♦ ජනාධිපතිවරණයට කලින් පළාත් සභා නොතිබ්බොත් මම මේ පුටුවේ නෑ
♦ අපට හැමදාම ලැබුණේ බැණුම්-විවේචන විතරයි
♦ කලකිරීමක් නෑ: මට තියෙන්නේ කනගාටුවක්
♦ උපන් දිනේටත් සුබ පතලා පාර හරහා කටවුට් ගහනවා
♦ පක්ෂ ලේකම්වරු අපි එක්ක කතා කරනකම් හරිම හොඳයි
♦ සමහර දේවල් කියලා කියලම අපට ඇති වෙලා
♦ ඔහොම ෆොටෝ දාන්න ගියොත් මාළු මාකට් එකේ තොරණ වගේ වේවි
- මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය
(මෙම සම්මුඛ සාකච්ඡාව ජනාධිපතිවරණය ප්‍රකාශය පත්කළ 18 දින මධ්‍යහ්නයේ සිදු කැරිණි. 2019 සැප්තැම්බර් එදින රාත්‍රියේ ගැසට් පත්‍රයක් මගින් ඡන්දය ප්‍රකාශයට පත්කළ අතර අප මෙම සම්මුඛ සාකච්ඡාවේදී දිගින් දිගට ඡන්දය පැවැත්වෙන දින අසා සිටියත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එය හෙළි නොකළ බව දන්වා සිටිමු. එබැවින් පහත පලවන සාකච්ඡාව මැතිවරණ දිනය නිවේදනය කිරීමට පැය කිහිපයකට පෙර සිදුකරන ලද්දක් බව සඳහන් කරමි.)
අපිට කියන්න ජනාධිපතිවරණය කවද්ද හරියටම පැවැත්වෙන්නෙ කියලා? මොකද හැමෝම අහන ප්‍රශ්නයක් මේක.
මේ ඉරිදා පත්තරේට කලින් එන්නත් පුළුවන්. ලබන ඉරිදා පත්තරේට කලින් එන්නත් පුළුවන්. හැබැයි මට අනිවාර්යයෙන් කියන්න පුළුවන් ඊළඟ ඉරිදා පත්තරේට කලින්නම් මට දිනේ කියන්න පුළුවන්. හැබැයි ඔයා දාන්න අනිවාර්යයෙන් මේ ඉන්ටර්වීව් එක 2019 සැප්තැම්බර් 18 වැනිදා හරියටම 12ට ගත්තා කියලා. මොකද මේ ඉරිදට කලින් වුණොත් මම විහිළුවක් වෙනවනේ. (සිනාසේ)
ඇයි ඔබට හරියටම දිනය කියන්න බැරි? ඔබ නොදන්නවා වෙන්න බෑනේ.
මම කොමිසමේ සාමාජිකයෙක්. මට නීත්‍යානුකූලව ඒ දේ ප්‍රකාශ කරන්න කලින් පත්තරේකට කියන්න බෑ. හැබැයි මේක යනකොට සමහර විට ජනතාව දිනේ දැනගෙන ඉන්නත් පුළුවන්.
ඇත්තද ඡන්දය නොවැම්බර් 15 හරි 23 හරි තියෙනවා කියන්නේ? පක්ෂ ලේකම්වරු එහෙන්මෙහෙන් ඉඟි කරලා තිබ්බා.
අපි ඒ අයට පැහැදිලිවම කිව්වා නොවැම්බර් 15, 23 අතර දිනයක් ඡන්දෙට වෙන් වෙන්න පුළුවන් කියලා. මට පැහැදිලිව කියන්න පුළුවන් 15 හෝ 23 වෙන්නෙ නෑ. ඒ දවස සෙනසුරාදා දවසක් නොවන දවසක් වෙන්නත් පුළුවන්. නැත්නම් එහෙම වෙන්නත් පුළුවන්. සමහරවිට 15 වෙන්නත් පුළුවන්. 16 වෙන්නත් පුළුවන්. 18 වෙන්නත් පුළුවන්. හැබැයි 18 තියන්න අපේ බලාපොරොත්තුවක් නෑ. මොකද ඒකට හේතුව හැමෝම දන්නවා.
