පසුගිය දිනෙක මම ත්‍රීවිලරයක නැගී අසල නගරය වෙත යමින් සිටියෙමි. වෙනදා මෙන් පාරේ බස් රථ ගමන් කරන බවක් පෙනෙන්නට නැත. එහෙත් මඟ දෙපස තැනින් තැන බස් රථ නවත්වා ඇති බව නම් පෙනේ.
“මොකද මේ.. අද බස් දුවන්නේ නැද්ද?”
මම ත්‍රීවිලර් රියැදුරාගෙන් ඇසුවෙමි.
“ඇයි මහත්තයට ආරංචි නැද්ද?
“මොකද්ද වෙලා තියෙන්නෙ... බස් ස්ට්‍රයික් එකක්ද?”
“නෑ... නෑ... ඒ ගොල්ලන්ට තැන් තැන්වල නින්ද ගිහිල්ලා.”
“ඒ මොකද.. අසනීපයක්වත්ද?”
“බස්වල සද්ද සින්දු දාන්ඩ එපා කියලා නීතියක් දාලලු.”
“ඒක නම් හොඳ වැඩක්නෙ. ඒත් ඒ වෙනුවට හොඳ සින්දු දාහක් ද කොහෙද දෙනවලුනේ. අමරදේව, වික්ටර්, නන්දාමාලිනි, සනත්, කපුගේ වගේ ගායක ගායිකාවන්ගේ උසස් ගීත දාන එක කොච්චර දෙයක් ද? හිතට කොච්චර සනීපයක් ද?”
“සනීපෙ වැඩිවෙලා වෙන්ඩැති නින්ද යන්නේ.”
“නින්ද යනවට වෙන විකල්ප තියෙනවනෙ. ඩ්‍රැයිවර්ලා බුලත්විට කන්නෙත් ඒකලුනෙ.”
“දැන් විට කන්ඩත් බැරිලු.”
“එහෙම නීතියක් නෑනේ.”
“විට කන්ඩ පුළුවන්.. ඒත්, වීදුරුවෙන් එළියට කෙළ ගහන්ඩ බැරිලු.”
“ඒ මොන නීතියක් ද.. කවුද අයිසේ ඕවා කියන්නේ.”
“ෆේස්බුක් එකේ තිබුණලු. හැම බස් එකකටම බුද්ධි අංශ නිලධාරියෙකුත් දාලා තියෙනවලු. වැරදි කළොත් අල්ලන්න.”
“ඔය ෆේස්බුක්වල තියෙන හැමදේම විශ්වාස කරන්ඩ බෑ යාළුවා. ඒ කොහොම වුණත් රටේ විනය හදන එකනම් ලොකු දෙයක්.”
“මමත් වීල් එකේ තිබුණු ස්පීකර් ගලවල දැම්මා මහත්තයා.”
ත්‍රීවිලර් රියැදුරා ද ඈනුමක් අරිමින් කීවේය.
නව වසරේ මුලින්ම මා ගියේ මගේ රියැදුරු බලපත්‍රයේ වැඩක් කර ගැනීමටය.
අදාළ දෙපාර්තමේන්තුවේ, ගේට්ටුවේ සිටම මට ලැබුණේ පුදුමාකාර පිළිගැනීමකි. ඔරවා, ගොරවා ප්‍රශ්න කරන හෝ වැඩේ ඉක්මනින් කර දීමේ සුහද යෝජනා ගෙනෙන කිසිවෙකුත් එහි නොවීය. ආරක්ෂක නිලධාරියා, කට පුරා සිනාසී ඉදිරියට අවුත්, මට සුබ නව වසරක් ප්‍රාර්ථනා කළේය.
ඉන්පසුව මගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙළා මා පැමිණි කාරණය විමසීය. ඔහුගේ මුහුණේ කිසියම් සැකයක හා අවිනිශ්චිත භීතියක ලකුණු තිබුණ ද මට ඉන් කිසිදු කරදරයක් නොවීය. ආරක්ෂකගේ මඟ පෙන්වීම යටතේ මම අදාළ අංශය වෙත ගියෙමි.
පුදුමයකි. වෙනදා එහි ඉතිරී සිටින සෙනඟ අද නැත. කවුන්ටරයේ සිටින සේවකයා, අසුනින් නැඟිට සිනාමුසුව මා දෙස බලා නව වසරට සුබ පතයි.
“අද මෙහෙ වැඩ නැද්ද?”
මම වටපිට බලමින් ඇසුවෙමි.
“වැඩ... වැඩ... සර්ට මොකක්ද වෙන්න ඕනේ?”
මම මගේ අවශ්‍යතාව කීවෙමි.
“පටස් ගාලා කරලා දෙන්නම් සර්.”
