2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ආණ්ඩුව විසුරුවන කතාව මුලින්ම කිව්වේ මම

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 139

►රනිල් මහත්තයගේ මොළේට ගහන්න කෙනෙක් තාම යූ.එන්.පී.යේ නෑ
►මම කිසිම පක්ෂයකට අයිති නැහැ
►මහ බැංකුව කැඩීම ඉඩම් විකිණීම මෛත්‍රීපාල මහත්තයාගෙ වැඩද?
►රනිල් මහත්තයට බහුතරය තිබෙනවා කියලා කොහොමද කියන්නේ?
►රාජපක්ෂවරු එදා පැරදුණේ නැත්නම් ලොකු අවුලක් වෙනවා
►විශ්වාසභංග වැඩේ කථානායකතුමා ඇනුවා

 

 

 

 

මේ වෙනකොට රටේ අගමැති කෙනෙක් නෑ. අමාත්‍ය මණ්ඩලයක් නෑ. හරියට නිකං මුඩු භූමියක් වගේ. අර 2014 ඔබවහන්සේ බලාපොරොත්තු වූ වෙනස දැන් වෙලාද තියෙන්නේ?

මෙහෙමයි. එක එක්කෙනා මේක විවිධ ආකාරයෙන් අර්ථකථනය කරනවා. මම එදා රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධ වුණේ ඔවුන්ට තිබුණේ යූ.එන්.පී. එකට සමාන ප්‍රතිපත්ති. කැසිනෝ කලාප, විදේශ රටවලට ඉඩම් විකිණිලි ඒ වගේ දේවල් තමයි මට වැදගත් වුණේ. පාරවල් හදන ඒවා සංවර්ධන සැලැස්මක් නෙමේ. හැබැයි මේ ආණ්ඩුව ඒ ආණ්ඩුවට වඩා අන්තයි. රටේ ඉඩම් විදේශිකයන්ට ලබාදීම සම්බන්ධයෙන් රාජපක්ෂලට වඩා අන්තයි මේ ආණ්ඩුවත්.

ඒ කියන්නේ ඔබවහන්සේ ජනාධිපතිවරයාගේ තීන්දුවට එකඟ වෙනවා?

ඔව්. මම ජනාධිපතිවරයාගේ තීන්දුවට එකඟ වෙනවා. 

හැබැයි දැන් මේ දෙපාර්ශ්වයම හරි එකඟතාවයක නෙමෙයි ඉන්නේ?

මම හිතනවා එකඟතාවයකට නොඑන්න හේතු ගොඩක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලනවා අර එතුමා ගෙනාපු පරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මගේ විග්‍රහය අනුව නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා තව හිටියා නම් රටක් ඉතිරිවන්නේ නෑ. පැහැදිලිවම කිව්වොත් අපේ ආණ්ඩුවට හරි ප්ලෑන් එකක් තිබුණේ නෑ. විශේෂයෙන් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ ඕන. ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය ඔය කිසිම පක්ෂයකට නෑ. එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකොට කොහොමද එකඟතාවයකට එන්නේ.

සැලැස්මක් නෑ කියන්නේ කොහොමද? ගම්පෙරළිය, ග්‍රාමශක්ති වගේ ව්‍යාපෘති තිබුණේ?

සැලැස්මක් නෑ කියන්නේ මන්නාරමේ ගෑස් තියෙන ළිං දෙකක් මේ වෙනකොට හොයාගෙන තිබෙනවා. ඒක ගන්න ඩොලර් බිලියනයක් වගේ විතරයි වියදම් කරන්න ඕනේ. හැබැයි කියන්න කනගාටුයි පහුගිය කාලේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා තියෙනවා ඩොලර් බිලියන 10කට කොරියාවෙන් ගෑස් අරගෙන විදුලිය නිෂ්පාදනය කරන්න. මේවා කවුරු කරනවාද? කවුරු කැබිනට් පත්‍රිකා දානවද කියලා අපට හිතාගන්න බෑ. පසුගිය සතියේ ටෙන්ඩර් පත්‍රිකාත් එහා මෙහා වෙලාත් තියෙනවා.

