2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ජාතික ආණ්ඩු හදලා රට කාපු අය අපිට එපා

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 198

♦ මෛත්‍රී මහත්තයාට නාම යෝජනා දුන්නොත් අපි ඡන්දෙත් පරදියි
♦ මහින්ද මහත්තයා පරද්දන්න මෛත්‍රී මහත්තයා යටිකූට්ටු වැඩ කළා
♦ ශ්‍රීලංකන් සමාගමෙන් කවදාවත් ලාබ ලබන්න බෑ
♦ උගතුන් වැඩි දෙනෙක් පැරදුණු වෙලාවේ හිටි අය නොවේ: දිනුවාම ආපු අය
♦ අපේ අයත් වැරදි කරනවා නම් ඒවත් හොයන්න ඕනෑ
♦ මම පත්වීම් දීපු අය ගැන වගකීම බාරගන්නවා
♦ අද තියෙන්නේ අස්ථාවර ආණ්ඩුවක්

 - කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග

ආණ්ඩුව දැන් ඔබලගේ අතේ තියෙන්නේ. ඔබලා බලාපොරොත්තු වුණ වැඩ කොටසක් තිබුණා. ඒ බලාපොරොත්තු වූ දේවල් දැන් කරගන්න පුළුවන් වෙලා තියෙනවද?
මේක විග්‍රහ කරනකොට ආණ්ඩුව අපේ කිව්වට පාර්ලිමේන්තුවේ බලය නැති ආණ්ඩුවක් තමයි අපි මේ කරන්නේ. ජනාධිපතිවරණයෙන් පැරදිලා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක දාලා යනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වැඩ පිළිවෙළ ඉදිරියට අරගෙන යන්න තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා මේක භාරගත්තේ. ඒක තමයි අපි යූ.එන්.පීයට කියන්නේ මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න අපිට උදව් කරන්න. ඊටපස්සේ ඒ මැතිවරණෙට ගිහිල්ලා ස්ථාවර ආණ්ඩුවක් බිහිකරගන්න එක තමා අපේ අරමුණ. අද තියෙන්නේ අස්ථාවර ආණ්ඩුවක්.

ඇයි අස්ථාවර ආණ්ඩුවක් කියන්නේ?
නෑ. රටට වැඩ කරන්නනම් ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. ඒ නිසා මේක වෙනස් වෙන්නම ඕන. ඊළඟ කාරණේ අද මේ වෙනකොට ජනාධිපතිතුමා සම්බන්ධව ජනතාවට ලොකු විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ එතුමා කරන කාර්යභාරය නිසා. ජනතාව දන්නවා මැතිවරණය එනකල් ලොකු දෙයක් ආණ්ඩුවට කරන්න බෑ කියලා. ජනතාව ඉවසීමෙන් ඉන්නේ. තුන්වැනි කාරණය අපේ පැත්තෙන් බැලුවම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ පොරොන්දු අනුව රාජකාරි කරන්න තියෙන ඉඩකඩ අඩුයි. හේතුව පසුගිය ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා බිලියන එකසිය හැටඑකක ණයකාරයෝ බිහිවෙලා ඉන්නවා.

ඒ කියන්නේ ඔය විදේශ ණයනේ?
නෑ මේ විදේශ ණය නෙවෙයි. මේ තියෙන්නේ අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන නිසා ඇතිවෙලා තියෙන ණය. ඒ නිසා ඒ ආයතනවලින් යැපුණු වෙනත් ආයතන පවා ආයතන අසරණභාවයට පත්වෙලා තියෙනවා. ඒ ආණ්ඩුවේ මුදල් ගන්න බැරි නිසා. ඒ නිසා ලොකු ආර්ථික අර්බුදයක් වගේම සමාජීය අර්බුදයකුත් ඇතිවෙලා තියෙනවා. දැන් තියෙන්නේ ඒවාට විකල්ප හදාගෙන යන ආණ්ඩුවක්. ඒ නිසා මේකෙන් ගොඩඑන්න ඉක්මනින්ම පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕන.

