2018 ජනවාරි 20 වන සෙනසුරාදා

ආණ්ඩුවෙ රණ්ඩුව නාට්‍යයක්

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල

♦ පළාත් පාලන ආයතන ඔක්කොම බලය ඇල්ලීම අපේ ඉලක්කයයි
♦ මහ බැංකුවට උපදෙස් දෙන්න අගමැතිට බැහැ
♦ යුඇන්පිය කියපු දූෂිතයෝ අද ඉන්නෙ ආණ්ඩුවේ
♦ රාජපක්ෂලා කියන්නේ අපි හොඳට දන්න බ්‍රෑන්ඩ් එකක් 
♦ ගෝඨාභය ලංකාවට පමණක් නෙවෙයි. ආසියාවටම හොඳ නායකයෙක් වේවි
♦ බලය පෙන්නපුදාට සේරම අපි ළඟ

පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන ඡන්දය ගැන හැම පක්ෂයක්ම කියන්නේ තීරණාත්මකයි කියලා. පොදු ජන පෙරමුණ කියනවා මේකෙන් ආණ්ඩුව පෙරළෙනවා කියලා. කොහොමද මේකෙන් ආණ්ඩුව පෙරළෙන්නේ?

2015 මැතිවරණයේදී ආණ්ඩු බලය නෑ කියලා තහවුරු වුණාම පාර්ලිමේන්තුවේ 134ක් හිටිය බහුතරය විපක්ෂයෙන් වාඩි කරලා 47ක් වෙච්ච සුළුතරයට බලය දුන්නා. මෙදා පාර ගමේ ජයග්‍රහණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරලා බලය ලබා ගන්නයි අපි ඉන්නේ.

ඔබලා කිව්වා යහපාලන රජය පාර්ලිමේන්තු බලය සුළුතරයකට දීලා කියලා. ඇයි ඒ දේම ඔබලත් කරන්න යන්නේ?

නෑ ඔබට මම කිව්වනේ. ඊට වඩා වෙනස් දෙයක් අපි කරනවා. අපි බලය අල්ලන්නේ ඔළුගෙඩි මාරුවකින්. එතන ඔළුගෙඩි මාරුවක් වුණේ නෑ එදා. නමුත් පසුව එහෙම වුණා.

කොහොමද ඔළුගෙඩි මාරුවක් කරන්නේ?

දැන් බලන්න අපිත් එක්ක ඡන්ද ඉල්ලපු 42ක් ඉන්නේ ආණ්ඩුවේ. ඇයි බලය තියෙන නිසා. එතකොට අපි මෙවර ඡන්දයේදී ජන බලය තියෙන්නේ අපිට කියලා පෙන්නුවම දේශපාලන අනාගතයක් ගැන හිතන ශ්‍රී.ල.නි.පයේත්, එ.ජා. පයේත් තරුණ මන්ත්‍රීවරු අපිත් එක්ක එකතු වෙනවා.

ඔබ කිව්වා පක්ෂ දෙකේම කට්ටිය එකතු කරගන්නවලු. එකට ඡන්දය ඉල්ලන්නවත් බැරි මිනිස්සු කොහොමද එකට වැඩ කරන්න ගෙන්න ගන්නේ?

ඔවුන් අපෙන් වෙන්වුණේ බලය අපිට නොමැති නිසා. බලය අපේ අතේ තිබුණු විට ඔවුන් අපි ගාවට එනවා. ඔවුන් අපිට ආකර්ෂණය කරන කාන්තා බලය වෙන්නේ ජනතා බලය.

එ.ජා.ප.ය කියනවා ඔවුන්ට බලයක් ආවොත් ඔවුනුත් ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. බලය ඔවුන් සතු නිසා එහෙම වෙන්න වැඩි ඉඩක් තියෙනවා නේද?

ඒ එ.ජා.ප.ය දිනුවොත්නෙ. අද ගෙයින් ගෙට යන්න මිනිස්සු 10 දෙනෙක් හොයාගන්න බැරි එ.ජා.ප.ය කොහොමද ඡන්ද දිනන්නේ. අවුරුදු 20ක් විපක්ෂයේ ඉඳලා එ.ජා.ප. පාක්ෂිකයෝ බොහොම අමාරුවෙන් බලයට ගෙනාවේ. අවුරුදු තුනක් ගියා මොනවද ඔවුන්ට කළේ. කළේ එ.ජා.ප. නායකයෝ මහ බැංකුවේ ඉඳලා එ.ජා.ප. පාක්ෂිකයන් ආත්ම ගරුත්වයෙන් මංකොල්ල කෑවා. අද පාරේ යන්න බැරිවෙලා තියෙනවා.

