ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක
• හොර විපක්ෂයයි හරි විපක්ෂයයි කියලා දෙකක් තියනවා
• ජවිපෙ මැතිසබේදි වගේම පාරෙදිත් ප්‍රබලයි
• ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඇවිල්ලත් නෑ:එන්නෙත් නෑ
• අපිට ආණ්ඩුව එක්ක කිසි ගනුදෙනුවක් නෑ
• ඒකාබද්දෙ සමහරු දවල්ට මහින්ද එක්ක රෑට මෛත්‍රී එක්ක
• විමල් වීරවංශ අපිකනෙන් ඇදල එළියට දැම්මා
ජනතා විමුක්ති පෙරමුණ හැමදාම රටේ විවිධ ප්රශ්නවලදී මූලිකත්වය ගන්නවා. ඒත් ඒ හැම ප්‍රශ්නයකම අවසානයක් දකින්න නෑ. ඒ ඇයි?
සමහර දේවල්වලට විසඳුම් ලබාදෙන්න බැරිවෙලා තියෙනවා. ඒත් ගොඩාක් දේවල්වලට අපි අවසානයක් දුන්නා. දැන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගත්තොත් ඒකේ වැඩිපුර කොටසක් සිද්ධ කළේ අපි. එතකොට පළාත් පාලන මැතිවරණ පනත. ඒකෙදිත් අපි වාද විවාද කරලා වඩාත් උචිත දේ අපි රටට දුන්නා. ඡන්දය කල්දදා ඉන්නකොට පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දය තියන්න කියලා ජනවාරි මාසයේදී විශේෂ දින දෙකක් දැම්මේ අපි. හැබැයි ප්‍රධාන කාරණාව වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, ඒවාගේම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තීන්දුව වගේ දේවල්වල තවම අවසානයක් නෑ. විශේෂයෙන් ඕකට සයිටම් ප්‍රශ්නයත් අදාළයි. මේ දේවල් ඉස්සරහට නොයාමේ හේතු තමයි ජනතා විමුක්ති පෙරමුණෙන් එහා ආණ්ඩුව සතු පොරොන්දු ඉටුනොවී එතැනින් හිරවීම.
විශේෂයෙන් ජනතාවට පේන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂය පාරට බැහැලා ආණ්ඩුවට විරුද්ධව විශාල විරෝධතා දක්වනවා. ඒත් ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවට කොටුවෙලා අදහස් දැක්වීමත් පමණක් සිද්ධ කරනවා කියලා.
මට කියන්න ඔය ඒකාබද්ධ විපක්ෂය මත්තල ගුවන් තොටුපළට කලින් කළ උද්ඝෝෂණයක්. පෙළපාළියක් කියන්න. එයාලා මොනවත් කරලා නෑ. ඔබට මතකද සති තුනකට කලින් රටපුරා තිබුණු විදුලි වර්ජනය. ඒකට නායකත්වය දුන්නේ අපි. සයිටම් විරෝධී ජනපවුරට ඔය කියන එක විපක්ෂයක්වත් නෑ. හිටියේ අපි ඇතුළු වෘත්තීය සමිති විතරයි. එතකොට ගොවි ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙව්වෙත් අපි. ඒ වාගේම ලලිත් වීරතුංග මහත්තය හිරේ යන්නට වෙච්ච නඩුව දැම්මෙත් අපි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ පාරේ සිටියදිත් ප්‍රබලයි. පාර්ලිමේන්තුව තුළත් ප්‍රබලයි. අපි රාජපක්ෂ කල්ලිය වගේ තමන්ගේ හොරකම වහගන්න වගේ වැඩ කරන්නේ නෑ. ඔය කට්ටිය මෛත්‍රීපාල මහත්තයි, වික්‍රමසිංහ මහත්තයි අල්ලගෙන හොරකම් වහගෙන ඉන්නේ.
ආණ්ඩුවෙන් ඔබේ පක්ෂයට එල්ලවෙන චෝදනාවක් තමයි රටේ ජනජීවිතය අඩාල කරන්නේ ඔබලා කියලා. උද්ඝෝෂණ වැඩවර්ජන වගේ කරලා කකුලෙන් අදිනවලු.