පුදුමයට පත් මම වටපිට බලා හඬ බාලකොට මෙසේ ඇසුවෙමි.
“මේ... මොනව හරි සපෝට් එකක් ඕනෙද?”
සේවකයා, බියට පත්ව මා දෙස බැලීය.
“අපි මහජන සේවයක් කරන්නේ සර්... ඉස්සර වගේ නෙවෙයි. මෙහෙ සෙනඟ පිරෙන්නෙ නෑ. පැය පහ හය රස්තියාදු වෙන්නෙත් නෑ. පටස් ගාලා වැඩේ කෙරෙනවා”
“හරිම සන්තෝසයි... ඉතින් සේවකයොත් ඒ ක්‍රමේට කැමතිද? මේ තත්ත්වය දිගටම පවතියිද?”
මගේ ප්‍රශ්නයෙන් ඒ අහිංසකයා මහත් බියට පත්වූ බවක් පෙනුණි. ඔහුද ආරක්ෂක නිලධාරියා මෙන්ම මගේ හිසේ සිට පහළට අමුතු බැල්මක් හෙළීය.
“ඔබතුමා මහජන බුද්ධි අංශෙද?”
“මොකක්?”
“අනේ සර්.. අපෙන් වරදක් වුණේ නෑ නේද?”
“මොනවද මේ අහන්නෙ.. කිසිම වරදක් නෑ. මගේ වැඩේ ඉක්මනට කරලා දුන්නොත් එච්චරයි... මම බුද්ධි අංශෙ නෙවෙයි පත්තර අංශෙ.”
මම සිනාසීමට උත්සාහ කළෙමි. “ඒකත් අර වගේ තමයි.” යනුවෙන් මුමුණමින් ඇතුළට ගිය තරුණයා පිටතට ආවේ මගේ රියැදුරු බලපත්‍රය ද රැගෙනය. එහි අවසන් කටයුතු සිදුකර තිබුණේ මෙය සිරි ලංකාවදැයි පුදුම හිතෙන විදිහටය. මම සේවකයාට ස්තූති කොට ආපසු ඒමට හැරුණෙමි. ඉදිරියට නැමුණු ඔහු මගේ අතින් ඇල්ලුවේය.
“සර්... තේ එකක් බීලා යමුද?”
“එපා.. එපා..”
“එහෙනම් සර්, බත් ටිකක් කාලා යමුද... අද අපේ කැන්ටිමේ කහ බත්.”
එවර ඔහු මගේ වැලමිටෙන් ඇල්ලීමට තැත් කරයි.
“අනේ එපා. මෙච්චර ඉක්මනට වැඩේ කරගත්තු එක කහ බත් කෑවා වගේ තමයි. වෙනදට අපි මෙතනින් කෑවෙම පරිප්පුනේ..”
මම ඉක්මනින් පිටවීමි.
තවත් සිද්ධියක් කීමට ඇත.
මම කිසියම් කටයුත්තක් සඳහා රජයේ ආයතනයකට පිවිසුණෙමි. බුලත් හුරුල්ලක් අතින් ගත් තරබාරු නිලධාරියෙක්, තවත් පිරිසක් සමඟ පැමිණ මා මටකර ගත්තේය.
“සර්, එතුමා කීයටද එන්නෙ..”
“එතුමා... මම කොහොමද දන්නෙ..”
“අද එනවා නම් හොඳයි සර්... කොමසාරිස්තුමාත් ඔෆීස් එකේ ඉන්නවා. අපිත් සේරම වැඩ.”
“ඉතින් ඇයි මට කියන්නෙ..”
“ඔබතුමා බුද්ධි අංශෙද?”
“අනේ නෑ..”
මම වහාම එතැනින් මාරු වුණෙමි.
එදින ආපසු ගෙදර යන අතරේ කඹයක් ද අතැතිව විශාල ගේට්ටුවක් අසල සිටින පුද්ගලයෙකු හැඳින නතර වීමි. ඒ අන් කවරෙකුවත් නොව ආචාර්ය මර්වින් සිල්වාය.
“කොහොමද ඇමැතිතුමා කාලෙකට පස්සෙ?”
“තමුසෙලා ඒ කාලෙ මට කෝචෝක් දැම්මා... දැන් තේරේනවා නේද? මගේ ක්‍රමයම තමා මේ රටේ එවුන් හදන්න ගැලපෙන්නෙ.”
එතුමා කඹයේ ගැටයක් ගැසීය.
“ඒත් ඒ ක්‍රමේ රූපවාහිනියට නම් හරි ගියේ නෑ නේද?”
මා ඇසූ දේ ආචාර්යතුමාට ඇසුණේ ද නැද්ද නොදනිමි.
► කපිල කුමාර කාලිංග