ශ්රීලනිපය පවුලකට පවරන්න බැහැ
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක
එජාපයට යන්න මට කිසිම උවමනාවක් නෑ
ජාතික රජයක් ඇතුළේ මත තිබෙන එක හොඳයි
ඒකාලෙ සියලුම අමාත්‍යංශ පාලනය කළේ බැසිල්
අද ආණ්ඩුව නරකයි කියන 16 දෙනා අවුරුදු තුනක් කෑවේ බීවේ ආණ්ඩුවෙන්
අලුත් උසාවිය කොහොමද දේශපාලන එකක් වෙන්න?
ලොකු හොරකම් හොයන්නේ නැතුව බඩු බෙදපුවා හොයලා මොකටද?
නළු නිළියො පාර්ලිමේන්තු එන එක වැඩක් නෑ
මේ ආණ්ඩුව පත්වෙලා අවුරුදු තුනක් ගතවෙලා. ඔබ ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරයෙක්. ගතවුණු අවුරුදු තුන ගැන මොකද හිතෙන්නේ?
මේ අවුරුදු තුන ගැන මම පෞද්ගලිකවම සතුටු වෙනවා. හැබැයි ඒ සතුට හැමෝටම නැතුව ඇති. මම පෞද්ගලිකවම සතුටු වෙන්නේ එදා ජනාධිපතිවරයා ඇතුළු අපි කට්ටිය එළියට එන්නේ එවකට තිබ්බ අපේ ආණ්ඩුවේ වැරදි ගමන නිසා. අන්න ඒ වැරදි ගමන සියයට 10කින් නැතිනම් දශමයකින් හරි වෙනස් කරගන්න ලැබීම ගැන සතුටු වෙනවා. කොටින්ම කියනවානම් ඔබතුමාලට ජනතාවට නිදහසේ කතා කරන්න දුන්න නිදහසම ලොකු ජයග්‍රහණයක්.
ඔබ කියනවා වෙනසක් වුණා කියලා. නිදහස ලැබුණා කියලා. ඒත් ඔබලත් එක්ක ආණ්ඩුවේ ඉඳලා එළියට ආපු පිරිස කියන්නේ ඒ අවුරුදු තුනේ රට ආපස්සට ගියා කියලා.
ඔය විවේචන කරන අය කියන්නේ නෑනේ මේ මේ කාරණා සිද්ධ වුණා කියලා.
ඔවුන් කියන්නෙම ආර්ථිකය දරුණු ලෙස පරිහානියට පත්වුණා කියලා..
ආර්ථික හානියට ලක්වෙන එක කියන්න දෙයක් නෙමෙයිනේ. මහින්ද මහත්තයා අවුරුදු දෙකකට කලින් ඡන්දය තිබ්බේ මේ ආර්ථික පරිහානිය ඉදිරියේ සිදුවෙනවා කියලා දැනගෙන. ඒත් අපි ඒකට මුහුණ දුන්නා. දැන් ක්‍රමානුකූලව අපි නැගිටිනවා.
හැබැයි ඒකාබද්ධ විපක්ෂය කියනවා මේ නොහික්මුණු ආණ්ඩුව කොයි වෙලේ හරි පෙරළනවා කියලා.
බෑ. එහෙම පෙරළන්න බෑනේ. එහෙම පෙරළනවා නම් ඒක ඓතිහාසික සිද්ධියක් වෙනවා. මොකද මෙරට ව්‍යවස්ථාවෙන් දැන් ආණ්ඩුවට නියමිත කාලයක් දීලා තියෙනවා. ඒක නීතියක්. ජනාධිපතිට කාලයක් තියෙනවා. ඒවා වෙනස් කරන හැටිත් ව්‍යවස්ථාවෙ තියෙනවා.
හිටපු ජනාධිපතිවරයා අගමැති කිරීමේ රහසිගත සාකච්ඡාවක් තිරය පිටුපස සිදුවෙනවා නේද?
නිල වශයෙන් එහෙම සාකච්ඡාවක් නෑ. හැබැයි අපි මාධ්‍යයේ දැක්කා ඩිලාන් පෙරේරා හිටපු අමාත්‍යතුමා කියනවා.
