ජනතාව බලය දුන් නායකයන්ට හතර කොන් මාරැ වෙලා
මුදල් ලැබෙන ක්‍රමය නොදැන බදු අඩු කරන්න බෑ
මේක ඉබ්බගෙයි හාවාගෙයි රේස් එක වෙන්නත් පුළුවන්
රටට දැන් ඕනෑ අන්තවාදය අඳුනන නායකයෙක්
අද රටේ පාවෙන ඡන්ද ලක්ෂ 50ක් තිබෙනවා
අනෙක් කඳවුරු දෙකේම ඉන්නේ අන්ත දූෂිත උගත්තු
ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් එකට සම්බන්ධයි
හොර ගිවිසුම් අපි ළඟ නෑ
වැල් බයිලා කියලා රට හදන්න බෑ
- ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක
ජනතා විමුක්ති පෙරමුණ වසර 20කට පසුවයි ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ. ඇයි මේ අපේක්ෂකයෙක් දාන්න කියලා හිතුවේ?
ජනතා විමුක්ති පෙරමුණ හැටියට නෙවෙයි ජාතික ජන බලවේගය හැටියටයි අපි අපේක්ෂකයෙක් තේරැවේ. ජනතාව බලය දුන්නු නායකයෝ හතර මායිම රැකගන්න බැරුව ඉන්න මේ මොහොතේ අපිට යම් යම් දේශපාලන තීන්දු ගන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසයි බොහෝ අවස්ථාවල අපි ඡන්දයට උදව් කරන්නත් ඉදිරිපත් නොවී සිටීමටත් තීන්දු තීරණ ගත්තේ. අපිට පෞද්ගලික වාසි මොනවත් නැහැ. අපි 2015දීම මෙවර මැතිවරණය සඳහා පුළුල් සන්ධානයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා තීන්දුවක් ගත්තා. ඒ අනුව තමයි අනුර කුමාර සහෝදරයා ඉදිරිපත් කළේ.
ඇයි මේ ජාතික ජන බලවේගය සංවිධානයට අනුර කුමාර සහෝදරයම අපේක්ෂකයා වෙන්න ඕන කියලා හිතුවේ? මොකද්ද ඔහුට තියෙන සුදුසුකම?
ජාතික ජන බලවේගය අපේක්ෂකයා නෙවෙයි මේ රටේම අපේක්ෂකයා හැටියට ජනතාව පිළිගනියි. අත්දැකීම්වලින්, දූෂණයෙන් තොර, රටටයි, පක්ෂෙටයි නායකත්වය දෙන එකම පුද්ගලයා අනුර සහෝදරයා. ඔහු පාර්ලිමේන්තුවේ පවා සක්‍රීය මන්ත්‍රීවරයෙක්. දැන් අනුර කුමාර සහෝදරයා ඡන්දෙ නැතුවත් අපේක්ෂකයා හැටියට පිළිගන්න තත්ත්වයක් තියෙන්නේ.
අනුර කුමාර සහෝදරයත් එක්ක තවත් ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනෙක් ඉන්නවා තරග කරන්න. ඔවුන් ප්‍රධාන පක්ෂවල දෙන්නා. කොහොමද ඒ අභියෝගයට ඔහු මුහුණ දෙන්නේ?
පැහැදිලිවම අනෙකුත් අපේක්ෂකවරැ දෙදෙනා දුර්වල අපේක්ෂකවරු දෙදෙනෙක් කියලා දැනටමත් ඔප්පු කරලා ඉවරයි. ඔවුන්ට ප්‍රතිපත්තිමය අවබෝධයක් නැහැ. අපේක්ෂකයෝ අතරින් තරගයක් ගත්තොත් අනුර කුමාර සහෝදරයට ළං වෙන්න කාටවත් බෑ. හැබැයි වෙලා තියෙන්නේ අපේ මිනිස්සු බහුතරයක් අවුරුදු හැත්තෑ ගාණක පක්ෂ බදාගෙන ඉන්නවා. නැත්නම් අඩු යකාද වැඩි යකාද කියලා තීරණය කරන තැනට ඇවිල්ලා ඉන්නවා. හොඳ දේ තිබ්බත් හොඳ දේ තෝරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. හැබැයි 94න් පස්සේ අපේ පවුල්වල තාත්තා දරපු පක්ෂෙ දරුවෝ දරන්නෙ නෑ. ඒ නිසා රටේ වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙනවා මානව ඡන්ද. ඒ නිසා තමයි ශ්‍රිලනිපයත් එජාපයත් තවම තනි ආණ්ඩු හදාගන්න බැරුව ඉන්නේ.
