කාදිනල්තුමනි, වතිකානයට අතිශය සමීප අගරදගුරුතුමෙක් හැටියට ඔබතුමාව සැලකෙනවා. කොහොමද මේ සමීප සබඳතාවය ඇතිවූයේ?
සෑම කතෝලික රදගුරුතුමකුම පත් කරන්නේ ශුද්ධාසනයයි. එමඟින් සාමාන්‍ය සබඳතාවක් අප අතර ඇතිවෙනවා. අමතරව යම් යම් අයගේ දැනුම්වත්කම, හඳුනාගැනීම, සිදුකරන සේවය තුළින් ඒ සබඳතා තවත් ශක්තිමත් වෙනවා. මේ අයුරින් වතිකානයේ ආයතනවල සේවය සඳහා මටත් ආරාධනා ලැබුණා. අවුරුදු 9ක් මා එහි සේවය කළා. ධර්මදානය පිළිබඳව සසුන් නියෝජනය, ජනවන්දනාව පිළිබඳ සසුන් නියෝජනය යනාදියේ වගකීම් දැරැවා. ටික කලකට සසුන් පිය තානාපතිතුමන් ලෙස ඉන්දුනීසියාවේ නැගෙනහිර තිමෝරයේ සේවය කළා. ඒ අනුව කාදිනල්තුමන් රදගුරුතුමන් ඇසුරු කළා. සාන්ත දෙවන ජුවාම් පාවුළු හා සොළොස්වන බෙනඩික් සසුන් පියාණන්ව ඉතා සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව එමගින් උදාවුණා. ඒ නිසා ඒ සබඳතා සෑහෙන දුරට වර්ධනය වුණා.
දිනල්තුමනි, දැන් ඔබතුමාගේ සභාවේ වර්තමාන සභානායක ධුරය දරන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දුප්පතාගේ හිතවතා හැටියටයි සැලකෙන්නේ. එතුමා කාදිනල්වරු වන ඔබතුමන්ට චාම් දිවිපැවැත්ම ගැන දීපු ආදර්ශ මොනවාද?
අති උතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ සභාවට දුන් විශේෂ පණිවුඩය වන්නේ ජනතාවගේ එදිනෙදා ප්‍රශ්නවලට සමීපව සංවේදී වන්න කියන එකයි. ඒ අනුව තමා උන්වහන්සේ දිළිඳු අය වෙත සභාවේ සුවිශේෂී අවධානය ගැන වචනයට වඩා ක්‍රියාවෙන් පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ. උන්වහන්සේ හැම අතින්ම ඒ දෙය කරන කෙනකු ලෙස මා මුලදී පටන් හඳුනාගත්තා. මේ ගැන ඕනෑතරම් ආදර්ශ තියෙනවා. සියල්ල විස්තර කරන්න මේ පිළිතුරු හරහා අමාරුයි.
පාප් නිලවරණයේදී ඔබවහන්සේගේ නමත් ඊට යෝජනා වුණා නේද?
පාප් නිලවරණයේ දී කාදිනල් හිමිපාණන් ශු. බයිබලය මත අත තබා රහස්‍යභාවය රකින බවට පොරොන්දු දෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න හැකියාවක් නැහැ. ඔබ එය තේරුම් ගන්නවා ඇතැයි සිතනවා.
ආගම කියන්නේ ඕනෑවෙලාවට දාන ගලවන පළඳනාවක් නොවේ
අති උතුම් රදගුරු පදවියට පත්වූ අය අතරින් ඔබ ඉතාම නිදහස් මතධාරී කාදිනල්වරයකු ලෙස සැලකෙනවා. මේ නිසා සභාව ඇතුළේදී ප්‍රශ්නවලට මුහුණ දීලා නැද්ද?
නිදහස් මතධාරී හෝ ආයතනගත රාමුවකට සීමා වී කටයුතු කරන හෝ එසේ නොකරන කියා කාදිනල් හිමිපාණන් වෙන්කරන්න අමාරුයි. එසේ වෙන් කිරීම කෙනකුගේ නිදහසට සීමා දැමීමක්. ඒ ඒ ප්‍රශ්න මතුවන වෙලාවට හෘදය සාක්ෂියට එකඟව සහ අදහන දහමට අනුව ප්‍රතිචාර දැක්වීම අපෙන් සිදුවිය යුතුයි. එවැනි විටෙක ප්‍රශ්න ඇතිවීම වළක්වන්නට බැහැ. ඒවාට මුහුණදීමට ධෛර්යවත් විය යුතුයි. මටත් එවැනි ප්‍රශ්න රාශියක් ඇතිවෙලා තියෙනවා. ඇරත් අප වැනි අයට එය සාමාන්‍ය දෙයක් බවයි මට වැටහෙන්නේ.