දැන් ඔබවහන්සේ ඇයි ජනාධිපතිවරයාගේ තීරණයට එකඟවෙන්න හේතුව?

ඇත්තටම මට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක පෞද්ගලික තරහක් නෑ. හැබැයි එතුමා අරන් ගිය වැඩපිළිවෙළට මම එකඟ නෑ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. පාර්ලිමේන්තුවේ කාට හරි 113ක බහුතරය නැත්නම් බහුතරය තියෙන අයට ආණ්ඩුව දෙන්න ඕන. හැබැයි ජනාධිපතිවරයාගේ පරමාධිපත්‍ය බලයට ගෞරව කරන්න ඕන. එතුමා කිව්වොත් එහෙම විසුරුවන්න ඕන කියලා ඒකට නඩු දාලා හරියන්නේ නෑ. ඒක සාකච්ඡා කරලා විසඳගන්න තිබුණා. මේ හේතුව නිසා අපි පිළිගන්න ඕන රට අරාජික වෙලා තියෙනවා කියලා.

ඔබවහන්සේ තමයි රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පළමුවෙනියටම එළියට බැස්සේ. ඊට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා එජාපයේ සහයෙන් ලක්ෂ 62ක ඡන්දවලින් ජනාධිපති කරන තැනටම අරගෙන ආවා. එතකොට එහෙව් මෛත්‍රීපාල මහත්තයා මේ ජනතා ඡන්දෙට පිටුපෑමක් නේද කළේ?

මම හිතනවා ඒ තර්කය වැරදියි කියලා. අපිට කියන්න බෑ ඡන්දෙ දිනුවට පස්සේ ඒ අපේක්ෂකයා දින්නේ යූ.ඇන්.පී. ඡන්ද වලින් කියලා. එහෙනම් යූ.ඇන්.පී. කාරයෙක් දැම්මම දිනන්න එපැයි. කොහෙවත් ඉන්න පක්ෂෙක ලේකම්වරයෙක් දාලා ඇයි දිනෙව්වේ. ඕනෑම ඡන්දයක ඕනෑම පාටකට අයිති ඡන්ද වැටෙනවා. ඒ වගේම මධ්‍යස්ථ අයගේ ඡන්දත් වැටෙනවා. ඒ මධ්‍යස්ථ අයගේ ඡන්දෙන් තමයි ජනාධිපති පත් වෙන්නේ. ජනතාව පරමාධිපත්‍ය බලය දීලා තියෙන්නේ මෛත්‍රීපාල මහත්තයට. ඒක යූ.එන්.පී. අයට නෙමෙයි. ඒක හැමෝම මතක තියාගන්න ඕන. විහිලු තර්ක කරන්න එපා.

ඒ හැමෝම ඡන්දෙ දුන්න මෛත්‍රීපාල මහත්තයත් ශ්‍රීලනිපයේ සභාපතිකම භාරගන්නවානේ?

පක්ෂයෙන් ආරාධනා කරනවා නම් පක්ෂ සභාපතිකම දෙන්න කැමැති නම් බලයට කැමැති ඕනෑ කෙනෙක් ඒකට එකඟ වෙන්නේ නැද්ද? මතක තියාගන්න මෛත්‍රීපාල මහත්තයා නිසා එක්සත් ජාතික පක්ෂය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජයග්‍රහණය කළා.

යහපාලන රජය පටන් ගත්තේ හොරු අල්ලනවා. වංචා දූෂණ නතර කරනවා කියලා. හැබැයි ඒ කිව්ව අයත් එක්ක තමයි ආණ්ඩු කරන්නේ. ඇත්තටම පයින් ගැහුවේ මෛත්‍රීපාල මහත්තයා නේද?

