කැපිලි කෙටිලි නැත්නම් එතන කොහේද දේශපාලනයක්
ඒකාබද්ධ විපක්ෂය ඉරක් ගහලා වෙන්කරන්න බෑ
මේ වෙලාවෙ එජාපයට එකතුවෙන්නේ ඔළුවෙ අමාරැකාරයෝ
අපි කැඩුණොත් පරදින බව ඉතිහාසය පෙන්වා දී තිබෙනවා
අපේ කකුලෙන් අදින අය ගැන ජනතාව බලාගනීවි
ආණ්ඩුව දෙදරලා නොවේ දැන් කෑලි ගිහින් තියෙන්නේ
මෙහෙම ආණ්ඩුවක් ඉතිහාසෙටම බිහි වෙලා නැහැ - ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි
මන්ත්‍රීතුමා ඔබලා ආණ්ඩුවෙන් අයින් වෙලා එළියට ආපු දවසේ ඉඳන් ඉන්නෙ ශ්රිලනිපයෙද? නැත්නම් ඒකාබද්ධයෙද කියලා හරියට පේන්නෙ නෑනේ?
අපි ආණ්ඩුවෙන් අයින් වුණාට තවම ශ්‍රීලනිපයේ සාමාජිකයෝ. හැබැයි පාර්ලිමේන්තුවේ ඒකාබද්ධය නියෝජනය කරන්නේ. ඒකාබද්දෙ ඉන්නවා 69ක්. ඒ 69 ඇතුළේ වැඩිදෙනා ඉන්නේ ශ්‍රීලනිපයේ අය.
එක වෙලාවකට ඔබලා ශ්‍රීලනිපයේ රැස්වීම්වලටත් සහභාගි වෙනවා. තවත් වෙලාවකට ඒකාබද්දෙ රැස්වීම්වලටත් සහභාගි වෙනවා. දැන් ජනතාවට හිතෙන්න පුළුවන් නේද මේක ඩබල් ගේමක් කියලා?
නෑ... නෑ... අපේ කිසිම ඩබල් ගේමක් නෑ. අපි යන්නේ ඒකාබද්ධ විපක්ෂයේ රුස්වීම්වලට විතරයි.
ඒත් සමහර අය තවම ශ්‍රීලනිපයේ තනතුරු දරනවානේ?
ඒවා තනතුරු දරන අයගෙන් අහන්න. අපි නම් තනතුරුවලින් අයින් කරලා තියෙන්නේ. එක දෙයක් කියන්නම් ආණ්ඩුවෙන් ශ්රීලනිපය අයින් වෙච්ච දවසට. අපි ශ්‍රීලනිපයේ රැස්වීම්වලට සහභාගි වෙනවා.
16 දෙනාගේ කණ්ඩායම එළියට බැස්සේ ආණ්ඩුව මෙතැනින් පස්සේ පෙරළනවා කියලා. ඒත් ඔබලගෙන්වත් ආපු බලපෑමකට ආණ්ඩුව හෙල්ලුණේ නෑ?
ආණ්ඩුවට අමුතුවෙන් ප්‍රශ්න දාන්න ඕනෑ නෑ. මේ තියෙන ප්‍රශ්න ටික ඇති. ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ වගේ කුජීත ආණ්ඩුවක් ඉතිහාසයේවත් බිහිවෙලා නෑ. ආණ්ඩුව පෙරළනව කිව්වට ගලක් පෙරළනව වගේ පෙරළන්න බෑ. ඒකට වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙන්නේ. ජනතාව ඒකට මෙහෙයවලා ආණ්ඩුව පෙරළනවා. එහෙම නැතිව ආණ්ඩුව පෙරළන්න ගත්ත තීන්දුවේ කිසිම වෙනසක් නෑ.
ඔය 16 දෙනා ඉවත් වෙනකොට කීවේ නම් අදින් පස්සේ ආණ්ඩුව ඉවරයි කියලා. හැබැයි අයින් වුණායින් පස්සේ එජාපෙ විතරක් නෙමෙයි ශ්‍රීලනිපයේ ඇතැම් ඇමැතිවරුත් කිව්වා මේ ආණ්ඩුව අවුල් කරපු කට්ටිය තමයි ගියේ කියලා?
