ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර
ආණ්ඩුවට කැබිනට් ප්‍රකාශකවරු හරියටම කීයක් ඉන්නවද?
ආණ්ඩුවට කැබිනට් ප්‍රකාශකයෝ දෙන්නයි. අනෙක් අතට ජනමාධ්‍ය ඇමැතිතුමාටත් බලයක් තියෙනවා මාධ්‍ය ප්‍රකාශකවරයකු ලෙස ඉන්න. ඊට අමතරව මමත්, රාජිත ඇමැතිතුමත් ප්‍රකාශකවරැ ලෙස කටයුතු කරනවා.
තවමත් ඇයි මේ ගයන්ත ඇමැතිතුමා වාඩිවෙන්නෙ?
මංගල ඇමැතිතුමා මාධ්‍ය සාකච්ඡාවලට එන්නේ නෑ. ඒ නිසා ගයන්ත ඇමැතිතුමා ජනමාධ්‍ය ඇමැතිතුමාගේ භූමිකාව නිරූපණය කරමින් වැඩ කටයුතු කරනවා.
පරිපූරක ඇස්තමේන්තු දාලා ඇමැතිලා වාහන ගන්න ඕන නෑ
කොහෙවත් නැති දයාසිරි ජයසේකර කොහොමද මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වෙන්නෙ?
ජනාධිපතිතුමත් අගමැතිතුමත් කැබිනට් මණ්ඩලයත් ගත්ත තීන්දුවක්.
හේතුවක් නැති පත්කිරීමක්ද මේක?
නෑ. ආණ්ඩු දෙකක් එකතුවෙලා යන ගමනක් මේ තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් යම් අදහසක් ඉදිරිපත් කළ යුතුයි කියලා අදහසක් තිබ්බා. පහුගිය කාලයේ ඒ ගැන පක්ෂය ඇතුළෙන් යම් යම් ප්‍රශ්න ආවා. ඒ නිසයි මේ තීන්දුව ගත්තේ කියලා මම හිතන්නේ.
ඒ කියන්නේ ආණ්ඩුව ඇතුළේ කචල්?
කචල් තියෙනවා පක්ෂ දෙකක් එකට වැඩ කරනකොට. මොකද දෙගොල්ලෝ මරාගත්ත පක්ෂ දෙකක් වැඩ කරනකොට කචල් නැත්තන් කචල් වෙන කොහෙද තියෙන්න ඕනෑ.
කියන දේ අහන්නෙ නැහැ වැස්ස ගමන් ආණ්ඩුවට බණිනවා
එදා විපක්ෂයෙන් ඉවත් වෙනකොට කිව්වා මේ විපක්ෂ නායකයන් එක්ක වැඩ කරන්න බෑ කියලා. ඔබ දැන් අගමැතිතුමා යටතේ ඇමැතිකම් කරනවා. දැන් හොඳයිද එතුමා?
අගමැතිතුමා යටතේ නෙමෙයිනේ වැඩ කරන්නේ, ජනාධිපතිතුමාගේ පක්ෂයේ නියෝජිතයෝ හැටියට ඉන්නේ. අනෙක මේක ජනාධිපති ආණ්ඩුවක් තියෙන්නේ. අපේ පක්ෂයේ නායකයා හැටියට ජනාධිපතිතුමා එක්ක වැඩ කරනවා. මෙහේ අගමැතිත් එක්කත් වැඩ කරනවා. කිසි ගැටලුවක් නෑ.
ජනාධිපති බලයට පත් කරන්න වැඩ කරපු යූ.එන්.පී. පක්ෂයත් එක්ක වැඩ කරනකොට ඔවුන් ගේන හැම යෝජනාවකටම ඔබලා බාල්දි පෙරළන එක හරි නෑ නේද?