ඔබවහන්සේ බෞද්ධ සමුළුවකට ඇවිත් පැහැදිලිව කියා සිටියේ මෙරට ව්‍යවස්ථාවෙන් බුදු දහමට ලැබිලා තියෙන ප්‍රමුඛස්ථානය ඒ ආකාරයටම පැවතිය යුතුයි කියලා. එය ඔබේ පෞද්ගලික මතයද? කතෝලික සභාවේ මතයද?
බුද්ධාගමට ශ්‍රී ලංකාවේ ලැබිය යුතු ප්‍රමුඛස්ථානය ගැන මා ප්‍රකාශ කළේ මගේ පෞද්ගලික මතයයි. එය කතෝලික සභාවේ මතය යැයි ස්ථීරව කියන්න බැහැ. ඒත් මම විශ්වාස කරනවා මේ සම්බන්ධව නිදහස්ව, ප්‍රතිපත්තිගරුකව සිතීමේ දී කතෝලික මතයත් එයම විය යුතු බව. එයට හේතුව මේ රටේ ජීවත්වන අප බොහෝ දෙනකුගේ පැවැත්මට හා චින්තනයට බුදු දහමෙන් ලැබී ඇත්තේ ලොකු ආභාෂයක් වීමයි. ඒ වගේම සුළු ආගමික කොටස්වලට වෙනත් රටවල් හා සැසඳීමේ දී විශාල ගෞරවයක් ද, සැලකීමක් ද, නිදහස ද ලැබෙන්නේ අපේ රටේ ඇති මේ බෞද්ධ පරිසරය නිසයි. බෞද්ධ දර්ශනය තුළ අන් මතවලට ගරු කිරීමේ ප්‍රවණතාවය ගැබ්වී තිබෙනවා. එය අප ලද භාග්‍යයක්.
මේ ප්‍රකාශයට කතෝලික සභාවේ විරෝධය මතුවූයේ නැද්ද?
ඇතැම් කතෝලික කොටස්වලින් මේ ප්‍රකාශය පිළිබඳ විරෝධයක් මතුවුණා. නමුත් එය සාධාරණයයි මා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන්න මම බය වන්නෙත් නැහැ.
ඔබ නිතරම අපේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. විශේෂයෙන්ම ධීවර ගැටලුවලදී ඔබ නිර්භයව ඉදිරිපත් වෙනවා. මෙහෙම ඉදිරිපත් වෙන්න කියලා කාගෙන් හරි බලපෑමක් තියෙනවාද?
මේ රටේ මතුවන විවිධ ප්‍රශ්නවලදී ආගමික නායකයන් හැටියට අපට කළ හැක්කේ එක්කෝ මුනිවත රැකීම නැතිනම් පිටකොන්ද ඇතිව කතා කිරීමයි. ඒ කොයිදේටත් බුද්ධිමත්ව හැම දෙයක්ම නිවැරැදිව විග්‍රහ කර බලා හැකි තරම් සත්‍යවාදීව හා කිසිවකු කුපිත නොකරන ආකාරයට ආගමික පුද්ගලයන් විදියට අප කටයුතු කළ යුතුයි. කියන කරන හැමදෙයකින්ම යහපත් ප්‍රතිඵල ලැබෙන අයුරින් අප කටයුතු කළ යුතුයි. තත්ත්වය තවත් අවුල් කිරීම සුදුසු දෙයක් නොවෙයි. ඒ වගේම කතා කළ යුතු හා නොකළ යුතු වේලාවන් ද බුද්ධිමත්ව තේරුම් ගත යුතුයි. සමහරවිට ඇතැම් ප්‍රශ්නවලදී ධෛර්යවන්තව කතා කිරීම අපගේ වගකීමයි. මෙහිදී කාගෙන්වත් එල්ලවන බලපෑම්වලට යටත්විය යුතු වන්නේ නැහැ.
