“පත්තරෙන් ඇවිත් මෙහේ
ඇත්ද යම් කෙනෙක්
ගන්න ගන්න මාගෙ රූපේ මං ෆොටෝ ජෙනික්
නමද ගමද වයස එක්ක පින්තූරෙ විස්තරේ
පත්තරේට වැටෙනකල් අනේ
රෑට නින්ද යන්නෙ නෑ අනේ”
’ගැටවරයෝ’ චිත්‍රපටයට නාරද දිසාසේකරයන් විසින් ගායනා කරන ලද මෙම ගීතය රසිකයන් අතර ජනප්‍රිය වූයේ එහි ’කෝරස් කොටස’ වූ ’හාරිච්චි බෝරිච්චි’ යන්නෙනි. අමරදේවයන් සංගීතවත් කළ මේ ගීතයේ රචකයා මහගම සේකරය.
මේ ගීතයේ ඉංග්‍රීසි වචනයක් ද ඇත. ඒ ‘ෆොටෝජෙනික්’ (Photogenic) ය. එහි අරුත වන්නේ කිසියම් කෙනකුගේ මුහුණ කැමරා ඇසට ලස්සනට පෙනීමය. බොහෝ සිනමා නිළියන් ෆොටෝජෙනික්ය. සමහරු දුරට කැතය. ළඟට හැඩය. තවත් සමහරුන්ගේ ලස්සන මේකප් සේදූ පසු සෝදාපාළු වී යයි.
සිනමා නළු නිළියන් නොවන නමුදු, නිතර නිතර පත්තරවල, ටීවී චැනල්වල පෙනී සිටීමට කැමති තවත් පිරිසක් වෙති. ඒ දේශපාලනඥයෝය. නාරදගේ ගීතයේ ‘පත්තරේට වැටෙනකල් අනේ.. රූට නින්ද යන්නෙ නෑ අනේ’ යනුවෙන් කියැවෙන කොටස ඒ උදවියට ද මනාව ගැලපෙයි.
අපේ බොහෝ දේශපාලනඥයෝ ෆොටෝජෙනික් නැත. එහෙත්, පත්තරේ හෝ රූපවාහිනියේ ‘වැටීම’ සඳහා නොයෙක් නොයෙක් දේ කරමින් කැමරා ඇසට හසුවීමට යත්න දරති. කැපී පෙනීමට උත්සාහ කිරීම දේශපාලන චරිතවල සාමාන්‍ය ස්වභාවයකි. අනෙක් අතට මෙය ජනතාවගෙන් ලකුණු දමා ගැනීමකි.
සිරි ලංකාව වැනි කොදෙව්වලදී ගස් නැගීම ද ෆොටෝජෙනික් වැඩක් බවට පත්වෙයි. ඇත්තෙන්ම ගස් නැගීම දුෂ්කර වැඩකි. කලකට පෙර නම් ගස් නගින්නට නොදන්නා කොල්ලෙක් කුරුට්ටෙක් ගම්වල සිටියේ නැත. දැන් කාලේ නම් ගස් නැගීම ජොබ් එකකි. සමහරු ගස් නගින්නෝ රජයේ සේවකයන්ට වඩා හොඳ ආදායමක් උපයති. (ඔවුන්ට බදු ගසන්නේ ද නැත) එහෙත්, ගස් නැගීම නම්බුකාර ජොබ් එකක් ලෙස සැළකෙන්නේ නැති නිසා, අනාගතයේදී ගස් නගින්නන් ද (රා මදින්නන් සේම) අසල්වැසි රටවලින් ‘ආනයනය’ කිරීමට සිදුවනු ඇත.
මේ ළඟදි අපේ ජනප්‍රිය දේශපාලනඥයෙක් ගස් නැග්ගේය. ගස් නගින ඔවුන් ද පාර්ලිමේන්තු ගොස් ඇතැයි සරදම් කිරීමට අපගේ කිසිදු අදහසක් නැත. එතුමා නැග්ගේ කොස් ගසකටය. ඒ අලි පැටවකුගේ කුසගිනි නිවීම සඳහා වරකා ගෙඩියක් කඩා ගැනීමටය. එය ඉතා කාරුණික, මානුෂීය හා ෆොටෝජෙනික් ක්‍රියාවක් ලෙස අගය කළ හැකිය.
