2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

ආණ්ඩුව දාලා යන තැනට වැඩේ කරනවා

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

ආණ්ඩුව දාලා යන තැනට වැඩේ කරනවා

- පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

ජන බල මෙහෙයුමෙන් පස්සේ දැන් අපිට දකින්න තියෙන ඒකාබද්ධය ටිකක් පසුබෑමක වගේ ඉන්නේ. ආණ්ඩුවේ අය පවා කියනවා ජනබල මෙහෙයුම වැරදුණා කියලා.

ආණ්ඩුවට හැම තිස්සෙම පේන්නේ ඒකාබද්ධය වැරදි විදිහට. ඒත් ඒකාබද්ධයේ කිසිම කඩා වැටීමක් නෑ. ප්‍රශ්නයකුත් නෑ. අපිත් අපේ දේශපාලන උපක්‍රම පාවිච්චි කරනවා. අපි නැගිටින්න ඕන තැන නැගිටිනවා. පසුබසින්න ඕන තැන පසුබසිනවා.

දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ අඩිය පස්සට ගැනීමක්ද?

2015 ජනවාරි 8 වැනිදා ඉඳලා අපි යන්නේ එක්තරා මාර්ග සිතියමක. අපේ ඉලක්කයට තව තියෙන්නේ අවුරුද්දයි මාස 02ක් වගේ කාලයක්. ඒ මාර්ග සිතියමේ යන ක්‍රමය අපි දැන් ඇඳලා ඉවරයි. ඒක අවසානය ජනාධිපතිවරණය.

ආණ්ඩුවෙන් කිව්වේ ජනබල මෙහෙයුම කළේ නායකතුමාගේ පුතා උඩට ගන්න කියලා.

අර කිතුල් ගහට නැග්ග මිනිහත් මොනවාහරි කියන්න එපැයි. ඒත් මම ආණ්ඩුවට අභියෝග කරනවා අපි කඩා වැටිලා නම් රාජපක්ෂවරු අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවානම් හෙට ඡන්දයක් තියන්න කියලා, අපේ බලය පෙන්නන්න.

හැබැයි ඔය කිව්වට ඒකාබද්ධය ඇතුළෙත් ප්‍රශ්න නේද? එක එක අය කියන දේවල් එක්ක ඒ අවුල එළියට පේනවා.

ඔව් ඒකට හේතුවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඒකාධිපති පක්ෂය නෙමෙයි ඒකාබද්ධය. අපේ ඉන්න ඕන කෙනකුට තමන්ගේ මතවාදය කතා කරන්න පුළුවන්. ප්‍රසිද්ධියේ විවේචනය කරන්න පුළුවන්. ඒක අයිතියක්. ඒ නිසා ඔය එජාපයයි අපෙයි තියෙන වෙනස තමයි පේන්නේ.

ඇයි මේ ඒකාබද්ධ විපක්ෂයට රාජපක්ෂවරුන්ගෙන් තොර ලොවක් නැත්තේ? තව නායකයෝ ඉන්නවනේ?

ජනතාවගේ ඉල්ලීම රාපක්ෂවරු නම්, ජනතාවට සේවය කරලා තියෙන්නේ රාජපක්ෂවරු නම් ඒ ජනතාවගේ ඉල්ලීම ඉෂ්ට කිරීමක් නේද? ඔබේ පත්තරේ මාධ්‍යවේදියකු ගිහින් ජනතාවගෙන් අහන්න බහුතර ජනතාවක් ඉල්ලන්නේ රාජපක්ෂවරු. ඒ ජනතා මතය.

හැබැයි ඔය ජනතාවම තමයි රාජපක්ෂවරු එපා කිව්වෙත්. ඒ නිසා ජනතාවට නැවත ඕන කියලා විශ්වාස කරන්න පුළුවන්ද?