මේ ආණ්ඩුව නෙමෙයි ඕනම ආණ්ඩුවක් ජනතාවට හොඳ දෙයක් කරනවා නම් අපි ඊට සහය දක්වනවා. එහෙම උදව් කළා. හොඳම උදාහරණය තමයි පළාත් පාලන පනත. ඒ වගේම මෑතක ගෙනපු පළාත් සභා පනත වගේ දේවල්වලට අපි උදව් කළා. නමුත් දැන් බලන්න අපි විරැද්ධ වෙලා ඉන්නෙ මොකටදැයි කියල. අපිට ආණ්ඩුවත් එක්ක ගනුදෙනුවක් නෑ. අපිට ගනුදෙනුව තියෙන්නේ රට හා ජනතාව එක්ක. අපි විරුද්ධ වෙලා තියෙන්නේ රටට හා ජනතාවට අහිතකර දේවල්. මේ දේවල් කරන්නේ අපිට වාසිගන්න නෙමෙයි. ඔයා හොයලා බලන්න අපි මේ කරපු දේවල් මොනවද කියලා. ඒ නිසා ආණ්ඩුවෙන් කකුලෙන් නෙමෙයි බෙල්ලෙන් හරි ඇදලා නතර කරනවා.
ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ ආණ්ඩුව රකින එකම පවුර ජනතා විමුක්ති පෙරමුණ කියලා?
අපි පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පව් නිසා රාජපක්ෂලාගේ දූෂිත මිනීමරු කල්ලියට තව අවස්ථාවක් ලැබිලා තියෙනවා තවත් වැඩ කරන්න. අපිට මේ ආණ්ඩුව එක්කවත්, රාජපක්ෂලා එක්කවත් ගනුදෙනුවක් නෑ. ඔය කියන අයට කියනවා පෙන්නන්න අපි ආණ්ඩුව රැකලා තියෙන්නේ කොහේද කියලා. කවුද රකින්නේ කියලා. අපි පහුගිය දවසක දැක්කා. ලලිත් වීරතුංග ඇතුළට ගිය වෙලාවේ එදාම හවස මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ හම්බවෙලා ඔවුන්ට ඇප ගන්න පුළුවන් වුණා. දැන් බලන්න නාමල් රාජපක්ෂගේ උපදේශකවරිය ඉන්ටපෝල් එකෙන් හොයනවා. ඒත් එළියට එනවා. ඒත් පොල් ගෙඩි 08ක් හොරකම් කරපු ළමයට හිරේ යන්න වුණා. මොකක්ද මේ නීතිය. ඒ නිසා අපි කියන්නේ රාජපක්ෂලා ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ ඇප පිට. හැබැයි අපි කාගෙන්වත් කිසිදෙයක් අරගෙන නෑ.
විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය ගෙනෙන චෝදනාව තමයි පළාත් සභා පනත හරහා ආණ්ඩුවට ඡන්දය කල්දාන්න අවස්ථාවක් ඔබලා හදලා දුන්නලු.
අපේ මන්ත්‍රීවරු 06 දෙනයි ඡන්දය දුන්නේ. මම අහන්නේ ඇයි එයාලගේ 17ක් ඡන්දය දාන්නවත් ආවේ නැත්තේ කියලා. ඒකට උත්තරයක් දෙන්නකෝ. ඒකනේ වැදගත් ප්රශ්නය. මහින්ද රාජපක්ෂවත් ආවේ නෑනේ. අන්න ඒකට උත්තරයක් අරගෙන එන්නකෝ ඉස්සෙල්ලා. ඇත්තම කතාව පළාත් පාලන මැතිවරණය තියෙනකොට පළාත් සභා ඡන්දය තියන්න බෑ. දෙක ඒ විදිහට ඒ පළාත් සභා තුනේ ඡන්දය තිබ්බ නම් මැතිවරණය තියන්නේ පරණ මනාප ක්‍රමයට. අපි පක්ෂයක් හැටියට ඉන්න ස්ථාවරය තමයි රාජපක්ෂලා යුද්දේ කාලයේ එක මෙහෙයුමයි එක ඡන්දයයි තියෙන ක්‍රමය නවත්වලා මේ ඔක්කොම එකපාර කියන්න තිබ්බා. ඔබතුමා කියන්න ඒ ක්‍රමය අපි නවත්තපු එක හොඳ නැද්ද? අපි කළේ රාජපක්ෂලා කරපු විකෘතිය වෙනස් කළා. මේ පළාත් සභා පනතට අනුව ආණ්ඩුවට සිද්ධ වෙනවා අද සිට මාස 06ක් ඇතුළත ඡන්දය තියන්න.
