2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

පොත් රසය

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 407

ශ්‍රී ලංකාවේදී සැප්තැම්බරය යනු පාඨකයන්ගේ හා පොත් ප්‍රකාශකයන්ගේ මාසයයි. මේ කාලයේදී පොත් ප්‍රකාශකයන්ගේ ගිණුම් පිරී යාමත්, පාඨකයන්ගේ පසුබිම් හිස්ව යාමත් සිදුවෙයි.

සැප්තැම්බරයේදී කොළඹ මහා පොත් ප්‍රදර්ශනයක් සාහිත්‍ය සම්මාන උළෙලක් පැවැත්වෙන නිසා ඒ ඉලක්ක කොට ගත් පතපොත ලියැවීමක්, ප්‍රකාශයට පත්වීමක් (දොරට වැඩීම්) සිදුවේ. ඒ දෙකම අගය කළ යුතුය.

පොත් ප්‍රදර්ශනය සැණකෙළියක් බඳුය. අඩුවකට ඇත්තේ මෙරිගෝ රවුමක් සහ කතුරු ඔංචිල්ලාවක් පමණි. නන් දෙසින් පැමිණෙන ජනී ජනයා, පොත්පත් නරඹමින් විවිධ ක්ෂණික ආහාර වර්ග අනුභව කරමින් කල්ගෙවන අයුරු සැප්තැම්බරයේදීම පමණක් දැකගත හැකි අසිරිමත් දසුනකි. මෙහි එන සැම දෙනාම සාහිත්‍ය ලෝලීහු නොවුණත්, “එක්සයිස් පොතක්” හෝ මිලදී ගැනීමට පසුබට නොවෙති.

පොත් ප්‍රදර්ශනයේදී 20%ක වට්ටමක් ලබාගැනීමට පාඨකයන්ට අවස්ථාව උදාවෙයි. සමහරු පවසන අන්දමට ඒ සඳහා පොත් ප්‍රදර්ශනය උදාවන තුරුම සිටිය යුතු නැත. ප්‍රකාශකයාගේ වෙළෙඳ සලින්ද ඒ වට්ටම ලබාගත හැක. එහෙත් සියලුම දෙයෙහි මිල ගණන් ඉහළ යන මේ දිනවල පොතක හෝ මිල අඩුකරලීම ප්‍රශංසා කටයුතුය. සමහර විට ලංකාවේ ජනතාවට ලාබෙට ලබාගත හැකි එකම “භාණ්ඩය” පොතපත යැයි කෙනෙකුට සිතෙන්නට ද බැරි නැත. එහෙත් අවාසනාවකට මෙන් පොත් යනු මනසට ආහාරයක් පමණි. පොත් මිලදී ගැනීම සඳහා පසුම්බිය හිස් කර ගන්නා පාඨකයාගේ කුස නොපිරේ. එහෙයින් පොත් මිලදී ගැනීමේදී දෙවරක් සිතා බැලීමට ද ඔහුට සිදුවෙයි.

පිට පළාත්වල සිට පොත් ප්‍රදර්ශනයට පැමිණීම ද, මැයි දිනයට පැමිණීම මෙන්ම විනෝද චාරිකාවකි. මෙසේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනයා උදෙසා දන්සල් පැවැත්වීමට කවුරු කවුරුත් හෝ ඉදිරිපත්වන්නේ නම් මැනවයි සිතමි. (“පොත් දන්සල් නොවේ.”) බත් දන්සල්, අයිස්ක්‍රීම් දන්සල්, මඤ්ඤොක්කා දන්සල් ආදියෙන් මනස පුරවා පාඨකයාගේ කුසද පුරවාලිය හැකිය. එයින් ඔවුන්ගේ හිස්වන පසුම්බියට ද කිසියම් සහනයක් ලබා දිය හැකිය. මෙසේ හෙයින් ප්‍රදර්ශන භූමියේ කුටි කීපයක් “දාන ශාලා” සඳහා වෙන් කරදීමට සංවිධායකයන් කටයුතු කරන්නේ නම් එය මහා පුණ්‍ය කර්මයක් වනු ඇත. නිසරු පොත් වැඩි මිලට විකිණීමෙන් ඔවුන් කිසියම් අකුසලයක් කර ගන්නේ නම් එය ද “අහෝසි කර්ම” වීමට එකී සිත බලපානු නිසැකය.

පාඨකයා හා ප්‍රකාශකයා හැරුණු විට පොත් ඇසුරින් ජීවත් වන තවත් සත්ව කොට්ඨාසයක් වනුයේ පොත් කාවුන්ය. ඉංග්‍රීසියෙන් “බුක්ටර්ම්” “සිල්වර් ෆිෂ්” යනාදි යෙදුම්වලින් හැඳින්වෙන පොත් කාවාට ඕනෑම පොතක් රසවත්ය. එහි ගුණාගුණ නොබලයි. නොතකයි. මුලින් මැදින් හෝ අගින් පටන්ගෙන හීන් සීරුවේ පොත් භක්ෂණය කරයි. මීයෝ සහ කැරපොත්තෝ ද පොත් කති. එහෙත් පොත් කාවා පොත කන්නේ කැටයමක් කපන්නාක් මෙන් ඉතා අවධානයෙන් යුතුව, ක්‍රමනුකූලවය. සම්මාන විනිසුරුවන් මෙන් කලබලයෙන්ද නොවේ. ඉවසීමෙනි. විචාරකයා සහ සම්මාන විනිසුරුවරයාත්, පොත් කාවාත් අතර ඇති තවත් වෙනසක් වන්නේ කාවා මුළු පොතම “කියැවීමය” අනෙක් දෙදෙනාට ඒ සඳහා වෙලාවක් නැත.