එදා පක්ෂ ලේකම්වරු හම්බ වෙලා විශේෂයෙන්ම කතා වුණා කියලා කියන්නේ මාධ්‍යයේ හැසිරීම ගැන මැතිවරණ සමයේදී. ඒ කියන්නේ මාධ්‍ය හසුරුවන්න බලාපොරොත්තු වෙනවද ඒ කාලෙදි ඔබ?
මෙහෙමයි. කොමිසමට බලය තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය පාලනය කරන්න විතරයි. හැබැයි අනිත් ඒවා කරන දේවල් සම්බන්ධව අපිට කියන්න මඳක් අමාරුයි. ජනතාව දන්නවා මධ්‍යස්ථ මාධ්‍ය මොනවද කියලා. ඒක අපිට කියන්න බෑ.
මෙවර මැතිවරණය පරිසර හිතකාමී මැතිවරණයක් කරන්න පක්ෂ එකඟතාවයට ඇවිල්ලා තියෙනවද ඔබත් එක්ක?
ඔව්. ඔව්. පෝස්ටර් කටවුට්, කොඩි වැල්, විශාල ලෙස අවම කරන්න කියලා දැනුම්දීලා තියෙනවා අපි පක්ෂවලට. ඒ වගේම ලීෆ්ලට් ජනතාව ළඟ තියාගත්තොත් කමක් නෑ. එහෙම නැතුව ඒවා ඉවත දැම්මොත් ඒ ලීෆ්ලට් ප්‍රතිචක්‍රීකරණය කරන්න කියලා අපි දැනුම්දීලා තියෙනවා. අපි ගොඩක්ම කියලා තියෙන්නේ අඩු වියදමින් මේක කරන්න කියලා.
ඔබලා කිව්වට පක්ෂ ලේකම්වරු ඊට එකඟ වුණාද?
පක්ෂ ලේකම්වරු හොඳටම හොඳයි. හැබැයි අපිත් එක්ක කතා කරනකල්. ඒ කියන දේවල් ක්‍රියාත්මක කරන්න ඕන ඒ අයගේ පක්ෂයත් එක්ක කතා කරලා. ඇත්තටම දැන් එහෙම නීති කඩන අය නැහැ. ඔයා දාන්න ඒක මම හිනාවෙවී කිව්වෙ කියලා.
ඔබ කිව්වද පක්ෂ ලේකම්වරුන්ට පක්ෂ නායකයන්ගේ ඡායාරූප දාන්න එපා අපේක්ෂකයන්ගේ විතරක් ඡායාරූප පළකරන්න කියලා.
මම නෙවෙයි. ඒක අපි කිව්වේ.
ඇයි හැමදාම කරපු දෙයක් මේපාර වෙනස් කරන්න ඔබ හිතුවේ?
දැන් බලන්න පක්ෂ ගොඩක් සන්ධානගත වෙලා ඉන්නවා. එක සන්ධානෙක ඉන්නවා පක්ෂ 20ක් විතර. හිතන්න ඒ විස්සෙම ෆොටෝ ගහන්න ගියොත්. අඩිය අඩිය ෆොටෝ ගැහුවොත් ඒත් වර්ග අඩි 20ක් යනවා. ඊටපස්සේ ඕක ගමට ගියාම ප්‍රාදේශීය සභාවේ හරි නගර සභාවේ හරි සභාපතිගේ ෆොටෝ එක දානවා. ඊටපස්සේ මන්ත්‍රී කෙනෙක් ගැහුවොත් එයාගෙ ෆොටෝ එකත් දානවා. පළාත් සභාවෙ අයගෙත් ෆොටෝ ගහනවා. අන්තිමට මේක නිකන් මාළු මාකට් එකේ තොරණ වගේ. ඇත්තටම මේ තොරන් වැඩක් නෑ.
ඔබලා යෝජනා කළේ මොකද්ද?
අපි කිව්වේ අපේක්ෂකයගේ නමයි, ලාංඡනෙයි ෆොටෝ එකයි විතරක් දාන්න කියලා. කොඩි කණු දෙකක් තුනක්, කොඩි වැල් දෙකක් විතර ලස්සනට මඟුල් ගෙදර වගේ දාන්න කියලා. අපි පොඩි සහනයක් දුන්නා සහනෙ දුන්නම හැමතැනම අඩියෙන් අඩිය කටවුට්. දැන් රුස්වීම් තියෙන තැනයි කාර්යාලෙයි විතරයි ගහන්න පුළුවන්. තදින්ම නීතිය ක්‍රියාත්මක කරනවා. හොඳම දේ ගෙයින් ගෙට යන එක.