ඔවුන් කියන්නේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව ඇතුළේ විකෘතිභාවයක් ඇතිකරලා ආණ්ඩු හිතවාදී පිරිසක් විපක්ෂය හැටියට පත්කරගෙන මේ වැඩකටයුතු සිද්ධ කරනවා කියලා.
ඕකට ඇතිවෙන්න අපි උත්තර දුන්නා. අපි කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පිළිගන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ දේශපාලන පක්ෂ හයයි. ඒ වගේම ඔය අය ඉල්ලුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. ඒ අය ඡන්දය ඉල්ලුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ නායකත්වය පිළි අරගෙන. ඕන නම් එයාලට තවත් අවස්ථාවක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වෙලා එයාලට ඡන්දය ඉල්ලන්න කියන්න. නමුත් ඒ අය කරන්නේ දවල්ට මහින්ද එක්ක ඉන්නවා. රැට මෛත්‍රී එක්ක ඉන්නවා. ඔය ඒකාබද්ධයේ පිරිසක් නීතියෙන් බේරිලා ඉන්නේ මෛත්‍රීපාල මහත්තය නිසා. ඒ නිසා එයාලට කාලය ඕන නම් රැවුලයි කැඳයි දෙකම නැතුව එන්න කියන්න.
කවදාවත් නැතුව පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුවයි විපක්ෂයයි අතර ගැටුමට වඩා විපක්ෂයයි විපක්ෂයයි අතර ගැටුමක් ඇතිවෙලානේ. ආණ්ඩු විරෝධී අයට මොකක්ද මේ වෙලා තියෙන්නේ?
ආණ්ඩු විරෝධී කියන්න තේරුමක් තියෙන්න එපැයි. අපිට ඕන පරණ හොරු වෙනුවට අලුත් හොරු ගේන්නවත්. අලුත් හොරු වෙනුවට පරණ හොරු ගේන්නවත් නෙවෙයි. හැමදාම අපේ රටේ පාර්ලිමේන්තුවේ ඔහොම තමයි. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේදී මොකද කළේ. රාජපක්ෂලා හොරු කිය කිය කෝපි බිබී හිටියා. ඒකම තමයි අද තියෙන්නෙත්. මේ රටේ හැමපාරම හොර විපක්ෂයයි, ජනතාවාදී විපක්ෂයයි කියලා දෙකක් තියෙනවා. අපි ජනතාවාදී විපක්ෂය.
එහෙව් ජනතාවාදී විපක්ෂයට ඇයි මේ රතු අලි පැටව් කියන්නේ?
අපි තමයි මේ රටේ ඡන්දවලින් ගත්තම විශාලතම දේශපාලන බලවේගය. නමුත් අපි නියෝජනය කරන මතවාදය ගත්තොත් ඒක පළවෙනි හෝ දෙවැනි මට්ටමේ තියෙන්නේ. ඒත් රටට මහා ප්‍රබලයි. මේ ප්‍රබල මතවාදය නිසා අපිට බලයේ ඉන්න හෝ හිටපු අය යම් ආකාරයක ලේබලයක් ගහන්න උත්සාහ කරනවා මේ නිසා. එක්කෝ ආණ්ඩුවට හිතවත් කියනවා. නැත්තම් විපක්ෂයට හිතවත් කියනවා. දැන් බලන්න අපි බැඳුම්කර වංචාව අදිනකොට ආණ්ඩුව කිව්වා අපි රාජපක්ෂලාගේ කියලා. ලලිත්ගේ සිල් රෙදි අදිද්දී රාජපක්ෂලා කියනවා අපි ආණ්ඩුවේලු. 1970 ගණන්වල ඉඳලා ඕක කියනවා. ජනතාව තමයි වග කියන්න ඕන.
