2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

විධායකය අහෝසි කරන්න මේ හොඳම වෙලාවයි

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

අපේ පක්ෂයේ දිනන්න පුළුවන් තුන්දෙනෙක් ඉන්නවා
► ජනපති එක්ක අපි කිසිම ගිවිසුමක් ගහන්නෙ නෑ
► සමහර අපේ මන්ත්‍රිවරු මයික් ටයිසන්ලා වගේ
► පාස්කු කාරක සභා වාර්තාව ආවාම සමහරුන්ගේ ඇස් රතුවේවි
► පක්ෂය තෝරන අපේක්ෂකයා එක්ක මම වැඩ කරනවා
► පක්ෂය බෙදුණොත් දිනන්න බෑ

- එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ 

මේ වෙනකොට ප්‍රධාන පක්ෂ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා ගැන රටට හෙළිදරව් කරලා තියෙනවා. මේ සටන ඉස්සෙල්ලම පටන්ගත්තේ එක්සත් ජාතික පක්ෂය. තාම අපේක්ෂකයා ගැන වචනයක් කතා කරලා නෑ. ඇයි ඒ?

තාම ජනාධිපතිවරණයක් තියෙනවද නැද්ද කියලා අපි දන්නෙ නෑ. ජනාධිපතිවරණයක් කැඳවයිද කියලවත් අපි දන්නෙ නෑ. ඒ නිසා ජනාධිපති අපේක්ෂකයෝ ගැන කතා කරනවට වඩා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන එක තමයි වැදගත්ම කාරණය. මේක මගේ පෞද්ගලික මතය වගේම මම දේශපාලනය කරන්න පටන්ගත්ත දවසේ ඉඳන් තිබුණු අදහසක්. මම හිතන්නේ මේක කාලෝචිත අවස්ථාවක්. ඒ නිසා විධායකය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය යනකල් මේ රටට නිදහසක් නෑ. මේ අත්තනෝමතික බලතල දිහා බලලා දේශපාලනඥයන්ට වෙන්නෙ හැමදාම හූල්ල හූල්ල ඉන්න. අපි දැක්කා මෛත්‍රීපාල මහත්තයා දින 52 ආණ්ඩුව බිහිකරපු හැටි. ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කළ හැටි. ඒ බලතල අඩු කරලා තියෙද්දිත්. ඇයි ඒ නිසා අපිට විධායකය අහෝසි කරන්න බැරි?

ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති සටනක් ඕන නැද්ද?

නෑ. ඒක මගේ පෞද්ගලික මතය. අපේක්ෂකයා සම්බන්ධව පක්ෂය තීන්දු ගනියි.

ඔබ ඔය කියන කාරණය අග්‍රාමාත්‍යවරයත් මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා. හැබැයි මේ යෝජනාවට කවුරුත් කැමති නෑ. ඇයි මේ ඔක්කොම සටනට එනකල්ම හිටියේ?

නෑ. සිහින ලෝකෙ ඉන්න ජනාධිපතිවරු සියලුදෙනාම විධායකය අහෝසි කරනවට අකැමැතියි. අපි සිහින ලෝකෙ ජනාධිපතිලා නෙවෙයි. අපි ඉන්නේ මේ රටට වැඩ කළ යුතුයි කියන මතයේ. අපිට කල් වැඩි නෑ. මම හිතන්නේ දැන් තමයි හොඳම අවස්ථාව. අපි දින 52 ආණ්ඩුව හරහාත් පසුගිය කාලේ වෙච්ච දේවල් හරහාත් විධායකයේ හැසිරීම් දැක්කා. ඒ නිසා අපිට විශ්වාස කරන්න බෑ ඊළඟට එන ජනාධිපති කෙනෙක් විධායකය අහෝසි කරයි කියලා. ඒක කවදාවත් සිද්ධ වෙන්නෙ නැති දෙයක්. ඒ නිසා කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ සංවාදය ඇති වෙච්ච වෙලාවේ විධායකය අහෝසි කරන එක. මට හිතෙන්නේ තුනෙන් දෙකක් ගන්න පුළුවන් වෙයි.