ඕවා කිව්ව විදිහට කරයිද?
අපි බලන් ඉන්නවා. ඔය ගෙයින් ගෙට යනකොටත්, නැත්නම් කොටුව ස්ටේෂන් එක ළඟ හිතන්නකෝ. ඒත් එන්න පුළුවන් උපරිම දහදෙනාටයි. නිකන් හරි 12ක් වුණොත් එතන පෙළපාළියක් හැටියටයි සඳහන් වෙන්නේ. හිතන්න ඒ කාලේ කොහොම හිතලා තියෙනවද කියලා ක්‍රිකට් ටීම් එකටත් ගත්තෙ එකොළහයි. ඊට වැඩි වුණානම් අයුතු ජනරාශිය. (සිනාසෙයි)
ඔබ ඔය කියන්නේ මැතිවරණ සමයේ නීති රීති. හැබැයි මැතිවරණයට කලිනුත් පාර හරස් කරලා විශාල තොරන් ගහලා තියෙනවා. පහුගිය දවසක මහරගම තොරණක් කඩාගෙන ඔළුවට වැටුණා. මේකට මොකද කරන්නේ?
මම මහරගම සිද්ධිය ගැන කතා කරන්න කැමති නෑ. ඒක අධිකරණයට දැන් බාරවෙලා තියෙන්නේ.
දැන් ඔබලට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මේකට?
අපිට කරන්න කිසි දෙයක් නෑ. පොලිසියයි, නගර සභාවයි දැනගන්න ඕන ඒක. මොකද නගරසභාවල අවසරයක් නැතුව කටවුට් ගහන්න බෑ. ටියුෂන් පන්තියක ගුරුවරයෙක් පෝස්ටරයක් ගැහුවමත් බදු ගෙවලා නෑ කියලා කපාගෙන යනවා. හැබැයි මේවට ඒවා කිසිදෙයක් නෑ. හිතන්නකො උපන්දිනයටත් සුබ පතලා පාර හරහා කටවුට් ගහනවා. මම කියන්නේ දැන් ඒ සංස්කෘතියෙන් මිදෙන්න ඕන කාලේ.
ඔබට කියන්න පුළුවන්නේ පක්ෂ ලේකම්වරුන්ට මේ වැඩේ කරන්න එපා කියලා.
කියලා තියෙනවා. කියන්න ඕන හැමතැනටම කියලා තියෙනවා. එහෙම කිව්වට පත්තරවල ගියාට කවුද ඔළුවට ගන්නේ? දැන් අපිට කියලා ඇතිවෙලා තියෙන්නේ.
මැතිවරණයක් කැඳෙව්වම රාජ්‍ය නිලධාරීන් මාරු කරන්න තහනම්. හැබැයි ඇල්පිටියේ ඡන්දය තියන්න ඔන්න මෙන්න තියෙද්දි ගාල්ල තේරීම් භාර නිලධාරියාව කැබිනට් තීන්දුවක් අනුව මාරුවීම් කරලා. ඒක කොහොමද වුණේ?
කවුද අනේ ඕවා කියන්නේ? බොරුනේ.
ඒ වුණාට ඒක වෙන්න යනවනේද?
ඕවා තිබ්බට අපෙන් අවසරය ගන්න ඕනනෙ කරන්න. ඒකට ලිඛිත අවසරයක් ඕනේ. දැන් ඔය කියන්නේ මාරු කළා කියලා කියන්නෙ ඔක්තෝබර් 01 වැනිද ඉඳලනේ. ඊට කලින් මැතිවරණ දැන්වීම් ඇරියම ඕවා කරන්න පුළුවන්ද? කතාව ඉවරයිනේ. අනිවාර්යයෙන්ම ලබන 29 වැනි ඉරිදට කලින් ඔය දැන්වීම් යනවා.
ඇල්පිටිය ඡන්දය හදිසියේ ආපු ප්‍රශ්නයක්. කොහොමද කොමිසම ඒකට සූදානම්ද?