කටින් එහෙම කිව්වට ආණ්ඩුව දෙදරල නෙමෙයි මේ වෙනකොට ඉරිතලලා තියෙන්නේ. දැනටම කෑලි කෑලි හැලෙන්න පටන් අරන් ඉවරයි. ඔය ඉරිතැලිච්ච ආණ්ඩුව ළඟදීම සුණු විසුණු වෙනවා කියලයි අපිට කියන්න තියෙන්නේ.
ඔබ ඇතුළු පිරිස එළියට බහින කොට කිව්වා මේ ආණ්ඩුවෙන් එළියට ආවේ පළවෙනි කණ්ඩායම කියල. අනික් කණ්ඩායම ළඟදීම එළියට එනවා කිව්වා. ඒත් එක්කෙනෙක්වත් ආවේ නෑ?
කලබල වෙන්න එපා. වෙලාවට එයි.
හැබැයි අපිට ආරංචිය නම් තියෙන්නේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයේ ඇමැතිවරු කිහිප දෙනකුත් එජාපයට එකතු වෙන්න ඉන්නේ කියලා?
මේ තියෙන තත්ත්වය අනුව එජාපයට එකතු වෙන කවුරු හරි ඉන්නවා නම් ඒක ඔළුවේ අමාරුවක්. එහෙම ඔළුවේ අමාරැ තියෙන කෙනෙක් ඉන්නවා කියලා මම හිතන්නේ නෑ.
ඔබලත් එක්ක එළියට බැස්ස දයාසිරි ඇමැතිවරයා මේ වෙනකොට ඉන්නේ එක කකුලක් ආණ්ඩුව පැත්තේ තියාගෙන. ඒ කියන්නේ ඔබලා අතරත් තනි මතයක් නෑ නේද?
අපේ නම් එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. එතුමා තවමත් වාඩිවෙලා ඉන්නේ විපක්ෂයේ. හැබැයි මේ ප්රශ්නය එතුමගෙන් ඇහුවා නම් තමයි හොඳ.
ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම්වලට ඔය 16 දෙනාගේ කණ්ඩායමේ සමහර ජ්‍යෙෂ්ඨයෝ සහභාගී වුණා. ඒ අයට ඒකාබද්ධ විපක්ෂයෙන් තියෙන පිළිගැනීම ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
ඒකාබද්ධ විපක්ෂයේ නායකයා වුණු මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කාරණේ තේරුම් අරන් ඉන්නේ. අපි එතුමත් එක්ක තමයි ජනාධිපතිවරණ දෙකක් ජයග්‍රහණය කළේ. ඒ නිසා අපි කල්පනා කළා රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන හිතලා පෞද්ගලික ප්‍රශ්න අමතක කරන්න. ජනතාවගේ ප්‍රශ්න ඉස්මතු කරලා ඒ හරහා කටයුතු කරන්නත් තීරණය කළා.
ඇත්තද 16 දෙනාට ඒකාබද්ධ විපක්ෂයෙන් කැපිලි කෙටිලි තියෙනවා කියන්නේ?
දේශපාලනයේ කැපිලි කෙටිලි නම් තියෙනවා. හැබැයි ඉතින් අපි බුද්ධිමත්ව පරිණත භාවයෙන් වැඩ කිරීම තමයි හොඳම දේ. දේශපාලනයේ කැපිලි නැත්නම් ඒක දේශපාලනය නෙමෙයි.
ඔබට නම් ගාලු දිස්ත්‍රික්කයෙන් හොඳ කැපිල්ලක් තියෙනවා නේද?
කැපිලි කෙටිලි තියෙන්නේ ජනතාවගෙන් නම් නෙමෙයි. ඔය එක එක අයගෙන්.
හැබැයි ජනතාව තමයි ඔබට විරෝධතාවය දැක්වූවේ?
ඒ ජනතාව නෙමෙයි. 40-50ක් ඇවිල්ලා විරෝධතාවය දක්වන එක විරෝධතාවය නෙමෙයි. මගේ රැස්වීම්වලට 1500ක් 2000ක් එන එකේ මේ 45-50ක් කෑගහන එක විරෝධතාවය නෙමෙයි.