ඔබ කිව්වා ඔළුගෙඩි මාරුවකින් බලය අත්පත් කරගන්නවා කියලා. එතකොට දූෂණ - චෝදනා තියෙන අයටත් ඒ ආණ්ඩුවට එකතු වෙන්න පුළුවන්ද?

විය හැකියි. හේතුව මේ අවස්ථාවේ අපේ අරමුණ රට බේරා ගැනීමේ ඉලක්කය හදාගන්න එක. ඊට පස්සේ මැතිවරණයකදී ඔය දූෂිතයන්, හොඳ අය වෙන්කර ගන්න. එතනදී ඔය දූෂිතයන් කියාගන්නා අයට වැඩිපුර මුදල් තියෙන නිසා ඔවුන් හැමදාම මනාප ලැයිස්තුවෙන් උඩට ආවා. ඒ නිසා මෙතනදී දේශපාලනඥයන්ට එක ඇඟිල්ලක් දික්වෙනකොට ජනතාවට ඇඟිලි හතරක් දික්වෙන අවස්ථාවන්.

දැන් ඔබලා අද විපක්ෂයට ඇවිත් ඉන්නේ බලයේ ඉඳලා. එදත් දූෂිතයන් සම්බන්ධ චෝදනා ආවා. අනාගතයේ ඔබලා හදන ආණ්ඩුවක් දූෂිතයන්ගෙන් තොරයි කියලා ජනතාවට පොරොන්දු වෙන්නේ කොහොමද?

බලය අහිමි වුණාම තමයි ඕනෑම පාලකයකුගේ ඇස් ඇරෙන්නේ. ඒක ඇරිලද නැද්ද කියන කාරණය අද වාසනාවකට අපේ පක්ෂය දිහා බලද්දී තේරැම් ගන්න පුළුවන්. අපිට එදා චෝදනා එල්ලවුණු බහුතරය අද ඉන්නේ ආණ්ඩුවත් එක්ක. එදා ඡන්දයේදී එ.ජා.ප.යේ ප්‍රධාන මාතෘකාවක් වුණු දූෂිත පුද්ගලයන් ඔක්කොම ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ස්ටේජ්වලට බෝම්බ ගහපු, ගුරුවරු දණගස්සපු, ස්ත්‍රීන් සීයක් දූෂණය කරපු ඔක්කොම ඉන්නේ ආණ්ඩුවත් එක්ක. අපි අපේ වෙනස පෙන්නුවා.

දැන් ඔබලා බලය ගත්තත් ඔළුගෙඩිනෙ වෙනස් කරන්නේ. එතනදීත් මේ වගේම වෙන්න පුළුවන් නේද?

අපි කිව්වේ පාර්ලිමේන්තුවේ 225 ගැන. 2020ට කලින් හදන ආණ්ඩුව ඇතුළේ දූෂිතයන් ඉන්න පුළුවන්. නෑ කියලා අපිට සහතික දෙන්න බෑ. එහෙම නෑ කිව්වොත් අපි කියන්නේ බොරු. එතනදී රට බේරාගැනීමේ වැදගත්කම. නමුත් ඉදිරියේදී වෙනස් වෙනවා. ඒකට ජනතාවගේ වගකීමක් ඉෂ්ට කරන්න ඕන. ජනතාව දූෂිතයෝ ප්‍රතික්ෂේප කරන්න ඕන.

ඔබ කියනවා අගමැති කරන්නේ මහින්ද රාජපක්ෂලු. හැබැයි ශ්‍රී.ල.නි.ප.යේ අයත් එ.ජා.ප.යේ අයත් රාජපක්ෂවරුන් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඔහුව අගමැති කරන්න ඒ අයට උදව් කරයිද?