ඇත්තම කිව්වොත් මම ඡන්දෙ දුන්නෙ හොරු අල්ලන්න නෙමෙයි. ඒ ආර්ථික ප්‍රතිපත්තිය නතර කරලා දාන්න. එතකොට එහෙම බලනකොට එක එක අය ඡන්ද දීලා තියෙන්නේ එක එක හේතු නිසා. හොරු අල්ලන එක මෛත්‍රීපාල මහත්තයාගේ වැඩක් නෙමෙයි. ඒක පොලීසියේ වැඩක්. පොලිසිය පාලනය කළේ යූ.ඇන්.පී. කට්ටිය. ඒක නිසා යූ.ඇන්.පීයෙන් අහන්න ඕන හොරු ඇල්ලුවේ නැත්තේ ඇයි කියලා.

හැබැයි එක්සත් ජාතික පක්ෂයෙන් කියන්නේ සම්පූර්ණ ක්‍රමවේදය අවුල් කළේ මෛත්‍රීපාල මහත්තයා කියලා?

ඒක ඉතින් මිනිස්සු කියන්නේ නෑනේ. ඒ අයනේ කියන්නේ. මම පිළිගන්නෙත් නෑ. දැන් රටේ මහ බැංකුව කඩපු එක, ඉඩම් විකුණපු ඒවා මෛත්‍රීපාල මහත්තයාගේ වැඩද? ඒ ප්‍රතිපත්තිවලට විරුද්ධ නිසයි මම අයින් වුණේ.

හැබැයි එක්සත් ජාතික පක්ෂය සටන අරන් යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා. ඒකේ වරදක් නෑ නේද?

මෙහෙමනේ. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධද නැද්ද කියන එක ඡන්දෙකට ගිහිල්ලා බලන්න කියන්න. ජනාධිපතිතුමා කියනවා මේ ප්‍රතිපත්ති එක්ක තමන්ට ඉදිරි ගමනක් යන්න බෑ කියලා. ජනාධිපතිතුමාට තව තව කාරණා තියෙනවා. එතුමා මරන්න හදපු කාරණාවකුත් තියෙනවා.

එක්සත් ජාතික පක්ෂය ගෙන යන ප්‍රචාරය තමයි ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා කරන සටනක් හැටියට ජනතාවගේ ඔළුවට යනවා නේද ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතුයි කියලා?

මෙහෙමනෙ. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නවාද නැද්ද කියන එක බලාගන්න පුළුවන් හැමෝම එකතුවෙලා මැතිවරණයට ගියාම.

ජනාධිපතිවරයාගේ විරෝධතාවය එජාපයට එල්ල වෙන්නේ ඔහුව ඝාතනය කරන්න උත්සාහ ගත්තා කියන ප්‍රධාන කාරණය උඩ?

ඔව්. එතුමා එක එක කතා කියනවා. ඔය කියන කතාවත් මට ආරංචියි. හැබැයි ඒක ඇත්ත නම් බරපතළ තත්ත්වයක්. එහෙම වුණා නම් ඒ ගැනත් හොයන්න ඕන. මොකද රටේ ජනාධිපති එහෙම ඝාතනය කරන්න උත්සාහ ගන්නවා කියන සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙමෙයි.

හැබැයි මේකෙන් හොරු අල්ලපුවා, සල්ලි හොයාගත්ත ඒවා එහෙමම යට ගියා නේද? තනිකර රඟපෑමක් විතරයි නේද?

ඒවාට ඇත්තම එජාපය වග කියන්න ඕන. ඔවුන් කිව්ව හංගපු සල්ලිවත් තාම හොයාගත්තේ නෑ. ඒ වගේම හොරු ඇල්ලුවෙත් නෑ. ඒවට ජනාධිපති වගකියන්න ඕන නෑ.

මේ අවුල ඇතුළේ සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව ගැටුම්කාරී තත්ත්වයකට මුහුණ දුන්නා. සමහර අය පිහි අරගෙන ආවා. සරම් ඉස්සුවා. හරිම අශීලාචාරයි?

