2020 ජනවාරි 18 වන සෙනසුරාදා

රන්ජන් විනිසුරුවරුන්ට කිට්ටු කළ අයත් අල්ලගන්න ඕනෑ

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

රණවිරුවන් නිදහස් කිරීම හිතුමතේ කරන්න බෑ
► මොන ලකුණ දැම්මත් ජයග්‍රාහි ලකුණ මහින්ද මහත්තයයි
► හඬපට නිසා රටත් අනතුරේ
► ජ: වි: පෙ තරම් ඩීල් දාන පක්ෂයක් රටේම නැහැ
► බොරු චෝදනා දාලා මාස ගණන් හිරේ දාන වැඩ අපි කරන්නෙ නෑ
► ආණ්ඩුව ජාතිවාදයට, ත්‍රස්තවාදයට ඉඩ දුන්නා

- ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

 

ඔබලා බලයට එන්න කලින් යම්කිසි බලාපොරොත්තුවක්, අරමුණක් තිබුණා. ඔබ දැන් රජයේ වගකීමක් දරන මන්ත්‍රීවරයෙක්. රාජ්‍ය ඇමතිවරයෙක් ඒ බලාපොරොත්තු වුණ දේ සිදුවෙලා තියෙනවද?

ඔව්. අපිට තියෙන ප්‍රධාන අරමුණ තමයි රටට එල්ල වෙලා තිබුණ බලපතළ තර්ජනයෙන් රට මුදාගන්න එක. විශේෂයෙන් ත්‍රස්තවාදයත්, අන්තවාදයත් බරපතළ විදිහට රටට තර්ජනයක් වෙමින් තිබුණේ. එයින් රට මුදාගන්න එක තමයි ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ. ඒක අපිට ඡන්දෙ දුන්න සියලු ජනතාවගේ අරමුණ වෙලා තිබුණේ. ඒ කාර්යභාරය මේ වෙනකොට 100%ක් නිමවෙලා තියෙනවා. විශේෂයෙන් විදේශයන්වලින් තිබුණ බලපෑම් පවා මේ වෙනකොට නතර වෙලා තියෙනවා. MCC ගිවිසුම වගේ ගිවිසුම් සම්බන්ධයෙන් ඉතාම අවධානයෙන් සොයාබැලීම් කරන්න අපි මැදිහත් වෙලා තියෙනවා.

යහපාලන ආණ්ඩුවේ හිටිය අයනම් කියන්නේ ඔවුන් කරන්න ගිය සහ ඔවුන් කරගෙන ගිය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ තමයි මේ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරන්නෙ කියලා.

ඒක මහ තේරුමක් නැති කතාවක්. ඒගොල්ලො අවුරුදු හතරහමාරක් බලයේ ඉඳලත් කිසිදෙයක් හරියට කරගන්න බැරිව ගියා. ඇත්තෙන්ම ඔය මුල්ම ප්‍රශ්නෙට කියපු උත්තරේ තමයි ඒ අයගේ ප්‍රතිපත්ති වෙලා තිබුණේ. ඒ අය කළේ ජාතිවාදයටයි ත්‍රස්තවාදයටයි හිස ඔසවන්න දීලා විදේශ අතපෙවීම්වලට ඉඩ ලබාදුන්න එක. අන්න ඒ අයගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න තමයි අපි අලුත් ගමනක් යන්නේ. ඒ අයගේ ප්‍රතිපත්ති හොඳයිනම් ජනතාවගේ කැමැත්ත දිනාගන්න එපැයි. කොහොමත් ඒ අය කියන දේවල් සම්බන්ධයෙන් අපි තැකීමක් කරන්නෙ නෑ.

ජනතාවට තිබුණ ලොකුම අරමුණ තමයි මහ බැංකු හොරු වගේම පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීම. හැබැයි දැන් මාස දෙකකුත් ගත වෙලා තවම ඒ දේවල්වලට මන්දගාමී අවධානයක් තමයි යොමු කරලා තියෙන්නේ.

