2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ආකල්ප - විකල්ප

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

කලක් විදෙස්ගතව සිටි මගේ මිතුරෙක්, මෑතකදී මට යොමු කළ විද්‍යුත් තැපෑලයකින් අගනා කතාවක් කියා තිබුණි. එය මෙසේය:
ජීවිතයේ හැමදෙයක් දෙසම අශුභවාදී දෙස බලන්නට පුරුදුව සිටි පුද්ගලයෙක් දෙසැම්බර් 31 වැනිදාවක ඔහුගේ සටහන් පොතේ අවසන් පිටුවේ මෙසේ ලියා තිබුණි.

“ගෙවී ගිය වසරේදී සැත්කමකින් මගේ වකුගඩුවක තිබූ ගල් ඉවත් කිරීමට සිදුවිය. එහෙයින් මාස ගණනාවක් මට දුක් විඳිමින් නිවසේම පසුවන්නට සිදුවිය. ගතවූ වසරේම මම 60 වන වියට ළඟා වූ අතර මම සේවය කළ ආයතනයෙන් විශ්‍රාම ගැනීමටද සිදුවිය. ඒ ආසන්නයේම මගේ ආදරණීය පියාද අපගෙන් සදහටම සමුගෙන ගියේය. ඉන් ටික දිනකට පසු මගේ පුතා රිය අනතුරකට මුහුණ පෑවේය. ඔහු පෙනී සිටි විභාගයෙන් ද අසමත් වීය. මේ අනුව බලන විට ගතවූයේ මහත් අසුභ වසරකි.”

මේ පුද්ගලයාගේ බිරිඳ අහම්බෙන් මෙන් සිය සැමියා ලියා තිබූ සටහන දුටුවාය. ඇය සැමියා මෙන් නොව ඉතා සුභවාදී කාන්තාවකි. එහෙයින් ඇය අර සටහනට පහළින් මෙසේ ලියුවාය.

“පසුගිය වසරේ මගේ සැමියාගේ වකුගඩුවක තිබූ ගල් සැත්කමකින් ඉවත් කළ අතර ඔහු ඉන් දිගු කලක් තිස්සේ විඳි වේදනාවකින් නිදහස ලැබුවේය. එම වසරේම 60 වැනි වියට එළඹ රැකියාවෙන් විශ්‍රාම ලැබුවෙන් දැන් නිවසේ විවේකීව හිඳ මල් වැවීම වැනි විනෝදාංශවල යෙදෙයි. මගේ සැමියාගේ පියා වයස 95ක් වනතුරු ජීවත්ව හිඳ කිසිවෙකුටත් කරදරයක් නොවී නින්දේදීම වාසනාවන්ත මරණයකට පත්වූයේය. අපගේ පුතා රිය අනතුරකට මුහුණ පෑ නමුත් ඉන් ඔහුගේ ජීවිතයට අනතුරක් නොවීය. ඔහු මෙවර පෙනීසිටි විභාගයෙන් අසමත් වූ නමුදු නැවත ලිවීමට සැරසෙයි. එක් අත්දැකීමක් ඇති හෙයින් මේ වතාවේ ඔහුට එය බොහෝ පහසු වනු ඇත.

මේ අනුව බලන කළ ගතවූ වසර අපට ඉතා වාසනාවන්ත විය.”

මේ කතාව මට එවූ මිතුරා එහි අවසානයේ මෙසේද සඳහන් කර තිබුණි.

“අපේ සිරි ලංකාවේ මිනිස්සුන්ටත් වෙලා තියෙන්නෙ ඔන්න ඕකයි. හැම දෙයක් දිහාම අශුභවාදී ලෙස බලනකොට ජීවිතය කරදරයක් වෙනවා. ඔවුන් කිසිම දෙයකින් සතුටු වන්නේ නැහැ. එහෙම මුස්පේන්තු වැසියන් පිරුණු රටක්, කවදාවත් දියුණු වෙන්නෙත් නෑ. අපේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුමයි.”

මගේ මිතුරාගේ කතාවෙහි යම් සත්‍යයක් තිබෙන්නට පිළිවන. අපේ රටේ මිනිස්සුන්ට වැස්සත් වැරදියි. පෑව්වත් වැරදිය. හෙම්බිරිස්සාවක් හැදුණාත් ඒක ආණ්ඩුවේ වැරැද්දකි. මෙබදු අඩුපාඩු තිබුණද රට පරිහානියට යන්නේ ජනතාවගේ ආකල්ප පිළිබඳ හේතුව නිසාම යැයි පිළිගැනීමට මම මැළිවීමි.

හැමදේටම “අනේ අනිච්චං” කීම එදා අපේ පැරණි මුතුන් මිත්තන් පවා අනුගමනය කළ සිරිතකි. ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලීමත්, අශුභවාදී ලෙස බැලීමත් කාරණා දෙකකි. කෙසේ වෙතත් අප මිතුරා කියූ අන්දමට රටට දුර්භාග්‍යය උදාවීමට හේතුව අපගේ අශුභවාදී ආකල්ප දැයි විමසා බැලීමට මම පෙළඹුණෙමි.

මට මුලින්ම මුණ ගැසුණේ ලී මෝලේ විල්බට්ය. ඔහු දෛනික පඩියකින් ජීවත්වන්නෙකි.