ඇත්තටම ආණ්ඩුවට වියදම් කරන්න සල්ලි උපයාගන්න ක්‍රමයක් නැද්ද?
මෙතන තියෙන්නේ මුදල් උපයාගැනීමේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඉස්සෙල්ලා අයවැයකට යන්න ඕන. අපි මේ තවම දුවන්නේ ගිය ආණ්ඩුවේ අයවැයෙන් මේ මාර්තු වෙනකල් දුවන්න පුළුවන් පරිපූරකයෙන්. අයවැයක් ගේනකම් කටයුතු කරන්න අමාරුයි.

ඇයි අයවැයක් ගේන්නෙ නැත්තේ?
අයවැයක් ගෙනාවොත් ඒකට සහයෝගය ලැබෙන්නෙ නෑ කියලා අපි දන්නවා.

සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවනේ අයවැයක් ගෙනාවොත් සහයෝගය දෙනවා කියලා?
අඩුගාණේ එතුමට එතුමගේ පක්ෂෙවත් සහයෝගයක් නැතුව කොහොමද එතුමා එවැනි ප්‍රකාශ කරන්නේ? ඒ නිසා ඒ අය විශ්වාස කරලා ඒක කරන්න බෑ. අපි මේ වෙනකොට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කරලා ඉවරයි පස් අවුරුදු සැලැස්මක් වෙනකම්ම.

ජනාධිපතිතුමාට පුළුවන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ඕනනම් හදන්න?
ඔව් හදන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඉන්න අන්තවාදී පිරිසත් එකතු කරගෙන. හැබැයි අපි ඒ ස්ථාවරයේ නෑ. ඒ නිසා තමයි අපි මේ ස්ථාවරයේ ඉඳගෙන අමාරුවෙන් හරි මේ ටික කරගෙන යන්නේ.

හැමෝම කිව්වට අමාරුයි කියලා මේක අරන් යන්න ජනාධිපතිතුමා මේ ගැන වචනයක්වත් කතා කරන්නේ නෑනේ?
ජනාධිපතිතුමා එක්ක තමයි අපි වැඩ කරන්නේ. ඔය අමාරුකම් තියෙන්නේ මූල්‍යමය පැත්තෙන්. ඒ බව අපිත් එක්ක කතා කරනවා. දැන් මම වුණත් අමාත්‍යංශ දෙකක වැඩ බැලුවට මට ඉන්නේ එක කාර්යමණ්ඩලයයි. වාහනත් සීමා කරලා තියෙන්නේ.

හැබැයි ඔබ එහෙම කිව්වට සමහර අයට හුරු නෑනේ මේ සැප පහසුකම් අඩු කරලා වැඩ කරන හැටි?
ඒක අපි තේරුම්ගන්න ඕන කාරණයක්. රටේ මිනිස්සුත් ආර්ථිකමය වශයෙන් හිර වෙලා ඉන්න වෙලාවේ අපි දැනගන්න ඕන අපෙත් යම් යම් කැපකිරීම් කරන්න. ජනාධිපතිතුමා කියලා තියෙන්නේ තව අවුරුදු තුනක් යනකල් අලුතෙන් වාහන මිලදී ගන්න එපා කියලා. ඉස්සර වගේ නෙවෙයි දැන් ඉන්න ආයතන සභාපතිලාගේ පඩියත් ලක්ෂයකට සීමා වෙලා තියෙන්නේ. දැන් මගේ තියෙන ආයතන හතරක සභාපතීත්වය දරන්නේ එකම කෙනයි. ඔහුත් වැටුප් ගන්නෙ නෑ. එවැනි ක්‍රමවේද අපි භාවිතා කරලා තියෙනවා මේ රට වැටිච්ච වළෙන් බේරගන්න. ජනාධිපතිතුමා සිස්ටම් එකෙත් වෙනසක් කරනවා මේ ආර්ථිකයෙන් ගොඩ එන්න.