ඕක වැරදි වැටහීමක්නෙ. ජනාධිපතිතුමා පත් කරන්න යූ.එන්.පී. එක වැඩ කරපු එක ඇත්ත. ඊට පස්සේ ඔහු ශ්‍රීලනිපයේ සභාපති වුණා. ඊට පස්සේ අගෝස්තු මාසයේ තිබ්බ ඡන්දයෙන් මේ පක්ෂ දෙකට ආණ්ඩුවක් පිහිටුවන්න බලයක් ලැබුණේ නෑ. ඊට පස්සේ පක්ෂ දෙකේ නායකයෝ දෙන්නා තීන්දුවක් ගත්තා එකතුවෙලා ආණ්ඩුවක් පිහිටු විය යුතුයි කියලා. ඒ නිසා ජනාධිපතිතුමා ගේන්න එ.ජා.පයට බලයක් තිබුණට ආණ්ඩුවක් හදන්න ඔවුන්ට බලයක් තිබුණේ නෑ. ඒ වගේම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ තිබ්බෙත් නෑ තනි ආණ්ඩුවක් හදනවා කියලා. ඒ නිසා මේක යූ.එන්.පී. ආණ්ඩුවක් නෙමෙයි.
මේ හවුල නිසා තවම හරි ප්‍රතිපත්තියක් ගන්න බැරිවෙලා තියෙනවා නේද?
මේක හොඳයි කියලා මට තේරෙන්නේ අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි ආණ්ඩුවක් හැටියට කරගෙන ගිය කාලයේ තිබ්බ අත්තනෝමතික බව. හොඳ වෙන්න පුළුවන් ඇතැම් අවස්ථාවල. හැබැයි වැරදි වෙනකොට කතා කරන්න කෙනෙක්නෑ. අවසාන තීරණය ජනාධිපතිගේ හෝ ළඟම ඉන්න ඇමැතිගේ තීන්දුව. හැබැයි මේකෙදි එහෙම එකක් වෙන්නේ නෑ. සමහර ගේන යෝජනා ජනතාවට හොඳ විදිහට හරවන්න පුළුවන් වෙලා තියෙනවා. කොච්චර කචල් තිබුණත් නිවැරදි තීන්දු ගන්න පුළුවන් වෙලා තියෙනවා. පහුගිය කාලයේ එහෙම ගෙනාපු ඇතැම් තීන්දු තීරණ වෙනස් වුණා.
ව්‍යවස්ථාව වෙනස් කිරීම අපේ ඡන්ද පොරොන්දුවක්
ඔබ ගෙනාපු තීන්දු තීරණවලට වැඩියෙන්ම පහරදුන්නේ විපක්ෂයෙන්. ඔවුනුයි කිව්වේ මේ තීන්දුව රටට අහිතකරයි කියලා. ඒ අතින් ආණ්ඩුවේ මුට්ටිවලට ගැහුවේ විපක්ෂයෙන් නේද?
නෑ. ඕක සම්පූර්ණ වැරදි. බලන්න අද ව්‍යවස්ථාව ගැන විපක්ෂය කියන කතා. බුද්ධාගම ඉවත් කරලලු. ඒකීය වචනය ඉවත් කරලලු. රට බෙදන්න හදනවලු. කවුද කියන්නේ ඕවා. කවුද කරලා තියෙන්නේ. තවම එහෙම දේවල් හිතලවත් නෑ. ඒ නිසා විපක්ෂය කියන දේවල් නිසා නෙමෙයි අපි හකුල ගන්නේ. අපි ගන්න ඕන තීන්දු ගන්නවා. හම්බන්තොට ප්‍රශ්නය ගත්තමත් අපි දිගින් දිගටම සටන් කළා. ඒ නිසයි අත්සන් කරන්න පරක්කුවෙලා තියෙන්නේ අදටත්. එහෙම නැතුව ඔය ඒකාබද්ධ විපක්ෂය කිව්ව නිසා නෙමෙයිනේ. හැබැයි ඒ අයත් කතා කළා තමයි. අපි ඒක පිළිගන්නවා. හැබැයි කැබිනට් එක අනුමත කළා නම් කෑගැහුවට වැඩක් නෑනේ. ඒ පරක්කුව සිදුකරන්නේ අපිනේ. අපිනේ කැමැත්ත තීන්දු තීරණ කැබිනට් එකේ ගන්නේ. තනි ආණ්ඩුවක් තිබ්බා නම් මෙහෙම කරන්න බෑ.
