♦ ජනපතිතුමා සහ සජිත් එකතු වන කතා බොරුවක්
♦ බැසිල් මහත්තයා සාධාරණව හිතන මධ්‍යස්ථ කෙනෙක්
♦ හදිසිකාරයෝ කියන විදියට පොදුජන පෙරමුණේ වාඩිගහන්න බෑ
♦ වෙල්ගම මහත්තයාගේ ගෝඨා විරෝධය අපේ මතය නොවෙයි
♦ අපි කවදාවත් එජාපයට ජැක් ගහන්නෙ නෑ
♦ අපේ ඡන්ද ලක්ෂ ගාණ තීරණාත්මකයි
♦ සාකච්ඡා බිඳ වැටුණොත් අපේක්ෂකයෙක් දානවා
♦ තලු මර මරා ඇමැතිකම් කරලා පක්ෂය පාවාදුන් ජාතික ලැයිස්තු මන්ත්‍රීලාත් ඉන්නවා
- පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රීල.නි.ප. මහ ලේකම් - දයාසිරි ජයසේකර
ඔබ වර්තමානයේ ශ්‍රීලනිප මහ ලේකම්. මේ වෙනකොට පක්ෂය තියෙන්නේ බරපතළ ප්‍රශ්න ගොඩක. එවන් මොහොතක පක්ෂයේ මහ ලේකම් හැටියට කටයුතු කරන එක ගැන ඔබට දැනෙන්නේ කොහොමද?
ඇත්තවශයෙන්ම පක්ෂය 1977 ආසන 8ට බැස්සයින් පස්සේ පක්ෂය තුළ අර්බුද ගණනාවක් තිබුණා. ඒ අර්බුද අස්සේ වැඩ කරපු මහ ලේකම්වරුත් හිටියා. නමුත් මම හිතන්නෙ නෑ මේ වගේ තත්ත්වයක් ඉතිහාසයේ කවදාවත් පක්ෂය තුළ ඇතිවුණා කියලා. හේතුව 2015 මහ මැතිවරණයෙන් අපේ පක්ෂයෙන් මන්ත්‍රීවරු 95 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. නමුත් අද වෙනකොට ඉතුරු වෙලා ඉන්නේ ශ්‍රී.ල.නි.පෙ. 20 දෙනයි. අනිත් අය පෞද්ගලික න්‍යාය පත්‍ර හේතුවෙන් පක්ෂය අතහැරලා දාලා ගිහිල්ලා. ඒ නිසා පක්ෂය යම් ආකාරයක හැකිලීමක් වෙලා තියෙනවා. ඒකට මට වගකීමක් ගන්න බෑ.
ඔබ හිතන්නේ එහෙම තත්ත්වයක් ඇතිවෙන්න හේතුව මොකද්ද?
අපි ගත්ත යම් ආකාරයක දේශපාලන තීන්දු නිසයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. ඒ වගේම පක්ෂයේ යම් සිද්ධීන්වලදී විනය තීන්දු නොගෙන ඉන්න නිසයි මේ වගේ තත්ත්වයන් ඇතිවෙලා තියෙන්නේ. ඒනිසා දැන් තියෙන්නේ මෙතැනින් පහළට නොවැටී ඉස්සරහට පක්ෂය ගොඩනගාගෙන යන්න.
ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නේ ගිය කට්ටිය ගෙන්නගන්න. ඔබ උත්සාහ ගන්නෙත් ඒකටමද?
පළවෙනියෙන්ම ක්‍රියා කරන්න ඕන ඉන්න කට්ටිය රැකගන්න. දෙවැනි කාරණය තමන්ගේ පෞද්ගලික න්‍යාය වෙනුවෙන් ගිය කට්ටියට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම තමයි සිදුකළ යුත්තේ. මොකද මීට කලින් එහෙම විනය ක්‍රියාමාර්ග අරන් තිබුණා.