යහපාලන ආණ්ඩුව පටන්ගන්නකොටත් කිව්වේ විධායකය අහෝසි කරනවා කියලා. හැබැයි අද වෙනකල් ඒක කරගන්න බැරි වුණා. ඒ බැරි වුණු දේත් දැන් කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවද?

ඒකට හේතුව සම්පූර්ණම විධායකය අහෝසි කරනවා කිව්ව ජනාධිපතිවරයා එහි කොටස් තියාගත්තා. අපි පිළිගන්නවා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ කිව්ව දේ අපිට කරගන්න බැරිවුණා කියලා.

ජනතාව රැවැට්ටුවා කියලා පිළිගන්නවද?

ඔව් එක පැත්තකින් රැවටීමක් කියලා පිළිගන්න වෙනවා. ඒක ඇත්ත. බොරු කියන්න ඕන නෑනේ. නමුත් දැනටත් ප්‍රමාද නෑ. ඒ වැරැද්ද හදාගන්න පුළුවන් එකම ක්‍රමය විධායකය අහෝසි කිරීම. ඔබ කියන්නේ විධායකය අහෝසි කරන්න එපා කියලද? ඒක නරකයි කියලද?

නෑ. ඔබලා මේ සංවාදය ගේන්නේ අනෙකුත් පක්ෂ සියලු දෙනාම ජනාධිපතිවරණයට ලෑස්ති වෙලා ඉන්නකොට.

ඉතින් ඒක තමයි හොඳම අවස්ථාව. මම ඒකයි මේ කියන්නේ. එතකොටනේ විධායකය ගැන මතක් වෙන්නේ කට්ටියට. ඔය පිරිස අවංකනම් කැබිනට් මණ්ඩලයට දාලා සම්මත කරගෙන පාර්ලිමේන්තුවට ගේන්නකො. අනිවාර්යයෙන්ම සම්මත වෙනවා. ඒ අවංකභාවයේ මම ඉන්නවා. 

ඔබ විධායකය අහෝසි කිරීම ගැන කතා කරද්දි ඔබේ පක්ෂයේ සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් ජනාධිපති අපේක්ෂක සටනේ යනවා. ඔබේ අයත් ලෑස්තියි ජනාධිපති වෙන්න.

එතැන බෙදීමක් දකින්න නෑ. මතවාද තියෙනවා හැමෝටම. දින 52 ආණ්ඩුව ඇතුළෙදී අපි ආණ්ඩුව පෙරළන්න හැමෝම කටයුතු කළා. 

ඊටත් වඩා මෙතන පේන්නේ පක්ෂ ඇතුළෙ බෙදීමක්නේ.

එහෙම බෙදීමක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයට, කරු ජයසූරිය මහත්මයට, සජිත් ප්‍රේමදාස මහත්මයට එකට ඉඳලා සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන්. මම පිළිගන්නවා බෙදුණොත් දිනන්න බෑ කියලා. ඒ බෙදන අයට කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අයින් කරන්න පුළුවන්නම් ඒක ඔලමොට්ටල තීන්දුවක්. ඕක සජිත් ප්‍රේමදාස ඉවත් කරලා දිනන්න පුළුවන් කියලා හිතනවනම් ඒකත් මෝඩ තීන්දුවක්. මේ දෙගොල්ලොම එකතු වෙන්න ඕන. ඔය දෙපැත්තෙම ඉඳන් එක එක කෝණවලින් බලන අයට කියන්නේ මැදට ඇවිල්ලා තීරණයක් ගත්තෙ නැත්නම් එක්සත් ජාතික පක්ෂයට දිනන්න බෑ. අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවේ 81%ක්වත් වැටෙන්න ඕන. ඒ නිසා මම දකින හොඳම දේ තමයි ඉක්මණින් විධායකය අහෝසි කරන තැනකට යන එක. 