බුදුදහම ගැන මම කළ ප්‍රකාශයට ඇතැම් කතෝලික කොටස් විරුද්ධ වුණා
නැතිනම්, එසේ ඉදිරිපත් වීම සිදුවන්නේ ඇයි?
ඉදිරිපත් වන්නේ ඒ ඒ ප්‍රශ්න පැන නගින වේලාවටයි. එවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ ප්‍රශ්නය විසඳා ගැනීමට මිස අවුල් කිරීමට නොවෙයි. අනවශ්‍ය කුපිත කිරීම් ද හොඳ නැහැ.
කොහොම වුණත්, තවත් සමහරුන්ගේ මතයක් තියෙනවා මීට කලින් පැවති රාජ්‍ය පාලකයා යටතේ ඔබ මෙවැනි ප්‍රශ්නවලදි ඉදිරිපත් වුණේ නෑ කියලා. මොකද්ද මෙහි යථා ස්වභාවය...?
මෙය සම්පූර්ණයෙන්ම වැරැදි වටහා ගැනීමක්. කතෝලික රදගුරු මණ්ඩලය විවිධ ප්‍රශ්නවලදී ඒ නායකයන්ටත් කරුණු ඉදිරිපත් කළ අවස්ථා එමටයි. එම ප්‍රකාශ නිකුත් වූයේ මාගේ අත්සන ද සහිතවයි. උදා: හිටපු ජනපති අපේක්ෂකයකු සිරභාරයට ගත් අවස්ථාවේ අප නිකුත් කළ ප්‍රකාශය. එපමණක් නොව මහානායක ස්වාමීන් වහන්සේ සමඟ ගොස් ඒ අය නිදහස් කරන ලෙස කළ ඉල්ලීම, එලෙසම අග්‍ර විනිශ්චයකාරතුමිය ඉවත් කරන්නට තීරණය කළ අවස්ථාවේ දී අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි හා වෙනත් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා මෙන්ම ආගමික සමුළුවේ සාමාජිකයන් සමඟ එවකට ජනාධිපතිතුමන් හමුවට ගොස් එසේ නොකරන ලෙස කළ ඉල්ලීම, වැරැදි චෝදනාවක් මත මොරටුවේ තෙරේසා මවුතුමියගේ නිකායේ පැවිදි සොයුරියක් අත්අඩංගුවට ගත් මොහොතේ එතුමිය නිදහස් කරන ලෙසට කළ ඉල්ලීම. ඒ අවස්ථාවේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේ කාදිනල්තුමාට පමණයි රජය බියවූයේ කියායි. මේ හැමදෙයක්ම අප පුවත්පත්වල පළ නොකළත් මෙවැනි දේ නොකළේ යැයි කීම මොනතරම් වැරැදි දෙයක්ද? පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරීන් දෙදෙනකු සුදු වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගිය අවස්ථාවේ අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ හා මා පුවත්පත්වලට නිවේදනයක් නිකුත් කරමින් මේ ක්‍රියාව හෙළා දුටුවා. දෙදිනකට පසු ඔවුන් නිදහස් කළා. කරුණු හරිහැටි තේරුම් නොගෙන කරන මේ චෝදනා එකහෙළා ප්‍රතික්ෂේප කරනවා. අප ජනතාව පත්කර ගන්න රාජ්‍ය නායකයන් ඉදිරියට ගොස් සිදුවන සමහර දේ ගැන කියා ඒවා විසඳා ගැනීමට කටයුතු කිරීම වරදක් නොවේ. එවැනි නායකයන් හමුවීම, ප්‍රශ්න සාකච්ඡා කිරීම, රජයේ උත්සවවලට සහභාගී වීම, ඒ ඒ දේශපාලන පක්ෂවලට කඩේ යෑමක් ලෙස හංවඩු ගැසීම සාධාරණීකරණය කරන්නට බැහැ. මා සම්බන්ධව සමහර උදවිය කරන මේ ප්‍රකාශ සත්‍යයෙන් තොර බවත්, ඕනෑම අවස්ථාවක මේ කරුණු සාක්ෂි ඇතිව ඔප්පු කරන්නට මා සූදානම් බවත් කිව යුතුයි.