ඔබ කියන්නේ පාවෙන ඡන්දවලින් අනුර සහෝදරයාගේ ජයග්‍රහණය තීරණය කරන්න පුළුවන්ද?
මෙහෙමයි. මානව ඡන්ද මේ වෙනකොට ලක්ෂ 50ක් විතර තියෙනවා. ඒ අය බලන්නේ දූෂණයෙන් තොර රටට ආදරේ උගත් බුද්ධිමත් පිරිස ඉන්නෙ කොතනද කියන තැන. ඒ නිසයි මෛත්‍රීපාල මහත්මයා 2015 දින්නේ. මේ පාරත් ගෝඨාභයටත් සජිත්ටත් ස්ථිර ඡන්ද තියෙනවා. හැබැයි පාවෙන ඡන්ද ගන්න ඉතාම අමාරුයි. එතකොට ඔය පාවෙන ඡන්ද අය හොයන දේවල් තියෙන්නේ ජාතික ජන බලවේගය තුළ. එතකොට අපිට හැකියාවක් තියෙනවා ඒ පාවෙන ඡන්දවලින් ලොකුම කොටස ලබාගන්න. අපිට ඒ සමාජ ඉඩ දැන් හැදිලා තියෙන්නේ. අපිට මාධ්‍යවලින් සාධාරණ මාධ්‍ය ඉඩක් ලැබෙනවනම් මීට වඩා දේවල් කරන්න තිබුණා.
ගෝඨාභය රාජපක්ෂත් සජිත් ප්‍රේමදාසත් විවිධ පොරොන්දු ජනතාවට ලබා දුන්නා. හැබැයි අනුර කුමාර සහෝදරයා එවැනි පොරොන්දු ලබාදීමක් පේන්න නැහැ. ඇයි ඒ?
මේ රට ගොඩගන්න ව්‍යූහාත්මක විශාල පෙරළියක් කරන්න ඕන. ඒක පොහොර නිකන් දීලවත්, වෙන වැල් බයිලා කියලවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මතක තියාගන්න ඕන අපි කතා කරන්නේ මේ රටේ උගත් ඡන්ද දායකයන්ට කියලා. ඒ නිසා අපි ජාතික විද්වත් කමිටු 10කින් මාස 8ක් තිස්සේ විද්වතුන් 220කට අනුව තමයි අපි මේ අපේ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරන්නේ. ඒක ඇතුළෙ තියෙන්නේ පොරොන්දුවලට වඩා වැඩපිළිවෙළයි. අපේ ප්‍රතිපත්තියෙ ඇඟට දැනෙන යෝජනා තියෙනවා. හැබැයි ඒ ඇඟට දැනෙන යෝජනා ඉටු කරගන්නා ආකාරය පිළිබඳව වැඩපිළිවෙළ සඳහන් කරලා තියෙනවා. අනිත් දෙන්නගෙම ප්‍රතිපත්ති කවුරුත් ගණන් ගන්නෙ නැති කිසිම හරයක් නැති ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. අඩුම තරමේ එයාලවත් ගණන් ගන්නෙ නෑ.
දැන් ඡන්ද වේදිකාවේ තියෙන ප්‍රශ්නෙ තමයි ජාතික ආරක්ෂාව. යුද්ධය දින්න නිසා ගෝඨාභයට දෙන්න කියලා කට්ටියක් කියනවා. ජාතික ආරක්ෂාවට හොඳම කෙනා සරත් ෆොන්සේකා කියලා සජිත් ප්‍රේමදාස කියනවා. දැන් ජතික බලවේගයට එහෙම කවුද ඉන්නේ?