ඉතින් පක්ෂයෙන් තාම අපේක්ෂකයෝ තෝරගන්නෙ නැතුව සජිත් ජනපති අපේක්ෂකයා කියලා ගහගෙන ඉන්න එක හරිද?

ඉතින් එතුමට ඒකෙ අයිතියක් තියෙනවනේ. එතුමගෙ ඉන්න කණ්ඩායමටත් ඒ මතය ප්‍රකාශ කිරීමට අයිතියක් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක අයිතියක්. ඒ ගැන මම ප්‍රශ්න කරන්න යන්නෙ නෑ. ඒ එතුමලගෙ අදහස. හැබැයි ඒ තැන මම නෑ. මම එතුමට කිව්වා මම ඉන්නේ විධායකය අහෝසි කළ යුතුයි කියන තැන.

ඒ කියන්නේ ආශු මාරසිංහ විධායක ජනාධිපති ධූර අපේක්ෂකයකුට උදව් කරන්නෙ නෑ?

නෑ. පක්ෂෙන් යම්කිසි තීන්දුවක් අරගෙන අපේක්ෂකයා තේරුවොත් එකට එකතු වෙලා වැඩ කරනවා. මොකද මම පක්ෂයේ විනය රකිනවා.

හරි. කෘත්‍යාධිකාරී මණ්ඩලයත් පාර්ලිමේන්තු කණ්ඩායමත් කවද්ද මේ අපේක්ෂකයා තෝරන්නේ?

ඒක පක්ෂයේ නායකයා තීන්දු කරයි. මොකද මම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් නෙවෙයි. ඒ නිසා ඒ ගැන ප්‍රකාශයක් මට කරන්න බෑ. ඒක තමයි මම කිව්වේ එදාට පක්ෂය ගන්න තීන්දුවට මම එකඟ වෙනවා.

සජිත් ප්‍රේමදාස කණ්ඩායමේ ඉන්න අජිත් පී. පෙරේරාටත් සුජීව සේනසිංහටත් විරුද්ධව විනය පරීක්ෂණයක් සිදුකරන්න යනවා. ඒ අර ප්‍රජාතන්ත්‍රවාදය නිසාද?

විනය පරීක්ෂණය ගැන මම දන්නෙ නෑ පක්ෂයේ නිලධාරී මණ්ඩලය නැති නිසා. ඕනෑම තැනක විනයක් තිබිය යුතුයි. ඒ වගේම විනය ආරක්ෂා කළ යුතුයි. මම නම් විනයට අනුව ඉන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්මයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තරා කණ්ඩායමක් එක්ක සන්ධානයක් හදන්න යනවා කියලා දේශපාලන ලෝකයේ කසුකුසුවක් යනවා. ඒක ඇත්තද?

ඒක මම දන්නෙ නෑ. ඒක ඉතින් ඒ පාර්ශ්වවලින්ම තමයි අහගන්න ඕන.

නිකන් හරි එක්සත් ජාතික පක්ෂය එක්ක මෛත්‍රීපාල මහත්මයා සන්ධානගත වුණොත් ඔබ ඒ ගැන දරණ මතය මොකද්ද?

එහෙම එක්සත් ජාතික පක්ෂය තීන්දුවක් ගත්තොත් මෛත්‍රීපාල මහත්මයා එක්ක ඉස්සරහට යන්න එදාට මට දේශපාලන වශයෙන් තීන්දුවක් ගන්න වෙනවා. මොකද මෛත්‍රීපාල මහත්මයත් එක්ක එකතු වෙලා යන්න තරම් ලැජ්ජාවක් එක්සත් ජාතික පක්ෂයට නැද්ද කියලා ප්‍රශ්නයක් එදාට එනවා. 

පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂත්, වමේ බලවේගවලින් අනුර කුමාර දිසානායක මහත්මයත් නම් කරලා ඉන්නවා අපේක්ෂකයෝ හැටියට. මොවුන් එක්ක සටන් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් හොයාගන්න ඕන නේද? 