ඒක සාධාරණයි. ජනතාව දීර්ඝ කාලයක් මේ දෙවල්වලට සිද්ධ වෙන්නේ මොනවද කියලා බලාපොරොත්තුවෙන් හිටියා. එක්සත් ජාතික පක්ෂය බලයට ආවේ දූෂණය, වංචාව නතර කරනවා කියලා. ජනතාවට ඒ අවස්ථාවේ කැමැත්ත තිබුණේ ඒ දේවල් නතර කරන්න. මේ මාස දෙක තුළ ඔබ කිව්ව දේවල්වලට දෙයක් සිදු නොවුණා කියන්න බෑ. ඒ දේවල්වලට මේ වෙනකොට යම් යම් දේවල් සිදු වෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු රාජ්‍ය නිලධාරීන්ගේ තත්ත්වය පසුගිය දවසක එළියට ආපු රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ හඬපටවලින් පැහැදිලි වුණා. ඒ දෙයින් පැහැදිලිව පේනවා එම ආයතන පවා ප්‍රතිසංවිධානය කරන්න අවශ්‍ය වෙනවා. මමත් ජනතාවගේ අරමුණ සම්බන්ධයෙන් එකඟයි. ඒ පරීක්ෂණ ඉක්මන් කරලා අදාළ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන්න ඕන.

මේ දේවල් ක්‍රියාත්මක නොවෙන්න හේතුව ආණ්ඩුව සහ විපක්ෂය අතර සුපුරුදු ඩීල් තිබීම කියලා චෝදනා තියෙනවා. ඒ චෝදනා ජනතා විමුක්ති පෙරමුණත් එල්ල කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ තරම් ඩීල් දාන කණ්ඩායමක් මේ රටේ කොහෙවත් නෑ. ඒ නිසා ඩීල් ගැන කතා කරන්න අයිතියක් වෙන කාට තිබුණත් ජවිපෙට නෑ. හැබැයි ජනතාව බලාපොරොත්තු වෙනවා මේ අත්අඩංගුවට ගන්න අය දීර්ඝ කාලයක් රඳවාගෙන තියාගනියි කියලා. ඒවා කරන්න තිබ්බා අපිටත් ඒ දේවල්වලට මැදිහත් වෙලා නීතියට බලපෑම් කළානම්. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමාගේ සංකල්පයට අනුව කිසිම වෙලාවක නීතියට බලපෑම් කරන්නේ නෑ. ඔබ දන්නවා ඇති අපේ අය බොරැ චෝදනා දාලා මාස ගණන් හිර කළා. ඒ ක්‍රමවේදය අපි ගාව නෑ. ඇත්ත ක්‍රමවේද යටතේ යනකොට ජනතාවට සිත් තැවුලක් ඇතිවෙන්න පුළුවන්. අපි කියන්න ඕන කිසිම ඩීල් එකක් නෑ විපක්ෂෙත් එක්ක.

ඔබ කිව්ව සිද්ධි එක්ක රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට නීතිය ක්‍රියාත්මක වීමේදී යම් වරප්‍රසාදයක් ලබාදුන්නා කියලා ජනතාවට සැකයක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක්නම් ඒ තියෙන නිදහස නෑ කියලා ඕන කෙනෙක් දන්නවා. මේවා ඩීල් නෙවෙයිද?

බොහොම පැහැදිලිවම ජනතාවට විතරක් නෙවෙයි අපිට වුණත් සැකයක් එනවා ඒ අවස්ථාවේ හැටියට. සාමාන්‍ය කෙනෙක් වුණත් රෝහල්ගත වෙලා හිටියොත් එහෙම ඇදගෙන යන්නෙ නෑ. හැබැයි ඕනම අබ ඇටයක් තරම් මොළයක් තියෙන කෙනෙක් දන්නවා රෝහල්ගත වෙලා හිටියෙනම් බොරුවට කියලා. ඔතන තමයි ප්‍රශ්නය. ඇප දීපු ගමන් ගෙදර ගියා. රාජිත සේනාරත්න ඇමැතිතුමා කියන්නේ ලැජ්ජාවක් ගෑවිලාවත් ඇති මනුස්සයෙක් නෙවෙයි. කොහොමවුණත් ඇප දීම සම්බන්ධයෙන් රජයට වගකීමක් නෑ. බලපු බැල්මට මේ දේවල් එක්ක යම් ඩීල් ස්වභාවයක් පේනවා. ඒක නෑ කියන්න බෑ. මෙම නිසා ඒ ගැන ජනතාවට කලකිරීමක් තියෙනවා.