දැන් ඔය කප්පාදු අස්සේ ඔබලගේ ජයග්‍රහණය වෙනුවෙන් දරදිය ඇද්ද මිනිස්සුන්ට තානාන්තර හම්බෙන්නෙ නෑ කියලා කලකිරීමක් එන්න පුළුවන්. ඒ නිසා ඒ අය ලබන පාර ඡන්දෙට උදව් නොකර ඉන්නත් පුළුවන්. ඒකට මොකද කරන්නේ?
ඔව් එහෙම තත්ත්වයක් තියෙනවා. උදාහරණයක් හැටියට පළාත් පාලන මැතිවරණයෙන් පස්සෙ තමයි ගොඩක් දෙනෙක් එකතු වෙලා තාන්නමාන්න අරගෙන ක්‍රියාකාරී දේශපාලනය කරන්න හදන්නේ. හැබැයි මහින්ද මහත්තයා පැරදුණු දවසේ ඉඳන් මේ තැනට ගේන්න වැඩ කරපු පිරිසක් ඉන්නවා. ඒ අයට කලකිරීම් එන්න පුළුවන්. හැබැයි ඒ අය අවබෝධෙන් ඉන්නේ. ඔය දෙනකොට සමහර අය සම්බන්ධයෙන් එන කලකිරීම් නිසා පොදුවේ ඔවුන් අපව තේරුම් අරන් ඉන්නේ.

එජාපයෙන් ගේන චෝදනාවක් තමයි ඔබලා ඇමැතිවරු වුණාට තවම පාලනය කරන්නේ රාජපක්ෂ පවුල විසින් කියලා. ඔබටත් තියෙනවද එහෙම බලපෑමක්?
මම පැහැදිලිව කියන්නේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් ඔය පවුලේ වෙන කිසිම කෙනකු මට බලපෑම් කරලා නෑ. අඩුම තරමේ එයාපෝර්ට් එකේ සභාපති පත් කරපු වෙලාවේ ජනාධිපතිතුමා මගෙන් ඇහුවා ප්‍රසන්න ඔයාගේ කෙනෙක් ඉන්නවද කියලා දාන්න. මම එවෙලෙම කිව්වා එහෙම කෙනෙක් නෑ ජනාධිපතිතුමා ඔබතුමාලා දෙන ඕන කෙනෙක් එක්ක මම වැඩ කරනවා කියලා. එතැනදී මම විරුද්ධ වුණානම් එතුමා ඒ දේ කරන්නෙ නෑ.

එහෙම බලපෑමක් නැතුව එහෙනම් කොහොමද රාජපක්ෂ පවුලට අලුතෙන් එකතු වුණ දෙන්නෙක් ශ්‍රී ලන්කන් එකේ අධ්‍යක්ෂක තනතුරුවලට පත්වුණේ?
ඔය කතාව පහුගිය කාලෙම ගියා. තිලක් මහත්මයා (නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය) කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉතාම සාර්ථක ව්‍යාපාරිකයෙක්. එයා තමයි ලංකාවට වැඩිම සංචාරකයෝ ප්‍රමාණයක් ගේන්නේ. ඔහු එජාප ආණ්ඩුවේ උපාය මාර්ගික කමිටුවේ හිටපු සාමාජිකයෙක්. ඔහු ඒ වගේ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. එයා මගේ දිස්ත්‍රික්කෙ කෙනෙක්. එයා පස්සෙ තමයි හම්බන්තොටට සම්බන්ධ වුණේ. මම එයා පත්කළේ රාජපක්ෂවරු කියපු නිසා නෙවෙයි.