මේ සිද්ධියේදී තවත් පැත්තක් ඇත. දේශපාලකයකුට ගසකින් ගෙඩියක් කඩා ගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා ඉදිරිපත්වන ඇම්බැට්ටයන් ඕනෑ තරම් ඇත. එසේ තිබියදීත් තමන්ම සරම කැසපට ගසාගෙන ගස් නැගීම සම්පූර්ණ ලකුණු ලබා ගැනීමකි. ඒ අවස්ථාවේ එතැන කැමරාකාරයකු සිටීම අහම්බයක් විය හැකිය. නොඑසේනම් එම කොස් ගසේ අයිතිකරුවා ඡායාරූප ශිල්පියකු හෝ ජනමාධ්‍යවේදියකු වීමට ද ඉඩ ඇත.
තමන්ගේ එකෙකුට ලකුණු වැටෙනවිට එය නොරිස්සීම හා විවේචනය කිරීම ද අපේ රටේ හැටියකි. ගස් නැගි මිත්‍රයා ගැනද දොස් නැගූ තවත් දේශපාලනඥයෙක් මාධ්‍යවේදියකුට දුරකථන ඇමතුමක් දී මෙසේ කීවේය.
“අයිසේ, තමුසෙලා වරකා කඩන්න ගස් නැගපු මෑන්ට ලොකු පබ්ලිසිටියක් දුන්නා. ඒත් ඔයිට කලින් ගස් නැග්ගේ මමය කියන එක අමතක කළා.”
“සර් කවදද ගස් නැග්ගේ?”
“මමත් නැග්ගේ කොස් ගහකටම තමයි. හැබැයි වරකා නෙවෙයි වැල කඩන්න.”
“ඒත් බඩගිනි සතෙක්ට කන්න දෙන්නද?”
“නෑ හලෝ.. මට කන්ඩ. මම වැල කන්ඩ හරි ආසයි. ලෝකේ කොහේ ගියත් වැලයක් හොයා ගන්නවා.”
“හැම රටවලට කොස්, දෙල් නෑනේ සර්..”
“මං ගිය රටවලනම් තිබුණා. එක රටක මං හිටපු හෝටලේ ළඟම කොස් ගහක් තිබුණා. මට වැල සුවඳ දැනුණා. ඒ පාර මම උඩ තට්ටුවේ බැල්කනියට පැනලා, ගහේ අත්තකට නැග්ගා. වැලේට අත තිබ්බා විතරයි අත්ත කඩාගෙන බිම වැටුණා.”
“සර්ට තුවාල වෙන්ඩැති”
“මොන පිස්සුද අයිසේ..වැඩ දන්න නිසා බේරුණා.”
“ෂා.. ඒක මරු ස්ටෝරියනේ සර්.. වැල කෑ පබිලගේ කතාව වගේ නැගලා යයි. අපි ඒක ලියමුද සර් පත්තරේට. වරකා කතාවට වඩා නැගලා යයි.”
“ඒක ලිව්වම අර මෑන් තරහා වෙයි. අපි අලුත් වැඩක් කරමු. මං මේ දවස්වල අතුරේ යන්ඩ දාගෙන ඉන්නවා.”
“රා මදින්ඩද?”
“නෑ.. නෑ.. අසනීප වෙලා ඉන්න උගුඩුවෙකුට රා කළයක් බාලා දෙන්ඩ.”
“නියමයි සර්..”
“මම අතුරේ යනකොට තමුසේ ෆොටෝ එකක් ගහනවා.”
“ඕකේ සර්..”
පහසු දිනයක් යොදාගත් දේශපාලකයා සහ මාධ්‍යවේදියා මුහුදු තීරයට ගියහ. රාහු කාලය බැලූ දේශපාලකයා පොල් ගසකට නැග අතුර දිගේ යන්නට පටන් ගත්තා පමණි. පය ලිස්සා ගොස් මාධ්‍යවේදියාගේ කර මත ඇද වැටුණි. කැමරාවද කුඩු පට්ටම්ය.
ඒ කෙසේ වෙතත්, වරකා සිද්ධියෙන් පසු බොහෝ දේශපාලනඥයන් කොස් ගස් නැගීමේ “කෝසස් ෆලෝ” කරන බවට ආරංචි තිබේ. මේ නිසා අනාගත සිරි ලංකාව, ගස් නගින දේශපාලනඥයන්ගෙන් පිරි රටක් වීමට ඉඩ ඇත. තමන් ලබන වැටුප සහ වරප්‍රසාද වෙනුවෙන් ඒ ආකාරයෙන් හෝ සේවයක් ඉටු කිරීමට ඔවුන් ඉදිරිපත් වීම සතුටට කාරණයකි. මෙය “ගස් නගින්නවුන්ගේ දේශයක්” බවට පත්වන දවස වැඩි ඈතක නොවේ.
►කපිල කුමාර කාලිංග