දේශපාලයේ සදාකාලික සතුරොත් නෑ මිතුරොත් නෑ. එ.ජා.ප.යේ කර්කෂ විවේචනයට ලක්වුණු පුද්ගලයෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඔය ජනාධිපති කළේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු වෙලාවේ වර්තමාන අගමැතිතුමා චෝදනා කළේ සරත් ෆොන්සේකා මහත්තයට. ඒත් ඔහුව ජනාධිපති අපේක්ෂකයා කළේ නැද්ද? දැන් පක්ෂයට අරගෙන තියෙන්නේ. වර්තමාන අගමැතිවරයාට චෝදනා කළ චම්පික රණවක මහත්තයා දෙවරක් ඔහුව අගමැති කරන්න උදව් කළා.

මහින්ද රාජපක්ෂ පරාජය වුණාම බොහෝ දෙනෙක් කිව්වා පවුල්වාදය තමයි පරාජයට හේතුව කියලා. දැන් බලයට ආවොත් ඒ පවුල් පාලනය නැතිවෙයිද?

අපි පවුල්වාදය ගැන චෝදනා නගලා නෑ. ඒ වැඩ බැරි අය කිව්ව කතාවක්. වැදගත් වන්නේ බැසිල් රාජපක්ෂවත්, ගෝඨාභය රාජපක්ෂවත් මහින්ද රාජපක්ෂගේ සහෝදරයන් කියන එක නෙවෙයි. ඔවුන් දක්ෂයන්ද නැද්ද කියන එක. ඔවුන් දක්ෂ නම් ඔවුන්ට ඒ තැන දෙන්න ඕන. එතුමට සහෝදරයෝ ගණනාවක් ඉන්නවා. සමහර අයගේ නමවත් අපි දන්නේ නෑ. අනික අපේ ජනතාවත් පවුල්වලින් ආවා කියලා සලකන්නේ නෑ. බැසිල් රාජපක්ෂ කියන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ඉතාමත් ශූර ලෙස පාලනය කරපු කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ යුද්ධය විජයග්‍රහණය කරපු කෙනෙක්. ඔවුන් රටට අවශ්‍ය අය. ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න බෑ.

මහින්ද රාජපක්ෂ පරාජය වෙලා ගියාහම ඔහුව නැවත කරළියට ගෙනාවේ ඔබ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ. ඒත් මේ පොදුජන පක්ෂය ගොඩනැගීමත් එක්ක ඒ නායකයෝ දියාරු වෙලා ගියා නේද? ඔවුන්ට තැනක් නැද්ද?

කිසිසේත් එවැනි දෙයක් නෑ. ඒක සිදුවිය යුතු දෙයක්. මුල් කාලයේ ශ්‍රී.ල.නි.ප.යේ විනය පරීක්ෂණ නිසා හඬක් නගන්න ටිකක් අදිමදි කළා. එවැනි තත්ත්වයක් මත තමයි අපි නායකත්වය යන්නේ. මේ නිසා මාධ්‍ය අවකාශය පිරෙව්වේ අපි. දැන් පක්ෂය පිහිටෙව්වම ඒ ශ්‍රීල.නි.ප. අයට ඉන්න තැනක් තියෙනවා. ඒ නිසා දැන් ඔවුන් ඉදිරියට එනවා. අමතක කරන්න එපා. අපේ 53 දෙනාගෙන් 9 දෙනයි සෙසු පක්ෂ නියෝජනය කරන්නේ. අනික ඔක්කොම ශ්‍රී ලංකා. එතනයි සාධාරණත්වය.

ඒත් ඔබලා ගෙනාපු ජනතා රැල්ල, බැසිල් රාජපක්ෂ තමන්ට නතුකරගත්තා නේද?

කිසිසේත්ම නෑ. අපේ අරමුණ වුණේ මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට ගෙන ඒම. එතකොට අපේ පස්සෙන් ආපු ශ්‍රීල.නි.ප.යෙන් අපට ආරක්ෂා වෙන්න තැනක් තිබ්බේ නෑ. ඒ ප්‍රශ්නය විසඳුවේ බැසිල් රාජපක්ෂ. ඔහු කළේ අපිට කළ නොහැකි. අනිවාර්යයෙන් කළයුතු ඓතිහාසික කාර්යයක්.

ඇයි ඔබ වැනි තරුණ නායකයෙක් රාජපක්ෂවරු විතරක්ම නායකයෝ වෙන්න ඕනේ කියලා මතයක ඉන්නේ?