ඒ කියන්නේ ජනාධිපතිවත් අගමැතිවත් හෝ නාමල්වත් කියලා නෙවෙයිද?
මම මේක දෙන්න කලින් නාමල් මන්ත්‍රීතුමාට කතා කළා. කතා කරලා මම ඇහුවම ඔහු කිව්වා “අනේ අයියේ ඕකටනම් මට සම්බන්ධ වෙන්න බෑ” කියලා. මම ඇහුවා මේක කළොත් ප්‍රශ්නයක් වෙයිද කියලා. ඔහු එවෙලෙම කිව්වා “ඔව් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්” කියලා. මම කිව්වා “මාර වැඩක්නෙ මල්ලි රාජපක්ෂලා බලයේ නැති කාලේ හිරේ යන්නත් ඕන බලය ඇති කාලේ වැඩක් කරන්න ගියාම මාධ්‍යට බයේ ඉන්නත් ඕන” කියලා. ඊටපස්සේ මම තමයි පත්කළේ.

මේ ගැන රාජපක්ෂවරු කවුරුත් ප්‍රශ්න කළේ නැද්ද?
මහින්ද මහත්තයා කතා කරලා ඇහුවා “ප්‍රසන්න ඔයා තිලක්ට පත්වීමක් දුන්නද?” කියලා. මම “ඔව් සර් මම දුන්නා” කියලා කිව්වා. “නෑ මේ මීඩියාවල හැමතැනම යනවා. මේක ප්‍රශ්නයක්” කියලා කිව්වා. මම කිව්වා “සර් බයවෙන්න එපා. මම වැරදි වැඩක් කරලා නෑ. මීඩියාවලට ප්‍රශ්නයක් තියෙනවනම් මගෙන් අහන්න කියන්න” කියලා.

එතකොට රෝහිත රාජපක්ෂගේ බිරිඳ ටට්යානාගේ මවට පත්වීමක් ලබාදුන්නේ මොන පදනමකින්ද?
එයාගේ ඉතිහාසය හොයලා බලන්න. එයා ශ්‍රීලංකන් එකේ වැඩ කරලා තියෙනවා. එයා පෞද්ගලික ආයතන ගණනාවක ඉහළ තනතුරු හොබවලා තියෙනවා. ඔබ එයාපෝර්ට් එකේ අයගෙන් අහලා බලන්න. අද වැඩියෙන්ම වැඩ කරන හොඳම දෙන්නා තමයි ඒ දෙන්නා. මම තෝරපු එකේ වගකීම මම බාරගන්නවා. ඒත් මහින්ද මහත්මයා මට දොස් කිව්වා.

මේ මාධ්‍යවල ගියා ජනාධිපතිවරයා බැණලා ඉවත් කරගන්න කිව්වා කියලා.
මට වචනයකින්වත් බැන්නේ නෑ. ජනාධිපති ලේකම්තුමා කතා කරලා මගෙන් විස්තරේ ඇහුවා. මම ඉතින් විස්තරේ කිව්වා. ඔය ජනාධිපතිතුමාවයි අගමැතිතුමාවයි පටලවන්න වටේ ඉන්න පිරිස් විසින් ගොඩනගන මඩ කතා. එහෙම නැතුව ඔය කියන වගේ කිසි දෙයක් තවම වෙලා නෑ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට රාජපක්ෂ පවුලෙ අය දාලා පාඩු ලැබුවා කියලා විශාල චෝදනාවක් තියෙනවා. ඔබත් එහෙම පත්වීම් කරලා තියෙනවා. මේක ගොඩගැනීමේ වගකීම ඔබ භාරගන්නවද?
ශ්‍රීලංකන් ගුවන් සමාගමට කවදාවත් ලාබ ලබන්න බෑ. උදාහරණයක් හැටියට එමිරේට්ස් ගත්තම එමිරේට්ස් ගුවන් තොටුපොළ එමිරේට්ස් සමාගම ලබාදීලා තියෙනවා. ඒ හරහා ආදායම් ලබනවා. එහෙම නැතුව ගුවනින් කවදාවත් ලාබ ලබන්න බෑ. ජනාධිපතිතුමා කැඳවලා කිව්වේ මේක වංචා දූෂණ නවත්තලා දාලා පාඩු අවම කරලා රටේ කීර්ති නාමය සඳහා සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියලා තමයි එතුමා කිව්වේ. ඒක තමා අපේ ඉලක්කය. ඔය ඇතුළේ ඉන්න යම් යම් අය ගැන අපිට තොරතුරු තියෙනවා. අපි ඒ ගැන පරීක්ෂණ සිදු කරගෙන යනවා. අපිට දැන් තියෙන්නේ ආයතනය පාඩු නොලබන තැනකට අරන් යන්න. හොඳ අධ්‍යක්ෂක මණ්ඩලයක් ගෙනල්ලා පත් කරලා තියෙනවා ජනාධිපතිතුමා විසින්.