ඇයි පළාත් පාලන ඡන්දය තියන්නෙ නැත්තේ?
පළාත් පාලන මැතිවරණය ආරම්භයේ සිටම තිබ්බනේ විකෘතියක්. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. මේක මුලදි සම්මත කරනකොටම සීමා නිර්ණය ගැන තීන්දුවවත් අරගෙන තිබුණේ නෑ. ඒවා ගැසට් කරලා තිබුණේ නෑ. ඕවා නැතුව තමයි පනත සම්මත කළේ. ඔන්න පළාත් පාලන ආයතන විසුරුවනකොට තමයි කට්ටියට මතක් වුණේ ඔන්න දැන් මැතිවරණයක් තියන්න ඕන කියලා. තියන්න ඕනෙ, කොහොමද කියලා කල්පනා කරනකොට පරණ ක්‍රමය නෙමෙයි අලුත් ක්‍රමයෙන් තියන්න ඕන. එහෙම තියන්න යම් යම් කරුණු වගයක් ඉෂ්ට වෙන්න ඕන. ඒ නිසා තමයි සීමා නිර්ණය ගැන අලුත් ක්‍රමයක් හැදුවේ. දැන් ඒක ගැසට් කරලා. ඊටපස්සේ මේක පාර්ලිමේන්තුවේ සම්මත කරන්න තියෙනවා. කුඩා පක්ෂවල තීරණය ගන්නත් තියෙනවා. මේක තනිව ගන්න පුළුවන් තීරණයක් නෙමෙයි. අඩුපාඩු සහිතව දැම්මොත් මේකට උසාවි ගිහින් තවත් කල් යන්න පුළුවන්.
එහෙම කල්යාම තුළ ආණ්ඩුව අදහන ප්‍රජාතන්ත්‍රවාදය විකෘති වීමක් වෙනවනෙ?
එහෙම වෙනවා. අපිත් ඒකට විරුද්ධයි. අපිත් කියන්නේ වහාම මේකට පියවර ගන්න කියලා. නමුත් පියවර ගන්න තිබ්බේ මීට කලින්. 2013, 2014 සම්මත කරනකොටම කරන්න තිබ්බ දේවල්. එදා කළේ නෑ. දැනුයි මේවා කරන්න වෙලා තියෙන්නේ.
මේක යූ.එන්.පී. ආණ්ඩුවක් නෙවෙයි
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙනුත් ශ්‍රීලනිපය කකුලෙන් අදිනවා. මේ ළඟදි තීරණයක් අරගෙන තිබ්බා නේද එ.ජා.පයෙන් කියනකල් ශ්‍රීලනිපය තීරණය දෙන්නේ නෑ කියලා?
එහෙම එකක් නෑ. අපේ කමිටුවක් තියෙනවා. මමත් ඒකෙ සාමාජිකයෙක්. අපි මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා. තීන්දු ගණනාවක් ගත්තා. ජනාධිපති ක්‍රමය සම්බන්ධව අපේ මතවාදයක් තියෙනවා. ඒ සමඟ අපේ මතවාදය කියන්න ඉන්නේ. බහුතර ජනතාවගේ මතයක් තමයි නිරූපණය කරන්නේ. මොකද අපි ජනමත විචාරණයකට යා යුතු නිසා. ඒ දේවල් එක්ක ඉක්මනට අපි මේක විසඳනවා.
එ.ජා.පය හදන්නේ නව ව්‍යවස්ථාව ඇතුළු කාරණා පහක් එකතු කරලා ජනමත විචාරණයකට යන්න. ශ්‍රීලනිපය එකඟද?
