*ගිය ආණ්ඩුවේ නරක වැඩ මේ ආණ්ඩුව වැඩියෙන් කළා
*අගමැතිතුමා අපි කියන දේවල් කරන්නෙ නෑ
*හොඳට හරි නරකට හරි මහින්ද මහත්තයා ස්ථාවර නායකයෙක්
*ජාතික මණ්ඩලයක් හදලා අනාගත වැඩපිළිවෙළකට යනවා
*ඊළඟ ජනාධිපතිවරණයට අලුත් මිනිහෙක් එන්න ඕනෑ
*උපදේශකකමට මම ගත්තේ කබල් කාර් එකක් විතරයි
*රාජපක්ෂවරු පරාද කරන එක මට තනිවම කරන්න බෑ
ඔබවහන්සේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අන්තිම කාලය එද්දී රතු නිවේදනයක් නිකුත් කරගෙනම එළියට ගියා. දැන් මේ ආණ්ඩුවටත් රතු නිවේදන නිකුත් කරනවා. මොකක්ද හාමුදුරුවනේ මේකට හේතුව?
මම රතුඑළි නිකුත් කළත් නැතත් මේ ආණ්ඩුවට දැන් ජනමතයක් නෑ. ඒ නිසා මම රතුඑළි නිකුත් කරන්න ඕනෙ නෑ. ආණ්ඩුව ගැන විශාල කලකිරීමක් රටේ මිනිස්සු අතර ඇතිවෙලා තියෙනවා. ඒ නිසා ජනතා විරෝධයක් තියෙනවා.
ඒ ජනතා විරෝධයෙන් ඔබවහන්සේ ප්‍රයෝජන ගන්නද යන්නෙ?
මම හිතන්නෙ ජනතා විරෝධයෙන් ඇති වැඩක් නෑ. මගේ අරමුණ නම් රටට ප්‍රතිපත්ති මූලික විරෝධයක් ඇතිවෙන්න ඕන. ඔය ඉන්න කිසිම කණ්ඩායමකට ජනතාව සබුද්ධික කරන ප්‍රතිපත්ති මූලික විරෝධයක් නෑ. ඔවුන්ට තියෙන්නෙ හුදු ආණ්ඩු විරෝධයක් විතරයි.
ඔබවහන්සේට හිතෙන්නෙ නැද්ද මේ ආණ්ඩුව හදාගන්න පුළුවන් කියලා?
ඔව්. මගේ දෙවැනි උත්සාහය මේ ආණ්ඩුවෙන් වෙන වැරදි නවත්තගන්න එක. ඊළඟට හරි මාවතකට ගන්න එක මේ ආණ්ඩුව. ඒකට තමයි මේ උත්සාහ කරන්නෙ.
දැන් රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බැහැපු ඔබවහන්සේ ඔය කියන විදිහට ප්‍රතිපත්තියක් හැදුවා මේ ආණ්ඩුවටත්. ඒක මොකද වුණේ?
ජනාධිපතිතුමාගේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලියද්දි අපේ පාර්ශ්වයෙන් විශාල මැදිහත් වීමක් වුණා. තිරසාර සංවර්ධනයකට අදාළ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය, බලශක්ති ක්ෂේත්‍රය වගේ කාරණා සම්බන්ධයෙන් අපි විශේෂයෙන් ලිව්වා. හැබැයි දැන් සිද්ධවෙන්නෙ ඊට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දෙයක්.
ඔබවහන්සේ හිතන්නෙ මේ ආණ්ඩුවේ ජනාධිපති ඉන්නවා. අගමැති ඉන්නවා. කවුද මේකට වගකියන්න ඕනෙ?
සම්පූර්ණයෙන් අග්‍රාමාත්‍යවරයා වගකියන්න ඕනෙ. අගමැතිතුමා තමයි වැරැද්ද කරන්නෙ. මෙතන තියෙන ප්‍රශ්නය ජනාධිපතිතුමා ඒක නිවැරදි කරන්න යන්නෙ නෑ.
ආණ්ඩුවේ අයම කියනවා නීතියේ හැටියට ජනාධිපතිට බලයක් නෑ කියලා අගමැතිව පාලනය කරන්න?
මේ තියෙන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිතුමාට තමන්ගෙ බලය හොඳට පාවිච්චි කරන්න පුළුවන්. එතුමාට බලය තියෙනවා. නමුත් එහෙම එකක් වෙන්නෙ නෑ. මම බලාපොරොත්තු වෙනවා එතුමන්ගෙන් එහෙම දෙයක් වෙන්න කියලා.