දැන් මේ දවස්වල තියෙන ලොකුම කතාබහ තමයි එයාර් බස් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇති වූ වංචාවට රාජපක්ෂවරැ සම්බන්ධයැයි කීම. ඒක ඇත්තද?
මට කිසිම තොරතුරක් නැතිව කාටවත් චෝදනා කරන්න බෑ. එංගලන්තයේ ක්‍රවුන් කෝට්ස්වල අහපු කාරණාවක් උඩ ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට පළ වුණාට පස්සේ ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා මේ ගැන පරීක්ෂණයක් සිදු කරන්න කියලා. ඒ වගේම අපි අල්ලස් හා දූෂණ කොමිසමක් දාලා තියෙනවා මේ ගැන හොයන්න. කවුරු හෝ වැරැද්දක් කරලා තියෙනවනම් ඒකට දඬුවම් දෙන්න ඕන. ඒ වගේම අපි දැන් බලනවා එයාර් බස් සමාගම අපේ කෙනෙක්ට අල්ලස් දීමට පොළඹවා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න. ඒක අපට අපකීර්තියක්. ඒ නිසා ඒ ගැන නීතිමය පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා. කවුරුන් හෝ වැරදි කරනවනම් අනිවාර්යයෙන්ම දඬුවම් විඳිය යුතුයි. මේ ගැන ප්‍රවීණයෝ කියන්නේ මේ ගිවිසුම අවලංගු නොකර ක්‍රියාත්මක වුණානම් පාඩුවක් වෙන්නෙ නෑ කියලා. කොහොම වුණත් මම මේ ගැන ප්‍රවීණයෙක් නොවන නිසා පරීක්ෂණවලට භාරදීලා තියෙන්නේ.

ඔබලා බලයට ආවේ බැඳුම්කර හොරැන්ට, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දෙනවා කියලා. ඇයි මෙච්චර පරක්කු?
අපි තාම පත්වෙලා මාස දෙකයි. අපිට යූ.එන්.පී. ආණ්ඩුව වගේ එෆ්.සී.අයි.ඩී. හදලා මිනිස්සු හිරේ දාන්න බෑ. නමුත් අපි ජනාධිපති කොමිසමක් හරහා පරීක්ෂණ සිදුකරගෙන යනවා. පසුගිය කාලේ වුණේ කොමිසම් දාලා වැරදිකාරයෝ නිවැරදිකාරයෝ වුණ එක. නමුත් දැන් හැමෝම ඇවිත් ප්‍රකාශ දෙනවා. ඒ වගේම අපි කියනවා මහ බැංකු සිද්ධියටත් අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕන. නමුත් යූ.එන්.පීය එය වහන්න තමයි ඔය වෝහාරික වාර්තාව එළියට දාගත්තේ. ඒකත් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. මොකද ඒකට සම්බන්ධ අය තමයි ඒ ගැන පරීක්ෂණ සිදු කරන්නේ. මම පෞද්ගලිකව එම වාර්තාව පිළිගන්නෙ නෑ. හැබැයි අපේ අයත් වැරදි කළා කියනවනම් එයාලත් හොයන්න ඕන.