ඔබලා එතරම් ජනතාවාදී වෙලත් ඇති තවමත් ජනතාව පිළිගන්නේ නැත්තේ?
ඒකට හේතු කාරණා කිහිපයක් තියෙනවා. 2010 වෙනකම් මොන ප්‍රශ්න තිබ්බත් මිනිස්සුන්ට ඕන වුණේ මේ 30 වසරක තිබ්බ රට බෙදන ප්රශ්නය නවත්තන්න. ඒ නිසා මිනිස්සුන්ට ඕන වුණා හොරෙක් හරි කමක් නෑ මේ දේ කරන්න පුළුවන් කෙනෙක් දාගන්න එක. 2010න් පස්සේ තමයි ජනතාවට ඕන හරි කෙනෙක් තෝරාගන්න. 2015 බලන්න ඒක විශේෂ දිනයක්. මහා රාජපක්ෂලා ජනතාව එදා පොළොවේ ගැහුවනේ. එතැනදී පෙන්නුවේ ජනතාව මෝඩයෝ නෙමෙයි කියලා.
ඔබලත් කාලයක් ආණ්ඩු කළා. ජනතාව කොහොමද ඔබලව විශ්වාස කරන්නේ?
ඒක ප්‍රශ්නයක් නෑ. අපේ පක්ෂය හදලා තියෙන්නේ ජනතාව වෙනුවෙන්. මැති ඇමැතිකම් වෙනුවෙන් නෙමෙයි. විශේෂයෙන් අපේ පක්ෂයේ පැහැදිලි විනයක් තියෙනවා. මොකද පක්ෂයට විනයක් නැතුව රටකට විනයක් හදන්න බෑ. දැන් බලන්න අපේ පක්ෂය ගත්තොත් ප්‍රධාන බලය තමයි වෘත්තීය සමිති ව්‍යාපාරය. ඔවුන් වාසිගන්න මිනිස්සු නෙමෙයිනේ. ඊට පස්සේ ගොවි සංවිධාන. ඒ නිසා අපේ පක්ෂයක් හැටියට අපේ පාක්ෂිකයන්ට බොහොමයක් දේවල් කරලා තියෙනවා. මැතිවරණ කියන ඒවට පිටින්. මෙවැනි ප්‍රායෝගික ක්‍රම හරහා තමයි අපි පක්ෂය පවත්වාගෙන යන්නේ. කොච්චර ලොක්කෙක් වුණත් වැරදි කරලා අහුවුණොත් කනෙන් ඇදලා අපි එළියට දානවා. විමල් වීරවංශව අපි කනෙන් ඇදලා එළියට දැම්මනේ. අපේ පක්ෂයට ලොක්කෝ නෑ. අපි හැමදේම සිදුකරන්නේ ප්‍රායෝගිකව. ඒ නිසා අපිට ගහන මඩත් වදින්නේ නෑ.
දැන් ඔබලාගේ පක්ෂයේ වගේම ආණ්ඩුවත් විනයක් හදාගෙන යනවනේ වැරදි කරපු ඇමැතිවරු ඉවත් කරන්න.
විශේෂයෙන් විජේදාස රාජපක්ෂ මහත්තයාව ඇමැතිකමෙන් අයින් කරපු එක අපි දකිනවා හොඳ දෙයක්. නමුත් දැන් තත්ත්වේ ඒක නෙමෙයිනේ. රවී කරුණානායක ගත්තොත් බැඳුම්කරේ පරීක්ෂණ පටන් ගන්නකොට ආවේ ඔහු ඇලෝසියස්ගේ නිවසක් ගත්තා කියලා. ඒත් දැන් එළිවෙනවා බැංකු සභාපතිලට උපදෙස් දීලා තියෙන්නේ ඔහු කියලා. ඇමැතිකමෙන් නෙමෙයි දැන් පක්ෂයෙනුත් අයින් කරන්න එපැයි. විජයකලා මහේෂ්වරන් ගන්නකෝ, ළමා හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති. ඇය විද්‍යා ඝාතනයේ අපරාධකරුවන්ට උදව් කළා කියලා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ අය කියනවා. ඒත් කෝ ඔවුන්ට දඬුවම්.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව කොමිසමක් පත්කළා. ඒ නිසයි රහස් හෙළිවුණේ. ආණ්ඩුවේ විමර්ශන ගැන සැකයක් නෑ නේද?
