► වියත්මගේ අයට වැඩියෙන්ම ගහන්නේ ආණ්ඩුවේ අය
► මැතිසබේ ඉන්න ඕනෑ උගත් අය තමයි
► ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට මාව ගැලපෙන්නේ නෑ
► ගෝඨාභය මහත්තයට ආණ්ඩුව කරන්න ඉඩදෙන්නේ නැත්තේ මහින්දගේ කට්ටියයි
► මෛත්‍රීපාල මහත්තයා තමයි මේ රට අගාධයකට දැම්මේ
► පොහොට්ටුවේ ඡන්ද මට ලැබෙන්නේ නෑ
► මම ප්‍රතිපත්තිගරුක කෙළින් මිනිහෙක්
- පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම
මොකද මේ කුමාර වෙල්ගම මහත්තයා මේ දවස්වල වැඩිය සද්දයක් නැතුව ඉන්නේ?
දැනට සද්ද කරන්න දෙයක් නෑ. අලුත් ආණ්ඩුවක් පත්වුණා. අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණා බොහෝම වැඩි ඡන්ද ප්‍රමාණයකින්. ඒ නිසා වැඩ කරන්න දීලා බලාගෙන ඉන්නවා.
එහෙමද නැත්නම් වැඩිය කතා කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න වෙයි කියලා බයේද?
නෑ එහෙම එකක් නෑ. කතා කරන්න නම් පුළුවන්. අවුරුදු 38ක් දේශපාලනය කරපු මිනිහෙක්ට කතා කරන්න බැරිකමක් නෑනේ. ඒත් එකපාර මිනිහෙක්ව විවේචනය කරන්න බෑ. රට පාලනය කරන විදිහ බලලා දෙයක් කියන්න ඕන. තාම ලොකු දෙයක් වුණේ නෑ අපිට කතා කරන්න තරම්.
ඔබ ඔය කියන්නේ හැට නවලක්ෂය බලාපොරොත්තු වුණ දේ වෙමින් පවතින නිසාද නැත්නම් තාමත් නොවුණු නිසාද?
සිංහල ජනතාව තමයි වැඩියෙන්ම ඡන්දෙ දුන්නේ. ඒ සිංහල මිනිස්සුන්ට ඒ සිංහලකම්වලට ප්‍රතිලාභයක් තාම ලැබුණේ නෑ.
ඔබට හිතෙන්නෙ නැද්ද ගෝඨාභය රාජපක්ෂ මහත්තයට එකතු නොවී කරගත්තේ අපරාධයක් කියලා?
මම පොහොට්ටුවේ හිටියනම් තමයි අපරාධයක් වෙන්නේ. මොකද මම ආරම්භක සාමාජිකයා හැටියට මිනිස්සු ඉදිරියේදී මට වැඩියෙන් දොස් කියයි.
ඒ කියන්නේ ඔබේ තීන්දුව සම්බන්ධව සතුටුද?
ඇත්තටම මම සතුටු වෙනවා එදා හරි තීන්දුවක් ගත්තා කියලා.
හැබැයි හිතෙන්නෙ නැද්ද හිටියනම් කැබිනට් මණ්ඩලෙන් හොඳ තනතුරකුත් හම්බවෙලා අලුත් සන්ධාන තුළත් ලොකු පුටුවක් ලබාගන්න තිබ්බා කියලා?