මේ යහපාලන රජය ගේන්න දරදිය ඇද්ද හිමිනමක් ඔබවහන්සේ. ඔබවහන්සේ හිතන විදිහට ආණ්ඩුවට කොතැනද වැරදුණේ?
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට අපි කියන දේ හොඳට තේරෙනවා. ප්‍රශ්නය තියෙන්නේ එතුමගේ ඔළුවේ තියෙන දේ හැර වෙන කිසිවක් කරන්න යන්නේ නෑ. ඒක එතුමගේ වයස නිසා වෙන්න පුළුවන්. එතුමට දැක්මක් සහිත වැඩපිළිවෙළක් නෑ අද. එතුමගේ වටේ හොඳ කණ්ඩායමක් ඉන්න බව පේන්නෙත් නෑ. මම එතුමා කීපවිටක් හම්බවුණා. අපි කියන දේවල් පිළිගන්නවා. හැබැයි පිළිගන්න ඒවා ක්‍රියාවට නගන්න තරම් උවමනාවක් නෑ. ඒ වුණාට එජාපෙට අයහපත් දේ කුඩා කණ්ඩායමකගේ උවමනාවකට තල්ලුවෙලා යන තැනට පත්වෙලා.
මෙහෙම විවේචනය කර කර ආණ්ඩුවේ ඉන්න එක හරි නෑ නේද?
මම ගියපාරත් විවේචනය කරගෙන ආණ්ඩුවේ හිටියා. මම මහජන නියෝජිතයෙක්. මේ ආණ්ඩුව බලයට පත් කිරීම ගැන ලොකු වගකීමක් මට තියෙනවා.
ඔබ වහන්සේ මේ හැමදේම කළේ ජාතික හෙළ උරුමය එක්ක එකතු වෙලා. දැන් ඔබ වහන්සේ හෙළ උරුමයත් එක්කත් නෑ. ආණ්ඩුව එක්කත් නෑ. කා එක්කද ඉන්නේ?
මම කවුරුවත් අත ඇරලත් නෑ. කවුරුවත් එක්කත් නෑ. රට සම්බන්ධයෙන් මගේ ස්ථාවරය කියන්නේ. දැන් බලන්න ඕන මම කියන දේ හරිද වැරදිද කියලා විතරයි. හිතන්න මහ බැංකුව කඩපු එක හරිද වැරදිද? මම ඒ ගැන ගොලුවෙක් වෙන්න ඕනද. මම රටේ ජනතාවට වගකියන්නේ. මට ආදරේ කරන්න මිනිස්සු ඉන්නවා. මම කියනවා ආණ්ඩුවම අද ඉස්සෙල්ලම අත්සන් කරන්න ඕනේ. සිංගප්පූරුවත් එක්ක අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න ගන්න. එහෙම නැතුව වෙන ගිවිසුම් නෙමෙයි.
ආණ්ඩු දෙකක් එක්ක වැඩකරපු හිමිනමක් හැටියට රාජපක්ෂ ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි තරාදියක දැම්මොත් වැඩියෙන්ම නරක කොයි ආණ්ඩුවද?
දැනට මේ ආණ්ඩුව ඔප්පු කරලා ඉවරයි. ගිය ආණ්ඩුවට වඩා දුර්වලයි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ ගිය ආණ්ඩුව හොඳයි කියලා. ඒ කියන්නේ ගිය ආණ්ඩුව කරපු නරක ඊටත් වඩා වැඩියෙන් මේ ආණ්ඩුව කළා.
ඊට වඩා කළ වැරදි මොනවද?
මෙතන තියෙන වරද මොකක්ද දන්නවද? මේ ආණ්ඩුව මේ අවුරුද්දේ මොකද කරන්නේ කියලා දැක්මක් නෑ.
හරි මොකක්ද කරන්න ඕනේ?
නෑ අපිටත් කතා කරන්න මණ්ඩලයක් හදන්න. රටේ යම් තීන්දු තීරණයක් ගන්න පුළුවන් දහදොළොස් දෙනෙක් දාලා මණ්ඩලයක් හදන්න. ඒ මණ්ඩලය මාසයට දෙවතාවක් කැඳවලා රටට ගන්න තීන්දු මොනවද කියලා කතා කරන්න.
පසුගිය කාලයේ මණ්ඩල කමිටු වගේ කණ්ඩායම් ගොඩක් දැම්මා. වෙච්ච දෙයක් නෑනේ?