ඒකාබද්ධ විපක්ෂය කැමතිනම් ශ්‍රී.ල.නි.පය සමඟ එකතු වෙන්න ජනාධිපතිවරයා ඉක්මන් ජනාධිපතිවරණයකට යන්න තීරණය කරලා තියෙනවද?
නෑ. ජනාධිපතිවරයා පසුගිය දවසේ සංවිධායකවරු හමුවුණ වෙලාවෙත් කිව්වේ හොරකම, වංචාව නැති මගෙත් එක්ක ගමනක් යන්න කැමති ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන් කියලා. ඒ වගේම කිසි කෙනෙක් ඉවත් කරන්න ඕනෙත් නෑ කිව්වා. ඒකෙන් කියන්නේ මොකද්ද? හොරුත් එක්ක බෑ කියන එකනේ කියන්නේ.
මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සහෝදරයාගේ මළ ගෙදරට ජනාධිපතිවරයා ගියා. ඔහු ගිය ගමන ගැන බොහෝ දෙනා නව දේශපාලන පරිවර්තනයක හීන දකිනවා.
එවැනි කිසිම දෙයක් නෑ. එතැන මනුස්සකම තියෙන්නේ. අපේ දේශපාලනයෙන් එහා ගිය මිත්‍රකම් තියෙනවා. ඒ තැන්වලට අපි දේශපාලනය අරගෙන යන්නේ නෑ.
මේ ආණ්ඩුවේ ඉන්න විශේෂයෙන් එජාපයේ පිරිස කියන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ හොරු ඇල්ලුවේ නෑ කියලා. මේකද මේ ආණ්ඩුවෙන් වෙච්ච ලොකුම වරද?
මගෙත් ඒ විවේචනය තියෙනවා. ඒක ජනාධිපතිවරයාගෙත් තියෙනවා. හොඳම උදාහරණය තමයි මේ ආණ්ඩුවට බැඳුම්කර චෝදනාව එල්ල වෙද්දී එතුමා තීන්දුවක් ගත්තා. ඔබ කිව්වා රාජපක්ෂ ආණ්ඩුවේ හොරු කියලා. අපි කියන්නේ කොටසක් නෙවෙයි. අපිට වැදගත් හොරකමට දඬුවම් දීම.
මේ ආණ්ඩුව හොරකම කියලා අල්ලන්නේ ඔබලා කිව්ව මහා පරිමාණ ඒවා නෙමෙයිනේ. පොඩි පොඩි දේවල්නේ.
ඔව් මම පිළිගන්නවා. ආණ්ඩුවේ ඉන්නකොට ආණ්ඩුවේ සල්ලිවලින් තමයි සාමාන්‍යයෙන් දේශපාලනය කරන්නේ. බත් පැකට් එකකට, ටී ෂර්ට් එකකට, යකඩ බට ටිකකට වියදම් කරපු දේ නෙවෙයි හොයන්න ඕනේ. මහා පරිමාණයෙන් හොරකම් කරපුවා ගැන. අපි කියන්නෙ සාක්කුවලට මුදල් පුරවගත්ත ඒවා ගැන හොයන්න ඕනෙ.
හැබැයි හොරු ආරක්ෂා කරන්නේ ඔබලා කියලයි අනිත් පැත්තෙන් නොකියා කියන්නේ.
නෑ. අපි කිසිම කෙනෙක් ආරක්ෂා කරන්නේ නෑ. අපිට හිතේ අමාරුවක් තියෙනවා අපේ අය නිසා. ඒත් හොරකමක්නේ. විශේෂයෙන් මම පෞද්ගලිකවම විරුද්ධයි මැතිවරණ කාලයේ සිදුවෙච්ච බෙදපු බඩු අල්ලගෙන පරීක්ෂණ කරන දේවල්වලට.
රාජපක්ෂවරු ගැන හොයන්නේ ලිත් බෙදපුවා, බට බෙදපුවා, සිල් රෙදි බෙදපුවා වගේ දේවල් ගැන. ඔබ ඒ දේවල්වලට විරුද්ධද?
ඔව්. එකඟ නෑ. මම කියන්නේ මීට වඩා ලොකු දේවල් වුණා. අන්න ඒ දේවල් ගැන හොයන්න. ඔය බෙදපු කාරණා ගැන හෙව්වම අවසානයේ ඒ දේවල්වල වරදක් නෑ. මොකද ඒ බඩු තියෙනවා.