අනේ අපිට නම් විශ්වාසයක් නෑ. ලලිත් වීරතුංගගේ නඩුවේදී හැසිරිච්ච විදිහට අපිට නම් කිසිම විශ්වාසයක් නෑ ඔය බැඳුම්කර කොමිසමෙන් දඬුවම් ලැබේවිද කියලා.
ඒ කියන්නේ ඔබලා චෝදනා කරනවද ආණ්ඩුව අධිකරණය හසුරුවනවා කියලා?
ආණ්ඩුව අධිකරණය හසුරුවනවා නෙමෙයි. ආණ්ඩුව නීතිපති හසුරුවනවා කියලා නම් පැහැදිලියි. වගකීමෙන් කියනවා ජනාධිපති සහ අගමැති රටේ හොරු රකින්න නීතිපතිව හසුරුවනවා කියලා.
ආණ්ඩුවේම ඇමතිවරු කියනවා අධිකරණ පද්ධතියේ නීතිඥවරු දූෂිතයි කියලා. එතකොට නීතිය ගැන ජනතාවට විශ්වාසයක් තියාගන්න පුළුවන්ද?
අපේ රටේ දේශපාලනයක් දූෂිතයි. අපේ රටේ නිලධාරි පන්තියේ මුහුණු දූෂිතයි. ආගමික සංස්ථාවන්ගේ මුහුණ දූෂිතයි. අපේ රටේ ජනමාධ්‍ය ආයතනවල මුහුණු දූෂිතයි. අපේ රටේ අධිකරණ ක්ෂේත්රයේ මුහුණ දූෂිතයි. ව්‍යාපාරික ලෝකයෙත් මුදුනේ ඉන්න කට්ටිය දූෂිතයි. ඒ නිසා මුළු රටට සමාජයක් වශයෙන් කුණුවෙලා තියෙන්නේ. හැබැයි අපි එක දෙයක් කියන්න ඕන. බැඳුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස් නිලධාරී ක්‍රියාකරපු ආකාරයට එවැනි නිලධාරිනුත් ඉන්නවා කියලා අපිට පේනවා. ඔවුන් පුදුම කැපවීමෙන් සිදුකළේ. අමාරැම පරීක්ෂණයක්. මේ පරීක්ෂණය කරන අපේ නිලධාරීන්ට රාජපක්ෂලාගේ පරීක්ෂණ කරන එක මහ ලොකු අමාරු නෑ. ඒත් කරන්න දෙන්නේ නෑ.
ඒ කියන්නේ ආණ්ඩුව පොලිසිය හසුරැවලා පරීක්ෂණ යටගහනවා කියලද?
සීයට දහක් විශ්වාසයි. ඒක අහන්නත් දෙයක්ද? පේනවනේ නීතිය නවන හැටි.
ඒ කියන්නේ මේ ආණ්ඩුව ඒකාධිපති මර්දනකාරී වැඩපිළිවෙළක් අරගෙන යනවද?
විශේෂයෙන් ශිෂ්‍යයන්ට එරෙහි මර්දනකාරී පාලනයක් තියෙනවා. ඔය රාජපක්ෂ කල්ලියට අදාළව නම් මොනවත් එවැනි දෙයක් නෑ. අද බලන්නකෝ ශිෂ්‍ය නායකයෝ මාස ගණන් හිරකරගෙන ඉන්නේ. හොරුන්ට ඉක්මනට ඇප තියෙනවා.
ආණ්ඩුව කියන්නේ නම් ඔබලයි මේ සයිටම් ප්රශ්නය විසඳන්න නොදී ශිෂ්‍යයන්ගේ ජීවිත අවුල් කළේ කියලා.
ඕකට උත්තර දෙන්න දෙයක් නෑ. ඔය සයිටම් එක වැරදියි කියලා සයිටම් එකේම දෙමව්පියෝ කියනවා. ඔබ හිතන්නකෝ වෛද්‍ය ශිෂ්‍යයෝ 7200ක් ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි පාර්ලිමේන්තුවේ 225 කියලවත් ගෙදර තියන්න පුළුවන්ද කියලා.