මේ වෙනකොට රටේ ලොකුම ප්‍රශ්නය තමයි රංජන් රාමනායක ඇමැතිවරයාගේ හඬපටය. මේක ආණ්ඩුවේ ප්‍රශ්න යටගහන්න යොදාගන්නවා කියලයි චෝදනාව තියෙන්නේ. ඇත්තටම මෙච්චර ඇදගෙන යන්න ඕන නෑ නේද නීතිය ක්‍රියාත්මක වුණානම්.

මෙතන තියෙන්නේ එක සිද්ධියක් නෙවෙයි. සිද්ධි බර ගාණක් තියෙනවා. ඇත්තටම මෙතන තියෙන්නේ රංජන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි අනෙකුත් ආයතන හැසිරිලා තියෙන ආකාරය අතර ප්‍රශ්නයක්. රංජන් රාමනායක කවුද කියලා රටම දන්නවා. හැබැයි ඔහුත් එක්ක කතා කරන අධිකරණයේ සහ පොලීසියේ ඉහළ අය ඒ සමාන සාපේක්ෂ වීම ප්‍රශ්නයක්. විශේෂයෙන් නඩු තීන්දු සම්බන්ධයෙන් සොයාබැලීමක් කරන්න අවශ්‍යයි. මට තියෙනවා සැකයක් රංජන් රාමනායක මේක තනියම කරපු දෙයක් නෙවේ. මොකද අපිවත් ආණ්ඩු බලය තියෙනවා කියලා විනිසුරුවරුන්ට කතා කරන්නෙ නෑ. ඒ නිසා බලන්න ඕන ඔහුට කවුද මේ සම්බන්ධතාව හදලා දුන්නෙ කියලා.

රංජන් රාමනායක පවා චෝදනා කරනවා ආණ්ඩුවෙන් සංස්කරණය කරලා මාධ්‍ය ආයතනවලට දීලා ප්‍රචාරය කරනවා කියලා.

අත්අඩංගුවට ගත්ත හඬපට පොලිස් නිලධාරීන් එළියට දෙන්නෙ නෑ. හැබැයි අත්අඩංගුවට ගත්ත හඬපට එහෙම ගන්න හේතු වුණෙත් හඬපට කිහිපයක් එළියෙ තිබීම නිසා. එතුමා ළඟ හිටිය කවුරැහරි කෙනෙක් ඒවා එළියට දාලා තියෙනවා. ඊටපස්සේ පොලීසියේ අය දැනුම්දීලා තියෙනවා.

මේ හඬපට එළියට යාම තුළින් විශාල හානියක් ගොඩක් දෙනකුගේ චරිතවලට සිදුවෙනවා. ඔබ හිතන්නෙ නැද්ද ඒවා එළියට නොදා පරීක්ෂණ කරලා දඬුවම් ලබාදුන්නනම් මීට වඩා හොඳයි කියලා?

අත්අඩංගුවට ගත්ත හඬපට කිසිම වෙලාවක රජයෙන් එළියට දීලා නෑ. ඒවා ගන්න කලින් තමයි එළියට ගිහින් තියෙන්නේ. ඒ නිසානේ මේවා තියෙනවා කියලා දැනගත්තේ. ඔබ කියන කතාව හරි. ඒ කතා ඇහුවම කතා කරන ජීවිත විතරක් නෙවෙයි අපේ ජීවිතත් එපා වෙනවා. හැබැයි ඒ හඬපට ආව නිසා තමයි රටට දැනගත්තේ රජයේ නිලධාරීන් මෙලෙස හැසිරිලා තියෙනවා කියලා. අපි ඒවා කිව්වට ජනතාවට විශ්වාස කරන්න සාක්ෂි තිබුණේ නෑ. ඒත් දැන් ඒ සියල්ල හෙළි වෙලා.

ඔබලා අධිකරණයට ගියාම ඒ දෙන තීන්දු ගෞරවයෙන් පිළිගන්නවා. අධිකරණය හරි කියනවා. හැබැයි ඒ හඬපටවලින් අධිකරණ ක්ෂේත්‍රයේ ඉන්න අය සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ජනතාවට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් විශ්වාසයක් තියාගන්න පුළුවන්ද?