ඒ කියන්නේ මේ තේරුමක් නැති දේවල් හොයලා කරන්නේ දේශපාලන රඟපෑමක්ද?
නෑ. ඒකට හේතුවක් තියෙනවා. බලන්න අපි ආණ්ඩුව අරගෙන චෝදනා කීපයක් බාරදෙනවා පරීක්ෂණ කරන්න. එතකොට පරීක්ෂණ කණ්ඩායම්වලින් අපි නිතරම ප්‍රගතිය අහනවා. ඒ නිසා ඔය පරීක්ෂණ කණ්ඩායම් ලේසිම පරීක්ෂණ ටික ඉස්සෙල්ලා කරන්නේ. ඒත් අපි කතා කරන්නේ අමාරු ටික හොයන එක ගැන.
දැන් මේ හදිසියේ හදපු විශේෂ අධිකරණය රාජපක්ෂ දඩයම සඳහා හදපු දේශපාලනික අධිකරණයක් හැටියටයි ඒකාබද්ධ විපක්ෂය සලකන්නේ.
එහෙම කියන අයගෙන් මට අහන්න තියෙන්නේ එක දෙයයි. මේ අධිකරණයෙන් නඩු අහන්නේ සාමාන්‍ය අධිකරණ පද්ධතියේ නඩු අහන පනත් දෙකෙන්නේ. අපරාධ නඩු විධාන පනතයි, දණ්ඩ නීති සංග්‍රහයයි. එතකොට මේ දෙකට අමතරව වෙනත් පනතකින් නඩු අහනවා නම් තමයි ඒක දේශපාලනික වෙන්නේ. ඒත් එහෙම නෑනේ. එහෙනම් ඇයි බය වෙන්නේ.
මොකද්ද මේ අධිකරණයෙන් තියෙන වාසිය?
තියෙන එකම වාසිය තමයි අවුරුදු ගණන් ඇදෙන නඩු කෙටි කාලයකින් අහනවා. ඉස්සර නඩු ඇහුවම අවුරුදු 10ක් විතර ඇදෙනවා. එහෙම නෑ මේ අධිකරණයේදී. එතකොට හොඳ නැද්ද එහෙම දෙයක්.
දැන් මේ මරණීය දණ්ඩනය කිව්ව විදිහට ක්‍රියාත්මක වෙනවද?
මම නම් පෞද්ගලිකවම කැමතියි. රටේ නායකයත් ඒක කිව්වා. මම කියන්නේ දරුණු ගනයේ අපරාධවලට ක්‍රියාත්මක වෙන්නම ඕනේ.
මැතිවරණ පැත්තට ගියොත් ඉස්සෙල්ලම තියෙන්නේ ජනාධිපතිවරණයද පළාත් පාලන මැතිවරණයද?
පළාත් සභා මැතිවරණය.
ඇයි එහෙනම් එම නිර්ණය පනත පාර්ලිමේන්තුවේ එකතු වෙලා පරාජය කළේ?
අපි පරාජය කළේ නෑ. අපි ඡන්දය දෙන්න ගියේ නෑ. අපි ගියේ නැත්තේ මුල ඉඳලා අපි ඉන්නේ නව මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි කියන තැන. අපි එකතු වුණේ වෙනසක් ඇති කරන්න. එතකොට අපිට සිදුවෙනවා ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ඨ කරන්න. අපි ඡන්දයකදී දුන්න පොරොන්දුවක් ඒක පාඩුයි කියලා අපිට අත්හරින්න බෑ. අද මේ රටා මෙහෙම වෙලා තියෙන්නේ දේශපාලන වාසි අවාසි නිසා පෞද්ගලිකව ගත්ත තීන්දු නිසා. මේ රට විනාශ කළේම දේශපාලනඥයෝ සහ පක්ෂ.
ඇයි ඔබලා ඡන්ද නොදී හිටියේ?
අපිට තුනෙන් දෙකක් ගන්න බෑ. අපි නොදී හිටියා. දැන් ඡන්දය තියන්න උවමනාවක් නැත්තේ ඒකාබද්ධයටයි එජාපයටයි නේද? ඔවුන්ට ඉක්මන් ඡන්දයක් ඕනේ නම් මේක සම්මත කරන්න තිබ්බනේ. ඒත් කළේ නෑ.
