2019 මාර්තු 16 වන සෙනසුරාදා

ඇමැතිවරු රට රට!

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

මා සංචාරයෙහි බොහෝ ඇලුම් කරන්නෙකු බව මගේ මිතුරෝ දනිති. ගමන් විත්ති පොත් දෙක තුනක්ද ලියා පළකරන්නට ලැබුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. කෙසේ වෙතත් මා සුඛෝපභෝගී පන්තියේ සංචාරයකයකු නම් නොවේ. හොඳ සංචාරකයකුට “බූරු පිටක් සහ ඌරු හොටක්” තිබිය යුතු යැයි කියමනක් ඇත. මටද ඒ දෙකම ඇත. බූරු පිට ඕනෑම තැනක වැටී නිදන්නටය. ඌරු හොට ලැබෙන ඕනෑම දෙයක් කෑමටය.

පසුගිය දිනවල මගේ දකුණතේ ඇති වූ ආබාධයක් නිසා දුර ගමන් බිමන් තහනම් කෙරුණි. මට එසේ කල් ගෙවීම “උලේ තිබ්බා” වැනිය. ඔය අල්ල පනල්ලේ නැවත වරක් වාසිබෝලන්තයට යාමට පිනා චාන්ස් එකක් ලැබීම ඉබ්බා දියට දැමීමක් බඳු විය.

අප්‍රිකා මහද්වීපයේ ඈත මුල්ලක පිහිටි වැඩි ප්‍රසිද්ධියක් හෝ දිගු ඉතිහාසයක් නැති වාසිබෝලන්තයේ මාධ්‍ය මිතුරන් ගැන මීට ඉහතදී මා මේ තීරුවෙහි ලියා ඇත.
ලෝකයේ කොතැනත්, මාධ්‍යකාරයෝ හොඳට කනබොන මිනිස්සුය. රස කතාකාරයෝය. වාසිබෝලන්තයේදී මට උණුසුම් පිළිගැනීමක් ලැබෙයි. සංග්‍රහ සත්කාර ද උසස්ය. එහෙයින් සති අන්තයකට හෝ එහි යාමට ලැබීම මහත් සතුටකි. එහෙත් පොඩි ගැටලුවක් ද ඇත. වාසිබෝලන්තයට ගොස් ටික දවසක් ගතවෙද්දී එයද අපේ සිරි ලංකාව මෙන් දැනෙන්නට ගනී!

බොහෝ දෙයින් දෙරටම සමාන වීම එයට හේතුවය. එක දෙයක් විශේෂයෙන් තියෙනවා නම් ඒ රටේද මැති ඇමැතිවරු රටේ නැත. ඉන්නේ අහසේය. නැත්නම් ඈත රටවලය. මෙවර චාරිකාව පිටත්වීමට කටුනායක ගුවන් තොටුපොළට ගිය මොහොතේ එහි සිටි ඇමැතිවරු දෙතුන් දෙනෙක්ම මගේ ඇස ගැටුණි. තරමක දැන හැඳුනුම්කමක් තිබූ ඇමැතිවරයකු වෙත ගිය මම, මෙසේ ඇසුවෙමි.

“ඇමැතිතුමා කවුරුහරි පිළිගන්න ආවද? නැත්නම් රට යන්න ආවද?”

“රට යන්න.... රට යන්න....”

“කොහෙටද යන්නේ ඇමැතිතුමා?”

“මාත් තාම හරියට දන්නෙ නෑ. මගේ ලේකම් තමයි දන්නේ”

“සම්මන්ත්‍රණයකට වෙන්න ඇති නේද?”

“එහෙම මොකක්හරි හරි ඇති. දන්නැද්ද ඉතින් පොඩි ජොලියක් දාලා එන්ඩ පුළුවන්නේ..”

මම කතාව එතැනින් නතර කළෙමි. ඇමැතිතුමා පොඩි ජොලියක් දාගත්තාට අපට කමක් නැත. එහෙත් ඒ ජොලියට යන වියපැහැදම් සේරම මහජනතාවගෙන්ය.
ගුවන් යානයේදීද මට අපේ ඇමැතිවරයෙක් මුණගැසුණි.

“ඇමැතිතුමා කොහෙද යන්නේ?”

“අමෙරිකාවට යනවා”

“ගිවිසුමක් අත්සන් කරන්න වෙන්නැති?”

“නෑ.. නෑ.. මගේ පුතා එහෙ විශ්ව විද්‍යාලෙකනේ... මිනිහව බලලා එන්ඩ යනවා.”

ඇමැතිවරුන්ගේ දූ දරුවන් උසස් අධ්‍යාපනය ලැබුවාට අපට ප්‍රශ්නයක් නැත. එහෙත් ඒවාට වැය වන මිලියන ගණන් මුදල් ලැබෙන්නේ කොහෙන්දැයි සොයා බැලිය යුතුය.

පුදුමයකට මෙන්, වාසිබෝලන්තයේදී ද මට අපේ රටේ ඇමැතිනියක මුණගැසුණි. ඒ අස්ජබාර් මුහුදු වෙරළේදීය. එය සංචාරක ආකර්ශනය දිනා ගත් සුන්දර වෙරළ තීරයක් ලෙස ප්‍රකටය.

