2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

අනේ මෙහෙම කතා!

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 164

“ගොනා වුණත් උම්බෑ කියන්න එපා..” යැයි කතාවක් ජනවහරේ එයි. එය මතකයට නංවන යස කවියක් රණස්ගල්ලේ හිමියන්ගේ “ලෝකෝපකාරයෙහි” ඇත.

රා බී නො අඟවා
සබා මැද ගොස් උනත් කරබා
මුව විසිරි තෙමෙම
කතා කරවා සතට අඟවා

එහි තේරුම වන්නේ රා බී ගත්තෙකු සබාවක් මැදට ගොස් නොබිව්වා සේ ඇඟවීමට උත්සාහ කළත් කට ඇරිය වහාම බීමත්ව සිටින බව හෙළිවන බවය.

ගොනාට ගොන්කම් කර සිටිය නොහැකිය. උම්බෑ නොකීවත්, ඌ නගුට හෝ වනයි. බේබද්දාට ද නිෂ්ශබ්දව සිටිය නොහැක. මොනවා හෝ කියවයි. ගුවන් විදුලි නිවේදක භාෂාවෙන් කියනවා නම් දොඩමළු වෙයි.

කට තිබෙන්නේ කෑමට බීමට හා කතා කිරීමටය. එහෙත් කට තිබුණු පළියටම කතා කළ යුතු නැත. කට මැත දොඩවන්නේ වාචාලයාය. එහෙත් වාචාලයෝ, වියත් සභාවකට ගිය කල නිරුත්තර වෙති. වැරදීමකින් හෝ කට ඇරියහොත් එය නතර වන්නේ සමාජ මාධ්‍ය තුළ බව පසුගිය දිනවල දක්නට ලැබුණි.

මෝඩයින්ට මොළේ කළඳක් හෝ තිබෙනවා නම් උගතුන් අතරට ගිය විට කළ යුතු හොඳම දෙය නිෂ්ශබ්දව සිටීමය. මජ්ජිම නිකායේ අරියපරියෙන සූත්‍රයෙහි දැක්වෙන අන්දමට දැහැමි ලෙස කතා කළ නොහැකි නම් ශ්‍රේෂ්ඨ ලෙස නිෂ්ශබ්දව සිටිය යුතුය.

අපේ පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් මහජන නියෝජිතයකුට එරෙහිව නැඟෙන චෝදනාවක් වන්නේ ඔහු කිසිදු විවාදයකට සහභාගී නොවී නිහඬව සිටින බවය. කට ඇර අනා ගන්නවාට වඩා කටපියාගෙන තත්ත්වය රැකගැනීම වඩා හොඳයයි. ඒ නියෝජිතතුමා කල්පනා කරනවා විය හැකිය.

විදෙස් රටක මහජන මන්ත්‍රී මණ්ඩලයක සිටි එක් මන්ත්‍රීවරයෙක් කතාවෙහි දක්ෂයකු නොවීය. ඔහු බුද්ධිමතෙක්ද නොවීය. එහෙයින් කතාවක් කළ යුතු අවස්ථාවලදී උපදේශකවරුන් ලවා සකස් කරගත් කතා පිටපත් රැගෙන අවුත් ඒවා කියැවීම ඔහුගේ සිරිත විය.

මේ බව දත් ඔහුගේ විරුද්ධවාදියෙක් එක් කතාවක් අවසානයේ මෙසේ සරදම් කළේය.

“ඔබතුමා කතා කරන්නේ තමාගෙම කටින් නෙවෙයි නේද?” මන්ත්‍රීවරයා ඒ ඇනුම්පදය තේරුණත් එය ගණනකට නොගෙන. “එහෙම නම් මම කතා කරන්නේ මගේ නහයෙන්” දැයි අසමින් ඇඟ බේරා ගත්තේය.

කල්තියා සකස් කරගත් කතා පිටපත් බලාගෙන කතා පවත්වන්නට පුරුදුව සිටින ඇතැම් අය මුහුණ පාන අකරතැබ්බයක් ගැනද අසන්නට ලැබේ.

එක්තරා ඇමතිවරයෙකුට විදෙස් රටක පැවති ජාත්‍යන්තර සමුළුවකදි දේශනයක් පැවැත්වීමට සිදුවිය. එය කළ යුතුව තිබුණේ ඉංග්‍රීසියෙනි. ඇමතිවරයාට ඉංග්‍රීසි බැරිය. කෙසේ වෙතත් ඉංග්‍රීසියෙන් දේශන පිටපත සකස් කරගත් ඔහු සම්මන්ත්‍රණයට ගියේය. නියමිත වේලාවේදී ඔහු දේශනය ඇරඹි නමුදු අවසන් කිරීමට නියමිත වේලාවද ඉක්මවා කතා කරගෙන ගියේය. සංවිධායකවරු ඉදිරිපත්ව ඔහුගේ කතාව අතරමග නතර කළහ. එදින සමුළුව නිමවී යන අතරේ ඇමතිවරයා තම ලේකම්වරයාට දොස් පවරන්නට විය.

“තමුසෙ මාව සවුත්තු කෙරුවනේ.”

“ඇයි සර්?”

“කතාව දිග වැඩි වුණානෙ.”

