2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

ඡන්ද පොළට යන සිංහයෝ

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 182

පසුගිය ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී එක් එක් රටවල ක්‍රීඩා ලෝලීන් තම රටවල ජාතික සත්වයා ලෙස සැරසී පැමිණ සිටින අයුරු දක්නට ලැබුණි. නවසීලන්ත ජාතිකයන් ‘කිවි’ පක්ෂියා ලෙසත්, බංගලාදේශ් ජාතිකයන් ව්‍යාඝ්‍රයන් ලෙසත් හැඳ සිටි අතර, ඕස්ට්‍රේලියානුවෝ කීපදෙනෙක් කැන්ගරුවන් ලෙස සැරසී පැන පැන ආහ! එහෙත්, සිංහයන් ලෙස හැඳ සිටි ශ්‍රී ලාංකිකයන් නම් කිසිවකුත් දක්නට ලැබුණේ නැත.

එසේ වුවත් සිංහකම ඇඟේ තිබුණාම ඇති යැයි සිතූ නිසාද නොඑසේනම් අපේ කට්ටිය සෙල්ලම් කළ ආකාරයට සිංහයා බලු වේ යැයි සිතූ නිසාද යන්න නිශ්චිත නැත.

සිංහලයාගේ සිංහකම ගැන කියනවිට, ඊයේ පෙරේදා මුහුණු පොතේ දුටු කියමනක් සිහියට නැගේ. ඒ මෙසේය. ‘සිංහ ගතිය ඇඟේ හිතේ මොනතරම් තිබුණත්, ඡන්ද පොළට ගිය විට බූරුවකු වෙනවා නම් ඉන් පලක් නැත.’

සිංහයා පිළිබඳ කතාවලින් සාහිත්‍යයට අඩුවක් නැත. උපමා කතා, ජන කතා පමණක් නොව බණ කතා ද ඒ අතර වෙයි. සිංහයා ගැන කියවෙන කවි සින්දු ද බොහෝය. “කුසගිනි හැදුණට ඉඳුල් නොකව් - තණකොළ නොබුදිති සිංහ පැටව්” යනුවෙන් ගායනා කළේ සී.ටී. ප්‍රනාන්දුය. මෙය කට ගොන්නක් බී ගත් කල හෝ විනෝද ගමන් යනවිට “සිංහයන්ට” නැතුවම බැරි සින්දුවකි. ‘ලයන් කින්ග්’ ලෝකප්‍රකට සිංහ චිත්‍රපටයකි.

පංච තන්ත්‍රයේ එන ‘සිංහයා සහ හාවා’ කතාව ද යුගයෙන් යුගය, රටින් රට, යාවත්කාලීන වන්නකි.

කැලේ රජා වන සිංහයා එක් දිනක් අනෙක් සතුන්ට නීතියක් පැනවීය.

එක් දිනකට එක් සත්ව වර්ගයකින් එකෙක් සිංහයාට ගොදුරු පිණිස සැපයිය යුතුය. එවිට එදින අනෙක් සතුන්ට සිංහයාගෙන් උවදුරක් සිදු නොවේ. කැලේ නීතිය ක්‍රියාත්මක වුණි. එක් දිනක් ගොදුරු පිණිස යාමට නියමිත වූයේ හාවෙකුටය. හාවා ගල් ලෙනට ගියේ ප්‍රමාදවය. කුසගින්නේ සිටි සිංහයා කෝපයෙන් ගුගුරා, පමාවට කරැණු විමසීය.

“අනේ රජතුමනි කැලේ මැද්දේ තවත් සිංහයෙක් හිටියා. එයත් මාව මරන්න හැදුවා. මම බොහොම අමාරුවෙන් බේරිලා ආවේ මගේ රාජකාරිය කරන්න”

ඒ ඇසූ සිංහයා කිපුණේය. තමා හැර වෙනත් රජෙකු සිටිය නොහැකි බව කියූ සිංහයා ඒ බොරුකාරයා සිටින තැන තමාට පෙන්වන්නැයි පැවසීය. හාවා සිංහයාව ළිඳක් ළඟට රැගෙන ගියේය. ළිඳට එබී බැලූ සිංහයා තම පිළිබිඹුව දැක තවත් සිංහයෙකැයි රැවටී ගිගිරුවේය. ළිඳේ සිංහයා ද ගුගුරනු පෙනුණි. ඇසුණි. කෝපයට පත් සිංහයා අනෙකාට පාඩමක් උගන්වනු පිණිස ළිඳට පැන්නේය. එය උගේ අවසානය විය.

සිංහයා මියයන්නේ උද්දච්ඡකම නිසාය. උදද්ච්ඡ වන්නේ මෝඩයාය. කැලේ තුළ සුළු සතෙකු වන නමුදු හාවා සිංහයාට පාඩමක් උගැන්වූයේය. සිංහයා රජෙකු වුවත් උද්දච්ඡ නම් වළේ වැටෙයි.

ඡන්ද පොළට යන සිංහයන්, බූරුවන් වීම ගැන මුලින් කියූ කතාවටම සමාන රසවත් උපහාස කතාවකින් අද ‘හීසරය’ නිමා කරමි.

වැහි අල්ල පනල්ලේ අඩියක් ගැසීමට ළඟම ඇති අවන්හලට ගිය සකලසේනට තම පැරණි මිතුරකු මුණගැසුණි. ආගිය තොරතුරු කියන අතරේ සකලසේන තම ජීවන පරිසරයේ ඇති අර්බුදකාරී තත්ත්වය ද විස්තර කළේය.