ශ්‍රීලනිපයත් පොහොට්ටුවත් එකතු වෙන එකට වැඩියෙන්ම බණින්නේ ඔබ. ඇයි මේකට විරුද්ධ?
2015 මහින්ද රාජපක්ෂ මහත්මයා පරද්දන්න යටිකූට්ටු වැඩ කළේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. පක්ෂයේ මහ ලේකම් වශයෙන් ඉන්න වේලාවේ. ඊටපස්සේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙද්දි යූ.එන්.පීයේ නායකයව අගමැති කළා. ඊටපස්සේ යහපාලන ආණ්ඩුවක් ගෙනැල්ලා තමයි මේ රට මේ තත්ත්වයට ඇදලා දැම්මේ. ඒකට හැමදෙනාම වගකියන්න ඕන ඔය අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය පවා. ඒ නිසා අපි කියන්නේ ශ්‍රීලනිපයේ නායකත්වය ගැන විශ්වාසයක් තියාගෙන මැතිවරණයට යන්න එපා කියලා. මොකද ඒ පක්ෂෙ ඉන්න පිරිස ගැන අපට විශ්වාසයක් නෑ. අඩුම තරමේ මෛත්‍රී මහත්මයා ජනාධිපතිවරණ වේදිකාවටවත් නැග්ගෙ නෑ. එක අතකින් නැග්ගෙ නැති එක හොඳයි. නැග්ගනම් ඡන්දෙ පරදිනවා. කිසිම උදව්වක් කළේ නෑ.

ඔබ ඇත්තටම විරුද්ධද ශ්‍රීලනිපය එකතු වෙනවට?
ඔය හැමෝම අපි එක්ක හිටිය මිනිස්සු. හැබැයි ඔය අපිත් එක්ක ඉඳලා එහා පැත්තට ගිහිල්ලා රනිල්ලා එක්ක ජාතික ආණ්ඩු හදලා රට කාලා නැවත ඇවිල්ලා නැවත කොන්දේසි දානවනම් අපිට එකතුවෙන්න උවමනා නෑ. මොකද පොහොට්ටුව කියන පක්ෂෙ හැදුවේ මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සු පක්ෂෙ රකිනවා. අන්න ඒ මිනිස්සු වෙනුවෙනුයි මම කතා කරන්නේ.

මෛත්‍රී මහත්තයා කියන්නේ ආණ්ඩුවට තුනෙන් දෙක ගන්න සහාය දෙනවා කියලා.
ඉතින් එයා කිව්වා කියලා දෙයිද?

ඒකෙන් වක්‍රාකාරයෙන් කියන්නේ ශ්‍රීලනිපය නැතුව ආණ්ඩුවට තුනෙන් දෙකක් ගන්න බෑ කියලා නේද?
වෙන්න පුළුවන්. හැබැයි අපි එහෙම කියලා රටේ මිනිස්සුන්ගේ අනාගතය විනාස කරනවද නැත්නම් මිනිස්සු දැනුවත් කරලා ඒ අය නැතුව තුනෙන් දෙකක් ගන්න කටයුතු කරනවද කියලා තමයි තීන්දු කරන්න ඕන. මට පුළුවන් මගේ ගම්පහ දිස්ත්‍රික්කෙ දිනවන්න. බැරි අයට පුළුවන් එකට යනවද ගිවිසුමකට යනවද කියලා තීරණය කරන්න. මම 2015 මහ මැතිවරණයෙදීත් කිව්වා වෙනම ඉල්ලමු කියලා. ඒ වගේම ගිය පළාත් පාලන මැතිවරණයේදීත් කිව්වා වෙනම ඉල්ලමු කියලා. හොඳම උදාහරණය එකට ඉල්ලන්න කැමති වෙලා මගදි යනකොට දින්නත් අගමැතිකම දෙන්නෙ නෑ කියපු කෙනෙක් විශ්වාස කරන්න පුළුවන්ද? මමනම් ලෑස්ති නෑ එයා එක්ක යන්න. එතුමාගේ දියණිය ලියපු පොතේ තියෙන කතාවයි දැනුයි මාර වෙනස්නේ. රෙද්ද බැනියම ඇඳන් ඉන්න පොළොන්නරුවෙයි කියපු මනුස්සයා අන්තිමට කොළඹ හතේ ගෙවල් අරගෙන වාහන තියන් ඉන්නවා. ඒවා තනිකර බොරුනේ.