ඇයි මේ චන්දිම වීරක්කොඩිට මෙච්චර කැපිල්ලක් එන්න හේතුව? මොනවා හරි වැරැද්දක්වත් කරලාද?
අපේ රටේ ජනතාව දන්නවා දේශපාලනය ඇතුළේ හයියක් තියෙනකොට තමයි කැපිල්ලක් එන්නේ කියලා. කතාවක් තියෙනවා පල ඇති රුකට තමයි ගල් ගහන්නේ කියලා. හැබැයි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා අපි ආණ්ඩු හදලා තියෙන්නේ එකතුවෙලා කියලා. සියලු පක්ෂ එකතුවෙලා. ඒ නිසා තේරුම් ගන්න ඕනෑ අපි කැඩුණොත් පරදිනවා කියලා. ඉතිහාසයේ බලන්න අපි පැරදිලා තියෙන්නේ කැඩුණු නිසා. අපි ඉස්සෙල්ලා ජයග්‍රහණය කරන්න නම් කට්ටිය එකතු කර ගන්න ඕන. ඒකට තමයි අපි ආණ්ඩුවට ගියේ. අපි ආණ්ඩුවට ගියේ අවුරුදු දෙකකට. හැමෝම අත උස්සලා. අපිට විරෝධතා දක්වන අය තේරුම් ගන්න ඕන ඒ විරෝධතාවය දක්වන්නේ අපිට නෙමේ බුද්ධිමත් ජනතාවට කියලා.
ඔබ කියන්නේ ඒ අයට ජනතාව පිළිතුරු ලබාදෙයි කියලද?
ඔව්. අද අපිට තියෙන්නේ මනාපවල ප්‍රශ්න විසඳගන්න එක නෙමෙයි. අද රට අනතුරක තියෙන්නේ. අපි බලන්න ඕනෑ ඉස්සෙල්ලා මේ ආණ්ඩුව පෙරළන්න. ආණ්ඩුව පෙරළන්න නම් හොඳම දේ සියලු දෙනා එකතු වෙන්න ඕන. එහෙම ආණ්ඩුව පෙරළන්න උත්සාහ කරනකොට කවුරු හරි කෙනෙක් කකුලෙන් අදිනවා නම් ඒ අය ගැන රටේ බුද්ධිමත් මිනිස්සු ප්‍රතිචාර දක්වයි.
ඔය කියන ප්‍රශ්නවලට කණ්ඩායමේ නායකයා වුණු මහින්ද රාජපක්ෂ මහත්තයාට කියල විසඳුමක් ගන්න හැදුවේ නැද්ද?
නෑ එතුමා මේකට විසඳුමක් දෙන්න කටයුතු කරයි. මෙහෙමයි පක්ෂෙක වුණත් විවිධ මට්ටමේ අය ඉන්න පුළුවන්නේ. පෙන්නලා දෙන අරමුණ නොවෙන වෙනත් අරමුණුවල ඉන්න පුළුවන් සමහර අය. ඒ නිසා මේ කණ්ඩායම්වල ඉන්න කොට විවිධ අයත් එක්ක විවිධ ක්රමයේ ගනුදෙනු කරන්න වෙයි. එනිසා ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ඉරක් ගහලා මන්ත්‍රීවරු වෙන් කරන්න පුළුවන් තැනක් නෙමෙයි.
පහුගිය දවස්වල රටේ ජනාධිපති, හිටපු ජනාධිපතියි, එයාගේ සහෝදරයයි හමුවුණා කියලා විශාල කතාබහක් යනවා. විවිධ අය ප්‍රතික්ෂේප කළත් ඒක තමයි ඇත්ත.
අපි කාලයක් දැක්ක දෙයක් තමයි නයාට අඳුකොළ වගේ සිටිය පිරිස් මේ ආකාරයෙන් එකතුවීම. කොහොමද මෙහෙම එකතු වෙන්නේ?