ඇයි මේ ආණ්ඩුවට මේ ප්රශ්නය එච්චර බැරෑරුම් නැත්තේ?
පැහැදිලිවම රාජිත සේනාරත්නයි, නෙවිල් ප්‍රනාන්දු කියන ව්‍යාපාරිකයයි අතර තියෙන ගනුදෙනු නිසා. ජනාධිපතිවරයත් රාජිත ජනාධිපතිවරණයේදී උදව් කළ නිසා මේ දේවල් කරන්න දීලා බලන් ඉන්නවා.
ඒකාබද්ධයෙන් කියනවා නව ව්‍යවස්ථාවෙන් රට ෆෙඩරල් කරනවලු. ඔබලත් සහය දක්වනවද ඒකට?
ඔය රාජපක්ෂ කල්ලියේ ඉන්න දේශපාලක අනාථයෝ කියන දේවල්වලට මම උත්තර දෙන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ ඔය කාටත් වඩා මේ මාතෘ භූමියට ආදරෙයි. හැමදාම රට බෙදෙන්න යනකොට දිවිහිමියෙන් කටයුතු කළ පක්ෂයක් තමයි අපි. ඔය කියන ෆෙඩරල් ව්‍යවස්ථාවක් කොහෙවත් ඇවිත් නෑ. එන්නෙත් නෑ. එක ජනතාව අනුමත කරන්නෙත් නෑ. ටී.එන්.ඒ. පක්ෂයවත් ඒක අනුමත කරන්නේ නෑ. අපි කියන්නේ නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. හැබැයි ඒකෙන් රටේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නෑ. බලන්න මේ අවුරුදු 2500 ටම ජනතාව අනුමත කළ ව්‍යවස්ථාවක් අපිට නෑ. අපි අලුත් ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය පැවරෙන ක්‍රමයක් සිදුවෙන්න ඕන. දෙක සාධාරණ මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන. ඒ වගේම ඒ අය කියන ඒකීයභාවය කියන වචනය එහෙමම තියෙනවා. ඔතන තියෙන ප්රශ්නය තමයි දෙමළ වචනය. ඒ දෙමළ වචනය ගැනත් සලකලා බලන්න පුළුවන්. හැබැයි රටේ නීතිය අනුව පිළිගන්නේ සිංහල වචනය.
දැන් මෙතනදි කියනවා 13ට එහා ගිහින් බලතල බෙදන්න යනවලු.
කවුරුත් එහෙම ඉල්ලලා නැ. ඉල්ලලා තියෙන්නෙ විග්නේෂ්වරන් විතරයි. උතුරු පළාත් සභාවේ යෝජනාවක් හැටියටත් ඒක. ඒ දේ පාර්ලිමේන්තුවට ඔවුන් එවලා තිබ්බා. නමුත් ටී.එන්.ඒ. එක ඔවුන්ගේ මතයක් හැටියට පිළිගත්තෙවත් නෑ. ඒ නිසා 13ට එහා නෙමෙයි. 13ට මෙහා එකක් වෙන්න. ඇත්තම කතාව බැලුවොත් 13 න් ක්‍රියාත්මක වෙලා නැත්තේ මොකක්ද? එකම දෙයයි වෙලා නැත්තේ. ඒ පොලිස් බලතල විතරයි.
එතකොට මේ ව්‍යවස්ථාවේ නරකක් නැද්ද?
තියෙනවා. මේකේ තියෙන නරකම දේ තමයි මෛත්‍රීපාල මහත්තයා කිව්ව විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා නෑ. එයාලාට පක්ෂයේ යෝජනාව තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය දිගටම තියන්න. ඒත් මෛත්‍රීපාල මහත්තයා පත්වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නනේ. එතකොට තේරෙන්නේ මේ දිනලා තියෙන මෛත්‍රී මහත්තයාම ඊළඟ ජනාධිපති ලෙස ඉදිරිපත් වෙනවා කියලයි.
► ගයාන් ගාල්ලගේ