එහෙම හිටියා කියලා වැඩක් තියෙනවද? මොකද්ද ඇති වැඩේ? තමන්ගේ කැමැත්තට වැඩ කරන්න බෑ කිසිම ඇමැතිවරයකුට. ඒක අපි දන්න දෙයක්. මම කියපු විදිහට හමුදාවේ අයයි වියත් මඟේ අයයි තනතුරුවල ඉන්නේ. ඇමැතිවරයකුට කියලා අපි වැඩ කළා වගේ වැඩ කරන්න දැන් ඉන්න අයට බෑ. ඒක මුළු රටම දන්නවා. ඒ නිසා ඒ ගැන වාද විවාද තියලා වැඩක් නෑ. ඊටවඩා හොඳයි මම ඉන්න විදිහටම හිටියම. මෙහෙම ස්වාධීනව හිටියම මට ඕන දෙයක් කියන්න පුළුවන්. මොකද ආණ්ඩුව ඇතුළේ ඉන්නකොට ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න බෑනේ බොරුවට. මිනිස්සු අහයි එහෙනම් ඇයි ආණ්ඩුවේ ඉන්නේ කියලා. දැන් මම දැක්කා රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා බණිනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයට. බණින්න ඕන තමයි. එතුමා තමයි මේ රට අගාධයකට දැම්මේ. ඒත් එතුමා දැනගන්න ඕන පොහොට්ටුවේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බව. ඒ නිසා ඇතුළට වෙලා බැණ බැණ ඉන්නවට වඩා හොඳයි එළියට එන එක. ඔහොම බැන්නා කියලා වැඩක් නෑනේ. එහෙම බැන්නා කියලා සභාපතිකම නැතිවෙන්නෙත් නෑ. එතුමා දිනන එක නතර වෙන්නෙත් නෑ.
ඔබ කිව්වා ගෝඨාභය රාජපක්ෂ පත්වුණොත් ඔහු ඒකාධිපතියෙක් වෙයි කියලා. දැන් ඔහු ප්රජාතන්ත්රවාදී විදිහට කටයුතු කරනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා. හිතෙන්නෙ නැද්ද ඒ අනුමානය වැරදියි කියලා?
තවම මාස තුනයිනේ. එකපාර ඒවා එන්නෙ නෑ. මම කිව්ව එක බලන්න පුළුවන් ඊළඟ මහ මැතිවරණෙන් පස්සේ.
දැන් වෙල්ගම මහත්මයට පක්ෂයක් නෑනේ?
මාවනම් ඕන පක්ෂෙකින් බාරගන්නවා. අපේ අනන්‍යතාවය තහවුරු කරන්න මේ වෙනකොට පක්ෂයක් ලියාපදිංචි කරන්න දාලා තියෙනවා. අපි සන්ධානයක් අලුතෙන් හදනවා. පොහොට්ටුවට අකැමැති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඉන්නවනේ. අන්න ඒ අයට එන්න පුළුවන් තැනක් අපි හදනවා. ඒ මේ මැතිවරණයට කලින්.
දැන් මේක අලුත් සන්ධානයක්ද? කවුද මේකට ඉන්න කට්ටිය?
ඒක දැන්ම මට කියන්න බෑ. ඒක අවශ්‍ය නෑ. ඒක එදාට බලාගන්න පුළුවන්.
මේ සන්ධානය එක්සත් ජාතික පෙරමුණ විසින් හදන සන්ධානයට සම්බන්ධ එකක්ද?
ඒක මට දැන්ම කියන්න බෑ. නමුත් මම එක දෙයක් කියන්නම්. මම ආණ්ඩුවට විරුද්ධව මහසෝනා එක්ක හරි එකතු වෙනවා. එහෙම කිව්වම ඔයාට හිතාගන්න පුළුවන්නේ.
දැන් ඔය කියන විදිහට මහසෝනා එජාපය පැත්තෙ ඉන්නත් පුළුවන්. හැබැයි වෙල්ගම කියන්නේ එජාප විරෝධී සටන්කරැවෙක්. එහෙම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්ද?