“කියැවීමෙන් මිනිසා සම්පූර්ණ වේ” යනු සුප්‍රකට ඉංග්‍රීසි කියමනකි. ඒ අනුව බලන කල තමන් කොතරම් සම්පූර්ණදැයි ඕනෑම කෙනෙකුට “ස්වයං තක්සේරැවක්” කර ගත හැකිය. එක්තරා රේස් බුකියක පිවිසුම් දොරටුවෙහි ද “කියැවීමෙන් මිනිසා ධනවත් වේ.” යනුවෙන් ලියා තිබුණි. එහිම ඇතුළත බිත්තියක මෙසේ දැක්වුණි. “වේගයෙන් කියවන්නාට වඩා වේගයෙන් වටහා ගන්නා ජය ගනී.”

ලංකාවේ සෑම නගරයකම වාගේ පොත්හල් දක්නට ලැබෙතත්, සුපිරි වෙළෙඳ සල් හෝ රෙදිපිළි වෙළඳ සල් තුළ මෙන් ජනකායක් ඒවායේ නිතර ගැවසෙන්නේ නැත්තේ පොත් යනු අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන නිසාය.

කලකට ඉහත නම් පොත් කියැවීම පාසල් ළමුන්ගේ පවා විනෝදාංශයකි. දැන් නම් ළමුන් කියවන්නේ ජංගම දුරකථනය. මෑතකදී පොත් හලකට පිවිසි කුඩා ළමයෙක් එහි සිටි සේවකයාගෙන් මෙසේ විමසීය.

“සෙල්ෆි බුක්ස් තියෙන්නේ කොතනද?”

මොහොතක් කල්පනා කළ සේවකයා, ස්වයං ලිඛිත චරිතාපදාන තිබෙන රාක්කය වෙත ළමයා කැඳවා ගෙන ගියේය.

පොත්හල්වල සිටින සමහර සේවකයෝ පොත්පත් ගැන කෙසේ වෙතත් ඒවා තිබෙන තැන් ගැන හෝ හොඳින් දැන සිටිති. එක්තරා පොත් හලකට ගොඩවැදුණු මහලු පුද්ගලයෙක් සේවකයෙකු ගෙන් මෙසේ විමසීය.

“ඩොයිලිගෙ දිනපොත තියෙනවද?”

ඔහුට අවශ්‍යව තිබුණේ මෙරට සිටි බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙකු වූ ජෝන් ඩොයිලිගේ දින සටහන් ඇතුළත් මුද්‍රිත කෘතිය ලබා ගැනීමටය. අවාසනාවකට මෙන් අර සේවකයා ඩොයිලි ගැන දැන සිටියේ නැති හෙයින් මෙසේ පිළිතුරු දුන්නේය.

“එක එක්කෙනා දිනපොත් හෙම මෙහෙ දාලා යනවා. ඩොයිලි මහත්තයට ජාතික හැඳුනුම්පතත් අරන් එන්න කියන්නකෝ. තිබුණොත් අරන් තියන්නං.”

තවත් අවස්ථාවක පොත් හලකට ගිය පුද්ගලයෙක් “කළු නික සෙවීම” තිබේ දැයි විමසුවේය.

“එහා පැත්තේ බෙහෙත් කඩෙන් අහල බලන්නැයි” පිළිතුරු ලැබුණි.

ගුවන් විදුලි ප්‍රශ්නෝත්තර තරගවලදී ද පොත්පත් ගැන විමසන බොහෝ අවස්ථාවල ශ්‍රාවකයෝ නිරුත්තර වෙති. නොඑසේ නම් විහිළු සපයති. “ලෝවැඩ සඟරාව” කාගේ කෘතියක් දැයි විමසූ විටෙක එක්වරම ලැබුණු පිළිතුර වූයේ ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාවේ මාසික සඟරාව බවය.

පොත් කියවීම සම්බන්ධයෙන් විහිළු කතා ද බොහෝය. අන්තර්ජාලයේ වූ එබඳු කතාවකි මේ.

අවන්හලක් තුළ මිතුරෝ තිදෙනෙක් තම දරු පවුල් ගැන කතා කරමින් සිටියහ.

“මගේ නෝනා, බබා හම්බවෙන්න ඉන්න කාලේ” “දෙනුවර අන්දරය” කියෙව්වා. එයාට නිවුන්නු දෙන්නෙක් හම්බ වුණා.”
එක් අයෙක් කීය.

“මගේ නෝනා ඒ කාලෙ කියෙව්වෙ “පුංචි සුරංගනාවියෝ තුන්දෙනා” කියන පොත. දූලාම තුන්දෙනෙක් හම්බ වුණා.”

දෙවැන්නා එසේ කියත්ම තුන්වැන්නා කලබලයෙන් නැගිට්ටේය.

“මළ කෙළියයි! මගේ නෝනා කියව කියව හිටියේ අලි බබා සහ හොරු හතළිහ!”
ඔහු, අවන්හලින් පිටතට පැන නිවස දෙසට දිව යන්නට වූයේය.

කපිල කුමාර කාලිංග 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00