මම ජනාධිපතිතුමාට කිව්වා ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් හදන්න කියලා. හැබැයි එහෙම සාකච්ඡාවකුත් නෑ. ඒ වගේ දෙයක් වුණෙත් නෑ. මැතිවරණයේදී පවා පොරොන්දු වුණ දෙයක්. විධායකය අහෝසි කරන්න කලින් සරලව කරන්න පුළුවන් දේවල් මේවා. එහෙම කළා නම් අද මේ සිංගප්පූරු ගිවිසුම් වගේ දේවල් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
දැන් ඔබ වහන්සේගේ අරමුණ ආණ්ඩුව පෙරළන එකද?
ඒක තීරණය කරන්නේ ජනතාව. අනිවාර්යයෙන් 2020 දි ජනාධිතිවරණයක් එනවා.
එදාට ඔබ වහන්සේගේ භූමිකාව මොකක්ද?
මට දැනෙන තේරෙන විදිහට මම කියන්නම්. විවිධ ක්ෂේත්‍රවල ඉන්නවා උගත් බුද්ධිමත් වෘත්තිකයන්. ඒ වෘත්තිකයන් සියලුදෙනා එකතු කරලා ජාතික මණ්ඩලයක් සකසලා රටේ අනාගත වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවක් කථිකාවතක් සිදුකළ යුතුයි.
එහෙම කතා කරලා පොදු අපේක්ෂකයෙක් ගේන්නද?
පොදු අපේක්ෂකයෙක්ද නැද්ද දන්නේ නෑ. තනි අපේක්ෂකයෙක් වෙන්නත් පුළුවන්. මම කැමති මේ දේශපාලන පක්ෂ දෙක තුනේම නැති අලුත් මිනිහෙක් එනවා නම්. මම කිව්වට කරන්න පුළුවන්ද කියලා විශ්වාස කරන්න බෑ.
අලුතින් එන පාලකයා කවුරු වගේද වෙන්න ඕන?
රටට ආදරේ, සබුද්ධික, පොතපත කියවන, ලෝක ප්‍රවණතා පිළිබඳ නවීන දැනුම තියෙන පුද්ගලයෙක්.
ඔබවහන්සේ නමක් යෝජනා කළා නේද?
නන්දසිරි ගමගේ. මගේ ජීවිතේ පර් යේෂණයක් වගේ. මම දැකලා තියෙන විදිහට මේ සමාජ ව්‍යාපාරවල ලංකාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් පදනම දාපු එකම පුද්ගලයා. එස්.ඒ. වික්‍රමසිංහවත්, විජේවීරවත් නෙමෙයි නන්දසිරි ගමගේ. එතුමා පෙන්නලා දීලා තියෙනවා බිම් මට්ටමින් ජනතාව නැගිට්ටවන්නේ කොහොමද කියලා. දහස් ගණන් ඉඩම් අහිමි වෙලා හිටිය මිනිස්සුන්ගේ ඉඩම් එතුමට පුළුවන් වෙලා තියෙනවා බේරාගන්න. නිදහස් කරගන්න. ගම්උදාවේ ප්‍රේමදාස මහත්තය හදපු නිවාසවලට වඩා වැඩි නිවාස එතුමා හදලා තියෙනවා. කිසි කෙනෙක් දන්නේ නෑ. මම දන්නේ අවුරුදු හතරකට කලින් ඉඳන්. එතුමගේ වැඩපිළිවෙළ තමයි අනාගතය සැලසුම් කළ හැකි හොඳම ක්‍රමය.
ඔබවහන්සේ එක් නමකට වැඩපිළිවෙළකට මේ ක්‍රමය ලඝු කරනවා. හැබැයි රාජපක්ෂවරු අනෙක් පැත්තෙන් ඉහළට එනවා?
මම හිතන්නේ රාජපක්ෂවරුද නැද්ද කියන එක නෙමෙයි බලන්න ඕනේ. රාජපක්ෂවරු පරාජය කරනවා කියන එක මට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි බලන්න ඕනේ ශක්තිමත් ප්‍රබුද්ධ දේශපාලන මතවාදයක් දැක්මක් ගොඩනගන එක.
ඔබවහන්සේ කියන මතවාද දැක්ම සහිතව තමයි 2015 මැතිවරණයේ ලක්ෂ 63ක් අරගෙන ජයග්‍රහණය කළේ. ඒත් දැන් කලකිරිලා. කොහොමද තවත් කෙනෙක් ගැන විශ්වාස කරන්නේ?
