2018 ජුලි 28 වන සෙනසුරාදා

කොලින්ඩා ශ්‍රී ලංකාවට?

 2018 ජුලි 28 වන සෙනසුරාදා, ප.ව. 06:00 165

පාපන්දුව ක්‍රමක්‍රමයෙන්, කාට කාටත්, අමතක වී යතත්, අනුශූරයන් වූ ක්‍රොඒෂියාවේ ජනපතිනිය කොලින්ඩා කිටරොටික් අමතක කිරීම නම් ලෙහෙසි පහසු නැතුවා සේය. පාපන්දුලෝලියෝ පමණක් නොව, “අනෙක් ලෝලියෝද” කොලින්ඩා හිස මත තබාගෙන, “රාග සෙල්ලමේ” (පාපන්දු පුහුණුවේදී භාවිත වන යෙදුමකි) යෙදෙනු දක්නට ලැබෙයි.
වයස කෙසේවෙතත්, තුරුණු, සරාගී පෙනුමකින් යුත් රූමත් කොලින්ඩා, පාපන්දු සුපිරි තරුද අභිබවාලමින් ජනප්‍රියත්වයට පැමිණියාය. කොලින්ඩාට ආවඩන්නට ලෝක මාධ්‍යකාරයෝ ද පොරකෑහ.

පසුගිය දිනෙක අපේ කැන්ටිමේද, කොලින්ඩා ගැන කතාබහක් ඇතිවිය.

“කොලින්ඩා වගේ ලස්සන ගෑනු කෙනෙක් ජනාධිපතිනි වුණාම, රටකට කිරි උතුරනවා.” සමරේ කීවේය.

“ඇයි අපිටත් හිටියෙ චන්ද්‍රිකා මැඩම්. එයත් තරුණ කාලෙ හිනාවෙනකොට මල් හැලෙනවා.” ජයසිරි කාගේත් මතකය ඇවිස්සුවේය.

“සිරිමාවෝ මැතිනියත් එහෙම තමයි. ඒ කාලෙ හරි සිරියාවයි.” තවත් කවුදෝ කීය. ඒ ඇසූ මාරේ සිනාසුණේය.

“එහෙමනං අපිට ඇයි බැරිවුණේ, ෆුට්බෝල්වලින්වත් ඉස්සරහට යන්ඩ?”

සභාව මොහොතකට නිහඬ වුණි.

“දේශපාලනේ වැඩක් නෑ. අපි ෆුට්බෝල් ගැන කතා කරමු. මේ දවස්වල ෆුට්බෝල් කියන්නෙ කොලින්ඩා නෝනා. පේලේ, රොනාල්ඩෝ, මැරඩෝනා වගේ ග්‍රේට් ප්ලේයර්ස්ලා ළඟට එයාගෙ ෆොටෝ එකත් පළවෙනවා.” සමරේ යළිත් කොලින්ඩාට ‘හේත්තු’ වූයේය.

“කොලින්ඩා හොඳට ඉගෙනගත්තු කෙනෙක්. එයාට සාහිත්‍ය උපාධියකුත් තියෙනවා.”

පුස්තකාලයාධිපතිනිය වූ සන්ධ්‍යා ද කතාබහට එක්වූවාය.

“සාහිත්‍ය දන්න නිසා තමයි එයාගේ මනුස්සකම පෙන්නුවෙ. දිනුම් පැරදුම්, කළු සුදු භේදයක් නෑ කාවත් බදාගෙන ඉම්බා. ඒක බලං හිටපු මගෙ ඇස් දෙකටත් කඳුළු ආවා.”
ඒ තවත් අදහසකි.

“අනේ ඔව්. අර කළු කොලුවව බදාගෙන බාප්පේ කියල තොත්තුවක් දුන්න නෙව. මං හිතන්නෙ නෑකමට බාප්පා වෙනව ඇති.”

එසේ කීවේ, ශ්‍රවණ ආධාරක යන්ත්‍රයක් කනේ පැළඳ සිටින උඩුවිලය. ඒ කතාවට සිනා පිපිරුණි.

“බාප්පේ නෙවෙයි බං, එයාගෙ නම එම්බාපේ. ප්‍රංශ කණ්ඩායමේ ක්‍රීඩකයෙක්.”

සමරේ පැහැදිලි කර දුන්නේය. උඩුවිල හෙමින් සීරුවේ එතැනින් ෂේප් වී ගියේය.

“සමහරු කියනවා, වර්ල්ඩ් කප් එක දිනුවෙ ප්‍රංශය නෙවෙයි අප්‍රිකාව කියලා. ඒ තරමටම කළු ජාතිකයොනෙ ඒ ටීම් එකේ හිටියෙ.” පුස්තකාලාධිපතිනිය කතාව වෙනත් පැත්තකට හැරවූවාය.

“ඒකෙන් ප්‍රංශෙ මුළු ලෝකෙටම දුන්නෙ ලොකු ආදර්ශයක්. උන්ගෙ නෑ කළු-සුදු භේද. හැම පුරවැසියෙක්ම සමානයි. කල්ලො නොහිටියා නම් කප් එක ගෙදර ගෙනියන්නෙ කොලින්ඩා.” ජයසිරි පැවසුවේ මේසයටද තට්ටුවක් දමමිනි.

“ඒකට අපි! මුරලිදරන්ට ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්කම දුන්නෙ නෑ. කදිරගාමර්ට අගමැතිකම දුන්නෙ නෑ. ඉතින් කොහෙද අපි ෆුට්බෝල් ගහන්නෙ.”

“ෆුට්බෝල් ගහන්න දේශපාලනේ මොකටද?”