අයි අපි කඩේකට ගිහින් දන්න බ්‍රෑන්ඩ් එකකින් දෙයක් ගන්නේ. ඒකට හේතුව තමයි ඒ භාණ්ඩයේ ඉහළ ගුණාත්මක බව. ඒ වගේ රාජපක්ෂවරු ඉන්නවා ගොඩක්. සහෝදරයන් ඉන්නවා ගොඩක්. හැබැයි නම කියවෙන්නේ තුන්දෙනයි. ඔවුන්ට ඒ ඉල්ලුම තියෙන්නේ රටට කළ සේවය නිසා. අමතක කරන්න එපා. ඒ ඉල්ලුම බණ්ඩාරනායකවරුන්ටත් තිබ්බා. ඒක නැති කළේ චන්ද්‍රිකා.

ඔබ කියනවා පළාත් පාලන ඡන්දය දින්නොත් ආණ්ඩුව ගෙදර යවනවා කියලා. හදිසියේ ඔබලා පරාජය වුණොත් මොකද කරන්නේ?

එදාට ජාතියේ අවාසනාවකට එහෙම වුණොත් ආණ්ඩුව එය අර්ථකථනය කරන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවට දුන්න ඡන්දයක් හැටියට. එතකොට බඩු මිල වැඩියි බදු බර වැඩියි කියලා අපි නගන චෝදනා බොරු කියලා ඔප්පු කරන්නේ. මහ බැංකුව ඇතුළු බැංකු කැඩුවට කමක් නෑ කියලයි කියන්නේ. ජාතියේ අවාසනාවන්තම දිනය එදාට උදාවෙයි. හැබැයි එහෙම දෙයක් වෙන්න තරම් අපේ ජනතාව අසංවේදී වෙන්නේ නෑ.

කවදාවත් නැතුව ජනාධිපතිවරයා, කැබිනට් එකෙන් නැගිටලා යනවා තරහා ගිහින්. මේ තත්ත්වය ගැන ඔබට හිතෙන්නේ මොකද්ද?

මේ පාර ඡන්දයේදී නිල්පාට හංසයෝ වෙනමත්, කොළපාට හංසයෝ වෙනමත් එන්නේ. රතුපාට හංසයෝ වෙනම එනවා එක ආණ්ඩුවේ. ඒ නිසා මේ අයට උවමනයි ආණ්ඩුවේ වැරදිවලට අපි දායක වී නැතැයි පෙන්නන්න. මේක නාට්‍යයක්. ජනාධිපති කියනවා වගේ මේ ආණ්ඩුව පෙබරවාරි 10ට පස්සෙත් මෙහෙමම යනවා රට කන්න.

හැබැයි ආණ්ඩුව කියන්නේ මේ කැබිනට් එකේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ගිය ආණ්ඩුවේ ඒකාධිපතීත්වයත් එක්ක මේක හොඳයි නේද?

ඒකාධිපතිත්වය තිබෙන්නේ මෙතන. ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බේ ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ආණ්ඩුවේදී අපි පළාත් සභාවේ ඇමැතිවරු හැටියට විවේචනය කළා ආණ්ඩුව. ඒත් අද ඇමැතිවරු ආණ්ඩු විවේචනය කරන්නේ නෑ. කරන්නේ දේශපාලන විවේචනයන්. මේවා මැතිවරණ අරමුණු කරගත් රඟපෑමක් විතරයි. හැබැයි නායකයෝ යොදාගෙන පහර දෙන එක නම් කරනවා. ඕක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි නොහැදියාව.

හැබැයි ඉස්සෙල්ලා ආණ්ඩු වගේ නෙමෙයි තමන්ගේ ආණ්ඩුවේ හොරකම් හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා නේද? ඒක වෙනසක් නෙමෙයිද?