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය තමන්ගේ ස්වාමිපුරුෂයා මරපු ජේ.වී.පී.ය සමඟ ආණ්ඩු කළා නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමන්ගේ දේශපාලන ගමනට බාධා එල්ලකරපු එජාපය සමග එකතු වුණා නම් අවුරුදු ගාණක් දේශපාලනය කරපු කට්ටිය පොඩි කාලයක් ඈත්වෙලා ඉඳලා ආයි එකතුවෙන්න බැරි හේතුව මොකක්ද?
ඒ කියන්නේ අලුත් පාරක යන්න පටන් අරන් නේද?
අලුත් පාරක් නෙමෙයි, තියෙන පාර කාපට් කරලා.
දැන් මේ ප්‍රබල චරිත හමුවෙනවා. ඒත් එජාපයට කිසි ගාණක් නෑනේ මේ හමුවීම් ගැන?
තුෂ්ණිම්භූත වුණාම එයාලට උත්තර දෙන්න අමාරුයි. මේක වෙනුවෙන් කතා කරන්න කියලා ආපු අයත් අන්තිමට ප්රශ්නවල පැටලිලා නතර වුණේ. එතකොට කවුද කතා කරන්නේ.
මන්ත්‍රීතුමා, කට්ටිය කියනවා සභාග ආණ්ඩු හදනවා, භාරකාර ආණ්ඩු හදනවා කියලා. දැන් ඔය විදියේ ආණ්ඩු හදන්න රජයේ ඉන්න අයයි විරුද්ධ පක්ෂයේ ඉන්න අයයි උදව් කරයිද?
මතක තියාගන්න මේ 225න් 196ක් පාර්ලිමේන්තු ඇවිල්ලා ඉන්නේ ජනතා ඡන්දයෙන්. උදේ හවස හම්බවෙන ජනතාව අහන්නේ කවද්ද මේක නතර වෙන්නේ කියලා. අපි මේ බොරුවක් නෙමෙයි කියන්නේ ඔබලාටත් හොයාගන්න පුළුවන්. ඒ නිසා ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගත්තු ඕනම කෙනෙක් ඉන්නේ කොතැනද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එජාපයේත් එහෙම මන්ත්‍රීවරු ඉන්නවා කියලා අපි දන්නවා. ඒ අය අදාළ මොහොතේදී තීරණ ගනීවි.
පහුගිය ආණ්ඩු එක්ක බලද්දි මේ බලය ගන්න හදන්නෙත් ඒ ආණ්ඩුවල හිටිය කට්ටියමයි. දැන් ඒ අය අතරෙ ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයත් පරද්දල ගෙදර යැව්වඋදවිය. ජනතාව කොහොමද විශ්වාස කරන්නේ ඒ අය ආව කියල මේ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න පුළුවන් වෙයි කියලා?
මෙහෙමයි, මහින්ද මහත්තයා, මෛත්‍රී මහත්තයා දැන් එකතුවෙන කතාවක්නේ යන්නේ. මහින්ද මහත්තයාගේ අවුරුදු 10 ඇතුළේ රටට වැඩක් වුණා. රටේ අභිමානයට දෙයක් වුණා කියන එක මිනිස්සු අද පිළිගන්නවා. ඒ නිසා ඒ යුගය ගැන දන්න මිනිස්සු දන්නවා මොකක්ද කරන්න ඕනේ කියලා. කවුද ගෙන්න ගන්න ඕන කියලා.
මේ සියලු දේ අතහැරලා කතා කළොත් හැමෝටම දැනෙන ප්‍රශ්නයක් තමයි ජීවන බර. හැබැයි ආණ්ඩුවේ අයට තියා විපක්ෂයේ අයටවත් ඒ බර ගැන ගාණක් නෑ. ඔවුන් ඉන්නේ අපේක්ෂකයෝ තෝරන පක්ෂයේ ප්‍රශ්න විසඳන තැනක. ඇයි මේ දේවල්වලට දැනෙන දෙයක් නොකරන්නේ?
ජීවන බර වෙනුවෙන් අපි ලොකු උද්ඝෝෂණයක් කළානේ පහුගිය කාලයේ. ඒක ඔබතුමාට මතක නැතිවෙලා වගේ. මට පුදුම ඒක අමතක වුණ එක ගැන. වැඩිම පිරිසක් එදා තමයි කොළඹට එකතු වුණේ.