ඒක මෙහෙමනේ. තමන්ට ඒක හරියන්නේ නැත්නම්, තමන්ට ඒක තේරෙනවනම් ඒක පවුල්වාදයක්. ඒ පවුල්වාදය නැති කරන්න අපිට බෑ. ඒක මුළු රටම දන්නවා කොච්චර ඡන්දෙ දුන්නත් මේක පවුලෙන් පිට යන්නෙ නැති දෙයක් කියලා. එහෙනම් කරන්න ඕන අපිට ගැලපෙන ගමන් අපි යන්න ඕන ඒ හරහා රටට සේවයක් කරන්න. මොකද නිකන්ම වෙල්ගම වෙලා ඉඳලා නිකම්ම ස්වාධීන වෙලා මට ඒ දේ කරන්න බෑ. ඒ නිසයි වෙනම මම සන්ධානයක් හදලා තීන්දුවක් ගන්න යන්නේ.
ඒ අලුත් සන්ධානේ නායකයා ඔබද?
මම හදන සන්ධානේ නායකයා මම. වෙන කවුරුත් නෙවෙයි.
ඔබ පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පේන්න හිටියා. හැමෝම ඒ ගැන බලාගෙන හිටියේ. ඇයි දැන් ශ්රීලනිපය එක්ක ගනුදෙනුවක් නැද්ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිතුමා ගත්තේ වැරදි තීන්දුවක්. අපි තනියම ඉල්ලුවානම් අපිට මන්ත්‍රීධූර කිහිපයක් ගන්න තිබුණා. මොකද අපිට යම්කිසි ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. නමුත් වුණේ නායකයන්ගේ වැරදි වහගන්න ඒගොල්ලන්ගේ වාසියට තීන්දුවක් ගත්තා. එතකොට මට එතන ඉන්න බෑනේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ හිටිය වාමාංශික වෙල්ගම දක්ෂිණාංශික වුණා කියලා මිනිස්සුන්ට යම් අවුලක් වෙන්න පුළුවන් නේද?
මේක දක්ෂිණාංශයක් නෙවෙයි. මේක වරදවා තේරුම්ගන්න හදන්න එපා. ඔයාට ඕන විදිහට මේක කරකවලා කතා කරන්න පුළුවන්. මේක රට ගැන හිතලා ගන්න තීන්දුවක්. විශේෂයෙන් අනාගතය ගැන හිතලා. මම මගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරනවා ඇරෙන්න මම කවුරුත් කියන දේ කරන මිනිහෙක් නෙවෙයි. මම කෙළින් වැඩ කරන ප්‍රතිපත්තිගරැක මිනිහෙක්. එහෙනම් මට තිබ්බා සිරිසේන මහත්තයාගේ ආණ්ඩුවෙන් තනතුරක් ගන්න. නැත්නම් දින 52 ආණ්ඩුවෙන් තනතුරක් ගන්න. එහෙමත් නැත්නම් වර්තමාන ආණ්ඩුවෙන් තනතුරක් ගන්න. මට එහෙම කරන්න බෑ. මම හෘද සාක්ෂියට වැඩ කරන මිනිහෙක්. ඒ නිසා රට ගැන හිතලා මම තීන්දුවක් ගන්නවා. මම ගන්න තීන්දුව වෙනස් කරන්න ශක්‍රයාගේ පුතා වයිමටවත් බෑ.
ඔබත් එක්ක පහුගිය කාලේ හිටියා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය. දැන් එතුමියත් මේ සන්ධානයේ හවුල්කාරිනියක්ද?
එතුමිය මාත් එක්ක හිටියා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරගැනීමේ සටනේ සිටියා. එතුමිය හොඳ කාන්තාවක්. නමුත් එතුමිය එක්ක මේ ගමන යනවා නෙවෙයි, අපි කණ්ඩායමක් හැටියට හිතලා ශ්‍රීලනිපයේ ඉන්නවා පොහොට්ටුවට ඡන්දෙ දෙන්නෙ නැති පිරිසක්. අන්න ඒ අය එක්ක මගේ ගමන යන්න සූදානම් වීමක් තමයි මෙතන තියෙන්නේ.
ඒ කියන්නේ මේක ඔබගේ වාසියට ගන්න තීන්දුවක්?