රනිල් වික්‍රමසිංහ මහත්මයා, කරු ජයසූරිය මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා කියන තුන්දෙනාටම ඒ අයත් එක්ක සටන් කරලා දිනන්න පුළුවන්.

ඔබලා හිතනවද පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයත් එක්ක ගෝඨාභය රාජපක්ෂට සටනක් දෙන්න පුළුවන් වෙයි කියලා?

පුළුවන්. පළාත් පාලන මැතිවරණය වගේ නෙවෙයි මේ ජනාධිපතිවරණය. පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස වශයෙන් කඩලා තිබුණට ජනාධිපතිවරණයේදී රටම එක කොට්ඨාසයක් බවට පත්වෙනවා.

ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ ශ්‍රී.ල.නි.පය මොන වගේ තීන්දුවක් ගනීද කියලා. ඒ තීන්දුව එ.ජා.ප.යට බලපාන්න පුළුවන් නේද?

අපි කොහොමත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයත් එක්ක ගිවිසුම් ගහන්න සූදානමක් නෑ. එහෙම ලෑස්ති නැත්නම් ඒකෙන් බලපෑම් වෙන්නෙ නෑ.

ගිය පාර ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක් හිටියේ නෑ. ශ්‍රීලනිපයේ පිරිසක් හිටියේ ඔබ සමඟ. අද මේ සියල්ල වෙන් වෙලා. ඔබලා හිතනවද දිනන එක ලේසි වෙයි කියලා?

අපි තවම ජනාධිපතිවරණය සම්බන්ධ කෙරෙන නිගමනයකට එන්න කල් වැඩී. රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක එක්සත් ජාතික පක්ෂයට පුළුවන් ජයග්‍රහණය කරන්න.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ආණ්ඩුවට එල්ල වෙන චෝදනා මකන්න පත් කළ සභාවක් හැටියටයි විපක්ෂයේ අය චෝදනා කරන්නේ. ඔබත් එහි සාමාජිකයෙක්. ඇත්තද ඒක?

මට කියන්න තියෙන්නෙ ඕකට උත්තරේ ‘සභාවේ සිනා’ කියලා. ඔය කියන අය එහෙම කියනවනම් ඇයි ඒ අයට ඒ කාරක සභාවට සහභාගී වෙන්න බැරි? දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ වගේ ඒ අයටත් පුළුවන්නෙ ඇවිල්ලා ප්‍රශ්න කරන්න. මේ කමිටුව හරහා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි රටේ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මාධ්‍යට විවෘත කළා. අපේ වාර්තා එළියට ආවම බලාගන්න පුළුවන් කාගෙ කාගෙද ඇස් රතුවෙන්නේ, රිදෙන්නෙ කියලා.

බුද්ධි නිලධාරීන් බුද්ධි මෙහෙයුම් රටට හෙළිදරව් කළා කියලා ඒ කමිටුවෙන් චෝදනා එල්ල වෙනවා.

ඒක පිළිකුල් සහගත ලෙස හෙළාදකිනවා. ඔය බංකොලොත් දේශපාලනය කරන සිවිල් පක්ෂවල කිහිපදෙනෙක් හදපු කතාවක්. අපි කිසිදෙයක් හෙළිදරව් කරලා නෑ. සමහර ප්‍රශ්නවලට උත්තර ඒ අයගේ කැමැත්ත මත මාධ්‍යවලට හොරෙන් ගත්තේ.

ආණ්ඩුවට කතෝලික සභාවෙන් එල්ලවෙන චෝදනා තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවම සාධාරණයක් ඉෂ්ට කළේ නෑ කියලා. ඇයි ඒක කරගන්න බැරි වුණේ. 

ඒ චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. අපි හැමතැනින්ම සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා. සමහර දේවල් හැකි ඉක්මණින්ම. තවත් දේවල් තියෙනවා කාලයක් යනවා ඒවට සාධාරණය ඉෂ්ට කරන්න.