එතකොට මේ ගේම් එකක්ද ප්ලේ කරන්නේ කට්ටිය?
මම දන්නේ නෑ. හැබැයි ඒකාබද්ධ විපක්ෂය නම් ගේම් එකක් ප්ලේ කරනවා කියලා පේනවා.
එතකොට එජාප ගේමක් නෙමෙයිද?
නෑ. එයාලා නොදුන්නේ මේ මැතිවරණයෙන් කොච්චර එයාලගේ පක්ෂයට වාසිද අවාසිද කියලා තීරණය කරලා.
මේ හැමදෙයින්ම වෙන්නේ ඡන්ද කල් යනවා. බොරුවට සල්ලි වියදම් කරලා වාර්තා හදනවා. ඇයි මේ දේශපාලනඥයෝ සෙල්ලම් දාන්නේ?
අනේ මන්දා. මටත් හිතාගන්න බෑ ඇයි මෙහෙම කරන්නේ කියලා. මම ඔය කාරණාව ගැන එක් සාකච්ඡාවකට සහභාගී වුණ අවස්ථාවේ කිව්වා පාර්ලිමේන්තුවට ගෙනල්ලා, අතත් උස්සලා සුළු සුළු කාරණාවලට කකුලෙන් අදින එක වැරදියි කියලා.
මේ කාරණයත් එක්ක පේන්නේ ආණ්ඩුවේ ඇතුළේ එක මතයක් නෑ ඇතුළේ කචල් කියලද?
මම නම් ඒකට කැමතියි. හේතුව අපි කියන දේට යූ.එන්.පීය එකඟ වෙනවා නම් යූ.එන්.පීය කියන දේට අපි එකඟ වෙනවා නම් මේක ජාතික රජයක් වෙන්නේ නෑනේ. සම්මුතිවාදී ආණ්ඩුවක් වෙන්නේ නෑනේ. මේ දෙයින් වෙන්නේ එක මතයකට යට වෙන්නේ නෑ කියන එකනේ. මත ගැටිලා වැඩි සාධාරණ එක එළියට එනවනේ. ඒකනෙ මේ පේන්නේ.
ඒකාබද්ධ විපක්ෂයෙන් ලබන 05 වැනිදා ආණ්ඩු විරෝධතාවයක් තියෙනවා. ඒකට ඔබලගේ ඉඳලා ඉවත් වුණ 16 දෙනෙක් සහභාගී වෙනවා.
මෙතන තියෙන්නේ ඔය 16 දෙනා ඇතුළු පිරිස ඊළඟ පාර කොහොමහරි පාර්ලිමේන්තු පැමිණීමේ අරමුණක්. ඔය 16 දෙනා අවුරුදු තුනක් විතර හිටියේ ආණ්ඩුවේ පඩි අරගෙන යාන වාහන තියාගෙන. මේ සේරම කරගෙන මෛත්‍රී රනිල් ගමන නරකයි කියන්නේ කොහොමද? ඒ කාලේ තේරුණේ නැද්ද? පළාත් පාලන ඡන්දයෙන් ශ්‍රීලනිපයට අවාසියි කියලා තේරුණාම ද මේ අය මහින්ද මහත්තයා ගාවට යන්නේ? මහින්ද මහත්තයා හොඳ වෙන්නේ? නෑ. ඔවුන් කියන්නේ තවදුරටත් ශ්රීලනිපය ආණ්ඩුවේ සිටීම තුළ පක්ෂය විශාල සෝදාපාලුවකට ලක්වෙනවා කියලා ඊට කලින් එකතු වෙන්න ඕන කියලා තියෙන්නේ.
ඔව්. අපිත් ඉන්නවා එකතු වෙන්න ඕන තැන. හැබැයි පරණ විදිහට ශ්රීලනිපය විනාශ කරන්නවත් එක පවුලකට පවරන්නවත් අපි කැමැති නෑ. අපිට ඕන හොරකම, වංචාව නැති බලවේග සමඟ ගමනක් යන්න.
එතකොට ඔබ කියන්නේ රාජපක්ෂවරු කියලා කේන්ද්‍ර කරගෙන විරුද්ධත්වයක් නෑ?