හැබැයි ඔබතුමා එහෙම කිව්වට ජනතාව හැටියට අපිට තියෙන ප්රශ්නය තමයි ඒ හැම උද්ඝෝෂණයක්ම ආණ්ඩුවේ අයට විහිළුවක් වෙලා තිබීම. ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නෑනේ?
ඒක තමයි අවුරුදු දෙකක්ම අපි ඇතුළේ ඉඳන් කළේ. එහෙම ඇතුළේ ඉඳන් කරපු දේවල් එළියට ආපුවම අපිට කරගන්න විදිහක් නෑ. ඇතුළේ ඉඳලා නවත්ත ගන්න බැරිවුණු දේවල් එළියට ආපුවහම නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. අපි ඔය දේවල් මුලින්ම කිව්වා. ඒ කිසි දෙයක් ගණන් ගත්තේ නෑ. අන්තිමට බැරිතැන තමයි අපි එළියට බැස්සේ.
ඔබලා කියන හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එන්න ඕන. ඔහු ආවා කියලා මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන් වෙයිද?
අනිවාර්යයෙන්ම. අපි සෙල්ලම් කරන්නේ නෑ. ඒ ආණ්ඩුව ඉතා විනිවිද ආකාරයට ජනතාවට වගකියන ආණ්ඩුවක් සකසනවා.
ඔබ මහින්ද මහත්තයයි මෛත්‍රී මහත්තයි දෙන්නත් එක්කම වැඩකළා. දැන් ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද මහත්තයත් කෙනෙක් ඉදිරිපත් කරනවා කියලා. මෛත්‍රී මහත්තයා ඉදිරිපත් වෙනවා කියලත් කියනවා. දැන් ශ්‍රීලනිපයේ අපේක්ෂකයෝ ගොඩයිනේ?
අපේක්ෂකයෝ ගොඩක් ඉන්න එකයි ඒ සඳහා සුදුස්සෝ ගොඩක් ඉන්න එකයි ගැන ඇත්තටම සතුටු වෙන්න එපැයි. එතකොට ජනතාව පිළිගන්න රටට ආදරය කරන හොඳම අපේක්ෂකයා අවශ්‍ය මොහොතේදී රටට ඉදිරිපත් කරන්න පුළුවන්. අනෙකුත් පක්ෂවල එහෙම අපේක්ෂකයෙක් හොයාගන්න බැරි තැනට පත්වෙලා තියෙනවා.
හැබැයි එකම පක්ෂයේ අය අපේක්ෂකයෝ දෙන්නා තුන්දෙනා දානකොට පාක්ෂිකයෝ අනාථ වෙන්න පුළුවන් නේද?
අපි දැනගන්න ඕන ජනතාවගේ ප්‍රශ්න තේරුම් අරගෙන ජනතාව වෙනුවෙන් පෞද්ගලික ප්‍රශ්න අමතක කරලා දාලා එකතුවෙන්න. ඒ නිසා එකඟවෙලා තීන්දුවකට එන එක අනිවාර්යයයි. එහෙම නැතුව කරන්න ගියොත් ජනතාවට විශාල හානියක් වෙන්නේ.
අවසාන වශයෙන් ඔබගෙන් අහන්නේ එක පැත්තකින් මහින්ද මහත්තය ඉදිරිපත් කරන කෙනෙකුත්, අනික් පැත්තෙන් මෛත්‍රී මහත්තයත් තරග කළොත් එදාට චන්දිම වීරක්කොඩි කොයි පැත්තෙද හිටගන්නේ?
මෙහෙමයි, කොයි පැත්තෙන් ඉල්ලුවත් ඒ ඉල්ලන පුද්ගලයා ජනතාවගේ කැමැත්ත වෙන්න ඕන. ජනතාවගේ සිතුම් පැතුම් අඳුනන රටට ආදරය කරන පුද්ගලයෙක් වෙන්න ඕන. ඒ මතයේ තමයි මමත් ඉන්නේ. අපි දේශපාලනය කරන්නේ සෙල්ලමකට නෙමෙයි. මේ රට වෙනුවෙන්. ඒ වගකීම ඉෂ්ඨ කරන්න අපි සූදානම්.
►ගයාන් ගාල්ලගේ