ශ්‍රී ලංකා ජනරජයේ පුරවැසියෝ දෙදෙනෙක් දුම්රියෙන් දුර ගමනක් යද්දී කාලය ගෙවා ගැනීම සඳහා කතාවට වැටුණහ.
“රුපියල බාල්දු වෙලාලු නේද?”
“රුපියල මොකක්ද? රුපියල් පන්දාහත් බාල්දු වෙලා තියෙන කොට”
“හැබෑට? මිස්ටර් ඉකොනොමික්ස් කරලා තියෙනවා වගේ?”
“නෑ... මං මාර්කටින් කරනවනෙ.”
“කොහොමද පන්දාහ බාල්දු වෙලා තියෙන්නෙ? පත්තරේකවත් තිබුණේ නෑනෙ?”
“පහුගියදා දවසක මම පන්දාහේ නෝට්ටුවක් අරං ගෙවල් ළඟ සුපර් මාර්කට් එකට ගියා. ගෙදර ඇවිත් බැලින්නං අරන් තියෙන්නෙ බඩුමුට්ටු දෙක තුනයි. ඒත් පන්දාහම ඉවරයි. මං සැක හිතුවා මම ඉතුරු සල්ලි අරගෙන නැතුව වත්ද කියලා. වයිෆ් බිල චෙක් කරලා බැලුවම ගාණ හරි.”
“ඇත්ත තමයි. ඒ විදිහට බැලුවම හැම නෝට්ටුවක්ම බාලයි.”
“සල්ලි විතරක් බාල නොවී තියෙයියැ, හැම දෙයක්ම බාල වෙනකොට.”
“ඒක ඇත්ත. බලන්ඩකො මිස්ටර් ක්‍රිකට්වලට වෙච්ච දේ! බිංදුවටම බැස්සනෙ.”
“මගෙ අදහස නම් වර්ල්ඩ් කප් එක පහුවෙන කල් අපේ ක්‍රිකට් තාවකාලිකව නවත්තන්ඩ ඕන. ඒ වෙනුවට කැරම්, නෙට්බෝල්, වගේ ක්‍රීඩාවන් ඉහළට ඔසවලා තියන්ඩ ඕන. දැන් ඒ ගොල්ලොනෙ වර්ල්ඩ් කප් ගේන්නෙ.”
“නරකම නෑ ඒ අදහස. මොන මඟුලක් හරි කරන්ඩ වෙයි. නැත්නම් අපේ මිනිස්සුන්ට තිබුණු එකම සුවයත් නැතුව යනවනෙ.”
“මොකක්ද ඒ?”
“ඇයි නිදි සුවය. මැච් පැරදුණාට පස්සේ මිනිස්සුන්ට නින්ද යන්නෙ නෑ. උදේට ආතතිය. වැඩට ගියාම අනික් එකාව රුස්සන්නේ නෑ. ඒ විදිහට බැලුවම ක්‍රිකට් කියන්නෙ රටටම කෙළවන මර උගුලක්.”
“අපි වෙන මොනව හරි උපක්‍රම යොදන්ඩ වෙයි. ක්‍රිකට් ගොඩගන්ඩ නම්.”
“හතුරුසිංහව ආපහු බංග්ලදේශෙට පටවලා වට්මෝර්ව ගෙනාවොත් කොහොමද?”
“දැන් තියෙන සයිස් එකේ හැටියට නම්, විරාත් කෝලි ගෙනාවත් වැඩක් නෑ වගේ. දිනන්ඩ කිසිම ඕනකමක් නෑනෙ. චුයිංගම් හප හපා උඩ බලාගෙන ඉන්නවා. පන්දු යවන්නෙක්ට උපදේශයක්වත් දෙනව පේන්නෙ නෑනෙ.”
“ක්‍රිකට් බෝඩ් එක වෙනස් කළොත් කොහොමද?”
“අනේ ඒ අහිංසකයො ටික මේවට පලියැ. අනික ඒගොල්ලො ක්‍රිකට් ගැන දැනුම් තේරුම් තියෙන අයයැ. මැච් තියෙන කාලෙට, ගෙදර කට්ටියත් එක්ක ටුවර් ගහන්ඩ තියෙන චාන්ස් එක නැති කරන්ඩ නරකයි.”
“නෙට්බෝල් ටීම් එකේ කෝච්වත් දැම්මොත් නරකද? එයා නම් ටීම් එකට හොඳ සපෝට් එකක් දෙනවා.”
“ඔතන තව දෙයක් තියෙනවා! ඒක සයිකොලොජිකල් ට්‍රික් එකක්. තමන්ගෙ නම්වලින්ම ප්‍රතිවිරුද්ධ පිල බය ගන්නනවා... දැන් බලන්ඩ අර උස ළමයගෙ නම... තර්ජනී... ඇහුවම බය වෙනවනෙ.”