ගෝඨාභය රාජපක්ෂලට යුද්ධය දිනාගත්ත සෙබළුන්ට මුවා වෙලා ඡන්දය ලබාගන්නවා ඇර වෙන ක්‍රමයක් නෑ. ඒ වගේම ඒ අය බුද්ධ චීවරයටත් මුවා වෙලා ඉන්නේ. සහරාන්ගේ බෝම්බය තමයි එයාලට තියෙන ලොකුම වාසිය. මේකෙ ලණුව කාලා සජිත් ප්‍රේමදාස මහත්මයා සරත් ෆොන්සේකා මහත්මයාව ආරක්ෂක ඇමති කරන්න තීන්දු ගත්තා. ඔය දෙන්නගෙම අතට රට ගියොත් වෙන්නේ ත්‍රිවිධ හමුදාවට ඇඟිලි ගහලා හමුදාව අඩපණ කරන එක.
ජාතික ආරක්ෂාව අවදානමක තියෙද්දි එහෙම පොරොන්දුවක් දීම වැරදිද?
අද රට ඇතුළේ වෙලා තියෙන ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය තමයි පුද්ගල අසමගිය විවිධ ජාතීන් අතර ඇතිකර තිබීම. ඒ නිසා රටට ඕන දැන් අන්තවාදය හඳුනගන්න පුළුවන් නායකයෙක්. හොඳට හැදිච්ච කුඹුරක වල් පැලෑටි ආවොත් අඳුරගන්න පුළුවන්. ඒ වගේ තමයි අන්තවාදය නැති කරන්න පුළුවන් වෙන්නේ ජාතීන් අතර සමගිය ඇති කළොත් විතරයි. ඒකට හොඳම උදාහරණය තමයි සහරාන්ලා වගේ අය ගොඩනැගෙද්දි මුස්ලිම් සමාජයෙන්මයි තොරතුරු ලබා දුන්නේ. හැබැයි අපේ මිනිස්සු ජාතිවාදි අවුස්සලා මුස්ලිම් මිනිස්සුන්ට ගැහුවා. එතකොට වෙන්නේ අර වල් පැලෑටිය ඒ අය රටට හඳුන්වලා දෙන්නෙ නෑ. ඒ නිසා ෆොන්සේකටත්, ගෝඨාභයටත් ජාතික ආරක්ෂාව ගොඩනගන්න බෑ. මතක තියාගන්න ලෝකයේ විශාලම හමුදාව ඉන්න රටවල ජාතික ආරක්ෂාව ලොකු ප්‍රශ්නෙක තියෙන්නේ. ඉන්දියාව, අමෙරිකාව තමයි හොඳම උදාහරණ. ඉන්දියාව ඇතුළේ ආගම්වාදය, ජාතිවාදය. අමෙරිකාව ඇතුළේ සුදු, කළු වාදය. එනිසා හරිම අනාරක්ෂිතයි. විශේෂයෙන්ම අපි ජාතික ආරක්ෂාව ගැන විශාල ලෙස හිතපු කණ්ඩායමක්. අපි මුල ඉඳලම ඒ සඳහා කැපවීම් කළා. හොර ගිවිසුම්වලට එරෙහිව වැඩ කළේ අපි.
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දැනුම කේන්ද්‍ර කරගත්ත ආර්ථික ක්‍රමයක් ගොඩනගනවා කියලා. සජිත් ප්‍රේමදාස කියන්නේ දුප්පතාව පෝසතා කරනවා කියලා. ඔබලගේ ආර්ථික සැලැස්ම මොකද්ද?
පළවෙනියෙන්ම කියන්න ඕන දේ තමයි ඔය දෙන්න කරන්න ඉන්න දේවල් කරන්නෙ නෑ. එහෙම කරන්න ඒ දෙන්නා ගාව අලුත් අය ඉන්නවද? පුළුවන්නම් ඔය දෙන්නම කියන්න ඕනෙ ඒ අය කැබිනට් මණ්ඩලයේ ඉන්නෙ කවුද කියලා. නඩු තියන සල්ලි වංචාකරපු මිනිස්සු ඒ කැබිනට් මණ්ඩලයේ ඉන්නවද නැද්ද කියලා. එහෙම නොවුණොත් එන්නේ දැනුමටත් වඩා හොරකම කේන්ද්‍ර කරගත්ත ආණ්ඩුවක්. මිනිස්සු පෝසත් කරන්න කලින් මිනිස්සුන්ට වියදම් කරන්න සල්ලි නැති වෙනවා. මොකද සල්ලි මංකොල්ල කාපු අයට සල්ලි වියදම් කරන්න බෑනේ.