නෑ. අපි කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුයි අපියි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වුණේ නව මැතිවරණ ක්‍රමය ගෙන එනවා කියන පොරොන්දුව මත. ඒ නිසා අපේ ප්‍රධාන අරමුණ තියෙන්නේ මැතිවරණය වෙනස් කරන එක. ඒ නිසා තුනෙන් දෙකෙන් සම්මත කරගත හැකි දේවල් ඉස්සෙල්ලම සම්මත කරගත යුතුයි කියන තැන අපි ඉන්නවා. ජනමත විචාරණයකට නොයා යුතුයි කියන මතයෙ තමයි අපි ඉන්නේ. මෛත්‍රී ප්‍රකාශනයෙත් තියෙන්නේ ජනමත විචාරණයකට තුඩුදෙන දෙයකට ඔවුන් යන්නේ නෑ කියලා තමයි. ඒක බොහොම පැහැදිලියි.
ශ්‍රීලනිපය ඉන්නේ විධායකය අහෝසි කළ යුතුයි කියන මතයෙද?
අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි කියන්නේ 13 වැනි සංශෝධනය හරහා බලය බෙදීමක් සිදුවනවා නම් ජනාධිපතිවරයගේ බලය ආරක්ෂා කරගත යුතුයි. එහෙම නැත්තම් බෑ. පොලිස්, ඉඩම් බලතල දීලා යම් ව්‍යාකූලතාවයක් ඇතිවුණොත් පැහැදිලිවම ඒ වෙලාවෙම ජනාධිපතිවරයාට තීරණයක් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා පළාත් සභාවක් විසුරැවා හරිනකම් පවරා ගන්නත් ජනාධිපතිවරයාට එවැනි අවස්ථාවක හැකියාව තියෙන්න ඕන.
එහෙම නැතිව විධායක අගමැති ක්‍රමයට යනවට මම විරුද්ධයි. විධායක ජනාධිපති කෙනෙක් අවශ්‍ය නැත්තම් විධායක අගමැති කෙනෙක් කොහොමත් අවශ්‍ය නෑනේ. එහෙම නැත්නම් යන්න ඕන වෙස්මිනිස්ටර් සිස්ටම් එකකට. අපි කියන්නේ ජනාධිපති ක්‍රමය මෙහෙම තියාගෙන වෙස්මිනිස්ටර් ක්‍රමයකට යමු කියලා. විවිධ මතවාද තියෙන්න පුළුවන්. මධ්‍යම කාරක සභාවෙන් තමයි අවසන් තීන්දුව ගන්නේ. මමත් හිටිය මහ ඇමැති කෙනෙක්. සමහර වෙලාවකට මම දැකලා තියෙනවා මහ ඇමැතිවරයාට ඉහළින් ආණ්ඩුකාරවරයා බලතල ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මහ ඇමැතිවරයයි ආණ්ඩුකාරවරයයි අතර ගැටුම් පවා තියෙනවා. ඒ නිසා එවැනි උභතෝකෝටික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ ප්‍රශ්න විසඳන්න ඕන.
ඔය තීන්දුව ගන්නේ මධ්‍යම කාරක සභාවෙන් නම් ජනාධිපතිවරයා පක්ෂයේ සභාපතිවරයා හැටියට මැදිහත් වෙන්නේ නැද්ද?
එතුමා පැහැදිලිවම කිව්වා මේ ගැන තීන්දුවක් ගන්නවා නම් එතුමා ගාවගන්න එපා කියලා. විධායකය අහෝසි කරන්න ඕන නම් ඔබතුමාලා අහෝසි කරගන්න කිව්වා. ඒ නිසා මේකට ජනාධිපතිවරයා කැමතිද අගමැතිවරයා කැමතිද කියන එක වැඩක් නෑ.
ප්ලෑන් එකකට වැඩ නොකිරීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගැටලුවක්
මේ ළඟදී හදිසියේ කැබිනට් මාරුවක් වුණා. හැබැයි විපක්ෂය නම් කියන්නේ මේක මේ නිකම්ම නිකන් ඔළුගෙඩි මාරුවක් විතරයි කියලා.