ඔබ කියනවා ඒ තීන්දු පෞද්ගලික න්‍යාය කියලා. හැබැයි ඔවුන් කියන්නේ රට ගැන හිතලා තමයි තීන්දු ගන්නෙ කියලා. ඇත්තටම මොකද්ද මේ තීන්දුව?
ඔව් ඉතින් හැමෝම කියන්නේ රට ගැන හිතලා තීරණ ගත්තා කියලනේ. ගිය පාරත් 17 දෙනෙක් ආණ්ඩුවට ගියා. ඇමැතිකම් ගත්තා. ඊටපස්සෙ ආයි රට ගැන හිතලා කියලා ඇමැතිකම් දාලා ආවා. ඊටපස්සේ රට ගැන තීන්දුවක් ගත්තා කියලා විරුද්ධ පක්ෂෙට ගියා. ඊටපස්සෙ වෙනත් පක්ෂෙකට ගියා. ඒ නිසා ඒ අයගේ වාසියට පාවිච්චි කරන්නේ එකම වචනය රට ගැන හිතලා කියලා. එහෙම බැලුවොත් අපි රට ගැන හිතලා තමයි පක්ෂයට වෙලා ඉන්නේ. මොකද ශ්රීලනිපය රට ගැන හිතනවා. අනිත් අය ඊළඟ පාර පාර්ලිමේන්තු එන්න බැරි වෙයි කියලා රට ගැන හිතලා කියලා පක්ෂෙ මාරු කරනවා. ඒ නිසා මට ජනතාවට කියන්න තියෙන්නේ මෙහෙම වැඩ කරන කට්ටිය කියන රට ගැන හිතනවා කියන කාරණය එතරම් වලංගු වෙනවද කියලා තීරණය කරන්න කියලා.
ඇත්තටම ඔවුන්ට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් නෙවෙයිද?
එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ශ්රීලනිපය දූෂිත පක්ෂයක් නෙවෙයි. රට ගැන හිතන පක්ෂයක්. මොකද මේ පක්ෂය රටට විරුද්ධව වැඩ කරලා නෑ. ඒ නිසා මෙතන ඕනම කෙනෙක්ට ඉන්න පුළුවන්. ඒත් ඒ අය දන්නවා මෙතන හිටියොත් පරාජයට පත්වෙනවා කියලා.
ගිය අයගෙන් බොහෝ දෙනෙක් කියන්නේ දැන් ශ්‍රීලනිපයෙ ඉතිරි වෙලා ඉන්න බහුතරයක් එජාපයට යන්න ඉන්න අය කියලා. ඒක ඇත්තද?
ඒක සම්පූර්ණයෙන් බොරුවක්. ඒ අය එහාට ගිහින් කියනවා අපිට එහාට එන්න කියලා. දැන් එහාට එන්න කියන්නේ කොහෙටද? ඒ අය කොහෙද ඉන්නෙ කියලා ඒ අය දන්නවද? ඒ නිසා ඒ අය පක්ෂය අතහැරලා ගියාට අපිට පක්ෂය අතහැරලා යන්න බෑ. ඒක අමාරු තීරණයක්. හැබැයි මෙතන ඉන්නවා කියන අදහසින් තීරණය වෙන්නෙ නෑ අපි ආණ්ඩුවට එකතු වෙන්න හරි එජාපයට යන්න හරි ඉන්නෙ කියලා. මොකද එජාපයත් එක්ක වැඩ කරලා අපි හොඳ පාඩමක් ඉගෙනගෙන ඉන්නේ. එහෙම එකතු වෙන්න ජනාධිපතිතුමාටත් මටවත් අපේ පක්ෂේ මන්ත්රීවරැන්ටත් කිසිම උවමනාවක් නෑ. එහෙම කියලා පොදු ජන පක්ෂෙට යන්න උවමනාවකුත් නෑ. හැබැයි යම්කිසි එකඟතාවයක් එක්ක සන්ධානගත වෙන්න අපේ අදහසක් තියෙනවා. ඉතින් ඒක කරන්න ගියාම තමයි මේ ප්‍රශ්නෙ ඇතිවෙලා තියෙන්නේ.