අන්න හරි. ජනතාවට ඉතා ඉක්මනින් වෙනසක් වුණා. රාජපක්ෂවරු එපා කියලා කිව්වා. ඒත් දැන් ඒ අයම කියනවා රාජපක්ෂවරු ඕන කියලා. ඔවුන් පිළිගන්නවා වැරදුණා කියලා. ඇයි මේ ජනතාව පොදු අපේක්ෂකයා කියන නමටවත් ඡන්දය නොදෙන තැනකට පත් වෙලා තියෙන්නෙ? දැන් මිනිස්සුන්ට රාජපක්ෂවරුන්ගේ අගේ තේරිලා.

හැබැයි රාජපක්ෂවරු සම්බන්ධයෙන් චෝදනා නගන්නෙම ඒ ආණ්ඩුවේ හිටිය අය. මිනිස්සුන්ගේ නිදහස සීමා කළා කියලා රාජපක්ෂ ආණ්ඩුව.

ඔය ප්‍රකාශ කරලා තියෙන අය ඒ ප්‍රකාශ කරලා තියෙන්නේ තමන්ගේ වාසිය තකා. අපි දන්නවා රාජපක්ෂ ආණ්ඩුවේ කතා කරන්න බැහැයි කියලා කිව්ව අය මේ ආණ්ඩුවෙන් ගිහින් හිටිය හැටි. ඒ අය කළේ වාසියක් මත කිව්ව දෙයක්. මොකද අපිත් වැඩ කළේ ඒ ආණ්ඩුවේ. හැබැයි එහෙම බලපෑමක් තිබ්බේ නෑ.

බැසිල් රාජපක්ෂ මහත්තයා පසුගියදා හදිසියේ ලංකාවට ආවේ දේශපාලන පෙරළියකට කියලා ආරංචියක් තියෙනවා.

බැසිල් රාජපක්ෂ කියන්නේ රටක් විශ්වාස කරන අපිත් විශ්වාස කරන ඉදිරි දැක්මක් තියෙන සංවිධානගත නායකයෙක්. ඉදිරියේ අයවැයක් එනවා. අලුත් අවුරුද්දක් එනවා. ඒ කාලය තුළ යම් තීරණාත්මක වැඩ කිහිපයක් වෙයි. එයට බැසිල් රාජපක්ෂ මහත්තයාගේ තීන්දු බලපානවා.

ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂය ඡන්දයකට කලින් ආණ්ඩුව පෙරළනවා?

අපි ආණ්ඩුව පෙරළනවා කියලා ලොකුවට උදම් අනන්නේ නෑ. හැබැයි ඒකාබද්ධය මැදිහත් වෙලා මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරුද්ධ වෙනකොට ඒ අයට ඉබේටම ආණ්ඩුව අත ඇරලා යන්න වෙයි. හැබැයි එහෙම යනකොට ඒ ආණ්ඩුව අපි ගන්නේ නෑ. අපි ඡන්දයකට ගිහින් ගන්නේ. අපි ජනතා ඡන්දයකින් පත්වෙන්නේ.

ඔබලා අයවැය පරාජය කිරීම සඳහා යම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවද?

සාමාන්‍යයෙන් යුද උපක්‍රම වගේ දේශපාලන උපක්‍රමයක් අපි ළඟ තියෙනවා. ඒවා මාධ්‍යයට කියන්න අමාරුයි.

ජනාධිපති, හිටපු ජනාධිපති, ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් හෙළිවෙලා. ආණ්ඩුවේ අය කියනවා මේක විපක්ෂයේ දේශපාලන උපක්‍රමයක් කියලා. ඔබලා කියනවා මේක ආණ්ඩුවේ වැඩක් කියලා.

මේ මගේ පෞද්ගලික මතය. මේ රටේ තාක්ෂණය දියුණුයි. සිද්ධියේ පැමිණිලිකරැවෙක් ඉන්නවා, විත්තිකරුවෙක් ඉන්නවා. මේක හොයලා බලන්න පුළුවන්. දැන් මාසයක් වෙන්න එනවා තවම කිසිම තොරතුරක් හොයාගෙන නෑ. ඒකෙන් මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් කියලා පැහැදිලිව පේනවා. මොකද එළියට ආවොත් තව තව අයගේ නම් එළියට එන නිසා බයවෙලා ඉන්නේ.

ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් වෙන්නේ කොහොමද? ජනාධිපතිවරයා ආණ්ඩුවේ ඉන්නේ. ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඉන්නේ.

දැන් පේනවනේ මේ ආණ්ඩුවේ ඉන්න පක්ෂ දෙක නයි මුගටි වෙලානේ. දේශපාලන මතවාද මොනවා වුණත් ජනාධිපති කියන්නේ මේ රටේ නායකයා. ඔහු ඝාතනය කරන්න යනවා නම් ඒ ගැන හොයන්න ඕන. ආරක්ෂක ලේකම්තුමා ඝාතනය කරන්න යනවා නම් ඒ ගැන හොයන්න ඕන. ඒක දේශපාලනයට ලඝු කරන්න බෑ. මේවා හොයන්න ඕන.

මේ සියලු ප්‍රශ්න විසඳන්න ඉන්නේ පොලිස්පතිවරයා. නමුත් ඔබලා ඔහුවත් එලවන්න කියනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරයා කරන්නේ නැති එකම දේ පොලිස්පතිකම විතරයි. පොලිස්පතිකම් නොකර ජෝකර් වැඩේ කරන්න ගියාම පොලිස්පතිකම් කරන්න පුළුවන්ද? අපි කියන්නේ ඒකයි.

එජාපයේ මන්ත්‍රීවරු කියන්නේ පොලිස්පතිවරයා රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ හොයන නිසයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ කියලා.

කඳේ පණුවා කඳ කාගෙන කඳේමයි ඉන්නේ. ඒ වගේ ඔය පැවැත්මට කියන කතා. ඔය අන්තිම ටික. පොලිස්පතිවරයා දිවෙන් හොඳයි කිව්වම පපුව නරකයි කියන්නේ.

ඇත්තද පොලිස්පතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න යනවා කියන්නේ?

මේ වගේ කෙනෙක්ට ගෙනාවොත් පාර්ලිමේන්තුවේ ගරුත්වය නැති වෙනවා. හැබැයි මේ නීතිය අතට අරගෙන නීතිය නවන එකට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා.

ඒ ඔබලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන නිසාද?

නෑ. මෙතන තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකරන මිනිස්සු හිර කරන එක තමයි පොලිසිය කරන්නේ. අපිට විතරක් නෙමෙයි ආණ්ඩු විරෝධී හැමෝටම.

හැබැයි ඔය දේවල් ඉස්සෙල්ලා ආණ්ඩුවෙත් ලොකුවට වුණානේ.

රටේ මිනිස්සුන්ගෙන් තමා අහන්න ඕන. ගිය ආණ්ඩුවේ වැරදි සිල්ලර. මේ ආණ්ඩුවේ වැරදි තොග. අපෙත් වැරදි වුණා. මම නෑ කියන්නේ නෑ. හැබැයි මේ ආණ්ඩුව තොග ගානට කරන්නේ. බලන්න මේ ආණ්ඩුව ඔය කිව්ව දේවල්වලින් අල්ලගත්ත දෙයක් කියන්න. දඬුවම් දීපු කෙනෙක් කියන්න. මේවා දෙයියොත් බලගෙන ඉන්නේ.

විධායකය අහෝසි කළ යුතුයි කියන තැන ඔබලා හිටියා. දැන් ජේ. වී. පී. එකෙන් 20 වැනි සංශෝධනය ගෙනාවා ඊට අදාළව. ඒත් දැන් ඔබලා විරුද්ධයි.