මේවා හොඳයි අද උපන් ළදරුවන්ට. අර්ජුන් මහේන්ද්‍රන්ගෙ හොරකම වහන්න ජනාධිපති උත්සාහ කළා. කොටින්ම අර්ජුන්ව පත් කළෙත් ජනාධිපතිවරයා. ඒ විතරක්ද ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මහ බැංකුව මුදල් අමාත්‍යතුමාගෙන් ගලවාගෙන අගමැතිවරයාට බාර කළේ ජනාධිපති. ඊට පස්සේ ඩිව් ගුණසේකර මේ වංචාව හොයන්න කෝප් කමිටුව මගින් නිර්දේශ කරනකොට පාර්ලිමේන්තුව විසිරෙව්වේ ජනාධිපති. ඒ නිසා මුලසිටම මේ වංචාව වහන්න උත්සාහ ගත්තා. මේ කොමිසමේ ප්‍රතිඵලය වෙනස් වෙන්නේ ප්‍රබලයන් දෙන්නෙක් හේතු වුණා. එක්කෙනෙක් විගණකාධිපති. අනිත් කෙනා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල දි ලිවේරා. ඔවුන් නැත්නම් සත්‍ය හෙළිවෙන්නේ නෑ. මේක ජනාධිපතිවරයා ඒකාබද්ධයෙන් කළා නම් මේ කොමිසම දාන්න ඕන අවුරුදු තුනකට කළින්.

ජනාධිපතිවරයා කියලා තියෙනවා මේ පත්වීමට ඔහු විරුද්ධ වුණා කියලා..

එතුමට අමතක වෙලා තියෙනවා පත්වීම් බලධරයා එතුමා කියලා. වැරැද්දක් නම් එතුමා දැනගන්න ඕන ඒක නොකර ඉන්න. වුණායින් පස්සේ කියලා වැඩක් නෑ.
මොනදේ කිව්වත් ජනාධිපතිගේ කඩුව බොහෝ දෙනකුගේ බෙල්ලට ඇවිත් තියෙනවා මේ කොමිසමෙන්...ඒ මේ සමාජ පීඩනය. ඒකේ ගෞරවය හිමිවෙන්න ඕන ඒකාබද්ධ විපක්ෂයට. එදා ජනවාරි 10 වැනිදා මේ වාර්තාව ඉදිරිපත් කරන්න තිබුණා. ඒත් ඔහු මඟඇරියා. මේ ඔක්කොටම කලින් වාර්තාවේ චූදිතයෙක් වෙච්ච රවී කරුණානායකට වාර්තාවේ කොපියක් දුන්නා. ඔහු කියනවා ඒක වැරදියි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හදපු වාර්තාව සංශෝධනය කරන්න රවී කරුණානායක මහ කොමසාරිස්ද?

ජනාධිපතිවරයා හෙළිකළ වාර්තාව පිළිගන්නවද?

සමස්ත වාර්තාව බලනකල් කියන්න බෑ. හැබැයි පිළිගන්න අමාරුයි රවී කරුණානායක චූදිතයා වෙද්දී අගමැතිවරයා නිර්දෝෂි වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුවේදී කියනවා මේ දූෂිත වෙන්දේසි ක්‍රමයට යාමට මට උපදෙස් දුන්නේ අගමැතිවරයා කියලා. මහ බැංකුව ස්වාධීන ආයතනයක්. ඒකට අගමැති උපදෙස් දෙන්න බෑ. එවැනි තත්ත්වයකදී අගමැතිවරයා නිර්දෝෂි නම් ඒ වාර්තාව පිළිගන්න පුළුවන්ද? ජනාධිපතිවරයා පැහැදිලිව කියනවා මහ මැතිවරණයේදී එජාපය බේරාගන්න ආණ්ඩුව විසුරුවේ කියලා.

එම වාර්තාවේ කියනවා 2008 ඉඳලා පරීක්ෂා කරන්න කියලා බැඳුම්කර ගැන. රාජපක්ෂ ආණ්ඩුවටත් චෝදනා එල්ල වෙලා නේද?

මේක අතිශය දේශපාලනිකයි. බැඳුම්කර වෙන්දේසි පටන් ගත්තේ 1997දී. පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය පටන් ගත්තේ 2013දී. 2008 ඉඳලා හොයන්න කිව්වට තාර්කික නෑ. එහෙමනම් මුල ඉඳලා හොයන්න කියන්න ඕන. මෙතන තියෙන්නේ රාජපක්ෂලාට මඩ ගහන කොමිෂන්.

දැන් ජනාධිපතිවරණය 2019 දී එනවා. ඔබලාගේ අපේක්ෂකයා වෙන්නේ ගෝඨාභය නේද?

