රජයේ සේවකයන්ට පඩිනඩි ගෙවීමටවත් මුදල් නැතැයි ජනාධිපතිතුමා කියා ඇත. අනෙකුත් තැන්වල මෙන්ම අපේ කාර්යාලයේ ද ලොකු කුඩා සියලු සේවකයින් මින් කැළැඹීමට පත්බව අමුතුවෙන් කිව යුතු නැත.
රැකියාව යනු ජීවිකාවය. එයට බඩ රස්සාව යැයි කියන්නේ එනිසාය. එහෙත් අනෙක් අතින් එය සේවාවක් ද වෙයි. විශේෂයෙන්ම රජයේ රුකියාව රජයේ සේවයක් වන්නේ එහෙයිනි. එය රජයට මෙන්ම මහජනතාවට ද කරනා සේවාවකි. ඒ සඳහා වැටුපක් ද ගෙවනු ලැබේ. සමහරුන්ට වැටුපට වඩා සේවය ලොකුය. එසේම තවත් සමහරුන්ට සේවයට වඩා වැටුප වැදගත්ය.
සම්මුඛ පරීක්ෂණවලට එන බොහෝ දෙනා “කීයක් බලාපොරොත්තු වෙනවා”දැයි ඇසූ විට කෙළින් පිළිතුරක් නොදෙති. දෙන ගාණකට වැඩ කරන්නට සූදානම් බව අඟවති. ඔවුන්ගේ අරමුණ, පළමුව කෙසේ හෝ රැකියාව අතට ගැනීමටය. වැඩි වැටුප් ලබාගැනීම සඳහා වෘත්තීය සමිතියට බැඳෙන්නේ ඊට පසුවය.
එක් සිනා කතාවක කියැවෙන පරිදි, තරුණයෙක් කිසියම් ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට පැමිණෙයි. අවශ්‍ය ලිපි ලේඛන යනාදිය පරීක්ෂා කිරීමෙන් පසු, ආයතන ප්‍රධානියා මෙසේ කියයි.
“මම ඔහෙට මුල් මාස තුනේ, දවසට රුපියල් හත්සිය පනහ ගාණේ පඩි ගෙවන්නම්. මාස තුනකට පස්සේ ඒක දාහකට වැඩි කරන්නම්.”
“හොඳයි සර්... මම කැමතියි”
“එහෙමනම් කවද ඉඳල ද වැඩට එන්න පුළුවන්.”
“මාස තුනකින් එන්නම් සර්”
විදේශ රැකියාවක යෙදී සිටි පුද්ගලයෙක් අප ආයතනයේ රැකියාවක් ලබා ගැනීමට පැමිණියේය. ඔහු පැවසුවේ පුදුම කතාවකි.
“මට ජීවත් වෙන්ඩ සල්ලි තියෙනවා. ගෙදර නිකන් ඉන්න කම්මැලියි. මොකක් හරි ජොබ් එක්ක දෙන්න. පඩිය ප්‍රශ්නයක් නෑ.”
“මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන්ද?”
“අපොයි පුළුවන්.”
“දවස් හයක් වැඩ කරන්න කැමති ද?”
“මම රට ඉද්දී දවස් තුන්සිය හැටපස් දවසම වැඩ කෙරුවා.”
ඔහුට රැකියාවක් ලැබුණේය. එහෙත් ඔහු හරියකට වැඩක් කළේ පළමු මාසය පමණි. ඉන් පසු අලස සුවයෙන් කල් ගෙවන්නට විය. දිගට හරහට නිවාඩු ගත්තේය. පඩි මදියැයි මැසිවිලි නැඟුවේය. අන්තිමේට රස්සාව නැති කරගෙන කම්කරු උසාවි ගියේය.
පසුගිය සති අන්තය දීර්ඝ එකක් වූයේ අඟහරුවාදාට පෝයක් යෙදී තිබීම නිසාය. සඳුදා ද නිවාඩු දැමූ බොහෝ දෙනා යළි වැඩට ආවේ බදාදාය. ගෙදරින් ද උදේට තේ බී එන සිරිදාස කැන්ටිමෙන් ද නැවත තේ බීම සිරිතය. ඒ අතර ඔහු කතාවට බැස්සේය.
“මේ අවුරුද්දෙ නිවාඩු අඩුයි. හුඟාක් නිවාඩු වැටිලා තියෙන්නෙ සති අන්තයටමයි... ලෝන්ග් වීක්එන්ඩ්ස් නැති පාටයි.”
“මරු තමයි. පඩිත් නැතුව අවුරුද්ද පුරාම වැඩ කරන්ඩ වෙන්නෙ.”
දිසා කීවේය.
“පඩි ගෙවන්ඩ සල්ලි නෑ කියන්නෙ ඇත්ත ද? මහා භාණ්ඩාගාරේ ඔය තරමටම බංකොලොත්ද?” තවකෙක් ඇසුවේය.