අපි විද්‍යාත්මක ක්‍රමවේදයක් කල්පනා කරලා තමයි ඒක ක්‍රියාත්මක කළේ. ඒ වගේම අවුරුද්දක් දෙකක් අයකොට කැබිනට් සංශෝධනය ගැන විවිධ ඉඟි මත පළවුණා හැමතැනම. ඔය කියන කට්ටියට මතක් කරලා දෙන්න ඕන මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලයෙත් ඔය විදිහෙම සංශෝධනයක් 2014 සිද්ධ වුණා. හතර දෙනෙක් මාරු කළා. ඒ නිසා කැබිනට් මණ්ඩලයෙන් මහා විපර්යාසයක් පෙන්නන්න ඕනේ නෑ. ජනාධිපතිතුමාට උදේ හිතුණොත් කරන්න ඕන කියලා ඒ වෙනස කරන්න පුළුවන්. ලංකාවේ යන ගමන් මාර්ගය වෙනස් කරන්න ඕන කියලා හරි වෙනයම් තීන්දුවක් නිසාවත් නෙමෙයි මේ දේවල් කරන්නේ.
මේක පිටිපස්සේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද?
නෑ කවුරුත් පිටිපස්සේ නෑ. ඒක පිටුපස්සේ ඉන්නේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි.
නමුත් අගමැතිතුමා ප්‍රකාශ කරලා තිබ්බා එක්සත් ජාතික පක්ෂයෙන් කැමැත්තක් නෑ කියලා මේ තීන්දුවට?
නෑ එහෙම එකක් කියලා නෑ. ඔය එක් එක් වෙබ් සයිට්වල ගිය ඕපාදූප.
ඒ වුණාට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතිකව ගත්ත තීන්දුවක් ඒක?
ඔව්. ඉතින් එක එක්කෙනාට එහෙම කියන්න පුළුවන්. නමුත් රටක් හැටියට තීන්දු ගන්නේ ජනාධිපතිවරයයි අගමැතිවරයයි.
මේක සංශෝධනය කළේ එක් පුද්ගලයකු කේන්ද්‍ර කරගෙන කියලා ආරංචි තියෙනවා?
නෑ... කවුරුවත් කේන්ද්‍ර කරගත්තේ නෑ. සමහර ඇමැතිවරු ඉවත් කළා විෂයයන්වලින්. ඒ අයට වෙන අමාත්‍යංශ පැවරුවා. ඒ නිසා එහෙම දෙයක් නෑ.
ඇත්තටම ආණ්ඩුවේ වැඩ බැරි ඇමැතිවරු ඉන්න නිසාද එහෙම කළේ?
එහෙම දෙයක් නෑ. එහෙනම් ඉතින් ඉවත් කරලම දාන්න එපැයි. වෙන අමාත්‍යංශ දෙන්නේ නෑනේ එහෙනම්. ඒ නිසා ඒ ගැනත් දන්නේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි තමා.
මෙච්චර රටේ විපතක් වෙලා තියෙද්දි ඇයි මේ වාහන ගන්න පරිපූරක ඇස්තමේන්තු දැම්මේ?