ප්‍රශ්නෙ කියන්නේ ඒ අය අර පැත්තට ගිය එකද?
ඒ අය ඒ පැත්තට ගිහිල්ලා සාකච්ඡා ඉවරයි විනාසයි කියලා කියනවා. හැබැයි ඒ අයට තැනක්වත් ඒ පැත්තෙ නෑ. ඒ අයව ගණන් ගන්නෙත් නෑ.
ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් ලැබෙනවා කියන්නේ පක්ෂයට හිතවත්ම කෙනකුට. හැබැයි ඉතිහාසයේ වැඩිම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ප්‍රමාණයක් හැරගිහින් තියෙන්නේ මෙවර ශ්‍රීලනිපයෙන්. මේක පුදුම සහගත වැඩක් නේද?
ඔව් ඉතින් ඒක ඒ අයගේ හෘද සාක්ෂිය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ අය හිතලා බලන්න ඕන මේ කරන වැඩේ හරිද කියලා. ඡන්දෙ පැරදිලා අවුරුදු පහක් ගෙදර ඉන්න සිදුවුණ අය තමයි ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත මේ දේවල් ලබාදුන්නේ. ඒ වගේම ආණ්ඩු කරනකොට ඔවුන්ට හොඳ ඇමැතිධූරත් ලබාදුන්නා. ඒකත් අරගෙන ඒකෙනුත් කාලා ඒකත් තලු මරලා තමන්ට ඊළඟ පාර පාර්ලිමේන්තු එන්න බැරිවෙයි කියලා අනිත් පැත්තට යනවා. මේක මුළු පක්ෂෙම පාවාදීමක්. අනිත් කාරණය ජනාධිපතිතුමාවත් පාවා දීමක්. එහෙම ගිහිල්ලත් අපිට බණිනවා. ඒ නිසා ජනතාවට කියන්න තියෙන්නේ මේ අය අනාගතේ කරන්නෙත් ඔය දේමයි. ජනතාව හිතන්න ඕන ඒ අය සදාකාලිකව ගෙදර තියන්න.
ජනතාව ගෙදර තියලනේ ඔබලා ඇතුළට ගෙනාවේ. දැන් එහෙම කරන අයට විරුද්ධව ක්‍රියාත්මක වීමේ බලය තියෙන්නේ පක්ෂයට. ඔබ ඒක කරන්න ලෑස්තිද?
දැන් අපි විනය ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. මධ්‍යම කාරක සභාව රැස්වුණ දා තීරණයක් ගත්තා ජාතික ලැයිස්තුවෙන් ඇවිත් දෙපැත්තට ගිය අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒක දැන් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඔවුන් මේ වෙනකොට ඒ සඳහා හේතු කරණා එවලා තියෙනවා ලිපි මාර්ගෙන්. අපිට දැන් තියෙන්නේ ඉදිරි පියවර ගන්න. ඉදිරි සතිය ඇතුළත ක්‍රියාමාර්ග ගන්නවා.
පොදුජන පක්ෂය බිහිවුණ දා ඉඳලා ශ්රීලනිපය අතර නොයෙකුත් සාකච්ඡා තිබ්බා. දැන් මැතිවරණයක් කට ළඟට ඇවිල්ලත් තවම සන්ධානගත වෙන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ වෙලා තියෙන්නේ?
