“ලෝකයේ කම්කරුවනි එක්සත් වව් කියල මාක්ස් කිව්වට, ලංකාවෙදි නම් ඒක සිද්ද වෙන පාටක් නෑ...”
“ඇයි එහෙම කියන්නෙ...”
“අපේ කම්කරුවො මැයි දිනේටවත් එකතු වෙන එකක්යැ. හැමදාම බෙදිල තමයි ඉන්නෙ. ලංකාවෙදි මාක්ස්ව පිළිපදින්නෙ දේශපාලනඥයො... වෙනත් වචනයකින් කියනව නම් ධනපති පංතිය.”
“ඒ කොහොමද?”
“පාර්ලිමේන්තුව විසිරුවනවා කිව්ව හැටියෙ, සේරම වාදභේද අතෑරලා එක්සත් වෙන හැටි බලනවකො. මූණවත් බලන්නෙ නැතුව හිටපු මිනිස්සු සමගි වෙලා.”
“කොහොම හරි බලයට එන්ඩනෙ ඕනෑකම.”
“බලයට එන්නෙ නිර්ධන පංතියෙ ඡන්දෙන්.”
“ඒකත් හරි...”
“එතකොට මාක්ස්ගෙ තව කියමනක් ලංකාවෙදි වරදිනවා.”
“ඒ මොකක්ද?”
“නිර්ධන පංතිය සහජයෙන්ම බුද්ධිමත්ය, කියන එක.”
“හැබෑට? එහෙමත් කියල තියෙනවද? මාක්ස් ලංකාව ගැන දැනගෙන ඉඳලා නෑ වගේ.”
“ලංකාවෙදි බුද්ධිමත් වෙන්නෙ පාලක පංතිය.”
“මාක්ස් කියන්නෙ ලෝකේ හිටපු ඉහළම බුද්ධිමතෙක්. එයාට වරදින්න විදිහක් නෑ නේද?”
“මම දැන් පෙන්නලා දුන්නෙ, උන්නැහේට වැරදුණු තැන.”
“අපිට ඒක මෙහෙම නිවැරදි කරන්න බැරිද? ලංකාවේ කම්කරු පංතියකුත් නෑ. නිර්ධන පංතියකුත් නෑ.”
“එහෙනම් මොක්කුද දුන්නෙ?”
“පොදු ජනතාව...”
“හාපෝ.... කොහෙටවත් නැති ජාතියක්. උන් තමා මේ රට කන්නෙ.”
“පොදු ජනතාව නම් කියන්නෙ, දේශපාලකයො තමයි රට කන්නෙ කියලා.”
“රට කන්න උන්ට බලය දෙන්නෙ කවුද? පොදු ජනතාවනෙ. ඡන්දෙ ළංවෙන කොටම, උන් පක්ෂවලට බෙදිලා ඇනකොටා ගන්න පටන් ගන්නවා.”
“ජනතාව එක්සත් වෙලා, සමගි බලවේගයක් හදාගන්නයි තියෙන්නෙ. නේද?”
“මේ මී හරක්ට එහෙම මොළයක් කොහෙද?”
“පාස්කු බෝම්බෙ වෙලාවෙ, දෙසීය පනහම මුහුදට දාමු කියල කෑකෝ ගැහුවෙත් පොදු ජනතාව නේද?”
“දැන් ඒවා මතක නෑ. ආපහු උන් පස්සෙම යන්න පටන් අරන්...”
“අපේ මිනිස්සුන්ගෙ මතකය ගැන හරියටම දැනං හිටියෙ ප්‍රභාකරන් විතරයි.”
“උතුරට විතරක් නෙවෙයි දකුණටත් ප්‍රභාකරන් කෙනෙක් ඕන කියපු මිනිස්සුත් හිටියා නේද, ඒ කාලෙ?”
“මිනිස්සු එහෙම කිව්වෙ හිතේ වේදනාවට... යකෙක් හරි ඇවිල්ලා මේ රට හදනවනං මිනිස්සු කැමතියි.”
“ඒ වුණාට, මිනිස්සු හැමදාම කැරට් අලේ පස්සේ දුවන අස්සයා වගේ රැවටුණා.”
“කැරට් මොකටද? බත් පැකට් එකකුයි, අරක්කු බෝතලේකුයි, රුපියල් දාහකුයි ගහක අත්තක එල්ලල තියනවකො. රැස්වීමකට වගේ මිනිස්සු පිරෙයි. එතෙන්ට. ඒ තමයි පොදු ජනතාව.”