සභාවෙන් ප්‍රශ්නයකි. ඊට ජයසිරි පිළිතුරු දුන්නේ ප්‍රශ්නයකිනි.

“ක්‍රිකට්වලට විතරද දේශපාලනේ ඕනෙ?”

“වර්ල්ඩ් කප් එකේදිත් පුටින් පෙන්නුවෙ එයාගෙ බලය. කිසිම පැමිණිල්ලක්, අවුලක් වලියක් නැතුව වැඩේ ලස්සනට ඉවරයක් කෙරුවා. අයි.එස්.අයි.එස්. කාරයො තර්ජනය කෙරුවා, ක්‍රීඩාංගන පුපුරවනවා කියලා. ඒව ඔක්කොම පුස් වෙඩි!”

ජයසිරි නැවතත් කතා කරමින් තම මතය සනාථ කරද්දි, පසෙක සිටියෙක් ඊට එරෙහිව සරදමක් කළේය.

“හැබැයි පුටින්ගෙ බොඩිගාඩ් එයාට කුඩේ අල්ලන්ඩ ගිහිං අනාගෙන නාගත්තා නේද?”

ඒ කතාවේ නම් කිසියම් ඇත්තක් ඇති බව පෙනී ගියේ කාගේත් නිශ්ශබ්දතාවයෙනි. ප්‍රංශයේ හා ක්‍රොඒෂියාවේ නායකයන් දෙදෙනාම (පිටින් පැමිණි ආරාධිතයෝ) වැස්සේ තෙමෙද්දි, තමන්ගෙ බොසාට පමණක් නොතෙමී ඉන්නට කුඩේ ඇල්ලීමෙන්, ඒ ගාඩ් කළේ තමන්ගෙ හිස බේරාගැනීමක් බව පැහැදිලිය. ඒ සිද්ධිය දුටු බොහෝ දෙනාට - කොලින්ඩාට පවා - තම හාම්පුතා මැසි මදුරුවන්ගෙන් බේරාගැනීමට උන්ට කඩුවෙන් කෙටූ මෝඩ වඳුරාගේ කතාව මතක් වන්නට ඇත. ඒ අතින් බැලූවිට පුටින්ගේ ආරක්ෂකයා බුද්ධිමත්ය. ඔහු බොසාගේ හිසත්, තම හිසත් දෙකම බේරාගත්තේය. මේ ආරක්ෂකයා ශ්‍රී ලංකාවෙන් ගොස් රුසියාවේ පදිංචිවූවෙකුද විය හැකිය. අලුත්ම ආරංචියකින් කියැවෙන පරිදි ඒ කුඩය, ප්‍රංශ ජනාධිපතිගේය. වැසි කලබලය නිසා ආරක්ෂකයා ඒ කුඩය ගෙන තම නායකයාට එසවීය. මේ අපවාදයෙන් පුටින් බේරාගැනීම සඳහා රුසියාවේ වෛද්‍ය විශේෂඥයන් හතර පස් දෙනෙකුම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින බවද දැනගන්නට ඇත. ඔවුන් පවසන්නේ පුටින් වැනි ප්‍රබල රාජ්‍ය නායකයෙකුට වැස්සට තෙමීමෙන් සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ වැළඳුණේ නම් එය ලෝක ආර්ථිකයට පවා බලපෑ හැකි හෙයින් ආරක්ෂකයා ගත් පියවර අගය කළ යුතු බවය. එසේම, එම විශේෂඥයෙකු පවසන අන්දමට, පුටින් බාලවියේ සිටම පීනස්කාරයෙකු බැවින්, වැස්ස, පින්න බොහෝ අගුණ බවය. ඔහු බාලවියේදී, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මගින්, මීගමුවේ වෙදගෙදරක නිපදවූ පීනස් තෙල් පවා ගෙන්වාගෙන ඇත.

මේ සියලු කතාබහ අස්සේ, මාධ්‍යයට ඕපාදූප සපයන පත්තර කොලුවෙකු මට පැවසුවේ, ක්‍රොඒෂියා ජනපතිනිය - කොලින්ඩා- ශ්‍රී ලංකාවට ගෙන්වීමට දේශපාලකයන් කණ්ඩායමක් ක්‍රියා කරමින් සිටින බවය. ක්‍රොඒෂියානු පාපන්දු කණ්ඩායමද ඒ සමඟ පැමිණ, පාර්ලිමේන්තු පාපන්දු කණ්ඩායමත් සමඟ සුහද තරගයක යෙදෙනු ඇත. මෙම තරගයෙන් පාර්ලිමේන්තු පිල අනිවාර්යයෙන්ම පරදින අතර, ඔවුන් හඬා වැළපෙනු දකින කොලින්ඩා, නාවර පෙරාගත් මැති ඇමැති ක්‍රීඩකයන් බදා වැළඳ සිප සනසනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති. මේ කතාව සැබෑවක්දැයි දැනගනු පිණිස, මම හිතවත් දේශපාලනඥයෙකුට ඇමතුමක් දුන්නෙමි. පිළිතුර මෙසේ විය.

“ඔව් මල්ලි, අපි බැලුවෙ එහෙමවත් අපේ පාපන්දුව උස්සල තියන්ඩ. ඒත් වැඩේ බකල්වෙන පාටයි. කොලින්ඩා නෝනාට කවුදෝ කියල පිටරටින් එන වැදගත් නෝනලට, අපේ නාකි මනමාලයො මංගල යෝජනා ගේනවා කියලා!”

“ඒකත් එකටම, කොලින්ඩාට ඒ කේලම කියන්ඩ ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංගමයේ කවුරුහරිය. ඉතින් අපිට මොන ෆුට්බෝල්ද?”


►කපිල කුමාර කාලිංග