මම එච්චර පහතට දාලා කතාකරන්න කැමැති නෑ. හැබැයි බල පොරයක් තියෙනවා. ඒ බලපොරය නිසා තමයි අද මේ වගේ තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මම ඉන්නේ ඉක්මනින් ඒකට විසඳුමක් හොයන්න ඕන කියන තැන.

මේ තත්ත්වයට හේතුව අලුත් ආණ්ඩුවට බහුතරය පෙන්නා ගන්නා බැරිවීම ගැන?

ඔව්. මම පිළිගන්නවා අපිට බහුතරයක් නෑ කියලා. ඒ නිසා බහුතරය තියෙන කෙනා පැත්තට දෙන්න ඕන. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට බහුතරය තියෙනවා කියලා කොහොමද කියන්නේ? ජේ.වී.පී. එකයි, ටී.එන්.ඒ. එකයි මහින්ද මහත්තයාට විරුද්ධ වුණාට ඔවුන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන හැටියට බහුතර සහායක් ලබාදෙනවා කියලා කොහේවත් කියලා නෑ.

අලුත් ආණ්ඩුවට ආපු විශ්වාසභංගයට මුහුණ දෙන්න බැරි නිසාද මරාගත්තෙ කට්ටිය?

යහපාලන ආණ්ඩුව හැදුවේ පක්ෂ දෙක එකතුවෙලා. ශ්‍රීලනිපය අයින් වුණා පහුගියදා. එතකොට සම්මුතිවාදී ආණ්ඩුවක් නෑ. ජනාධිපතිවරයා ආණ්ඩුව නැති නිසා නව ආණ්ඩුවක් පත් කළා. ඒකටත් බහුතරයක් නෑ.

ඉතින් ඒ බහුතරය නැති නිසානේ විශ්වාසභංගයක් ගෙනාවේ. ඒකටත් කට්ටිය බාල්දි පෙරලුවානේ?

ඇත්ත. ඒ බහුතරය නැති නිසා තමයි අපි කියන්නේ නිසි ක්‍රමවේදයකට මේ වැඩේ කරන්න කියලා. කතානායකතුමා ආණ්ඩුව පිළිගත්තා වගේම ස්ථාවර කාරක සභාවක් පිහිටුවන්න ඕන. ඊටපස්සේ එතුමාට තිබුණා මෙහෙම විශ්වාසභංගයක් ඇවිල්ලා තියෙනවා ඒක සාකච්ඡාවට බඳුන් කළ යුතුයි කියලා. එතුමාට තිබුණා එදිනම හවස කැඳවලා දිනයක් නියම කර ගන්න. එහෙම කළා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් එතුමා කළේ එහෙම නෙමෙයි. එතුමා ජනාධිපතිතුමාගේ විධායක බලය පාවිච්චි කළේ. 

එතකොට ඔබවහන්සේ කියන්නේ කතානායකවරයා පක්ෂග්‍රාහියි කියලද?

පැහැදිලිවම පක්ෂග්‍රාහියි. කතානායකවරයා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්. අපි එතුමාව ගොඩක් විශ්වාස කළා. නමුත් එතුමා හදිස්සි වුණා. එතුමා කොච්චරද කියන්න ජනාධිපතිවරයා විසින් පත්කරපු අගමැතිවරයාට මන්ත්‍රීවරයා කියලයි ආමන්ත්‍රණය කළේ.

ජනාධිපතිවරයා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ තව කට්ටියට කතා කළා කියලා අගමැති ධුරය බාරගන්න. ඒ කාරණයේ ඇත්තක් තියෙනවාද?

ඇත්ත. ඒ කාරණය මම දන්නවා. කතානායකතුමාටත් කතා කළා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් නායකයාට ඉහළින් යන්න ගියේ නෑ. ඔවුන් සියලු දෙනා පිළිගත්තේ රනිල් වික්‍රමසිංහ තමයි අගමැති හැටියට.