“ඉස්සරහට බලාගන්න පුළුවන් ඒවා.”
“සිරි ලංකාවේ පොදු ජනතාව කියන්නෙ, ලැජ්ජ නැති ජනතාවකට. අතීතය, වර්තමානය, අනාගතය කියන කාලතුනම දන්නෙ නැති අසමජ්ජාතියක්.”
“පොදු ජනතාවයි, මහ ජනතාවයි කියන්නෙ දෙකම එකක්ද?”
“අපොයි නෑ පොදු ජනතාව කියන්නෙ, මේ තමුසෙල අපි වගේ සාමාන්‍ය මිනිස්සු. මහජනතාව කියන්නෙ අපේ ඡන්දෙන් බලය ලබාගෙන හිතේ හැටියට සැප සම්පත් විඳින උදවියයි. ඒ ගොල්ලන්ගෙ ඥාති මිත්‍රයොයි සපෝටර්ලා කියන කාලකන්නි හොරු රැළයි තමයි.”
“මහ ඡන්දෙන් පස්සෙවත් අපිට සුගතියක් වෙයිද?”
“කොහොමද එහෙම හිතන්නෙ. පොදු ජනතාව හැමදාම අලුත් බලාපොරොත්තු ඇතිකර ගත්තා. ඒත් අන්තිමේට වුණේ දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන ඉන්න නෙවෙයිද?”
“තුනෙන් දෙකක් දුන්නොත් සේරම හරි කියල නේද සමහරු කියන්නෙ?”
“ඊටපස්සෙ කිව්වොත්, තුනෙන් තුනම ඕනෙ කියලා?”
“දැන් අපිට ඉතිරිවෙලා තියෙන්නෙත් එච්චරයි.”
“මොකක්ද?”
“ඡන්ද බලේ... මේ යන විදිහට ඡන්දත් නැතිවෙලා. අපිට තියෙන එකම බලයත් අහිමි වෙලා යයි.”
“ඡන්ද බලය, සැබෑ බලයක් වෙන්නෙ අපි ඒක හරියට පාවිච්චි කරන්න දන්නවනං විතරයි.”
“එතකොට දැන් වෙන්නෙ මොකක්ද?”
“ඡන්දදායකයා මුලා කරලා, ඡන්දය උදුරගන්න එක විතරයි. දින්නට පස්සෙ, කලින් කියපුවා කරන්න බැරි හේතු කියනවා. තවත් බලය ඉල්ලනවා. අපිත් දෙනවා. ආයෙත් එනවා. ඒකම කියනවා. අපිත් දෙනවා.”
“චක්‍රයක් වගේ?”
“අන්න හරි. මේක සෙක්කුවක්. අපි සෙක්කුවේ බැඳපු ගොන්නු.”
“එහෙමම කියන්න පුළුවන්ද? ගොන්නුන්ට සාක්ෂරතාවය තියෙනවයැ? යුනෙස්කෝව කියන හැටියට අපේ රටේ වැඩිහිටි සාක්ෂරතාවය සීයට අනූ එකයි දශම නමයයි. ආසියාවෙන් ගත්තම අපි ඉන්නෙ හයවෙනි තැන.”
“ඕකෙන් ඔප්පු වෙන්නෙ අකුරු දැනගත්ත පලියටම මොළේ පෑදෙන්නෙ නෑ කියන එකනේ.”
“ලබන පාරනං මහඡන්දෙදි හැම පක්ෂෙකින්ම උගත්තු තෝරල නාමයෝජනා දෙනවලුනෙ. ඒ නිසා අපිට ඡන්දෙ දෙන්න කෙනෙක් තෝර ගත්තැකි.”
“මොනවද මේ කියන්නෙ? හොරු කණ්ඩායම එක්ක හැදුණු වැඩුණු ගිරවගෙ කතාව අහලා තියෙනව නේද?”
(මෙවර “හී සරය” ලිවීමට මට විවේකයක් නොලැබුණේ හදිසියේම පාර්ලිමේන්තුව විසිරැවා හැරීම නිසා, වැඩ රාජකාරි අධික වූ බැවිනි. එහෙයින්, ඉහත දැක්වූයේ, පසුගිය මැතිවරණ සමයේ දක්නට ලැබුණු වීදි නාට්‍යයකින් කොටසකි.)
- කපිල කුමාර කාලිංග