කොහෙත්ම නෑ. හැබැයි හොරකම් කළාම නම කියන්න වෙනවා. දැන් බලන්න ඉස්සෙල්ලා ආණ්ඩුව කාලේ බැසිල් රාජපක්ෂ ආණ්ඩුවක් හදාගෙන සියලු අමාත්‍යංශයන් පාලනය කළා කියලා අපි විවේචනය කළා. දිනේෂ් මහත්තයා, පවිත්‍රා, මහින්දානන්ද, ඩිලාන් අපි ඔක්කොම විවේචනය කළා. ඉතිං බොරුද? ඔය කට්ටියම අතීතය මතක් කරගන්න. දැන් බලන්න තවමත් මැතිවරණයකදී වෙන අයගේ නම් එන්නේ නෑ. මේ ඔක්කොම රාජපක්ෂලාගේ නම්නේ.
පළාත් පාලන ඡන්දයේදී මිනිස්සු ඡන්දය දුන්නේ රාජපක්ෂලාට. එහෙම නම් එළියට එන එක සාධාරණයි නේද? ඒක ඔබලාගේ නොහැකියාව නේද?
මම සරල උදාහරණයක් කියන්නම්. රූපවාහිනියේ සින්දු කියන තරග යනවා නේද? ඒවාවලදී හොඳම ගායකයා තෝරනවා. ජනප්‍රිය ගායකයත් තෝරනවා. ඒත් ජනතාව අතරට යන්නේ ජනප්‍රිය ගායකයා. ඒත් ගුණාත්මක දෙය කරන්නේ දක්ෂතම කෙනා. ඒවගේ දෙයක් තමයි වෙන්නේ. ඒ නිසානේ නිළියොත් පාර්ලිමේන්තුවට ආවේ. රටට වැඩකුත් නෑ. පාර්ලිමේන්තුවට වැඩකුත් නෑ.
දැන් ඔබතුමාලගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල මහත්තයද?
ඔව්.
එතුමා නැවත ඉල්ලන්නේ නැහැ කියලනේ කීවේ?
ඔබ ඇහුවේ පක්ෂයේ තීරණය. ඔව්. එතුමා තවම කියලා නෑ ඉල්ලනවා කියලා. හැබැයි මෙතුමා තමයි අපි දුන්න පොරොන්දු ඉෂ්ඨ කරගන්න පුළුවන් නායකයා. වෙන කෙනෙක් නෑ. ඒ නිසා පක්ෂයක් හැටියට විශ්වාසවන්තම නායකයා එතුමා.
දැන් එජාපයෙන් කෙනෙක් දානවලු. මහින්ද මහත්තයත් රාජපක්ෂ කෙනෙක් දානවලු. ඔබලත් දානවා. ඔබලට හිතෙන්නේ නැද්ද ශ්රීලනිපය දැන් ඉන්න තත්ත්වයෙන් එවැනි තැනකට යන එක භයානකයි කියලා?
මේ තත්ත්වය තාවකාලික දෙයක්. දීර්ඝකාලීන දෙයක් නෙමෙයි. වැටීම තුළ ඊළඟ ජයග්‍රහණය කරා යන සැලසුම වෙනස් වෙනවා.
යම් හෙයකින් ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල මහත්තයා ඉදිරිපත් වෙලා අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් වුණොත් දුමින්ද නවතින්නේ කොතැනද?
මම විශවාස කරනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ඒක කරන්න බෑ කියලා. ඒක කළොත් මේ රටේ ජනතාවට කරන ලොකු අසාධාරණයක්. මොකද පුද්ගලයා වෙනස් වෙලා නැත්නම් අපි රටට දුන්නු පොරොන්දුවලින් එහෙම ගිහින් පෞද්ගලිකව තීරණ ගැනීම වැරදියි.
අවසාන වශයෙන් අහන්න තියෙන්නේ දුමින්ද දිසානායක ඇත්තද එජාපයට යනවා කියන්නේ?
පැහැදිලිවම නෑ. එහෙම කිසිම උවමනාවක් නෑ. මට අමාරුම මැතිවරණය තමයි 2015 මහ මැතිවරණය. නමුත් ඒකත් මම තනියම තරග කරලා දිනුවා.
►ගයාන් ගාල්ලගේ