බොහෝම පැහැදිලිව ප්‍රශ්නයක් වෙනවා. දැන් බලන්න පසුගිය කාලේ ජාත්‍යන්තර විනිසුරුවරුන් පත්කරන්න ගියේ මෙරට විනිසුරුවන් විශ්වාස නෑ කියලා මානව හිමිකම්වලට අදාළව. දැන් මේ හරහා ඔවුන් තවතවත් සහතික කරන්න පුළුවන්. ඒ නිසා මේ සිද්ධියෙන් ඒ නිලධාරීන් විතරක් නෙවෙයි රටත් අනතුරකට පත්වෙලා. නැවතත් මානව හිමිකම් සම්බන්ධයෙන් බලපෑම් මේ හරහා එන්න පුළුවන්. ඒක බරපතළ තත්ත්වයක්.

දැන් ආණ්ඩුව ඔබලගේ. ඔබලට දෙන්න පුළුවන්ද සහතිකයක් අධිකරණය, පොලීසිය ස්වාධීනයි කියලා?

බොහොම පැහැදිලිව එසේ විය යුතුයි. ජනාධිපතිතුමාගේ සංකල්පය ඒක. සමහරවිට එතුමාගේ දැක්ම කවුරුහරි කෙනෙක් අභිබවා යනවනම් එතන වැරදියි. හැබැයි තව දෙයක් කියන්න ඕන. කීපදෙනයි ඔය හඬපටවල ඉන්නේ. බහුතරයක් නිලධාරීන් හොඳ අය. ඒ නිසා සියලුම අයට ඒ චෝදනා එල්ල කරන්න බෑ.

2015 පරාජය වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ආණ්ඩුවෙන් ඥාති සංග්‍රහ ලබාදුන්නා කියලා. දැන් නැවතත් නාමල් රාජපක්ෂගේ සහ රෝහිත රාජපක්ෂගේ නෑදෑයන් තනතුරුවලට දාලා කියලා චෝදනාවක් එල්ල වෙනවා. මේවා ජනතාවට ප්‍රශ්නයක් නේද?

දැන් බලන්න ජනාධිපතිතුමා පත්වුණා. ඒක කවුරුත් ඥාති සංග්‍රහයක් කියලා පිළිගන්නෙ නෑනේ. සුදුසු පුද්ගලයා තමයි රටේ මිනිස්සු තෝරගන්තේ. ඉස්සර රාජ්‍ය ආයතනවල ඥාති සංග්‍රහ තිබිලා. ඒ කාලේ නෑදෑයන්ටත් වැඩිය ගෝලයෝ පත්කරගත්තේ. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට තමයි විද්වත් මණ්ඩලයක් හරහා තනතුරු පත්කරන්න තීරණය කළේ. ඒ තැන්වලට යෝජනා එන්න පුළුවන්. හැබැයි බලන්න ඕන ඒ අයට ඒ තනතුරුවලට තියෙන සුදුසුකම්. දැන් උදාහරණයක් ගත්තොත් මගේ සභාපතිවරයා හැටියට ඉන්නේ කුමාර වෙල්ගම මන්ත්‍රීතුමාගේ සහෝදරයෙක්. දැන් කුමාර වෙල්ගම මහත්තයා නෑ කියලා එතුමා ඉවත් කරලා නෑ. එතුමා සුදුස්සෙක්. දැන් නාමල් මන්ත්‍රීතුමාගේ මාමණ්ඩි ගත්තම එතුමා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළටම ගිය කෙනෙක්. එතනදි ඥාති සංග්‍රහයටත් වඩා ඔහුගේ සුදුසුකමට තැන දීලා තියෙන්නේ. හැබැයි ඉස්සෙල්ල වුණේ ඥාති සංග්‍රහයට තනතුර දීම.

අපි දැක්කා සමහර පත්වීම් ජනාධිපතිවරයා එක රැයෙන් නතර කරනවා. එතකොට ජනතාවට එන සැකය තමයි ජනාධිපතිවරයා නොදැනුවත්ව මේ දේවල් සිදුවෙනවද කියලා.