පසුගියදා ගාලුමුවදොර පිටියේ ඉදිවන ලෝකයේ ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් ඔබ දැරූ ස්ථාවරය පසුව වෙනස් කළා. ඒ මේ දේශපාලන බලපෑමක් නිසාද?
ගාලු මුවදොර ඉදිවන ලොකුම නත්තල් ගස පිළිබඳ දැරූ ස්ථාවරය ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ ස්ථාවරයයි. එනම් නත්තල් ගස් සෑදීමේ ප්‍රවණතාවයේ වරදක් අප නොදුටුවත් නත්තල යනු විශේෂයෙන් අනවශ්‍ය මුදල් නාස්තිය අවම කර ගවහලක ඉපදුණු ජේසු බිළිඳුන්ට දක්වන ගෞරවයක් ලෙස දිළිඳුන්ට ඇප උපස්ථාන කරමින් ආධ්‍යාත්මික පැවැත්මට මුල්තැන දෙන උත්සවයක්. රදගුරු මණ්ඩල නත්තල් නිවේදනයෙන් මෙදා ඉල්ලා සිටියේත් මෙයයි. මීට දේශපාලන බලපෑමක් තිබුණේ නැහැ. මා නැවතත් කියන්නේ කොයිදේත් මුදල් නාස්තියෙන් තොරව කරන්න. පවුල් ලෙස සතුටුවීම, ගේ දොර සැරසීම, තෑගි බෝග හුවමාරු කර ගැනීම යහපත් දේවල්. ඒත් ඊටත් වඩා වැදගත් වන්නේ නත්තලේ සැබෑ අරුත වටහාගෙන ඒ අනුව නත්තල් ප්‍රීතිය භුක්ති විඳීමට උත්සාහ කිරීමයි. නත්තල මූලික වශයෙන් ආධ්‍යාත්මික මංගල්‍යයක් නිසා එසේ කළ යුතු බවයි මා ප්‍රකාශ කළේ.
රටට සේවය කරන කොයි කවුරුත් මගේ පරමාදර්ශ වෙන්න පුළුවන්
වියදම පසෙකින් තබා සැලකූ විට අප රටවන් කතෝලික නොවන රටක මෙවන් විශේෂ නිර්මාණය ඉදිවීම ලෝකයේ කතෝලික සංචාරකයන්ගේ දැඩි අවධානය දිනාගැනීමේ අවස්ථාවක් නොවේද?
මේ නත්තල් ගස නිර්මාණය කළේ සංචාරකයන් ගෙන්වා ගන්නට කියා ඒ අය කියනවා. ඒ ගැන මම විනිශ්චයක් කරන්න යන්නේ නැහැ. මේ ගස නිර්මාණය කරපු, එයට ආධාර කරපු අය මේ ගැන මට වඩා දන්නවා ඇති.
මේ රටේ රාජ්‍ය නායකයෝ තම පදවිවල දිවුරුම් දුන් වහාම මහානායක හිමිවරුන්ට පසුව ආගමික නායකයන් මුණගැසෙන්නට යනවා. ඔබ මුණ ගැසෙන්නට ආවාම ඔබ ඔවුන් සුහදව පිළිගැනීමේ යෙදෙනවාද? අනුශාසනා කරනවාද?
ඔව්. එසේ පැමිණෙනවා. එහිදී අප අනුශාසනා කරන්නේ පොදු ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරන ලෙසයි. එයාකාරයෙන් මේ නායකයන්ගේ පැත්තෙන් පවතින සංකීර්ණ ප්‍රශ්න ගැනත් අපට තේරුම් ගන්නට අවස්ථාවක් ලැබෙනවා.
කිසියම් අර්බුදයක් ගැන නැගුණු වෙලාවක ඔබ රාජ්‍ය නායකයන්ට දෙන අනුශාසනා ඔවුන් පිළිගත්තා යැයි සෑහීමට පත්වනවාද?
හැමවිටම අප කියන සෑම සියලු දෙයක්ම කළ හැකිදැයි දන්නේ නැහැ. අනුශාසනා කිරීම අපගේ යුතුකමයි. ඒවා ඉටුකිරීම හෝ නොකිරීම ඒ අයගේ වගකීමයි.