අපේ සාකච්ඡා සාර්ථකයි. ඒත් ඉවසගන්න බැරි හදිසිකාරයො වගයක් මේක ඇතුළේ ඉන්නවා. ඒ අයට ඕන ඉක්මනින්ම ගිහිල්ලා පොදු ජන පෙරමුණේ වාඩිය ගහගන්න. ඒ ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙට එන්න. මේක තමයි ප්රශ්නය. හැබැයි අපිට එහෙම හදිස්සියක් නෑ. කොහොම කළත් අපේ පක්ෂෙ එකතු වෙන්නේ වාමාංශික බලවේග එක්ක. හැබැයි ඊට කලින් අපේ පක්ෂෙ තියෙන ප්‍රශ්න ටික විසඳගන්න ඕන. එහෙම නැතුව පෞද්ගලික න්‍යායවල් ගැන අපි හිතන්නෙ නෑ. මේ ප්‍රශ්න විසඳගන්න ටිකක් කල් යනවා. ඒ කාලය ඉවසන්න බැරි හදිසිකාරයො තමයි එහාපැත්තට යන්නේ.
පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියන්නේ ශ්රීලනිපය මේ සන්ධානය ඇති නොවන්න අනවශ්‍ය යෝජනා සහ ගිවිසුම් ගේන්න හදනවා කියලා. ඒක එහෙමද?
දැන් බලන්න අපිව එකතු කරගන්නෙ නැතුව සාකච්ඡා ඉවර වෙන්න කලින් සන්ධානයක් හැදුවා. අපේ කිසිම එකඟතාවයකින් තොරව ජනාධිපති අපේක්ෂකයෙක් නම් කළා. අගමැති අපේක්ෂකයකුත් නම් කරලා තියෙන්නේ. අනිත් කාරණය ඔහුගේ ලාංඡනයත් පොහොට්ටුව. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රීලනිපයට බැහැ ගිහින් හේත්තු වෙන්න. මොකද්ද අපිට තියෙන වටිනාකම?
ඒ කියන්නේ පොහොට්ටුවෙන් ඉල්ලන එකද ප්රශ්නය?
හිතන්න යම් ආකාරයකට පොහොට්ටුවෙන් ඉල්ලුවොත් අපේ අය ගිහිල්ලා පොහොට්ටුවට බැඳෙනවා. එතකොට පක්ෂය දියාරු වෙලා යන්න පුළුවන්. ඒක තමයි අපිට තියෙන ප්රශ්නය. අපිට පක්ෂය දිය කරන්න බැහැ. අපි කිව්වේ එක ලාංඡනයකට අපි සියලු දෙනා එකතු වෙමු. හැබැයි පොහොට්ටුව හැර. එහෙම එකතු වෙලා වැඩ කිරීම තුළ අපේ පක්ෂයත් බේරෙනවා. ඔවුන්ගෙ පක්ෂයත් බේරෙනවා. මොකද ලාංඡනය වෙනස් වුණා කියලා පොහොට්ටුවට ඡන්දෙ දුන්න මිනිස්සු ගිහින් යූ.එන්.පී.යට ඡන්දෙ දෙන්නෙ නෑ. ඔවුන් කොහොමත් එන ලකුණකට ඡන්දෙ දෙනවා. මොකද අපේ ගම්වල පාක්ෂිකයෝ බහුතරයක් පොහොට්ටුවේ ලකුණට අකමැත්තක් දක්වනවා. ඒකට හේතුව ගිය පළාත් පාලන මැතිවරණයේදී එකම පක්ෂයේ පිරිස දෙකට බෙදිලා ඡන්දෙ ඉල්ලීම. මේ අය පක්ෂ දෙකට විරුද්ධව වැඩ කළේ. ඒ නිසයි අපි කියන්නේ පොදු ලකුණට එන්න කියලා. මම නෙවෙයි ලාංඡනය එල්ලිලා ඉන්නේ ඒ අයයි.
ඒ කියන්නේ ඔබේ පක්ෂයේ සහය අවශ්‍යනම් ශ්‍රීලනිපයේ එකඟතාවයකට එන්න ඕන?