ඔව් අපි හිටියා. ඒත් ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් ස්ථාවර ආණ්ඩු තිබෙනවාට කැමති නෑ. ඔවුන් කැමති අස්ථාවර ආණ්ඩුවක් හදන්න. මේක තනිකරම ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක්. ඒ විතරක් නෙමෙයි ඡන්ද ගුණ්ඩුවක්. ඇයි මේක එදා කළේ නැත්තේ? ඇයි මේක අන්තිමට ගෙනාවේ? මේ ඡන්දය කල්දාන වැඩක්. සද්භාවයෙන් ගෙනාපු දෙයක් නෙමෙයි.

ඇයි හිතෙන්නේ නැත්තේ මේ තමයි හොඳම අවස්ථාව කියලා ව්‍යවස්ථාව සංශෝධනයකට?

ඔව්. හොඳම අවස්ථාව. හැබැයි ජයම්පතිලට ඕන විදිහට නෙමෙයි. සියලු දෙනා සාකච්ඡා කරලා කළ යුතු දෙයක් මිසක් ජාත්‍යන්තරයට ඕන විදිහට කරන දෙයක් වෙන්න බෑ.

රට ආර්ථික වශයෙන් හිර වුණේ රාජපක්ෂවරු නිසා කියලා තමයි ආණ්ඩුව කියන්නේ.

ඒ මේ ආණ්ඩුව කියන අමූලික බොරුවක්. මේ රට රජවරුන්ගෙන් පස්සේ. සුදු මහත්වරුන්ගෙන් පස්සේ මේ රටේ හැම ආණ්ඩුවක්ම ණය අරගෙන තියෙනවා. ඒ ගත්ත ණය ගෙවලා තියෙනවා. තියෙන ණය ගැන කතා කර කර හිටියේ නෑ. දියුණු රටක් බාරගත්තේ. මේ ආණ්ඩුව ඒක වැට්ටුවා. මේ අය කිව්වා හොරකම දූෂණය නැවැත්තුවාම ණය ගන්න ඕන නෑ කියලා. දැන් ඒ අය ඒක කරනවද?

ඔබලට චෝදනා කරනවා දේපල වික්කා කියලා.

ඔය ෂැංග්‍රිලා හෝටලය හදපු තැන ඇරෙන්න වෙන විකුණපු දෙයක් කියන්න. අපි තමයි විකුණපු දේවල් ගත්තේ. ඒත් මේ ආණ්ඩුව අවුරුදු 99ක්ම විකුණනවා. මේ වගේ රටේ දේපල විකුණාගෙන කන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ බිහිවෙලා නෑ.

ඔබලාගෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දානවා කියනවා. ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරයා දානවා කියනවා. එකම කට්ටියක් දෙන්නෙක් ඊළඟ ජනාධිපතිවරණය සඳහා දායිද?

අපි ඉස්සෙල්ලම අධිකරණයට යනවා මහින්ද මහත්තයට තරග කිරීමේ අයිතිය ඉල්ලලා. එහෙම බැරි වුණොත් එතුමා ඉදිරිපත් කරන රට ඉල්ලන කෙනෙක් ඉදිරිපත් කරනවා. කවුරු ඉල්ලුවත් අපිට කමක් නෑ.

ඒ කියන්නේ ශ්‍රීලනිප, පොහොට්ටු සාකච්ඡා අසාර්ථකයි.

ශ්‍රීලනිපය නෙවෙයි අපි ඕන පක්ෂයක් එක්ක කතා කරනවා. හැබැයි රට ඉල්ලන කෙනා දෙන්න ඕන. එහෙම නැතුව බලෙන් කෙනෙක් දැම්මොත් ගිලෙන්න වෙන්නේ.

අවසානයෙන් අහන්නේ ඔබ ශ්‍රීලනිපයෙද පොහොට්ටුවෙද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාපයේ වළං හෝදන නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණ ඉෂ්ට කරමින් යනවා.

ඒ කියන්නේ ශ්‍රීලනිප දීගය ඉවරයි?

නෑ. අපි තව බලනවා ශ්‍රීලනිපය හරි මගට ගන්න.

ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00