“විල්බට් උන්නැහේ, ඡන්දෙකුත් එනවලු නේද?”

මම “මුට්ටිය” දිගු කළෙමි.

“අනේ අපිට මොකද මහත්තයා.”

“ඇයි එහෙම කියන්නේ?”

“ඡන්ද එනවා යනවා. ඕවයෙන් මොකක්ද අපිට වුණු සෙතේ.. අපි වැඩ කර ගත්තොත් කාලා ඇඳලා ජීවත් වුණෑකි. ඔය කවුරුවත් අපිට උදව් කරන්නේ නෑනේ. අපිට මොටද රටේ ලෝකේ දේවල්.”

දෙවැනුවට මා ප්‍රශ්න කළේ බත්තරමුල්ල පැත්තේ සිට වැඩට එන සමරේගෙනි. මම ඔහුව අවුස්සා ගැනීමට වෙනත් පැත්තක ප්‍රශ්නයක් නැඟුවෙමි.

“සමරේ, මේ දවස්වල හරි ට්‍රැෆික්ලු නේද? යන්න එන්න හරි අමාරු ඇති නේද?”

“ඒක ඉතින් අද ඊයේ නෙවෙයිනේ.”

“ඇයි ඒ පැත්තේ ගුවන් පාලමකුත් හැදුවනෙ. ඉතින් ට්‍රැෆික් එක අඩු වුණේ නැද්ද?”

“මොන පිස්සුද? කොළඹ වාහන තදබදේ අඩු කරන්න නම් ගුවන් පාලම් සීයයක්වත් හදන්න වෙයි. ඒත් මම නම් ඕවයේ යන්නේ නෑ. පරණ පාරමයි පාවිච්චි කරන්නේ.”

“ඒ මොකද?”

“මට ඔය පාලම් ෂුවර් නෑ. කොහෙදෝ රටක ගුවන් පාලමක් කඩා වැටිලා බර ගාණක් මැරුණා මතකද?”

මා එතනින් පිටුවූයේ ගුවන් පාලම් සදනවාට විරුද්ධ මිනිස්සුත් මේ සිරි ලංකාවේ ඉන්නා බව දැන ගනිමිනි.

මඳක් ඉදිරියට යද්දී සැමී ඉස්කෝලේ මහත්තයා අත්ඔරලෝසුව දෙස බලමින් දොරකඩ සිටිනු දුටු මම ඔහු ඇමතුවෙමි.

“සැමී මහත්තයා ටවුමට යන්නද?”

“ඔව්”

“ඉතින් යමු මාත් එක්ක.”

“මම අද වැදගත් ගමනක් යන්නේ. තාම රාහු කාලය ටිකක් පරක්කු වෙලා එන්න.”

මම ඔහුද පසුකර ගෙන ගියෙමි.

පාරේ ගමන් ගත් බසයක රියැදුරෙක් කවුළුවෙන් පිටතට හිස දමා පදික වේදිකාවේ සිටවා තිබූ මල් ගසකට බුලත් කෙළ පහරක් එල්ල කළේය. පාර මැද්දේ දමා ඇති කුණු මල්ලත්, රථ පෝලිමට යටවෙමින් චප්ප වෙයි. කාක්කෙක් වේගයෙන් ඊට පහත්ව යමක් තුඩින් ගෙන පියා සැළුවේය. පදික වේදිකාවේ සිටින යාචකයෙක් ශෝකී ලෙස එදෙස බලාසිටී.

මට පැය විසිහතරක් පුරා මුණගැසුණු මිනිසුන්ගෙන් සියලුම දෙනා තමන්ගේ රැකියාවන් ගැන කලකිරීමෙන් පසුවන්නෝය. ජීවිතය පිළිබඳ කිසිදු ශුභවාදී දැක්මක් ඔවුන් වෙතින්ද දැකගත නොහැකිය. “මට දැන් මේක එපාවෙලා තියෙන්නේ.” වැඩි දෙනාගේ මතය එයයි. හැමදේම එපාවූ උපන්නාට වැනෙන මිනිසුන් සිටින රටක්!

අපගේ හිතවත් මන්ත්‍රීවරයෙකු මංගල්‍ය උත්සවයකදී මුණගැසුණේ මටද මගේ මත විමසුම එපාවී යමින් තිබූ මොහොතකය.

“කොහොමද මන්ත්‍රීතුමා ඡන්දෙකුත් ළඟ එනවා නේද?”

“ඔව්.. ඔව්.. ඔව්.. මෙදා පාරත් අපි දිනනවා.”

“පැරදුණොත්?”

“ඒ පැත්තට පනිනවා.” ඔහු කට පුරා සිනාසුණේය.

මට මහත් සතුටක් දැනුණි. සිරිලංකාවේ ශුභවාදී ආකල්ප ඇති මිනිස්සුද සිටිති. ඔවුන් ගණනින් දෙසිය පනහකට අඩුවීම ගැන අප අශුභවාදී විය යුතු නැත. මේ රට එවැනි යහපත් ආකල්ප ඇතිව අනාගතය දෙස බලන මිනිසුන්ගේය!

► කපිල කුමාර කාලිංග