ඇල්පිටිය විතරක් නෙවෙයි ජනාධිපතිවරණෙත් තියෙනවා. පළාත් සභාත් තියෙනවා. හැබැයි ඔය ඔක්කොම බාලගිරිදෝෂයට ලක්වෙලා තියෙන්නේ. දැන් ඇල්පිටිය ඡන්දෙට නඩුවකුත් දාලානේ. ඇත්තටම ඇල්පිටිය ඡන්දය කියන්නේ මහා සාගරයක් නෙවෙයි. දොළකුත් නෙවෙයි. දිය බිඳක් වගේ. හැබැයි අපිට ඕන හරියට ඡන්දෙ තියන්න. මතක තියාගන්න මැතිවරණ කොමිසම මැතිවරණ දෙපාර්තමේන්තුවට වඩා ශක්තිමත්.
ඔබ පළාත් සභා සම්බන්ධයෙන් ඇතැම් පක්ෂ ලේකම්වරුන්ට සහ මන්ත්‍රීවරුන්ට යවපු ලිපියක් නිසා ඔබ පාර්ලිමේන්තු වරප්‍රසාද ඉක්මවා ගිහිල්ල තියෙනවා කියලා පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී විවේචනය වෙලා තිබ්බා. ඒක ඇත්තද?
අනේ මමනම් දන්නෑ. මටත් එහෙන් මෙහෙන් ආරංචි වෙලා ආවා. මොකද මම කවදාවත් විශ්වාස කරන්නෙ නෑ විවේචන ගැන. මොකද පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් හරි ලේකම්වරුන්ගෙන් හරි විවේචන ලබන්න මම වැරදි කරලා නෑ. අනික ඔය ලිපිය මම යැව්වේ මැතිවරණ කොමිසමේ කතා වුණ ඔය සාකච්ඡාවට සම්බන්ධ වුණ මන්ත්‍රීවරුන්ට. අපි කිව්වා පළාත් සභා පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා දෙන්න කියලා. ඒක වැරදි ලිපියක් නෙවෙයි.
ඇත්තද කතානායකවරයා ඔබට අවවාද කරන්න කියලා කිව්වා කියන්නේ?
මට? මමනම් ඔය කතාව විශ්වාස කරන්නෙ නෑ. මොකද සමහර දේවල් අර වමනෙ ගොඩේ තිබ්බ කාක පිහාටුව වගේ. ඒ නිසා ඕවා විශ්වාස කරන්නෑ.
හැබැයි ඔබට අවවාද නැති වුණාට ඇති වෙන්න විවේචන නම් එනවා නේද?
ඒක මම පිළිගන්නවා. දේශපාලනඥයන්, සමාජජාලා ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන සාමාජිකයන් ඒ අය මාව විවේචනය කරනවා. අපිට කවදාවත් ප්‍රශංසා එන්නෙ නෑනේ. එක පක්ෂෙකින් ප්‍රශංසාවක් තිබ්බොත් අනික් පක්ෂෙන් විවේචන එනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් මාධ්‍යත් එක්ක අපිට ගනුදෙනු කරන්න වෙලා තියෙනවා ඒ විනිවිදභාවය නිසා. කතා කළත් වැරදී, නොකළත් වැරදී, දෙයක් කිව්වත් ඒකත් වැරදී. ඕකට ධම්මපදයේ හොඳ කතාවක් තියෙනවා. අතුල සිටුතුමා ඇතුළු සිටු කුමාරයෝ වගයක් එයාලට බණ අහන්න ආස හිතිලා ගියාලු ජේතවනාරාමෙට. ගිහින් ඉස්සෙල්ලම රහත් හාමුදුරු කෙනෙක්ගෙන් බණ ඇහුවලු. ඒක ටිකක් ගැඹුරු බණක්ලු. ඊටපස්සෙ මුගලන් හාමුදුරුවන්ගෙනුත් බණක් ඇහුවලු. ඒක තරමක ගැඹුරු බණක්ලු. මේ අයට නොතේරුණු නිසා පස්සෙ ඇරියලු ආනන්ද හාමුදුරුවෝ ළඟට. ආනන්ද හාමුදුරැවෝ පොඩි ළමයින්ට වගේ අතුල සිටුකුමාරයා ඇතුළු පිරිසට බණක් කිව්වලු. මේ ඔක්කොම අහලා අර සිටුවරු බැන්නලු එක්කෙනෙක් තේරෙන්නෙ නැති වෙන්න බණක් කිව්වා, තව කෙනෙක් ගණන් ගන්නෙ නැති බණක් කිව්වා, තව කෙනෙක් දරුවන්ට වගේ බණ කිව්වා කියලා. පස්සෙ ඒ අය ගියාලු බුදුහාමුදුරුවන් ළඟට. එතනදී බුදුහාමුදුරුවෝ ගාථා දෙකක් කියලා කිව්වලු අතුල කතා කළත් වැරදී නොකළත් වැරදී, ගැඹුරින් කිව්වත් වැරදී නොකිව්වත් වැරදී, එය එසේ සිදුවිය. අනාගතය ද අද ද එසේය. සැමදාම එසේය. ඒ වගේ තමයි මේ කතා අපි අහන්නේ.