සමහර අය කියනවා මෛත්‍රීපාල මහත්මයාට නාම යෝජනා දෙන්න එපා කියලා?
මමත් කියනවා දෙන්න එපා කියලා. දුන්නොත් ඡන්දෙ පරදිනවා. තුනෙන් දෙක තියා ගන්න තියෙන ඡන්ද ටිකවත් ගන්න බැරි වෙනවා. ඒ වගේ කෙනෙක් එකතු කරගන්නවා කිව්වොත් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ. දැන් එතුමා කරන්න ඕන ගෙදර අය බලාපොරොත්තු වුණ දේ කරන එක. පොළොන්නරුවට ගිහිල්ලා විශ්‍රාම දිවිය ගත කරන එක.

පොහොට්ටුවද පුටුවද ලකුණ?
අනිවාර්යයෙන්ම පොහොට්ටුව.

දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට එන්න ඕන කියලා. දැන් ඒ අය එන්න හදනවා. එතකොට ඔබලා වැනි දීර්ඝ කාලයක් දේශපාලනය කළ අයට අභියෝගයක් නේද?
මේ රටේ උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තු එන්න ඕන. මම අවුරුදු හතළිහකට ආසන්න කාලයක් තනතුරු දැරුවා. මම මේ තනතුරැවල විෂය ප්‍රවීණයෙක් නෙවෙයි. හැබැයි උගතුන් බුද්ධිමතුන් එක්ක එකතු වෙලා එයාලගෙන් දැනුම අරගෙන පාලනය කළා. යම්කිසි උගතෙක් එනවනම් එයා එන්න ඕන ජනතා සේවයට. එහෙම නැතුව එයාගේ උගත්කම පෙන්නන්න නෙවෙයි. එයාට පහළ මිනිසාගේ හදවත තේරුම්ගන්න බැරිනම් එයා ඒ කරන්නේ ජනතාවට අසාධාරණයක්. දැන් ඔය ගොඩක් එන්නේ 2015 පරාජයෙන් පස්සේ හිටිය අය නෙවෙයි. පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණයෙන් පස්සේ ඉන්න අය. මම කියන්නේ ඒ අයට අවස්ථාව දෙන්න කියලයි.

සමහර අය කියනවා ජනාධිපතිතුමා දාන වියත් මගේ අය ඒ දිස්ත්‍රික්කවල වැඩිම මනාප ගන්න අය කොහොමහරි දිනවන්න ඕන කිව්වා කියලා. ඒක ඇත්තද?
කවුද ඒ කියන්නේ? ඒ කියන්නේ ඔය ඉල්ලන අයමයි. අපේ දිස්ත්‍රික්කෙ නම් කාටවත් කියලා නෑ එහෙම කරන්න කියලා. මමනම් කිසිම කෙනෙක්ව අරගෙන එහෙම යන්නෙ නෑ. එතුමා කියලා තියෙන්නේ ඒ ඒ විෂයට අදාළ අයව නාම යෝජනා ලැයිස්තුවට දාන්න කියලා විතරයි.

► ගයාන් ගාල්ලගේ
සේයාරුව I සුමුදු හේවාපතිරණ