මම අහන්නේ ඔබලගේ ආර්ථික සැලැස්ම මොකද්ද?
මෙහෙමයි. ඉස්සර වගේ කාර්මික දේවල් කරලා මුදල් හොයාගන්න අමාරුයි. අලුත් දේවල් නිෂ්පාදනය කරලා සල්ලි හොයාගන්න අමාරුයි. තියෙන්නේ දැනුමෙන් සන්නද්ධ මිනිස්සු හදලා ලෝකෙට දාන එක. ඒ නිසා අපේ වැඩපිළිවෙළත් අලුත්. කණ්ඩායමත් අලුත්. ඒ කණ්ඩායම උගත්. දැන් වෙලා තියෙන ප්‍රශ්නේ විශාල ලෙස ජීවන වියදම වැඩියි. හේතුව බදු වැඩි වෙනවා. බදු වැඩි වෙන්න හේතුව තමයි අපි දෙන මුදලෙනුයි පිටරට ණය ගෙවන්නේ. කවුරුහරි කියනවනම් බදු අඩු කරනවා කියලා ඒ අඩුවෙන කොටස නැවත භාණාඩාගාරයට ලබාගන්නෙ කොහොමද කියලා කියන්න ඕනේ. එනිසා බදු අඩු කරන්න බෑ භාණ්ඩාගාරයට මුදල් එන ක්‍රමයක් දන්නෙ නැතුව. ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමයි රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන බවට පත් කරන්න. ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියට මිලියන 38,000ක් පාඩු කරපු කෙනෙක්. සජිත් ප්‍රේමදාස මහත්මයත් විශාල වශයෙන් නිවාස සංවර්ධන අධිකාරිය පාඩු කරපු කෙනෙක්. අපි ඒ වගේම දූෂිත දේශපාලනඥයන් පිටරටවල හංගලා තියෙන සල්ලි හොයාගන්නවා. ඊටපස්සේ ප්‍රයෝජනවත් දෙයකට ඇරෙන්න වෙන දේකට ණය ගන්න නරකයි.
ඔබ කිව්වා ඔබලත් එක්ක උගත් බුද්ධිමත් පිරිසක් ඉන්නවා කියලා. ඒ අය අනිත් අපේක්ෂකයෝ ගාවත් ඉන්නවා. අපි කොහොමද ඒ අයව විශ්වාස කරන්නේ හරි අය කවුද කියලා?
මට ඉස්සෙල්ලා කියන්නකෝ ඒ අය ගාව ඉන්න උගත් බුද්ධිමත් අය කවුද කියලා. සමහර අයට නඩු. සමහර අය චෝදනා. ඒ අය පක්ෂ සාමාජිකයෝ. ඒ නිසා මම කියන උගත්තු පක්ෂගත උගත්තු නෙවෙයි. ඔය කඳවුරු දෙකේම ඉන්නේ අන්ත දූෂිත උගත්තු. අපිත් එක්ක ඉන්න අය දේශපාලන අරමුණුවත්, පෞද්ගලික අරමුණුවත් තියාගෙන වැඩ කරන අය නෙවෙයි. අපේ සමහර පුංචි රැස්වීම්වලට පවා ආචාර්ය මහාචාර්යවරු යනවා. ඔවුන් ඒ පක්ෂ සාමාජිකයන් නොවන නිසා. ඒ අය තේරුම් අරන් ඉන්නවා මේ පක්ෂ දෙකෙන් රට හදන්න බෑ කියලා. ඒගොල්ලො මේ හදිස්සියේ සම්බන්ධ වෙච්ච අය නෙවෙයි. මේ අය එදා ඉඳලා රටේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටිය අය.
ඔබලා උත්සාහ කරලා තිබ්බා හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකත් අපේක්ෂකයකු වන රොහාන් පල්ලෙවත්තත් එකම වේදිකාවකට නැගලා මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න. ඇයි ඒක අසාර්ථක වුණේ?