කොහෙත්ම නෑ. එක පැත්තකින් මට අවශ්‍ය ඒ මිනිස්සු ආරක්ෂා කරන්න. අනිත් කාරණය මේ රට ගැන හිතන්න.
දැන් ඔබත් එක්ක ඔය ගමන යන්න වර්තමාන ආණ්ඩුවේ අය ඉන්නවද කතා වෙලා?
මම ඒ ගැන කියන්න කැමති නෑ. මට ඒවා අදාළ නෑ.
මේ ආණ්ඩුවට අකැමැති ආණ්ඩුවේම ඉන්න අය ඔබත් එක්ක කතා කරනවද?
මට ඒවා වැඩක් නෑ. එහෙම කතා කළත් මම කියන්නෙ නෑ. මම කොයි වෙලාවකවත් පාවා දෙන්න සූදානම් නෑ.
ඔබ සන්ධානය හැදුවට පස්සේ ඔබත් එක්ක ගමනක් යන්න පිරිසක් ඉඳී කියලා ඔබ විශ්වාස කරනවද?
මගේ කණ්ඩායමක් ඉන්නවා. ඒක ඉදිරියට බලාගන්න පුළුවන්. වැඩිය කල් නෑනේ. තව දවස් කීපයකින් බලාගන්න පුළුවන්. එතකල් ඉවසන් ඉන්න.
මහින්ද රාජපක්ෂ මහත්මයා ඔබේ සමීප මිත්‍රයෙක්. ඒ වගේම පවුලේ ඥාතියෙක්. එතුමා නිකන්වත් කතා කරලා දුක සැප අහලා එන්න කියලා කිව්වේ නැද්ද?
මට පාර්ලිමේන්තුවේ හම්බවෙලා මගේ දුක සැප අහනවා. නමුත් එතුමා දන්නවා මාව එහෙම ගන්නත් බෑ මම එහෙම එතනට යන්නෙත් නෑ කියලා. ඒ නිසා අපි දේශපාලනය ගැන කතා කරන්නෙ නෑ.
වර්තමාන ජනාධිපතිවරයා කිව්වා ඔය තරහා මරහා අමතක කරලා දාලා එතුමා එක්ක රට හදන්න එකතු වෙන්න කියලා. වෙල්ගම මහත්මයා සූදානම් නැද්ද එතුමා එක්ක රට හදන්න යන්න?
මම තීන්දුව අරන් තියෙන්නේ රට වෙනුවෙන්. මට ඒ අය එක්ක තරහාමරහක් නෑ. තරහා වෙන්න ඕන බූදලේ බෙදාගන්න බැරැව නෙවෙයිනේ. නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට මම ගැලපෙන්නේ නෑ.
ඔබට හිතෙන්නේ නැද්ද ආණ්ඩුව ඇතුළට ගිහිල්ලා ඔබ හිතන වෙනස ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා?
මට එහෙම කිසිම වෙලාවක හිතෙන්නේ නෑ. මට හිතිච්ච දේ තමයි මම දැන් කරන්නේ. ඒ නිසා ඔබතුමා ඒකට බාධා කරන්න එපා. ඒ ගමන යන්න ඔබතුමා මට ආශිර්වාද කරන්න.
ඔබ සජිත් ප්‍රේමදාස මහත්මයාට ජනාධිපතිවරණෙදී වක්‍රාකාරව උදව් කළා. ඔහු කතා කළේ නැද්ද ඔහුගේ අලුත් සන්ධානෙට එන්න කියලා?
මම කිව්වනේ කුමාර වෙල්ගම මේ ආණ්ඩුවට විරුද්ධව මහසෝනා එක්ක හරි එකතු වෙනවා කියලා. අන්න ඒක ඔයාට ඕන විදිහට ඔයා හිතාගන්න.
ඒ කියන්නේ කුමාර වෙල්ගම සජිත් එක්ක එකතු වෙනවා?