කිසිදා රට බෙදිය නොහැකියි එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමක් අවශ්‍යයි
යුද්ධය අවසන් වෙලා දැන් වසර 7ක් ගෙවිලා. ඒත් ස්ථීරසාර සාමය තවත් දුර වගෙයි නේද?
මෙහිදී අප තේරුම් ගත යුත්තේ මේ ප්‍රශ්නය බොහෝ කාලයක් පුරා පවතින ප්‍රශ්නයක් වන බවයි. ඒ නිසා කඩිනම් විසඳුම් සෙවීමේ දුෂ්කරතාවයක් තියෙනවා. සියල්ලටම වඩා අවශ්‍ය වන්නේ චින්තනයේ වෙනසක්. ජාතීන් වශයෙන් ආගම් වශයෙන් අප තවමත් හැසිරෙන්නේ අපේම රාමුවලට හිරවෙලා. මේ විදියට මේ ප්‍රශ්නය විසඳීම පහසු වන්නේ නැහැ. සංස්කෘතික. ආගමික විවිධත්වය අගය කරමින් ඒ විවිධත්වය තුළ සිරගත නොවී එකිනෙකා වෙත දෑත දිගු කරන විවිධත්වය තුළ ඒකත්වය සොයායෑමේ වගකීමයි අපට පැවරී තිබෙන්නේ. මෙය ඇති කිරීමට රටක් වශයෙන් අපේ ආධ්‍යාත්මික වටිනාකම් මත පිහිටා කටයුතු කළ යුතුයි. මම පළමුව සිංහල - දෙවනුව ක්‍රිස්තියානි කියන සංකල්පය - ආගමික සම්පත අපේ ජීවිතයට බල නොපාන ආකාරයට පැත්තකට තල්ලු කර ආත්මාර්ථකාමී විදියට පාවිච්චි කිරීමක් වෙනවා. ඒ වෙනුවට මා සිතිය යුත්තේ පළමුව ක්‍රිස්තියානි - දෙවනුව සිංහල ලෙසයි. රටේ බෞද්ධ, හින්දු, මුස්ලිම් සෑම ආගමකම ප්‍රතිපත්ති මුල්තැන්හිලා කටයුතු කළොත් මේ ප්‍රශ්නයට විසඳුම් සොයාගැනීමට අමාරු නැහැ. මෙය දුෂ්කර දෙයක් වුවත් එය කිරීමට පිටකොන්දක් අපට තිබිය යුතුයි. එවිට සැබෑ සාමයක් ඇතිකර ගත හැකියි. මම පළමුව දෙමළ, සිංහල, මුස්ලිම්, බර්ගර් කියලා හිතනවා වෙනුවට ආගම ඉදිරියට ගත්තොත් ඒවා ක්‍රියාත්මක කරන්න වෙහෙසුනොත් ආගමික වටිනාකම් ඉදිරියට ගැනීමෙන් මෙය විසඳා ගැනීමට ශක්තිය අපට ලැබේවි. ප්‍රශ්නය වන්නේ ආගම අප පළඳනාවක් කර ගැනීමයි. අවශ්‍ය වෙලාවට දාගන්නත්, අනික් වේලාවට ගලවා තැබීමටත් අප බොහෝවිට යොමුවෙනවා. මෙය ආගම අවතක්සේරු කිරීමක්.
කතෝලික ආගම සමඟ තවත් ආගම් කල්ලි (Cult) රටේ බෝවෙනවා, දුප්පතුන්ට උපකාර කරන මුවාවෙන් ගොස් ආගම් මාරැ කරවනවා ආදී වශයෙන් මතවාද රැසක් රටේ තිබෙනවා. කතෝලික සභාව මේ සම්බන්ධව ඇයි නිහඬ?