අපිට ඕන වෙලා තිබ්බා රටේ පවතින දූෂිත දේශපාලනය වෙනුවට අදූෂිත දේශපාලන පුළුල් කඳවුරක් ඇති කරන්න. ඒ සඳහා අපි සාකච්ඡා තිබ්බා මාස ගණනාවක ඉඳලා. අපි උත්සාහ ගත්තා ජනාධිපතිවරණෙටත් එකට ඉන්න. ඒත් ඒක නොහැකි වුණා. ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සෙත් අපි මේ දෙදෙනා එක්ක සාකච්ඡා කළා. රොහාන් පල්ලෙවත්ත මහත්මයා නම් හැම වතාවකම කිව්වා එක විකල්පෙකට එමු කියලා. දැනට එක අපේක්ෂකයෙක් නම් අනුර කුමාර සහෝදරයට සහයෝගය දෙන්න තීරණය කරලා ඉවරයි. ඒ නිසා ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ අයගේ සහයෝගය එක විකල්පයකට එයි කියලා. දැනට සුභවාදී පැත්තක තියෙනවා.
ඇත්තද ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණෙට වඩා අරමුණු කරගන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය කියලා බහුතරයක් ඇතුළට ගන්න?
මෙහෙමයි. එන ජනාධිපතිට කොහොමත් බලයක් නෑ. ප්‍රායෝගික වශයෙන් ඔහුට ඇමැති කෙනකුගේ වගේ බලතලයක්වත් ලැබෙන්නෙ නෑ. එනිසා ඔය අපේක්ෂකයෝ දෙන පොරොන්දු ඉෂ්ඨ කරන්න අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු බලය අවශ්‍යයි. ඒ නිසා ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් එකිනෙකට සම්බන්ධයි. මෝඩයන්ව ඕනෙනම් ගොනාට අන්දවන්න පුළුවන් එහෙම නෑ කියලා.
රටේ යම්කිසි මතයක් හැදිලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දේශපාලනය කරන්න යම් අපහසුතාවයක් තියෙනවා කියලා. ඔවුන් අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා නීතිරීති වැඩියි කියලා. ඒක බලපාන්න පුළුවන් නේද ඡන්දෙදි?
එහෙම අපිටනම් තාම කවුරුත් කියලා නෑ. අපි ප්‍රතිපත්තිගරුක පක්ෂයක්. එහෙම පක්ෂයක් තමයි රටට අවශ්‍ය. ඒ ඇරෙන්න මිනිස් නිදහස පාලනය කරන්න අපි වැඩකටයුතු සිද්ධ කරන්න දෙන්නෙ නෑ. අපේ වේදිකාවල දහදහස් ගණන් කලාකරැවො, ආචාර්යවරු, මහාචාර්යවරු ඉන්නවා. එහෙම තැනක ඒ වගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්ද? සරලවම කිව්වොත් අපි නිදහස් පක්ෂයක්.
බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි ජයග්‍රහණ අපේක්ෂකයාට 50% ගන්න බෑ කියලා. එහෙම තත්ත්වයක් උඩ අනුර සහෝදරයට කොහොමද එම ජයග්‍රහණය ලැබෙයි කියලා විශ්වාස කරන්නේ?
එක එක්කෙනාට ඒ ගැන අර්ථකථනය කරන්න පුළුවන්. හැබැයි ලක්ෂ 50ක් ඉන්නවා පාවෙන ඡන්ද. ඒ අයගෙන් වැඩිම ඡන්ද ටික ගන්න පුළුවන් අපිට විතරයි. ඒ තුළ අපිට ජයග්‍රහණයක් තියෙනවා. 50% එනවද නැද්ද කියන ඒවා අපිට දැන්ම තීරණය කරන්න අමාරැයි. 2015 ඡන්දෙදි ජනතාව පෙන්නුවා ඔය ප්‍රස්ථාර, වාර්තා ගොන් පාට් කියලා. මෛත්‍රීපාල මහත්මයව දිනෙව්වේ ඒ සියල්ල මැද. ඒකට හේතු වුණේ එවකට ලක්ෂ 20ක පාවෙන ඡන්ද ප්‍රමාණයක් නිසා. ඒ නිසා අපි මෛත්‍රීපාල මහත්මයට වඩා ප්‍රතිපත්තිගරුක දක්ෂ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තියෙනවා. සමහර විට මේක ඉබ්බගෙයි හාවගෙයි රේස් එක වගේ වෙන්න පුළුවන්.
► ගයාන් ගාල්ලගේ