ඔයාට කැමති විදිහකට හිතාගන්න. මම කොහොමත් ආණ්ඩුවට විරුද්ධයි. ඔබ අහන දේට උත්තර දෙන්න බෑ. ඒවට උත්තර දෙන්නෙත් නෑ.
ඔබ කළුතර සිංහයා කියලා කියන්නේ. එහෙමයි කැම්පේන් කළේ. දැන් මේ පොහොට්ටුව අතහැරලා කළුතරින් වෙන පක්ෂෙකින් ඉල්ලන්න ගියොත් වෙල්ගමට පරාජය උරුම වෙයිද?
මට කිසිසේත්ම අභියෝගයක් නෑ. පොහොට්ටුවේ අයගේ ඡන්දෙ මට ලැබෙන්නෙ නෑ කියලා මම දන්නවා. නමුත් ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම් මේ රටේ ඉන්නවනේ. ආණ්ඩුවට කළුතර දිස්ත්‍රික්කයේ 55%ක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතිරි 45% මට සලකයිනේ.
මෛත්‍රී මහත්තයා ආණ්ඩුවට උදව් කරන්නේ 2/3 ලබාගැනීමට බව කිව්වා. ඇත්තටම බහුතරය ගන්න පුළුවන් වෙයිද?
මමනම් හිතන්නේ නෑ එහෙම ගන්න පුළුවන් වෙයි කියලා. ඔය සයින්දුමරුදු වගේ ප්‍රදේශ නගරසභා කරන්නේ ඒ අරමුණුවලින් වෙන්න ඇති. ඒක අමාරු දෙයක්. එහෙනම් ඉතින් පරණ සෙල්ලම ආයි පටන්ගන්න ඕන. පත් වුණාට පස්සේ සල්ලි දීලා මන්ත්‍රීවරු ගන්න.
දැන් අලුත් කතාබහක් යනවා අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එන්න ඕන කියලා. විශේෂයෙන් උගත්, බුද්ධිමත් අය. ඔබ ඒක පිළිගන්නවද?
ඒක බොහොම හොඳ දෙයක්. උගත් බුද්ධිමත් අය තමයි මැති සබයට එන්න ඕන. අපි දැක්කනේ පහුගිය කාලේ සමහර අය පාර්ලිමේන්තුවේ හැසිරුණ හැටි. ඒ දේවල්වලින් පේන්නේ තමන්ට හරිආකාර උගත්කමක් නැතිකම. ඒ නිසා මම කියන්නේ හැම අංශෙන්ම උගත් මනුස්සයෙක් එවන්න කියලා. හොඳ දරුවෝ ඉන්නවා. ඒ අය ආවොත් මේ වැටිලා තියෙන ණය උගුලෙනුත් රට බේරගනියි.
නමුත් සමහර අය කියනවා ප්‍රායෝගිකව වැඩ කරන්න ඕන අය තමයි පාර්ලිමේන්තු එන්න ඕන කියලා. ඔබ හිතන්නේ මොකද්ද?
මමත් හොඳට ප්‍රායෝගිකව වැඩ කරන මනුස්සයෙක්. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ප්‍රායෝගික කියලා කරේ අත දාගෙන තහඩු බෙදන එක. නමුත් එහෙම නෙවෙයි වැදගත් වෙන්නේ. රට ඉදිරියට අරන් යන්න පුළුවන් බුද්ධිමත් පිරිසක් අවශ්‍යයි. අන්න ඒ අයටයි ඉඩදෙන්න ඕන. හැබැයි බුද්ධිමත් අය දේශපාලනයට එන්න කැමති නෑ. මොකද මේ ක්‍රමය යටතේ ඒ අයට ඉදිරියට එන්න දෙන්නෙ නෑ. හොඳම උදාහරණය වියත් මගේ අයට වැඩියෙන්ම ගහන්නේ ආණ්ඩුවේ අය.