මේ සියලු ප්‍රශ්නවලින් මිදෙන්න ජනාධිපතිවරයා කළේ ආණ්ඩුව විසුරුවපු එක. ඒක හරි වැඩක්ද?

මෙහෙමයි. ආණ්ඩුව විසුරුවන කතාව මුලින්ම ගෙනාවේ මම. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විශ්වාසභංගය ආ වෙලාවේ. ඒ වෙලාවේ මම කිව්වා අපි එකඟතාවයකට එමු කියලා මාස හයකින් මහ මැතිවරණයකට යනවා කියලා. ඒත් ඒක වුණේ නෑ. ඒකට රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි එකඟ නොවුණේ වෙනත් අය. එහෙනම් ජූනි මාසයේ මැතිවරණයක් එන්න තිබුණේ. එදාත් මම සියලු පාර්ශ්ව එක්ක සාකච්ඡා කරලයි මේක කිව්වේ.

ඒ කියන්නේ මහ මැතිවරණයකට යා යුතුයි?

අනිවාර්යයෙන්ම. එහෙම ගියාම මේ ප්‍රශ්නය විසඳෙනවා ජනතා බලයෙන්. මම කියන්නේ භාරකාර ආණ්ඩුවක් පත් කරලා මාස තුනකින් මැතිවරණයකට යමු කියලා. එතකොට ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන්. නමුත් කවුරුත් අකමැතියි. හේතුව හොරකම් කරන්න තියෙන සල්ලි තියෙනවානේ. ඒ ටික හොරාකනකම් නින්ද යන්නේ නෑ.

ඔබවහන්සේ කියන්නේ බහුතරයට ආණ්ඩුව දෙන්න ඕන කියලා. හැබැහි ජනාධිපතිවරයා කියනවා 225 අත්සන් කළත් දෙන්නේ නෑ කියලා?

මෙහෙමයි. එතුමත් ඒක සාකච්ඡා කරලා පැහැදිලි කරලා දෙන්න ඕන. භාරකාර ආණ්ඩුවක් පත් කරගන්න ඕන. එහෙම නොවුණොත් මේ රට ලේ විලක් වෙනවා. දෙපාර්ශ්වයේ මිනිස්සු ගහ බැණගෙන මරා ගන්න තැනට එනවා. ඒ තත්ත්වය වහාම නතර කළ යුතුයි. ඒ කළ හැක්කේ ඡන්දයකට පමණයි. 

එජාපය කියන්නේ ඡන්දයකට යනවා නම් ඉස්සෙල්ලා ඒ ගොල්ලන්ට බලය ලැබිය යුතුයි කියලා?

ඉතින් හරි. මම කියන්නේ දෙපාර්ශ්වයම එකතුවෙලා බහුතර කැමැත්තෙන් අගමැති කෙනෙක් පත්කර ගනිමු. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයක් පත්කර ගනිමු. හැමෝම එකතුවෙලා මාස තුනකට ඒ ආණ්ඩුව අරගෙන යමු. කාට වුණත් අගමැතිකම ගියාට කමක් නෑ. 

ඔබවහන්සේ ඉන්න තැන නෙමෙයි ජාතික හෙළඋරුමය ඉන්නේ. ඔවුන් එජාපයත් එක්ක එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදයට සටන් කරනවා?

මම හෙළඋරුමයේ ක්‍රමවේදය විවේචනය කරන්නේ නෑ. මම මගේ ක්‍රමවේදය අරගෙන යනවා. ඒ ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට. මම කැමැති නෑ කාවවත් විවේචනය කරන්න. මොකද මට සමාජ වටිනාකමක් තියෙනවා.

බහුතරය හදාගන්න මන්ත්‍රීවරු එහෙට මෙහෙට පැන්නා. ඒ මුදල්වලට කියලා කියන්නේ. ඔබවහන්සේට එහෙම යෝජනා ආවේ නැද්ද?