ලෝකයේ මෑත කාලයේ ජනාධිපතිවරු පත්වෙච්ච විදිහ බලන්න. අලුත් මිනිස්සු ඇවිල්ලා ඉදිරියට. මගේ අරමුණ අලුත් තරුණ නායකයෙක්. අඩුම ගානේ 60ට අඩු මිනිහෙක් වෙන්න ඕන.
මේ රට පාලනය කළේ ප්‍රධාන පක්ෂ දෙකක්. පුළුවන්ද ඒ අයගෙන් ජනතාව ගලවගෙන අලුත් කෙනෙක් ළඟට ළං කරන්න? මේ වෙන දේවල් එක්ක කොහොමද තව කෙනෙක් විශ්වාස කරන්නේ?
මම කියන දේ ගැන නෙමෙයි විශ්වාස කරන්න ඕනේ. මම කියන වැඩපිළිවෙළ ගැනයි බලන්න ඕනේ. රතන හාමුදුරුවෝ කියන කතාව හරිද කියලා බලන්න. තවම මාළුයි ලුණුයි පිටරටින් ගේන්නේ. මෙහෙම රටක්... ඇයි අපිට හදාගන්න බැරිද? නිදහසෙන් පස්සේ ලුණු ටිකවත් හදාගන්න බැරි රටක්නේ. තවම කිරි ගෙන්නනවා. කරවල ටික ගෙන්වනවා. මේ ටික අපිට කරගන්න බැරිද? මම කියන්නේ ඒ ගැන බලන්න කියලා.
ඔබ වහන්සේත් පටන් ගත්තනේ වස විසෙන් තොර ගොවිකමක්?
ඔව්. මට ජනාධිපතිතුමා ඒකට හොඳට උදව් කළා ඉඩ දුන්නා. මම ඒක කළා. ඒත් කීප දෙනෙක්ගේ වැඩ නිසා මග නැවතුණා.
ඔබ වහන්සේට මේ වැඩේට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සල්ලි දුන්නද?
මගේ වැඩපිළිවෙළට කියලා විශේෂ මුදලක් වෙන් කළේ නෑ. මට ලැබුණු උපදේශකකමට පඩියක් ගත්තෙත් නෑ. කබල් කාර් එකක් නම් ගත්තා. ලක්ෂ ගාණක් දුවපු. කිසිම වැටුපක්, තෙල් ගහන්නවත් ගත්තේ නෑ. එහෙම කරපු එකම උපදේශකයා මම වෙන්න ඇති. වාර්ෂිකව වෙන් කරනව ප්‍රතිපත්ති සැදීම සහ සැලසුම්කරණය සඳහා මුදලක්. මිලියන 100ක් වගේ. ඒකෙනුත් යම්කිසි මුදලක් තමයි මේකට වෙන් කළේ. හැබැයි ඒකෙන් මිලියන ගාණක අත්දැකීම් ජාතිය එකතු කරලා තියෙනවා.
ගොඩක් දෙනෙක් කියනවා ග්ලයිෆොසේට් තහනම නිසා ඉදිරියේ ආර්ථික වගේම ආහාර හිඟයකට යන්න පුළුවන් කියලා?
මම කරල පෙන්නුවා එහෙම නෑ කියලා. මම කියන්නේ එව බලව කියලා. අපි ඔප්පු කරලා පෙන්නුවා. දැන් මම දන්නවා ඔයා මීට අවුරුදු තුනකට කලින් වගේ ඇහුවා නම් මට කියන්න වෙන්නේ එහෙමත් වෙන්න පුළුවන් කියලා. ඒත් දැන් දන්න නිසා කියන්නේ එහෙම වෙන්නේ නෑ.
ඔව් දැන් ඉතින් වැඩේ අවුල් වෙලානේ නේද?
ඔව් දැන් අවුලක් තියෙනවා. මම ඒ අවුලත් නරක විදිහට දකින්නේ නෑ. රාජපක්ෂ මහත්තය හිටිය නම් ශක්තිමත් නායකයෙක් වෙනවා. මම කියන්නේ මේ අවුලෙන් ශක්තිමත් නායකයෙක් හදන්න.
දැන් රාජපක්ෂ පාලනය ගැන මිනිස්සු කියනවා ඒක හොඳයි, අපේකම තිබ්බා කියලා. මේ ආණ්ඩුව රට කෑවා කියලා බණිනවා. ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද කරගන්නේ ලොකු අපරාධයක් කියලා?