පාස්කු ප්‍රහාරයේ වගකීම ඔබට දැනෙන හැටියට ආණ්ඩුව බාරගත යුතුයි නේද?

ඒකෙ යම් යම් වගකීම් ආණ්ඩුවට තියෙනවා. ආණ්ඩුව විතරක් නෙවෙයි මේකට ආරක්ෂක ඇමැතිවරයා මෙන්ම නීතිය හා සාමය බාර ඇමැතිවරයාත් වගකියන්න ඕන. 

විශේෂ කාරක සභාවට ජනාධිපතිවරයා සහභාගී වනවා කියලා කියලා තියෙනවා. ඒ ගැන ඔබ දැනුවත්ද?

ජනාධිපතිවරයා සහභාගී වන බව ප්‍රකාශ කළා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා අපිට දිනයක් ලබාදෙයි කියලා. 15 වෙනිදත් 25ත් අතර කාලය තුළ.

ඒ කියන්නේ ඔබලා ජනාධිපතිවරයා ළඟට යනවා ප්‍රශ්න කරන්න?

කාරක සභාවේ නීති රීති යටතේ තියෙනවා කාරක සභාවට ඕනෑම තැනකට රුස් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපට ප්‍රශ්නයක් නෑ. අපට ජනාධිපතිගේ නිවසේ හරි ජනාධිපති ‍ලේකම් කාර්යාලෙ හරි රැස්වෙන්න පුළුවන්.

ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.ප සමුළුවේ කිව්වා මහ බැංකු චෝදනාවට අර්ජුන මහේන්ද්‍රන් විතරක් නෙවෙයි ඊට එහා ලොකු ලොක්කන්ටත් වැඩ වරදිනවා කියලා. ඒක එ.ජා.ප.යට එල්ල කරපු රතු එළියක් නේද?

ඒක ඉතින් එතුමාගෙන්ම අහන්න ඕන. එතුමා ගාවනෙ ෆයිල් තියෙන්නේ.

අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පක්ෂයේ යම් යම් තීන්දු තීරණ ගැනීමේදී බොහෝ ආවේගශිලීව කටයුතු කරනවා. ඔබත් පසුපෙළ මන්ත්‍රීවරයෙක්. මොකද හිතන්නේ ඒ ගැන?

සමහර මන්ත්‍රීවරු කරලා තියෙන දේවල් දැක්කම ඇත්තටම හිතෙනවා ඒ අය දේශපාලනය දන්නෙ නැද්ද කියලා. සමහර අය අයින් වෙනවා කියනවා. එහෙම කියලා තාම ඉන්නවා. මටත් ඒ අයගෙන් අහන්න තියෙන්නේ මේවා මේ විදිහයට කියන්න කලින් හිතන්නෙ නැද්ද කියලා. කටට මයික් එකක් දැක්කම මයික් ටයිසන්ලා වගේ ඔහේ කියවනවා. මට ඒ අයට කියන්න තියෙන්නේ තව බොහෝ දුරට ඉගෙනගන්න කියලා.

ඔබ කිව්වා එ.ජා.පයේ අපේක්ෂකයෝ තුන්දෙනෙක් ඉන්නවා කියලා. ඔබ හිතන්නේ පක්ෂය ජයග්‍රහණය කරවන්න පුළුවන් හොඳම අපේක්ෂකයා කවුද?

මම විශ්වාස කරනවා තුන්දෙනාටම පුළුවන් කියලා. පක්ෂය එකතු වෙලා ඒකමතිකව තීන්දු කරන්න බැරිනම් ඡන්දෙකින් හරි අපේක්ෂකයා තීන්දු කරන්න ඕන. ඒ පුද්ගලයා කවුද ඒ පුද්ගලයා අපි කරේ තියන් දුවන්න ලෑස්තියි.

♦ ගයාන් ගාල්ලගේ

 

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00