මම ඔය මුදල් ගැන සිද්ධි දන්නේ නෑ. කොහොමත් මට ඒ වගේ යෝජනා කරන්න එන්නෙත් නෑ. හේතුව මගේ ස්ථාවරය ගැන බොහෝ දෙනා දන්නවා. ගනුදෙනුත් වෙනවා ඇති සමහර විට. මට මේ සියලු දෙනා ගැන කලකිරීමක් තියෙන්නේ. බලලෝභී කණ්ඩායමක් ඉන්නේ. 

එජාපයෙන් නම් කියන්නේ ජනාධිපතිවරයා මේ තීන්දුව ගත්තේ නැවත ජනාධිපතිවරණය සඳහා හීන මවාගෙන කියලා?

ඒ ගැන මට සුද්ද කරන්න බෑ. ඒත් මම දන්නේ නෑනේ හේතුව මොකක්ද කියලා. බලඅරගලයේ ගේම් තියෙන්න පුළුවන්. එහෙම නෑ කියලා මට පිරිසුදු කරන්න උවමනා නෑ.

අපි කවදාවත් දැකලා නෑ විධායකය ගත්ත තීන්දුවක් මේ ආකාරයෙන් ප්‍රශ්න කෙරෙනවා. අධිකරණයෙන් හෝ ඕනෑම ආයතනයකින්. ඒත් වර්තමානයේ විධායකය ගත් තීන්දු තීරණ ප්‍රශ්න කෙරෙන තැනකට ඇවිත් තිබෙනවා?

මෙහෙමයි. මෙතැන ව්‍යවස්ථා විසංවාදයක් ඇවිත් තිබෙනවා. අපි මේක සන්සුන්ව බලන්න ඕන මේක ලිහාගන්නේ කොහොමද කියලා.

ජනාධිපති තීන්දුවෙන් වුණේ යූ.ඇන්.පී. එක අනාථ වීම නේද?

මෙතැන වුණේ පක්ෂෙක නැති කෙනෙක් ජනාධිපති කළාට පස්සේ එතුමාට පක්ෂයක් හම්බවුණා. අපිට එතැනින් වැරදුණා. ඒ නිසා යූ.ඇන්.පී. එකත් දැන් තේරුම් ගන්න ඕන මීටපස්සේ පොදු අපේක්ෂකයෙක් ගෙනැල්ලා ඉදිරිපත් නොකර ඉන්න. අවුරුදු 24කට එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා නෑ. දැන්වත් ඒගොල්ල පාඩමක් ඉගෙන ගන්න ඕන. තමන්ගෙ පක්ෂයෙන් කෙනෙක් හොයාගන්න බැරිකමේ ප්‍රතිඵලය තමයි.

හැබැයි ඔබවහන්සේම නේද එජාපය පොදු අපේක්ෂක සංකල්පයට නැව්වේ?

මම දේශපාලනයේ විභවයන් සැලකිල්ලට අරගෙන. එදත් යෝජනා කළේ එහෙමයි. මම දන්නවා එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා එජාපයේ ඇතුළේ කෙනෙකුට අපේක්ෂකත්වය දෙන්නේ නෑ. ඒ නිසයි පිට කෙනෙක්ව අපි ගෙනැත් දැම්මේ. සෝභිත හාමුදුරැවෝ කරු ජයසූරිය මහත්තයා ඉස්සර කරන් ගියේ. මම ඒකට කර ගහන්න ගියේ නෑ. මොකද මම දන්නවා රනිල් මහත්තයා ඒකට විරුද්ධයි.

එජාපය කියන්නේ ඉස්සෙල්ලම ජනාධිපතිවරණයක් අවශ්‍යයි කියලා?

ඒකට ඉතින් ජනාධිපතිතුමා එකඟ වෙන්න ඕන. මේක චෙස් ක්‍රීඩාව වගේ.