මම කිසිසේත් හිතන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයට මේ රටේ ඓතිහාසික ගෞරවයක් හිමිවෙනවා. හේතුව පසුගිය කාලයේ හිටිය නිවට පාලකයන්ගේ වැඩකටයුතු නැවත හරවලා ත්‍රස්තවාදය ජයග්‍රහණය කළා. ඒ ගරුත්වය තියෙනවා. හැබැයි ඉන්පසුව එතුමට ආර්ථික වැඩපිළිවෙළක් තිබ්බේ නෑ. හැබැයි එතුමා හොඳට හෝ නරකට ස්ථාවර නායකයෙක්. දැන් අලුත් වියවුලක් එන්නේ. රට අරාජික භාවයක් පේනවා. ඒ අවුල ඇතුළේ තමයි අපිට අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ.
ආර්ථික විශේෂඥයන් පවා කියලා තියෙනවා මේ ආර්ථිකයෙන් ගොඩඑන්න බෑ කියලා. එහෙමනම් කොහොමද එන නායකයා මේ රට ගොඩගන්නේ?
මම හිතන්නේ නෑ මේ රට ආර්ථික මහා අර්බුදයක හිරවෙලා කියලා. සංඛ්‍යාලේඛන අනුව අඩුම ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ. ඒක ඇත්ත. හැබැයි මේ සමාජය එච්චර පල්වෙච්ච සමාජයක් නෙමෙයි. මේක ගොඩගන්න පුළුවන්. අපිට පරිසරයෙන් විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගන්න පුළුවන්. මේ රටේ පාලකයෝ පෝර්ට් සිටි හදලා මෙගා නටලා පිස්සු නටනවා.
ඔබ වහන්සෙයි බැසිල් රාජපක්ෂ මහත්තය අතරයි තියෙන සම්බන්ධය මොකක්ද?
එහෙම කිසිම අමුතු සම්බන්ධයක් කා එක්කවත් නෑ.
ඇත්තද බැසිල් රාජපක්ෂ මහත්තය එක්ක දේශපාලන සාකච්ඡාවක් යනවා කියන්නේ?
කිසිම පදනමක් නෑ. හැබැයි මම විශ්වාසභංගය වෙලාවේ කතා කළා. මම කිව්වා එතුමට විශ්වාසභංගයක් ගේන්න එපා කියලා. මගේ සාකච්ඡා ඒ නිසා බොහොම විවෘතයි.
දැන් අපේක්ෂකයෝ 2020ට සූදානම් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන වගේ අය. ඔබ වහන්සේ ගන්නේ කාගේ පැත්තද?
එහෙම කියන්න බෑ. මම කියන්නේ අනාගත අපේක්ෂකයා තෝරන්න ඕනේ වෘත්තීයවේදීන්ගේ මණ්ඩලයකින්. අපි ඔක්කොම එකතුවෙලා ඒ පුද්ගලයා ජනාධිපති කරමු.
ඔබ වහන්සේ කියන්නේ ඉල්ලන්න හදන අයට ඒක බැරිවෙයි කියලද?
ඉතිං ඒක ඒ අය පෙන්නන්න එපැයි. එහෙම වුණොත් ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිතුමා මේ වැඩවලට නායකත්වය දීලා පටන් ගත්තොත් මට කිසි ප්‍රශ්නයක් නෑ. මේ අයට මේ අවුරුද්ද ඇති වැඩක් කරලා පෙන්නන්න.
ඉදිරියේදී ආණ්ඩුවත් එක්ක ගනුදෙනු නැද්ද?
නෑ. මම ජනාධිපතිතුමා එක්කත් කතා කරනවා. අගමැතිතුමා එක්කත් කතා කරනවා. මට කිසි කෙනෙක් එක්ක පෞද්ගලික අමනාපකම් නෑ. මම විපක්ෂයට ගිහිල්ලත් නෑ.
ඥානසාර හාමුදුරුවෝ එහෙම මේ දේවල් කරන්නේ දේශපාලනය නොගෑවී. ඔබ වහන්සේට බැරිද එහෙම කරන්න?
රටේ පාලන ක්‍රමය වෙනස් නොකර කොහොමද සමාජයක් වෙනස් කරන්නේ.
ආණ්ඩුවේ අය කියනවා රටට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා කියලා?
ප්‍රජාතන්ත්‍රවාදයක් නෑනේ. ඒක ලැබෙන්න නම් සිස්ටම් එකක් තියෙන්න ඕන.
අවසාන වශයෙන් අහන්නේ ඔබ වහන්සේගේ ප්‍රතිපත්තියට එකඟ වන ඕනෑම කෙනෙක් එක්ක ඉදිරියේදී ගමන යනවාද?
අනිවාර්යයෙන්.
►ගයාන් ගාල්ලගේ