මේ සම්බන්ධව කතෝලික සභාව කිසිදා නිහඬ වුණේ නැහැ. හැමදා අප ප්‍රකාශ කළේ ඕනෑම කෙනකුට තම හෘදය සාක්ෂියට එකඟව ආගමක් තෝරාගැනීමට, ඇදහීමට හෝ වෙනස් කිරීමට අයිතිය තිබිය යුතු බවයි. එහෙත් මේ නිදහස අයුතු බලපෑම් කර උදුරා ගැනීමට අප විරුද්ධයි. එය මනුෂ්‍යත්වයට කරන අගෞරවයක්. ඒ නිසා මේ මූලධර්මවාදීන් කරගෙන යන වැඩපිළිවෙළ අප සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ අය නිසා කතෝලික සභාවටත් පහර වදිනවා. මේ අය කතෝලිකයන් ඔවුන් වෙත හරවා ගන්නට දැඩි උත්සාහයක යෙදෙනවා. ඔවුන්ගේ පල්ලි බොහොමයක් කතෝලික ප්‍රදේශවල ඉදිකර තිබෙනවා. සමාගම් ලියාපදිංචි කිරීමේ පනතේ දුර්වලකම් ප්‍රයෝජනයට ගෙන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද ආධාර ලබාගෙන සභා යැයි කියාගන්නා මේ ආයතන ලියාපදිංචි කර ගන්නවා. මේවා නතර කළ යුතුයි. නැතිනම් ආගමික සමගියකට මෙය ලොකු තර්ජනයක් වේවි.
අවුරුදු 18 ඉඳන් මම ඡන්දය පාවිච්චි කළා
රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් තිබෙනවා කියලා කතෝලික සභාව විශ්වාස කරනවාද?
වර්ෂ 2013 දෙසැම්බර් 8 දින නිකුත් කළ ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ විශේෂ එඬේරික අනුශාසනාව මගින් අප ඉල්ලා සිටියේ මේ රට තුළ ඇතිවෙමින් පවතින ව්‍යාකූල සංකීර්ණ ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහාත්, සාමය, සංහිඳියාව සඳහාත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම හෝ පවතින ව්‍යවස්ථාව දැඩි වෙනසකට ලක්කිරීම සුදුසු බවය. ඒ අනුව මේ රටේ ඇතැම් ප්‍රශ්න නිරාකරණය සඳහා ව්‍යවස්ථාමය වෙනස ඇති කරන්නට රජය කටයුතු කරයි කියා අප විශ්වාස කරනවා. යුක්තිය, විනිවිදභාවය, අවංකකම, නීති ගරුකත්වය රට තුළ තව තවත් ශක්තිමත් කළ යුතුයි.
බලය බෙදීම සම්බන්ධව විවිධ මතිමතාන්තර අතිගරු මහා සංඝරත්නය ඇතුළුව ආගමික නායකයන් ප්‍රකාශ කළා. මේ සම්බන්ධව ඔබවහන්සේගේ මතය කොයි වගේද?
වසර 50 පමණ පවතින උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට බලය බෙදීමක අවශ්‍යතාවයක් ඇති බව එම එඬේරික හසුන මගින් කතෝලික රදගුරු මණ්ඩලය සඳහන් කර තිබුණා. ප්‍රචණ්ඩ යුද්ධයක් යළි රටේ ඇති නොවන ආකාරයට එක්සත් ශ්‍රී ලංකාවක් තුළ කිසි දිනක රට බෙදා වෙන් කිරීමකට ඉඩ නොලැබෙන ලෙස බලය විමධ්‍යගත කළ යුතු බවයි රදගුරු මණ්ඩලයේ අදහස. ඒ අනුව විවිධත්වයද, අනෙක් පසෙකින් ඒකත්වයද රැකෙන ලෙස මෙය සිදුවිය යුතුයි.
ඔබවහන්සේ ඡන්දය පාවිච්චි කරලා තිබෙනවාද, කවදාක හෝ?
ඔව්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ දා පටන් ඡන්දය පාවිච්චි කළා.
ඔබවහන්සේ ගරු කරන පරමාදර්ශී දේශපාලන චරිත වේද? ඒ කවුද?
මා අදහන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධාර්මික උගැන්වීම් මෙන්ම අපේ ආගමික ශාස්තෘවරුන් විශේෂයෙන් ගෞතම බුදුන් වහන්සේගේ දර්ශනයට අනුව ධාර්මික වූ ස්වයං පරිත්‍යාගයෙන් රටට සේවය කරන, රටට සේවය කරන්නට සිටින කොයි කවුරුත් ශ්‍රී ලංකාව තුළ මාගේ පරමාදර්ශයන් විය හැකියි.
♦ ප්‍රසාද් අබේවික්‍රම