අපි කියන්නේ ජනාධිපතිතුමාගෙත් අපේත් සහය අවශ්‍ය නම් පොදු සළකුණට එන්න කියලා. මොකද ගිහින් එකට වැඩ කරන්න සාධාරණ කාරණා තියෙන්න ඕන.
ඔබ හිතනවද ඊළඟ ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකය ශ්රීලනිපය කියලා?
අනිවාර්යයෙන්ම. තාම තීරණාත්මකයි. ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයට ලැබුණා. ඒ අය කියනවා ඒක අඩුයි කියලා. ඒත් ඒක ලක්ෂ 10කට හෝ 5කට ආවත් මේ මැතිවරණයේදී එම ඡන්ද ප්‍රමාණය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ඒ ඡන්ද ප්‍රමාණය ගැන අවබෝධයෙන් හැමදේටම සූදානම් වෙන්නේ.
ඔබලා මේ සාකච්ඡා කරන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයත් එක්ක. ඔහුගේ ප්‍රතිචාරය කොහොමද?
ඇත්තවශයෙන්ම එතුමා ඉතාම සාධාරණ ලෙස කල්පනා කරනවා. එතුමා අපට තියෙන අපහසුතාවයන් සම්බන්ධව හොඳ අවබෝධයකින් ඉන්නේ. එතුමත් එක්ක ඕනම දෙයක් බේරගන්න පුළුවන් තැනක ඉන්නවා කියලා මට හිතෙනවා. එතුමා අන්තවාදී නොවී මධ්‍යස්ථව හිතන කෙනෙක්. මේ අන්තවාදී වෙලා ඉන්නේ ඊයෙ පෙරේදා අපේ පක්ෂෙ ඉඳලා ඒ පැත්තට ගිය අය. අපි හිතනවා එතුමා එක්ක ඒ ප්රශ්නය විසඳගන්න පුළුවන් වෙයි කියලා.
ජනාධිපතිවරයා මෙම සන්ධානගත වීම ගැන මොන වගේ අදහසකද ඉන්නේ?
ජනාධිපතිතුමා මුල ඉඳලම එජාපයත් අගමැතිතුමත් විවේචනයක ඉන්නේ. ජනාධිපතිතුමා යම් අපකීර්තියකට ලක්වුණානම් ලක්වුණේ ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති හැටියට දිවුරැම්දීමට කටයුතු කිරීම නිසයි. එහෙම දෙයක් කළේ එජාපය එක්ක යන්න බලන් නෙවෙයි. ඒ පෙන්නුවේ වමේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක එතුමට තියෙන බද්ධ වීම. ඒ වගේම පොදු ජන පක්ෂයට ගිහිල්ලා ඒ අයගේ මන්ත්‍රී ධූර අහෝසි වෙන්න ගිය වෙලාවේ ‘නෑ මේ අය අපේ අය’ කියලා ලියුම් ගහන්න අමරවීර මහත්මයට කිව්වේ ජනාධිපතිතුමා. එනිසා ඒ දේවල් කළේ යූ.එන්.පීයට යන්න බලාගෙන නෙවෙයි. එතුමා හැමතිස්සෙම උත්සාහ කළේ පක්ෂය රැකගන්න.
රාජපක්ෂ කඳවුරේ හිටිය ගෝඨාභය විරෝධී එකම පුද්ගලයා තමයි කුමාර වෙල්ගම. ඔහු ඉන්නේ දැන් ඔබලත් එක්ක. බොහෝදෙනෙක් කියන්නේ ශ්‍රී.ල.නි.පය ඔහුගේ එක්වීමත් එක්ක ගෝඨා විරෝධී කඳවුරක් ගොඩනගනවා කියලා.
ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. වෙල්ගම මහත්මයගේ විරෝධය ගෝඨා විරෝධී මතයක් වුණාට අප පක්ෂයක් හැටියට පුද්ගල විරෝධී මතයක නැතිව රට ගැන තමයි හිතන්නේ. මොකද රටට අත්වන ඉරණම ගැන අපි හිතනවා. එතැනදී රටට ඕන හොඳම අපේක්ෂකයා කවුද කියලා අපි තීරණය කරනවා. පක්ෂයේ ඇතැම් අය එම අදහසේ නැති වුණත් සමස්ත පක්ෂයක් ලෙස තීරණ ගැනීමේදී ඔවුන් අපි සමඟ ඉන්නවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමඟ තියෙන පෞද්ගලික මතවාද අපිට වැඩක් වෙන්නේ නෑ.
ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහත්මයාව ජනාධිපති අපේක්ෂකයා කරලා ඒ තුළ ශ්‍රී.ල.නි.පය එකතු කරලා සන්ධානයක් හදන්න යනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද?
එහෙම කිසිම අදහසක් අපේ නෑ. විවිධ අය විවිධ කටකතා පතුරවනවා. ඒකට හේතුව අපේ ප්‍රතිඵල යම් ප්‍රමාදයකට ලක් කිරීම නිසා. ඒක ඒගොල්ලන්ට ප්‍රශ්නයක්. ඒ තුළ විවිධ කතා තියෙනවා. මෛත්‍රී ජනාධිපතිතුමයි සජිතුයි එකතු වෙනවා කියන එකත් එහෙම කතාවක් තමයි.
ඇත්තද සජිත් ප්‍රේමදාස ආවොත් දයාසිරි ජයසේකර සජිත් එක්ක හිටගන්නවා කියන කතාව?
ඒ සියල්ල කටකතා. මම යූ.එන්.පීයට යනවා කියලත් කතා තියෙනවා. ඒවා අභූත චෝදනා. ඒ නිසා ඒ ගැන කතා කරන්න අපි කාලය වැය කළ යුතුත් නෑ.
ජනාධිපතිවරයාගේ විරෝධතාව තියෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ආණ්ඩුවකට. ඒත් සජිත් යම් ආකාරයකින් ආවොත් ශ්රීලනිපය මතය සජිත්ට ලෙංගතු වෙන්න පුළුවන්ද?
අපි ඒ ගැන කලබල විය යුතු නෑ. අපිට එහෙම එකතු වීමේ බලාපොරොත්තුවක් නෑ.
ඔබට එ.ජා.පය ගැන හොඳ ඉවක් තියෙන කෙනෙක්. වර්තමානයේ අපේක්ෂක සටනක් ඇවිත් තියෙනවා. ඔබට මොකද හිතෙන්නේ?
ඔය කැළඹිල්ල හැමදාම එ.ජා.පය ඇතුළෙ තියෙනවා. මේ වතාවෙත් එහෙම තමයි. මගේ නම් විශ්වාසය තියෙන්නේ මේ පාරත් තුවාල හැදෙන තැනකට මේ ප්රශ්නය යයි කියලා.
ඔබත් අනෙකුත් පක්ෂ වගේ මැතිවරණ කොමසාරිස්වරයට ලිපියක් යවලා තියෙනවා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව කියලා. එහෙම අදහසක් තියෙනවද?
අපේ බලාපොරොත්තුවක් තියෙන නිසා තමයි අපි දැම්මේ. අපි ඒක අනාගතයේ බලමු. ඒ මේ සාකච්ඡාවල සාර්ථක අසාර්ථකභාවය තුළ. මොකද අසාර්ථක වුණොත් යූ.එන්.පීය එක්ක ගමනක් යන්න බෑනේ. එතකොට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න වෙනවා. ඒක කොච්චර හානිදායක වුණත් ඒ තීන්දුවට අපිට යන්න වෙනවා.
ගොඩක් අය කියන්නෙම් කුමාර වෙල්ගම තමයි ඊළඟ අපේක්ෂකයා කියලා. ඒක ඇත්තක්ද?
නෑ. එහෙම කිසිම තීන්දුවක් අරන් නෑ.
► ගයාන් ගාල්ලගේ