“අපේ ගෙදර කට්ටිය වැඩියි. ගේ ඉඩ මදි. එහෙන් නැන්දම්මා තිස්සෙම එක එක දේ කියවනවා. මෙහෙන් පවුලගේ අඬවැඩියාව. ඒ අස්සේ ළමයින්ගේ කරච්චලේ. ගෙදර හැරෙන්නවත් ඉඩක් නෑ කියලා පවුලගෙන් රොස්පරොස් අහලා මට ඉවරයක් නෑ.”

මඳක් කල්පනා කළ මිතුරා මෙසේ ඇසීය.

“තමුසේ ගාව කුකුළො හෙම ඉන්නවද?”

“ඉන්නවා. වැඩිය නෑ. දහයක් දොළහක් විතර”

“හෙට ඉඳලම උන් කූඩුවේ තියන්නේ නැතුව ගෙට ගන්නවා”

“එතකොට තවත් ඉඩ ඇහිරෙනවනේ”

“මං තමුසෙගේ ගැටලුවට විසඳුමක් කිව්වේ. කැමති නම් කරනවා. නැත්නම් නිකං ඉන්නවා”

කුමක් හෝ විසඳුමක් අවශ්‍යව තිබූ හෙයින්, සකලසේන ද පසු දිනම මිතුරාගේ අවවාදය අනුව පිටත සිටි කුකුළන් ගෙට ගත්තේය.

දින කීපයකට පසු සකලසේනට යළිත් වරක් තම මිතුරා මුණගැසුණි.

“ඔහේ කියපු විදිහට කුකුළො ටික ගෙට ගත්තා. දැන් මළ කරදරේ. උන් ගේ පුරා දුවනවා. කැත කරනවා. කෑගහනවා. කුකුළො එක්ක ඉන්න බෑ කියලා ළමයි අඬනවා. පවුලයි, නැන්දම්මයි එක එක දේවල්වලින් කුකුළන්ට ගහන්න ගිහින් පිඟන් කෝප්ප කැඩිලා. මට දැන් තිබුණට වඩා ප්‍රශ්න”

මිතුරා මඳක් කල්පනා කළේය.

“තමුසෙ එළුවො ඇති කරනවද?”

“ඔව්. වැඩිය නෑ. දෙතුන් දෙනෙක් විතර”

“උන්වත් ගෙට ගන්නවා”

“යාළුවා තමුසෙ මාව තවත් අමාරුවේ දාන්ඩනෙ හදන්නේ”

“මම තමුසෙගේ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නේ. කැමතිනම් කරනවා”

මිතුරා නික්ම ගියේය.

සකලසේනට වෙනත් විකල්පයක් නොවූයෙන්, මිතුරාගේ උපදේශය පිළිපැද්දේය. දැන් එළුවනුත් ගේ ඇතුළේය.

ටික දිනකට පසු සකලසේනට මිතුරා මුණගැසුණේය.

“යාළුවා දැන් මොකද තත්ත්වේ?”

“තමුසෙනම් පුදුම යාළුවෙක්. මාව ලෝක අමාරුවකනෙ දැම්මේ. මට දැන් ගෙදර ඉන්ඩම විදිහක් නෑ. නැන්දම්මයි, පවුලයි මහගෙදර යන්නයි ලෑස්තිය”

“කලබල වෙන්න එපා. ලෙඩක් වුණත් එක බේත් වේලෙන් සනීප වෙන්නෙ නෑ. දිගටම ගන්න ඕන. මං තව උපදේශයක් දෙන්නම්. ඒකත් කරලා බලනවා”

“ඒ මොකද්ද?”

“අද ගෙදර ගියාම එළුවො ටික ආපහු ගාලට දානවා. කුකුළො ටික කූඩුවට දානවා. හෙට උදේට බලනවකො ප්‍රතිඵල.”

සකලසේන ද, මිතුරා කියූ ලෙසටම කළේය.

පසුදින සවස ඔහු තම මිතුරා හමුවන්නට ගියේ ඔහුට අඩියකට ආරාධනා කරනු පිණිසය.

“යාළුවා... කොහොමද තත්ත්වේ?”

මිතුරා සකලසේනගෙන් ඇසීය.

“ඉතාම සතුටුදාකයි. ළමයින්ට හරි සන්තෝසයි. ගේ පුරාම දුව පැන පැන සෙල්ලම් කරනවා. පවුල කියනවා දැන් ගෙදර ඉඩ වැඩි වෙලා වගේලු. නැන්දම්මා මේ පාර සිල් ගන්නෙත් ගෙදරමලු. හැමෝම සතුටින්. තමුසෙගෙ උපදෙස් නම් හරිම අගෙයි.”

ඒ ඇසූ මිතුරා සිනාසී මෙසේ කීවේය.

“මම අලුත් දෙයක් කිව්වේ නෑ. ඕක තමයි අපේ රටේ පාලකයෝ හැමදාම ප්‍රශ්න විසඳපු ක්‍රමය. බලයට ආවම ප්‍රශ්නවලින් මිනිස්සුන්ගේ දත කට පූට්ටු වෙනකල් හිර කරලා දානවා. ඡන්දයක් කිට්ටු වෙද්දි හිර කරපුවා බුරුල් කරනවා. මිනිස්සුන්ටත් මුල මතක නෑ. පෝලිමේ ගිහින් අරුන්ටම ඡන්දෙ දාලා එනවා.”

සකලසේන දෙකට නැවි නැවී සිනාසෙන්නට වූයේය.

කපිල කුමාර කාලිංග