ඔබ ඔය කියන ආකාරයට ජනාධිපති හොඳයි පාර්ලිමේන්තුවේ අය නරකයි කියලද කියන්නේ?
මම දෙයක් කියන්නම්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ආණ්ඩුව ගෙනියන්න දෙන්නෙ නැත්තේ මහින්ද රාජපක්ෂ මහත්මයා ප්රමුඛ පහළ ඉන්න කට්ටිය. තව වැඩිපුර ප්‍රශ්න අහන්න එපා. ඕක තමයි ඇත්ත තත්ත්වය.
පසුගිය දවසක රංජන් රාමනායක සම්බන්ධයෙන් හඬපට සිද්ධියක් මතුවුණා. ඔහු කියන්නේ මේ සියල්ල දූෂිතයි කියලා. ඔබ දකින්නේ කොහොමද මේ සිද්ධිය ගැන?
රංජන් රාමනායක මහතාගෙන් වැරදි ඇති. වැරදි නැති දේශපාලනඥයෙක් නෑ. මගෙත් වැරදි තියෙනවා. නමුත් එතුමා යම්කිසි දෙයක් රටට පෙන්නුවා. එතුමා පෙන්වලා දුන්නා මේ සමහර තැන් ඉතාම දූෂිතයි කියන දේ. එතුමා දැන් බොරැවට හිරේ දාලා හිටියට එතුමා ඇත්ත මොකද්ද කියන එක පෙන්නුවා.
ඔබ විශ්වාස කරනවා අලුත් මුහුණු එන්න ඕන කියලා. ඔබගේ පුතත් බුද්ධිමත්, උගත් කෙනෙක්. ඇයි ඔබේ තැන ඔහුට දෙන්නෙ නැත්තේ?
මගේ පුතා නීතීඥයෙක්. එයා එංගලන්තයේ බැරිස්ටර් විභාගය සමත් වුණු කෙනෙක්. එයාට තව කල් තියෙනවා. එයා නීතීඥ සංගමයක් හදාගෙන ඉන්නවා. එයාට වෙලාව එන්න ඕන. එයාව මේ වෙලාවේ එළියට දාන්න බෑ. තරග කරලා දිනන්න ඕනනම් වැඩියෙන්ම මිනිස්සු වගේම ආණ්ඩු විරුද්ධ කණ්ඩායම් බලාපොරොත්තු වෙන්නේ මාව. මොකද මම කෙළින් කතා කරන සහ නිර්භීත මිනිහෙක් කියලා හැමෝම හිතන නිසා. ඒ නිසා මේ පාරට එතුමව දාන්න මට බෑ. අනික එයාට දැන් 30 පැනලා නිසා එයාට ස්වාධීන තීන්දුවක් ගන්න පුළුවන්. මගේ මතය මේ රට වැටෙන්න යන උගුලෙන් බේරගන්න මම ඉදිරිපත් විය යුතුයි කියලා.
ඔබ ශ්‍රීලනිප සාමාජිකයෙක්. පොහොට්ටුව හදන්න උදවු කළා. දැන් ඔබ මේ සියලු දේවල්වලින් අයින් වෙලා තනියමද ඉන්නේ?
ඔය හැම කණ්ඩායමක්ම ගත්ත වැරදි තීන්දු නිසා මම ඈත් වෙලා ඉන්නේ. නමුත් මම තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ඉන්නවා. අයින් කරලා නෑ. ඒ වගේම මම පොහොට්ටුවේ සාමාජිකයකුත් නෙවෙයි. කවදාවත් ගත්තෙ නෑ. නමුත් මම ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රතිපත්තිවලට ගරැකරන මිනිහෙක්. මගේ ගුරැතුමිය සිරිමාවෝ මැතිනිය. මම එතුමියට අදත් අත් දෙක එකතු කරලා වඳිනවා.
► ගයාන් ගාල්ලගේ