“කුඩුකාරයෙක්ගෙ ගිණුම්වල කෝටි දාහක් තිබුණලු. ඉතින් රටේ සල්ලි තියෙයියැ.”
දිසා සිනාසුණේය.
“මිනිහට කිව්ව නම් අපේ පඩි ගෙවයි.”
අසල මේසයක සිටි සැම්සන් ද කොනක් ඇල්ලුවේය. කතාව දිග් ගැස්සුණේය.
“මැති ඇමැතිවරුන්ගේ පඩි ගෙවන්ඩ සල්ලි තියෙනවද?”
“නැතුව කොහොමද රටට ජනතාවට සේවය කරන්නේ?”
“ඒක මහජන සේවයක් නිසා පඩි නොගෙන ඉන්න බැරිද?”
“එතකොට අල්ලස් ගන්ඩ වෙනවා. ඒකනේ ජේ.ආර්. ජනාධිපතිතුමා මන්ත්‍රීවරුන්ට පැන්ෂන් එක්ක පඩියක් දෙන්ඩ යෝජනා කෙරුවේ.”
“දැන් රටේ ආර්ථිකේ හැටියට නම් මන්ත්‍රී වැටුප් නවත්තලා. අල්ලස් නීතිගත කළත් පාඩු නෑ.”
“කුඩුකාරයො ටික එල්ලල මාරුවට පස්සේ ඒ අයගේ ගිණුම්වල තියෙන ධනස්කන්ධය මහා භාණ්ඩාගාරෙට ගත්තම අපිට පඩි ගෙවතැකි.”
“පඩි අරගෙනත් අමාරුවෙන් ජීවත්වෙන අපි පඩි නැතුව වැඩ කරගෙන යන්නේ කොහොමද? මගේ පඩියෙන් බාගයක්ම යන්නේ ටියුෂන් ක්ලාස්වලට.”
“අපිට පඩි නැත්තම් ඒ ගොල්ලන්ටත් නොමිලේ සේවය කරන්ඩ වෙයි.”
“කවුරු නොමිලේ සේවය කළත් මුදලාලිලා අපිට නිකන් බඩු දෙයිද?”
“ආණ්ඩුවට තියෙන්නෙ පඩිය වෙනුවට ක්‍රෙඩිට් කාඩ් දෙන්ඩ... කවදා හරි ආර්ථික අර්බුදය ගොඩගියදාක ඒ බිල් ටික ගෙවලා දාන්ට කියමු ට්‍රෙෂරියට.”
“ට්‍රෙෂරියෙ අර්බුදයක් නෑ සහෝදරයා අර්බුදය තියෙන්නෙ සිස්ටම් එකේ.”
රතු විමලේ කතාව වෙන පැත්තකට හැරවීමට උත්සාහ කළේය.
“තමුසෙලා සිස්ටම් එක වෙනස් කරනකල් අපිට පඩි නැතුව වැඩ කරන්ඩ ද කියන්නේ?”
“කැපුවත් කොළ ඩඩ්ලි” විරෝධයක් පෑවේය.
“මැතිවරණ කොමසාරිස්ටත් පඩි නැතිවෙයි නේද?”
“එහෙනම් මෑන් ඡන්දෙ තියන එකක් නෑ.”
“රජයේ සේවකයන්ට පඩි ගෙවන්ඩ බැරි නම් ඡන්ද තියලා වැඩකුත් නෑ. පරදිනවනේ.”
“විපක්ෂයටනෙ ඡන්දයක් ඕනෑ වෙලා තියෙන්නෙ. ඒ නිසා ඒ ගොල්ලන්ගෙ අරමුදල්වලින් අපට පඩි ගෙවන්ඩ ඉඩ තියෙනවා.”
“එතකොට මැතිවරණ නීති උල්ලංඝනය වෙනවා.”
“පිටරට සංවිධානයකින් ණය අරන් පඩි ගෙවන්ඩ බැරිද?”
“එතකොට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නවත්තන්ඩ වෙනවා.”
“ජනාධිපතිතුමාත් හිටපු රජයේ සේවකයෙක්නෙ. කතාවට කිව්වට පඩි නොගෙවා ඉන්න එකක් නෑ.” දිසා හිත සනසා ගත්තේය.
“නෑ... නෑ... ළඟදිම රජයේ සේවය කියන නම වෙනස් කරලා ස්වෙච්ඡා සේවය කියලාදායි! එතකොට පඩි ප්‍රශ්නය ඉබේටම විසඳෙනවා.”
රතු විමලේගෙ කතාවට සියල්ලෝ සිනාසුණහ. මේ රටේ බොහෝ ප්‍රශ්නවලට කළ හැක්කේ සිනාසීමට පමණි.
►කපිල කුමාර කාලිංග