2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

වසංගතයක් ඇවිල්ලා

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

සිරි ලංකාවේ ප්‍රබල දේශපාලනඥයෙක් තම කන්තෝරු කාමරයට වී මහත් කනස්සල්ලෙන් යුතුව කල්පනා කරමින් සිටියේය.

ඒ මොහොතේ ඔහුගේ ලේකම්වරයා එහි පිවිසියේය.

“ඇයි සර්... මොකද්ද ප්‍රශ්නේ? හඬපටේ කාටවත් මාට්ටුද?”

“හඬපට කේස් කාටද නැත්තේ අයිසේ... අනික ඒවා දැන් මිනිස්සුන්ට අමතකයි”

“එහෙනම් මොකද්ද කේස් එක?”

“කොරෝනා කේස් එක”

“වෛරස් එක?”

“ඔව්”

“ඒක ගැන කරදර වෙන්නෙ මොකටද සර් කොරෝනා කියන්නේ සැඟවුණු ආශිර්වාදයක්.”

දේශපාලනඥයා නළල රැළි කර ලේකම් දෙස බැලුවේය.

“මොකද්ද තමුසෙ කිව්වේ?”

“සර්... දැන් රටේ තිබුණු ප්‍රශ්න සේරම යට ගියා. කොරෝනා උඩට ආවා. තව ටික දවසක් දෙයියනේ කියලා ඒක ඇදගෙන යමු.”

දේශපාලනඥයාගේ මුහුණේ කිසියම් එළියක් පැතිරුණි.

“ගුඩ් අයිඩියා. ඊළඟ ඉලෙක්ෂන් එක එනකල්ම ඇදගෙන යන්න පුළුවන් නම් මරේ මරු. ඒත් තාම ලංකාවට ලෙඩේ ඇවිල්ලා නෑනේ”

“ඒක ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපිට තියෙන්නේ කොරෝනා වසංගතයෙන් රට ගලවාගන්නා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.”

“ක්‍රියාත්මක කරන්න සැලසුමක් තියෙන්න එපායැ.”

“සැලසුම් එකට දෙකක් හදමුකො සර්.. මේ රටේ තියෙන තරමක් තියෙන්නේ සැලසුම්නේ”

“එහෙම බෑ අයිසේ... කොරෝනා පැතිරුණොත් මිනිස්සු කලබල වෙනවා. ඊට කලින් ඇක්ෂන් එකක් ගන්න ඕන”

“මුලින්ම කරන්න ඕනේ වෛරස් එක තියෙන හැම රටටම ගුවන් යානා යවලා ඒවගේ ඉන්න අපේ මිනිස්සු ටික ආපහු ගෙන්නගන්න ඕන”

“ඒකනම් බැරුවයෑ..”

“ඊටපස්සේ මාධ්‍යවේදියෝ ඒ මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා ෆොටෝ අරන් විස්තර අහගෙන මාස ගණන් ලියන්න පටන්ගනී. ටී.වී. නිව්ස්වල පැය ගණන් පෙන්නයි.”

“ඒත් ඒ අයට වෛරස් එක හැදිලා නැත්නම්?”

“හැදෙන්න ඕන නෑ. ඒ මිනිස්සු තමන්ට හැදුණා වගේ විස්තර කරයි. කිව්වෙ නැතත් මාධ්‍යවේදියෝ රස කරලා ලියයි.”

“එතකොට ප්‍රශ්නෙ විසඳෙයිද?”

“එක ප්‍රශ්නෙකට පුළුවන් තව ප්‍රශ්න ගණනාවක් විසඳන්න.”

“ඒකත් ඇත්ත තමයි. කොරෝනා පිටින් දාලා එළවළු ගණන්, හඬපට, බැඳුම්කර, විශ්ව විද්‍යාල ප්‍රශ්න වගේ දැවෙන ප්‍රශ්න සේරම යට ගහතැකි නේද?”

“ඒකනේ සර් මං කිව්වේ කොරෝනා කියන්නේ සැඟවුණු ආශිර්වාදයක් කියලා”

“බලාගෙන යනකොට හැම වසංගතයක්ම රටට ආශිර්වාදයක් නේද?”

“රටට නෙවෙයි සර්... අපට.. අපට..”