ඒ කියන්නේ ඔබට විවේචන දරාගන්න අමාරුද?
ඇත්තටම විවේචන, බැණුම් ඒවා සාධාරණ නම් ඕන වෙලාවක ඒවා අපි අහන්න ලෑස්තියි. අපි අඩුපාඩු හදාගන්න ලෑස්තියි. ඒවායින් යම් දෙයක් ලබාගන්න අපි ලෑස්තියි. හිතන්න අපිට ද්වේශයෙන් බණින ඒවාවලත් වැරදි හදාගන්න දෙයක් තියෙනවනම් අපි හදාගන්න එපැයි.
ඔබ කිව්වා ජනාධිපතිවරණයට කලින් පළාත් සභා මැතිවරණය තියන්න බැරි වුණොත් ඔබ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙනවද? ඒක ඇත්තද?
ඔව්. ඒක තාමත් වලංගුයි. මම ඒ ස්ථාවරයේ තාම ඉන්නවා. ජනාධිපතිවරණයට කලින් පළාත් සභා තියන්න බැරි වුණොත් මම තවදුරටත් මේ පුටුවේ ඉන්නෙ නෑ.
ඒ කියන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ පළාත් සභා තිබ්බොත් ඒ තියෙන දවසෙත් ඔබ කොමිසමේ නෑ?
මම සභාපති තනතුරේ එදාට නෑ. දැනට සහකාර කොමසාරිස්වරයකුගේ පුරප්පාඩුවත් මම බලනවා. යම් ආකාරයකින් ඒ වගකීමත් කවුරුහරි ගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම් මම සියල්ල අත්හැරීමට සූදානම්.
ඔබ ඉන්නෙ කලකිරීමකින්ද?
කලකිරීමක් නැහැයි කියලා කියන්නත් බෑ. කනගාටුවක් තියෙනවා. ඒ තමයි මම කැමති නැහැ ජනතාවගේ පරමාධිපත්‍යයෙන් පත්විය යුතු ආයතන රාජ්‍ය නිලධාරීන් හරහා පාලනය වනවට. හිතන්න ඡන්ද නැතුව රට පාලනය කරන්න පුළුවන්. හැබැයි රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඉහළ තැනක තියෙන්න ඕන. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියලා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? හැබැයි මම මේකට කිසිම කෙනෙකුට දොස් කියන්නෙ නෑ. එහෙම දොස් කියන්න අයිතියකුත් නෑ. ජනතාව තමයි තීරණය කළ යුතු.
මෙවර ඡන්ද වියදම කොච්චරක්ද?
කෝටි හාරසිය පනහක් පන්සීයක් විතර.
ඡන්දයේදී වැඩිම බලතල එන්නේ ඔබටයි කොමිසමටයි. දැන් පොලිස්පති කෙනෙක් නෑ. වැඩ බලන කෙනෙක් ඉන්නේ. වැඩ කරන්න ලේසිද?
එයා වැඩ බලන කෙනෙක් වුණත්, එයා බලන්නේ පොලිස්පතිගේ වැඩ. වෙන කිසිම අවුලක් නෑ. ආවොත් එන්නේ ප්‍රශ්න දෙකයි.
ඒ මොකද්ද ඒ?
එක කාලගුණ ප්‍රශ්නයක් ආවොත්. දෙක ආගම්, ජාති බේද හදාගෙන යම්කිසි ගැටලුවක් ඇති කළොත්. දේශපාලනඥයෝ නෙවෙයි පේනවනේ පහුගිය දවස්වල සමහර ගම්වල පිරිස් හැසිරුණ හැටි. ඒත් ඡන්දය නොතියා ඉන්න බෑ. දින කල් යයි. එච්චරයි වෙන්නේ.
► ගයාන් ගාල්ලගේ
සේයාරුව I සුමුදු හේවාපතිරණ