ඒ ගැන අපි තවම තීන්දුවක් අරගෙන නෑ. තව වේලාසන වැඩියි. ගෝඨාභය රාජපක්ෂ ගැන කතා වෙන්නේ රටේ ඉල්ලුම නිසා. යූ.එන්.පී අයත් කියනවා උදව් කරනවා කියලා ඝෝඨාභය ඉල්ලනවානම්. ඔහුව දකින්නේ ශ්‍රී ලංකාවේ ලී ක්වාන් යූ හැටියට. රටේ මිනිස්සු එතුමට වගකීම් දෙකයි පැවරුණේ. එකක් යුද්ධය. අවුරුදු දෙකයි මාස දෙකකින් ඉවර කළා. ඔහු ඒත් මාව මවිත කළේ කොළඹ කුණු ප්‍රශ්නය ඉවර කළේ එතුමා. කොළඹ යටවෙන එකත් නැවැත්තුවා. ඒ වගේම පාතාලයත් මර්දනය කළා. කළ නොහැකි දේ කළ විශ්ව කර්මයෙක් ඔහු. හැබැයි ඔහු ජනාධිපති වුණොත් ලංකාවට විතරක් නෙමෙයි දකුණු ආසියාවටම හොඳ නායකයෙක් වෙනවා.

ඔහු අමෙරිකානු පුරවැසියෙක්. ඔහුට පුළුවන්ද ඡන්දය ඉල්ලන්න?

එතුමාට තියෙන ලොකුම තර්ජනය තමයි ඔහුව යුද අපරාධවලට අත්අඩංගුවට ගනී කියන එක. ඒකට තියෙන හොඳම ආරක්ෂාව තමයි අමෙරිකානු පුරවැසිකම. ඔවුන්ගේ රටේ නීතියක් තියෙනවා තමන්ගේ රටේ අයකුට යුද අපරාධ චෝදනාව ආවොත් ඔහුව අමෙරිකානු හමුදාව දාලා අරගෙන යන්න පුළුවන්. ඒ නිසයි ඔහුට ලැබෙන ආරක්ෂාව. හැබැයි ඕනෑම වෙලාවක ඒක අත්අරින්න පුළුවන්. ඒක ඇමෙරිකාවට දන්වපු ගමන් අහෝසි කරනවා.

සුළු ජාතිකයන්ගේ කැමැත්තක් ගෝඨාභයට තියෙයිද?

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ගුජරාටේ මුස්ලිම්වරුන්ට විරුද්ධව කෝලාහල කළා කියලා චෝදනා තිබ්බා. හැබැයි ගෝඨාභයට එවැනි චෝදනා නෑ. ඒත් ඉන්දියාවේ අගමැති හැටියට අවස්ථාව අනුව මුස්ලිම්වරැන් උදව් කළා මෝදිට අගමැති වෙන්න. ඒක වුණේ දක්ෂ නායකයකු සම්බන්ධයෙන් වුවමනාවක් ආවා. ඒ නිසයි ඔහු දිනුවේ. දැන් ගෝඨාභය මහත්තයා ගේන්න කියලා කියන්නෙත් මුස්ලිම් ව්‍යාපාරිකයෝමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා පළාත් පාලන මැතිවරණයේදී ගමේ ආණ්ඩු පිහිටුවන්න එකතු වෙන්නේ පොහොට්ටුච එක්ක කියලා. ඔබලත් එකඟද එයට?

ශ්‍රීල.නි.ප.ය එහෙම කියන්නේ මැතිවරණයේ පරාජය දැනටමත් බාර අරගෙන නිසා. අපේ ඉලක්කය සියලුම ආයතනවල පාලනය බලය ඇල්ලීම. එහෙම නම් එකතුවීමේ අවශ්‍යතාවයක් අපිට නෑ. තනියම අපිට පුළුවන් නම් ඇයි තව අය.

මොනදේ කිව්වත් අවසාන තීන්දුව මහින්ද මහත්තයාගේ තීන්දුව නේද?

බොහෝ දෙනෙක් මහින්ද මහත්තයා ගැන පෙන්නුවට එතුමාගෙන් එහෙම පීඩනයක් නෑ. එදත් එහෙමයි. අදත් එහෙමයි. එතුමා හොඳට ඇහුම්කන් දෙනවා. එතුමා කතා කරන්නේ බොහොම පොඩ්ඩයි. හැමෝගෙම අදහසට ඇහුම්කන් දෙන නායකයෙක් ඔහු.

♦ ගයාන් ගාල්ලගේ
     සේයාරුව I අන්තර්ජාලයෙනි