“ඒකට මං මොනවා කරන්නද? සර් එක පිටපතක් කියවලා ඉවර වෙලා ඒක යට තිබුණු ෆොටෝ කොපියත් කියවන්න ගත්තනෙ.”

ජාත්‍යන්තර සමුළුවකදී ඉංග්‍රීසි දේශනය සිංහල අකුරින් ලියාගෙන කියැවූ ඇමතිවරයෙකු ගැනද කලකට පෙර කතාවක් පැතිරුණි. වර්තමානයේ නම් නව තාක්ෂණයේ පිහිට තිබෙන නිසා ඕනෑම තැනකදී ඕනෑම භාෂාවකින් කතාවක් පැවැත්වීමේ “හැකියාව” ඇත. එවැනි උදවිය සම්බන්ධයෙන් පැරණි පිරුළක් “ලෝකෙට පර බාසේ - ගෙදර සිය බාසේ” යනුවෙන් සකස් කර ගත හැකිය.

චීන ජනාධිපතිවරයකු අමෙරිකාවට ගිය අවස්ථාවක එරට විශ්වවිද්‍යාලයකින් දේශනයකට ඇරැයුම් ලැබිණි. ඉංග්‍රීසිය නුහුරු බැවින් ඔහු චීන බසින්ම දේශනය පැවැත්වූ අතර විශ්වවිද්‍යාලයේම උගත් චීන ශිෂ්‍යයකු විසින් එය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී.

ජනාධිපතිවරයා තම කතාව රසවත් කිරීම සඳහා අතරින් පතර සිනා කතා කිහිපයක්ද එකතු කළේය. එහෙත් මුලින්ම කියූ සිනා කතාවලට කිසිවකු සිනාවූයේ නැත. ඉන් පසුව කියූ කතාවලදී සභාව සිනාහඬින් පිරී ගියේය. සමහරු ළඟ සිටින්නා බදුගෙන සිනාසුණි. තවත් සමහරු දෙකට නැමෙමින්ද උඩපනිමින්ද සිනාසුණෝය.

දේශනය නිමවී ආපසු යන අතරේ ජනාධිපතිවරයා තම භාෂා පරිවර්තකයාට මෙසේ කීවේය.

“මගේ මුල්ම කතා දෙක තුන නම් අල්ලල ගියේ නෑ. ඒත් පස්සේ කියපු කතාවලට නම් ඇතිතරම් හිනාවුණා නේද?” 

ඒ ඇසූ පරිවර්තකයා මෙසේ කීය.

“මුල කතා අසාර්ථක වුණු නිසා පස්සේ කතාවලදී මම සභාවට කිව්වා දැන් අපේ ජනාධිපතිතුමා විහිළු කතාවක් කිව්වා. ටිකක් හිනාවෙලා එතුමා සන්තෝස කරන්න කියලා.”

ජනාධිපති චීනයට ගිය පසුවත් කලක් යනතුරු සිනා කතා නම් කීවේ නැතිලු!

පොදු දේශන පැවැත්වෙන අවස්ථාවල අතරමගදී ප්‍රශ්න අසා බාධා කිරීමෙන් සතුටක් ලබන පුද්ගලයන්ද සමාජයෙහි ඇත. එබඳු පුද්ගලයෙක් තමා ප්‍රිය නොකරන දේශපාලන පක්ෂයක සාමාජික විද්වතකුගේ දේශනයක් ඇසීමට ගියේය. සුපුරුදු පරිදම කතාව මැදදී ඔහු නැගී සිටියේය.

“මම කැමතියි ඔබතුමාගෙන් දැන ගන්න බූරුවෙකුට කුර කීයක් තියෙනවා ද කියලා.”

කැළඹීමට පත් නොවූ දේශකයා ගත් කටටම මෙසේ කීය.

“මහත්මයා මට කරදර නොකර ඔබේ සපත්තුව ගලවා බලන්න.”

තවත් අවස්ථාවක ප්‍රසිද්ධ කලාකරුවකුගෙ දෙසුමකට සවන් දීමට ඔහු හා පැරණි කෝන්තරයක් තිබූ කාන්තාවක් ද පැමිණ සිටියාය. දෙසුම අවසානයේ කලාකරුවාට ළං වූ කාන්තාව උපහාස සිනාවකින් යුතුව මෙසේ කීවාය.

“මොකක්ද ඒ කරපු කතාව? කිසිම වැදගැම්මකට නෑ. මම ඔබේ නෝනා නම් ඔබට වහ ටිකක් දෙනවා.”

ඒ ඇසූ කලාකරුවා මුවගට සිනාවක් නගමින් මෙසේ කීය. “මම ඔබේ සැමියා වුණා නම් මෙලහකටත් මම වහ කාලා.”

කතා ගැන කතා බොහෝය. සුළු අත්වැරදකින් පවා ලොකු කතා පැතිරිය හැකිය. කුඩා ගිනි පුළිඟුවකින් මහා ගින්නක් හට ගත හැක්කා සේ එක වචනයකින් ලොකු අලකලංචියක් සිදුවිය හැකිය. මෑතකාලීන උදාහරණය ඔක්සිජන්ය.

► කපිල කුමාර කාලිංග