නාන ඇඳුමින් සැරසී, ලී බංකුවක දිගා වී සිටි ඇමැතිනිය වෙත ළං වූ මම මෙසේ ඇසුවෙමි.

“ඔබතුමී නිවාඩුවක් ගත කරන්න ආවා වගේ?”

“නෑ.. නෑ.. මම මේ ජිනීවාවල වැඩකට යන ගමන්. පොඩි විවේකයක් ගන්න මෙහෙ ආවා. මං මේ බීච් එකට හරි ආසයි.”

“මීට වඩා ලස්සන වෙරළවල් අපේ රටේ තියනවා නේද?”

“ඒ වුණාට මේ නිදහස නෑනේ”

ඒ ඇමැතිනිය තමන්ගේ රටේ නැති නිදහසක් වෙනත් රටකදී භුක්තිවින්දාට අපේ අමනාපයක් නැත. එහෙත් ඒ නිදහස ලැබීමට වැය වන්නේ ඇමැති වැටුපේ මුදල් පමණක් ද යන්න සොයා බැලිය යුතුය. නොඑසේනම් ඇගේ පෞද්ගලික නිදහස ගැන අපට ප්‍රශ්න නැත.

මම මගේ සිරිලංකාවට බොහෝ ගෞරව කරමි. එහෙයින් වාසිබෝලන්ත මාධ්‍යවේදීන් සමඟ “ඇමැති කතා” කිසිවක් නොකීමට වගබලා ගත්තෙමි. එය මාධ්‍යවේදියකු වශයෙන් මගේ පැවැත්මටද හිතකරය.

මා හදිසියේම වාසිබෝලන්තයට ගියේ එහි පැවැති මාධ්‍යවේදීන්ගේ සමුළුවකට සහභාගී වීමටය. ඒ කටයුතු නිමවීමෙන් පසු එරට ජනමාධ්‍ය ඇමැතිවරයා සමඟ සාකච්ඡාවක යෙදීමට මට අවශ්‍ය විය. ඒ පිළිබඳව මගේ මිත්‍ර එරට මාධ්‍යවේදියකුගෙන් විමසුවෙමි. එවිට ලැබුණේ මට මේ රටේදී ලැබෙන ආකාරයේම පිළිතුරකි.

“අනේ අපිත් එතුමව කාලෙකින් දැක්කෙ නෑ.”

“කාර්යබහලු ඇති නේද?”

“නෑ.. නෑ... එතුමා රට ගිහින්”

“එහෙමනම් සංචාරක කටයුතු ඇමැතිතුමා මුණගැහෙන්න බලමුද?”

“එතුමත් විදේශ සංචාරයක ගිහින්”

“මුදල් ඇමැතිතුමා?”

“එතුමා බජට් එකට පස්සේ නිවාඩුවක් ගන්න ගිහින් ප්‍රංශෙට”

“සෞඛ්‍ය ඇමැතිතුමා?”

“එතුමත් රට. බෙහෙත් ගන්න ගිහින් සිංගප්පූරුවට.”

“වෙන කවුරුහරි ඇමැති කෙනෙක් මුණගැහෙන්න පුළුවන්ද?

“ඒකනම් හරි අමාරු වැඩක් යාළුවා.. අපේ ඇමැතිවරු හැම තිස්සෙම ඉන්නේ පිටරට. අපිටත් ඒගොල්ලෝ මුණගැහෙන්නේ පිටරට ගිය වෙලාවලදී.
“එතකොට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයයි, කතානායකයයි තාම ඉන්නවනේ.”

“කතානායක රට යන්නේ නැද්ද?”

“එතකොට සභා නායක ඉන්නවනේ”

“සභා නායක රට යන්නේ නැද්ද?”

“එතකොට විපක්ෂ නායක ඉන්නවනේ.”

“විපක්ෂ නායක රට යන්නේ නැද්ද?”

“නෑ. එයා බලන් ඉන්නේ කොයි වෙලේ හරි අගමැතිකම ලැබෙයි කියලා”

“එතකොට ඔයගොල්ලන්ගෙ අගමැති?”

“එයත් ඉන්නේ පිටරට”

“ජනාධිපති”

“රට ගියත් නොගියත් ඉන්නේ අහසේ.”

“එතකොට මහජනතාව විතරද රටේ ඉන්නේ”

“ජනතාවත් ඉන්නේ රට යන්න බලාගෙන. ඕන කොරියාවකට යන්න ලෑස්තියි.”

මම ප්‍රශ්න ඇසීම නවතා මොහොතක් කල්පනාවේ නිමග්න වූයෙමි.

“මොකද යාළුවා අප්සෙට්ද?”

වාසිබෝ මිත්‍රයා සිනාමුසුව ඇසීය.

“නෑ. නෑ. එතකොට ඔයගොල්ලන්ගේ රටේ ඡන්දයක් හෙම තියන්නේ නැද්ද?”

මම ඇසුවෙමි.

“තියෙනකල් තමයි මේ බලන් ඉන්නේ”

වාසිබෝ මිත්‍රයා දත්මිටි කෑවේය.

කපිල කුමාර කාලිංග