ඔබවහන්සේ හිතන්නේ ඊළඟට නැවත බලයට එන්න ඕන රාජපක්ෂවරු කියලමද?

දේශපාලන ප්‍රවාහයට ඇවිල්ලා බැලුවම රාජපක්ෂවරු පැරදිලා ඉවරයි. ඔවුන්ට දැන් හිතන්න කාලය ඇවිත් තියෙන්නෙ අලුත් විදිහට. ඒ අය වැරදි වැඩ කරලා තියෙනවා නම් වෙනස් වෙන්නත් පුළුවන්. මේ රටේ මිනිස්සු රාජපක්ෂවරුන්ට ගරු කරන්නේ යුද්ධය අවසන් කරපු නිසා. මේ හේතුවෙන් ඔහු පොළොවට ඇදලා ඉවරයි. ඒකෙන් වුණේ ඔහු වටා හොඳ සමාජ බලවේගයක් ගොඩනැගුණා. හැබැයි ඒ වගේම කියන්න ඕන යූ.ඇන්.පී. එක ඇතුළෙත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මොළයට ගහන්න කෙනෙක් තාම ඇතුළේ හැදිලා නෑ. ඒකෙන් කියන්නේ නෑ එතුමා හොඳයි කියලා. එතුමාගේ ප්‍රතිපත්තිවලට මම එකඟ නෑ. මම දැන් අත්දැකීමෙන් දන්නවා එතුමත් එක්ක කවදාවත් වැඩක් කරන්න බෑ.

ඒ කියන්නේ රාජපක්ෂවරුත් එක්ක වැඩ කරන්න පුළුවන් එකට?

මම හිතන්නේ රාජපක්ෂවරු ජනතා බලවේගවලට නම්ම ගන්න පුළුවන්. ඒ ශක්තිය මට නෑ. නමුත් හොඳ ජනතා බලවේගයක් හැදුවොත් මේ දොගොල්ලන්ගෙන් කවුරු හරි කෙනෙක් ඒ ජනතා බලයට නම්මා ගන්න පුළුවන්. නමුත් මගේ පෞද්ගලික අදහස මේ දේශපාලන විභවය වෙනස් වෙන්න ඕන. නව දේශපාලන සංස්කෘතියක් නව මුහුණු මේ දේශපාලනය තුළ බිහිවෙන්න ඕන. 

මට දැන් කියන්න ඔබවහන්සේ කුමන කඳවුරේද ඉන්නේ කියලා?

මම යූ.එන්.පී.වත් ජේ.වී.පී.වත් ශ්‍රී ලංකාවත් මහින්දවාදියෙක්වත් නෙමෙයි. මම ස්වාධීන අදහස් දරන කෙනෙක්. හරි දේ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. මේ රට විනාශ මුඛයට යනකොට ඒක ජනාධිපතිවරයා මැදිහත් වෙලා බේරගත්ත එක ගැන මම සතුටු වෙනවා. ඒකයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ තීරණයට මම එකඟ වෙන්නේ.

දැන් අවුරුදු තුනක් ගෙවිලා. ඔබවහන්සේ තමයි යහපාලන රජයේ පළමුවැනි කසකරු. දැන් හිතෙන්නේ නැද්ද කළේ වැරුද්දක් කියලා?

මොනවා කිව්වත් එදා රාජපක්ෂවරු මේ අවුරුදු තුනත් හිටියා නම් විශාල අවුලක් වෙන්න තිබුණා. ඒක පෙරළපු එක ගැන ඒක නැවතිච්ච එක ගැන මම සතුටු වෙනවා. හැබැයි ඒක නැවතුණාට ඊට පස්සේ හොඳ දෙයක් වුණේ නෑ. දැන් තියෙන්නේ මේ වෙනදේත් නවත්වලා හරි පාරට රට අරන් යන එක.

►ගයාන් ගාල්ලගේ
සේයාරුව I සුමුදු හේවාපතිරණ