් හරි දාන්න තීන්දු කරලා තියෙන්නේ. මේක දේශපාලන රැල්ල වෙනස් කරන අවස්ථාවක් වෙයිද?
මෛත්‍රීපාල මහත්තයා ආවේ අවුරුදු පහක ධූරය දරලා යන්නයි. ඒත් දැන් ඔහු එය ඉක්මවා ගිහිල්ලා. ඔහු විසින් සිදුකරන ලද දේශපාලන වෙනස්කම් ඔහුගේ වචනයෙන් විවේචනය කරන්න පුරුදුවෙලා තියෙනවා. ඒ හොඳම උදාහරණය 19 සංශෝධනය.
ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ චෝදනා රැසක් එල්ලවුණු අයෙක්. ඔහුට විරුද්ධව අධිකරණයේ පවා නඩු තියෙනවා. එතුමා ඒ නඩු ටිකට ඉදිරිපත් වෙලා නිවැරදි කරගත යුතුවුවත් එතුමා කරන්නේ අසනීප මුවාවෙන් අධිකරණය මඟහැරීම.
රනිල් වික්‍රමසිංහ සජිත් ගැන බලද්දී ඔවුන් වසර 70 ගණනක් දේශපාලනය කරලා සමෘදිය ලක්ෂ 6කින් වර්තමානේ වැඩි කරපු අය. එවැනි තත්ත්වයක් උඩ තමයි ඔවුන් නැවත රටේ පාලනය ඉල්ලන්නේ. ඒ නිසා අපේ අරමුණ ප්‍රගතිශීලී ජනතාවක් සමඟ නව ගමනක් යන්න. ඒ සඳහා වැඩපිළිවෙළක් අප සකස් කරලා තියෙන්නේ.
ජවිපෙ පොදු අපේක්ෂකයා කුමන ප්‍රතිපත්ති රැගෙන එන කෙනෙක් ද?
අපිට අවශ්‍ය වෙන්නේ හුදු පුද්ගල වෙනසකට වඩා ප්‍රතිපත්තිගරුක වෙනසක්. ඊට අදාළ ප්‍රතිපත්ති රාමුව සකස්කර තියෙනවා. ඒක අපි නෙමෙයි. වෘත්තියවේදීන් විවිධ ක්ෂේත්‍රවල ප්‍රබලයන් විසින් සකස්කරලා තියෙන එකක්. ඒ ප්‍රතිපත්තිත් එක්ක අපේ රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සමඟ සාකච්ඡා මාලාවක් අරන්ගියා. අපි අවසාන තීන්දුවක් ගත්තා පුළුල් සන්ධානයක් හදලා ජාතික පෙරමුණක් සකසන එක. දැන් සියල්ල සූදානම් අවසානයේ තියෙන්නේ ජාතික පෙරමුණේ සාකච්ඡා කරලා අවශ්‍ය අපේක්ෂකයෙක් තෝරාපත් කරගැනීම විතරයි. මේ පෙරමුණ හදන්නේ ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් කේන්ද්‍ර කරගෙන නෙමෙයි. මේ රට නැවත ගොඩනැගීම සඳහා සිදුකරන පුළුල් වැඩපිළිවෙළක ආරම්භයක්.
ඔබලගේ පොදු අපේක්ෂකයා හිටපු විගණාකාධිපති ගාමිණී විජේසිංහ මහත්තයා ද?
නම් කිහිපයක් යෝජනා වෙලා තියෙනවා. හැබැයි තවම කවුද කියලා අපි තීරණය කරලා නැහැ. ඔහු දේශපාලනයට සම්බන්ධ නොවෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මොන දේ වුණත් ඔහු පුළුල් පෙරමුණේ අවසන් තීන්දුවයි.
මේ වෙනකොට සමාජයේ විශාල කතාබහක් ලක්වෙලා තියෙනවා එල්ලුම් ගහ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්. ජවිපෙ එයට එකඟද?
ඔය එල්ලුම් ගහේ කතාවත් සරල ලාභ දේශපාලන කතාවක්. ඊළඟ ජනාධිපතිවරණය සඳහා අරමුණු කරගෙන ජනාධිපතිවරයා විසින් ගොඩනගන ප්‍රොජෙක්ට් එකෙන් තවත් කොටසක්. ඕක මැයි මාසේ කරන්න තිබ්බ දෙයක්. හැබැයි සහාරාන්ගේ බෝම්බෙන් වැඩේ කල්ගියා. මීට කලින් ළමා අපචාර කළ අය එල්ලන්න ඕනේ කියලා රංජන් රාමනායක මහත්තයත්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවා. එදත් පාර්ලිමේන්තුව ඒක පරාජය කරා. එල්ලුම්ගහ රටේ අපරාධ අඩු කරන්න හේතුවක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ලෝකේ ප්‍රබල රටවල් තියෙනවා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන හැබැයි එහෙම කළා කියලා අපරාධ අඩුවීමක් දකින්න නැහැ. සමහර රටවල අපරාධ වැඩිවෙලත් තියෙනවා. අපි කළ යුතුවන්නේ නීතිය සහ අධිකරණ පද්ධතිය ශක්තිමත් කරන එක. ඒ වරදකරුවන්ට ඉක්මනින් දඬුවම් ලබාදෙන එක. අපේ තියෙන නීති අඩුපාඩුකම් නිසා නිවැරදිකාරයෝ එල්ලුම් ගහට යන්න පුළුවන්. උදාහරණය හැටියට ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය අල්ලගෙන අවුරුදු 14ක් හිරේ හිටිය පුද්ගලයා පසුගියදා මිය ගියා. ඔහු අත්අඩංගුවට ගන්න හේතුව ඉස්සරහා වත්තේ ගහක අත්තක් කපන්න ආවා කියලා. එංගලන්තය පවා මරණ දඬුවම ඉවත් කළේ නිවැරදි පුද්ගලයෙක් එල්ලලා මැරුවට පස්සේ.
► ගයාන් ගාල්ලගේ