ජනාධිපතිතුමාට හොරෙන් කිසි දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. තෝරා ගන්නා කමිටුව නම් කිහිපයක් තෝරා ගන්නවා. හතරක්වත් ඉල්ලනවා. ඒක නිර්දේශයක්. අවසානයේ වඩා සුදුසු පුද්ගලයා ජනාධිපතිතුමා විසින් තෝරනවා. ඒකෙන් අනිත් තුන්දෙනා ඉවත් වුණාම සමාජය යන්නේ පත්කළ කෙනා ඉවත් කළා කියලා. ඕක තමයි ඇත්ත සිද්ධිය.

දැන් නැවත ඇවිත් තියෙන ප්‍රශ්නයක් තමයි රාජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යවරු බලතල ලබාදෙන්නෙ නෑ කියලා කියන චෝදනාව. ඔබත් රාජ්‍ය ඇමැතිවරයෙක්. ඔබට ඇමැතිවරයා තැනක් දීලද තියෙන්නේ?

අනිත් ඇමැතිවරු ගැනනම් මම දන්නෙ නෑ. මටනම් ඒ ප්‍රශ්නෙ නෑ. කවදහරි එනවනම් එන්න තිබ්බෙ ප්‍රශ්නෙ මට තමයි. මොකද මමයි මහින්ද අමරවීර ඇමැතිතුමයි හිටිය පිල් දෙකක. අපි දැඩි විවේචනයට ලක් කළා. ඒවා මාධ්‍යයටත් ගියා. හැබැයි එතුමත් එක්ක වැඩ කිරීමේදිනම් මට කිසිම බාධාවක් කරන්නෙ නෑ කියලානම් කියන්න ඕන.

මහ මැතිවරණයේදී සන්ධානෙකින් සහ අලුත් සලකුණකින් ඡන්දය කරමු කියලයි ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ එකතු වුණේ. දැන් පොහොට්ටුව ඒක කරන්න බෑ කියලා ගණන් උස්සනවා. මොකද්ද ජයග්‍රාහී ලකුණ කරගන්න බලාපොරොත්තු වෙන්නේ?

ජයග්‍රාහී ලකුණ පොහොට්ටුව පිහිටුවද්දී මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. දැන් අගමැතිතුමයි ජනාධිපති ගෝඨාභය මහත්මයයි. මේ තමයි ජයග්‍රාහී ලකුණු දෙක. මේ ලකුණු දෙක නියෝජනය කරමින් මොන ලකුණ දැම්මත් අපිට දිනන්න පුළුවන්. ඔබ දැක්කා අපි දැම්ම දැම්ම හැම ලකුණෙන්ම දින්නා. මේ ලකුණ නියෝජනය කරලා මොන ලකුණ ඡන්ද කොළේ තිබ්බත් අපි දිනනවා. අපි කැමතියි ඉදිරියේදී අපේ ලකුණෙන් තරග කරන්න. හැබැයි මොන ලකුණ දැම්මත් ජයග්‍රහණය අපේ සහ ඒකට බාධාවක් වෙන එකකුත් නෑ. මොනවා වුණත් ජයග්‍රහණයේ ලකුණ නම් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා.

අවසාන වශයෙන් ඔබෙන් අහන්න තියෙන්නේ ඔබලා බලයට එනකොට කිව්වා ආපු ගමන් රණවිරුවෝ නිදහස් කරනවා කියලා. හැබැයි තවම එවැනි නිදහසක් පේන්න නෑ. මේක ඡන්ද පොරොන්දුවක්ම විතරද?

මේ වෙනකොටත් ජනාධිපතිතුමා කමිටුවක් පත්කරලා මේ ගැන සොයාබැලීමක් සිදුකරමින් ඉන්නේ. හැබැයි එහෙම හිතුමතේට නිදහස් කරන්න බෑ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය මේ වෙනකොට අපි සොයාබලමින් ඉන්නේ. විශේෂයෙන් චෝදනා සහ දීපු තීන්දු සම්බන්ධයෙන් සොයාබැලීමක් කරන්න ඕන. මොකද ජනාධිපති සමාව කියන එක නමයි, ලිපිනයයි ලියලා අත්සන් කළ පමණට දෙන්න බෑ. ඒක දෙන ක්‍රමවේද තියෙනවා. මට කියන්න පුළුවන් ඒ දේවල් ආරම්භ වෙලා තියෙනවා. ජනතාව බලාපොරොත්තු වුණ දේවල් අනිවාර්යයෙන් ඉදිරියේදී සිදුවෙවි.

► ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00