ලේකම් සමඟ එකතුව දේශපාලනඥයා ද සිනාසුණේය. ඉන්පසු දේශපාලනඥයා ලේකම් දෙසට නැඹුරැව හඬ බාල කර මෙසේ ඇසීය.

“කොරෝනා එකෙන් අපිට මොකුත් වාසියක් නැද්ද බන්?”

“මොකද නැත්තේ? ක්‍රම සහ විධි ඕනතරම්. ඉස්සෙල්ලම හෙල්මට් නීතිය වගේ නීතියක් ගෙනල්ලා සිරි ලංකාවේ හැමෝටම මුහුණ ආවරණ පළඳන්න කියනවා. රජයෙන් අනුමත ආවරණ තමයි පළඳින්න ඕන. ඒවා ගෙන්නන හැටි මං සර්ට කියලා දෙන්න ඕන නෑනේ...”

“මයෙ සන්තෝ! මුහුණු ආවරණ මිලියන ගාණක්. හිතනකොටත් හිතට සනීපයි.”

දේශපාලනඥයා බඩ අතගාමින් සිනාවක් පෑවේය. එහෙත්, ඒ සමඟම ඔහුගේ මුහුණ මඳක් අඳුරු විය.

“මොකද සර්?”

ලේකම් ඇසීය.

“පොඩි පරහක් තියෙනවා බං... මුළු රටම මාස්ක් බැඳගෙන දුකෙන්, බයෙන්, සැකෙන් ඉන්න එකත් අපට හොඳ මදි. එතකොට ඊළඟ ඡන්දෙන් අපි පරදින්නත් පුළුවන්. අපි ජනතාව සතුටු කරවන දෙයකුත් කරන්න ඕනේ”

“සිම්පල්නෙ සර්... අපි බ්‍රේකින් නිව්ස් එකක් දානවා ඔබතුමාට කොරෝනා වෛරස් එක ඇතුළු වෙලා අසාධ්‍යයි කියලා”

“හත්වලාමේ! එතකොට මිනිස්සු සතුටු වෙනවද යකෝ?”

“නැතුව? ඒ අස්සේ සර් යනවා ප්‍රතිකාර ලබන්න.”

“අයි.ඩී.එච්?”

“පිස්සුද? සර්ලා කොහෙද අයි.ඩී.එච්. යන්නේ... කෙළින්ම සිංගප්පූරුවට. ඊටපස්සේ මෙහෙ කොරෝනා භීතිය ඉවරවෙනකල් සර් එහෙට වෙලා හොඳ නිවාඩුවක් ගන්නවා”

“නියමයි. ජනතාව සතුටින් තැබීම සඳහා මම ඕනම කැපවීමක් කරන්න කැමතියි.”

දේශපාලනඥයා සිනාවක් පාමින් ලේකම්ගේ පිටට තට්ටුවක් දැමීය.

පසුදින උදෑසන ලේකම් මහතා ප්‍රවෘත්ති අසමින් සිටියේය. කොරෝනා වෛරසය මර්දනය කරන බෙහෙතක් ලබුගම පදිංචි වෙද මහතෙක් ලබු ගෙඩියක් මාර්ගයෙන් සොයාගෙන ඇති බව ඉන් කියැවුණි. ඒ වෙද මහතාම මීට වසරකට පෙර පිළිකාවට ද බෙහෙතක් සොයා ගත්තේ ලබු ගෙඩියේම ආධාරයෙන් බව ලේකම්ට සිහි වී ඔහුගේ කට කොනකට සිනා නැගුණි.

ඕනෑම කළු වලාවක රිදී ඉරක් ද ඇත. ඒ රිදී ඉර විකුණාගෙන කෑමට හපන්නු මේ සිරි ලංකාවේ බොහෝය.

එදිනම නගරය වෙත යමින් සිටි ලේකම් මහතා ලිපි ගොනුවක් ද අතැතිව කලබලයෙන් දිව යන කෙනකු මුණගැසුණි.

“කොහෙද මේ කලබලේ දුවන්නේ?”

“ආරච්චි මහත්තයා හම්බවෙන්න.”

“ඒ මොකද?”

“අපේ නෝනගේ නම වෙනස් කරන්න වෙලා.”

“මේ හදිස්සියේ?”

“එයාගේ නම කොරෝනා”

- කපිල කුමාර කාලිංග