ඒක ඇත්ත. ඒකෙදි අපි සම්පූර්ණ වැරදියි. ජනාධිපතිතුමා ඒක නවත්තලා දැම්මා නියෝගයකින්. ඒකට ස්තූතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට. ඇත්තටම පරිපූරක ඇස්තමේන්තු දාලා ඇමතිවරුන්ට වාහන ගත්ත ලංකාවේ පළවෙනි අවස්ථාව තමයි මේක. ඉතිහාසයේ තිබ්බේ නම් හැම වසර අවසානයකම වාහනයක් ගන්න මුදල් වෙන්කරලා තියෙනවා. මට ගිය වතාවෙත් ආවා. මම ගත්තේ නෑ. මේ වතාවෙත් තියෙනවා මම ගන්නේ නෑ. ඒත් සමහර නියෝජ්‍ය ඇමැතිවරුන්ට වාහන නෑ. ඒ නිසයි මේක දාන්න ඇත්තේ. ඒත් මම කියන්නේ ආපදා මොහොතකද නැද්ද කියන එක නෙමෙයි මම කියන්නේ. කොහෙත්ම පරිපූරක ඇස්තමේන්තුවක් දාන්න ඕන නෑ කියලා. ඒ නිසා කවදාවත් නැතුව වාහනයට ගහන ටැක්ස් එකක් මේකට ඇතුළු කරලා. ඒ දවස්වල මේවා දැම්මේ නෑ. ඒකයි මේ ගාන වැඩිවෙලා තියෙන්නේ. ඉස්සර ටැක්ස් එක මුදල් අමාත්‍යංශයයි, කස්ටම් එකයි බලාගන්නවා. නමුත් දැන් ඒ ගාණත් ඇතුළත් කරලා.
කවුද ඉතිං මේ දේවල් හිතා මතා කරන්නේ?
මටත් තේරෙන්නේ නෑ. මමත් දිගින් දිගටම මුදල් අමාත්‍යංශයට කිව්වා ඇයි මෙවැනි දේකට ගියේ කියලා.
ආපදා තත්ත්වයකට මුහුණ දෙන්න ඇයි මේ රජයට පූර්ව සූදානමක් තිබුණෙ නැත්තේ?
ආපදා කියන දේවල් වෙන්න කලින් පේන බලන්න පුළුවන් නම් ලොකු දෙයක්. සුනාමියක් එන්න කලින් කියන්න පුළුවන්. ඒත් වර්ෂාවක් එනකොට කියන්න බෑ කොච්චර වහීද කියලා. එහෙම කියන්න පුළුවන් ඒ අවස්ථාවේ වැහි කළුව මුදුන් වෙලා තියෙන විදිහට. හැබැයි වැසි සහිත කාලගුණයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ දේ කිව්වා. අපේ මිනිස්සු ඒ දේවල් ගණන් ගන්නේ නෑ.
දෙවැනි කාරණය තමයි ඔය නායයන ප්‍රදේශ පැහැදිලිව දන්වලා තිබ්බා. ඒ ප්‍රදේශවලින් මිනිස්සු ඉවත් වුණේ නෑ. මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටෙනවා කියන්න කියන්න අපේ මිනිස්සු ඇහුවේ නෑනේ. ඒ නිසා හැමතැනටම දැනුම් දීලා තියෙන්නේ. ඒවා සිතියම්ගත කරලා තියෙන්නේ. එහෙම තියෙද්දි වැස්ස ගමන් ආණ්ඩුවට බණිනවා.
ඔබතුමා ඔහොම කිව්වට කාලගුණ අධ්‍යක්ෂවරයා කිව්වා මේ තියෙන උපකරණ යල්පැන ගිය ඒවා නිසා හරි තොරතුරක් දෙන්න බෑ කියලා. කාගෙද වැරැද්ද එතකොට?
ඔව්. එහෙම අඩුපාඩුවක් තියෙනවා. අවුරුදු ගාණක් තිබ්බේ නෑ. දැන් තියෙනවා. කොහොම වුණත් මේ රජය බලයට පත්වෙනකොට ජපානයත් එක්ක කතා කළා. දැන් එහෙන් උපකරණ දෙකක් දෙන්න පොරොන්දු වුණා. ඒ වගේම ලෝක බැංකුවත් පොරොන්දු වෙලා තියෙනවා සහය වෙන්න. ඊළඟ කාරණය තමයි අපිට චන්ද්‍රිකාවක් නෑ. ඒ නිසා දැන් අපි ජපානයේ චන්ද්‍රිකාවක් එක්ක සම්බන්ධ වෙලා ඒ තොරතුරැ ගන්න තීරණය කරලා තියෙනවා. මේවා මේ කාලයත් තිස්සේ තිබ්බ ප්‍රශ්න. ඒවා දැන් විසඳනවා.
ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයකට පහුගිය කාලයේ ඉඳන් ලක්වෙලා ඉන්නේ. ආපදාවනුත් විශාල වශයෙන් වෙනවා. ඉස්සරහට ආර්ථිකය දරුණු වෙයිද රටේ?
ඇත්ත මේක අවාසනාවන්ත තත්ත්වයක්. කාලයක් නියඟයෙන් පීඩා වින්දා. දැන් වැස්සත් එක්ක පීඩාවට ලක්වෙලා. කොහොම වුණත් ලංකාව අවාසනාවන්ත රටක් නෙමෙයි. ලංකාවේ මිනිස්සු වාසනාවන්ත මිනිසුන් ඉන්නේ. මීට වැඩිය ප්‍රශ්නවලින් අපි ගොඩ ආවා. සුනාමි වගේ දරුණු අවස්ථාවල අපි ගොඩ ආවා. ඒ නිසා ජාත්‍යන්තර සහයත් අපිට මේ වෙනකොට තියෙනවා. අපේ මිනිස්සුන්ටත් ශක්තිමත් නැගී සිටින්න. ඒ නිසා අපි ඒ සියලු දේවල් වලින් නැගී සිටිනවා.
මේ වැටුණු වළෙන් ගොඩ එන්න තව දෙක තුනක්වත් බදු දෙන්න වෙයි නේද?
බදු දෙන්න කෙසේ වෙතත් විශාල ආයෝජන සංඛ්‍යාවක් අපිට ගන්න වෙයි. ඒ වගේම අපනයනය වර්ධනය කර ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරගන්න වෙයි. ඒක ජී.එස්.පී. සහනයත් එක්ක කරන්න පුළුවන්. හැබැයි ආනයන විශාල කප්පාදුවක් කළ යුතුයි. එහෙම නැතුව මේක කරන්න බෑ.
ඔබගේ විෂය ගැන කතා කළොත් අර පටන් ගත්ත කාලේ මොරාල් එක දැන් නැද්ද?
ඒ මොරාල් එක තවම තියෙනවා. කිසිම ගැටලුවක් නෑ. තව තවත් වැඩකටයුතු කරනවා අලුතින් ආරම්භ කරලා තියෙනවා.
වැඩකටයුතු කරනවා කිව්වට යම් යම් ක්‍රීඩා ක්ෂේත්‍රවල ගැටලු වැඩි වෙලානේ?
ගැටලු තියෙනවා. මේ ගැටලු තියෙන එක ක්‍රීඩාවට ප්‍රශ්නයක්. විශේෂයෙන් ඔය සංගම්වල නිලවරණවලදි. සමහර නිලවරණවලදී මූල්‍ය ප්‍රකාශන නෑ. ඒවා නැතුව නිලවරණ තියන්නෙ නෑ. 2011-2016 ඉඳලා විගණන මූල්‍ය ප්‍රකාශන නෑ. මමද වගකියන්න ඕන ඒකට. ඒවා ගේන කල් මම නිලවරණ තියන්න දෙන්නේ නෑ. ඒත් 2016 ඉඳලා දැන් හැම සංගමයක්ම මූල්‍ය ප්‍රකාශන හදනවා. ගැටලු තියෙන සංගම් එක්ක සාකච්ඡා කරනවා. ඊට පස්සෙ එක පෙළකට මේ ටික පෙළගස්වගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. 2017 සැප්තැම්බර් මාසය වෙනකොට ඔලිම්පික් කමිටුවේ නිලවරණයත් තිබ්බාම කුණාටුවක් වෙලා තිබ්බ නිලවරණ ප්‍රශ්නත් සංගම් ප්‍රශ්නත් විසඳන්න පුළුවන් වෙයි. ඊට පස්සේ 2018 පදක්කම් සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි.
♦ ගයාන් ගාල්ලගේ