“අපේ ක්‍රිකට්කාරයන්ගෙත් නම් වෙනස් කරන්ඩයි තියෙන්නෙ... තර්ජන මැතිව්ස්, ගර්ජන මෙන්ඩිස්, මර්දන මාලිංග, සුරංග “අංගුලිමාල්”...”
“ඒක හරියන්නෙ නෑ. බංග්ලාදේශ්කාරයෝ නාග පිල්ලියක් එවපු ගමං අපේ උන් ඇඹරෙනවා... නම්වලින් වැඩක් ගන්නව නං දැනට ඔය තියෙන නමුත් හොඳටම ඇති. ඇෆ්ගන්කාරයන්ගෙ නම් අපි අහලවත් තියෙනවයැ. උන්ටත් බය වුණානෙ අපේ අයි.පී.එල්. කාරයො...”
“ක්‍රිකට් නැවත්තුවොත් ලංකාවෙ හැමතැනම තියෙන පිට්ටනිවලට මොකද වෙන්නෙ?”
“හම්බන්තොට එක නං අලි අනාථාගාරයකට හරි වී වේලන්ඩ හරි ගත්තැකි. දඹුල්ල එයාපෝට් එකක් කරතැකි. පල්ලෙකැලේ හිරකඳවුරටම දෙතෑකි.”
“එතකොට ගාල්ල?”
“ඒක යුනෙස්කෝ එකට බාරදුන්නම ප්‍රශ්නෙ ඉවරයි.”
“එතකොට අනික් පොඩි පොඩි පිට්ටනි?”
“ඒවා දෙනවා මැයි දින රැස්වීම්වලටයි, කානිවල්වලටයි.”
“එතකොට ෆුට්බෝල් ගහන්ඩවත් පිට්ටනියක් ඉතුරු වෙන්නෙ නෑනෙ.”
“ෆුට්බෝල්වලට මොකටද පිට්ටනි? අපේ රටේ ෆුට්බෝල් ගහන්නෙ මහපාරෙනෙ. අනික ෆුට්බෝල් දියුණු කරලා මොකක්ද ඇති පලේ. වර්ල්ඩ් කප් යන්ඩයැ.”
“ඇත්තටම අපේ ජාතික ක්‍රීඩාව මොකක්ද?”
“වොලිබෝල් නේද?”
“මම හිතුවෙ එල්ලේ කියලා.”
“දැන් අවුරුද්දකටවත් එල්ලේ ගහනවයැ. ලොකු ඉස්කෝලවල නම් වොලිබෝල් වෙනුවට බාස්කට් බෝල් ගහනවා. අපේ ජාතික ක්‍රීඩාවත්, ජාතික ඇඳුම වගේ තමයි. නමට විතරයි.”
“ඇයි ඉතින් ක්‍රිකට් අපේ ජාතික ක්‍රීඩාව කිව්වම මොකද වෙන්නෙ?”
“දැන් වෙන දේවල හැටියට කටක් ඇරලා කියන්ඩ පුළුවනෑ ඒක? ජාතියක් ජම්මයක් නැති විදිහටනෙ සෙල්ලම් කරන්නෙ.”
ඉන්පසු දෙදෙනාම මොහොතකට නිශ්ශබ්ද වූහ. එකෙක් පත්තරයක් පෙරළා ගත්තේය. මොහොතකට පසු කතා කළේය.
“ජනාධිපතිතුමා මැන්ඩෙලා සමුළුවට ගිහින් මරු කතාවක් කරලා නේද...?”
“මොනවද කියල තියෙන්නෙ? ජනාධිපතිවරණෙට ආයෙත් ඉදිරිපත් වෙනව කියලද?”
“නෑ... නෑ... ඒව කියනවයැ ඔතන?”
“පහුගිය කාලෙ කියපුවා හැටියට ඕක මොකක්ද?”
“ඔක්කොටම වඩා හොඳ දෙයක් කියලා තියෙන්නෙ.”
“මොකක්ද?”
“නායකයො හැමෝටම මැන්ඩෙලා ගිය පාරේ යන්ඩ කියලා.”
“මළ කෙළියයි!”
“ඇයි?”
“අපේ කට්ටිය නම් බයවෙලා ඇති.”
“ඇයි?”
“මැන්ඩෙලා ගියේ හිරේටනෙ.”
“ඒකට නම් අපේ කට්ටිය බය නෑ. ඒත් මැන්ඩෙලා මළානෙ! ඒ ගමන යන්න නං කට්ටියට බයයි.”
“කොහොම වුණත් දැන් ඊළඟ මැයි දිනේට හොඳ සටන් පාඨයක් තියෙනවා. අපි යන්නෙ කොයි පාරේ, නෙල්සන් මැන්ඩෙලා ගිය පාරේ.”
“ඇත්තටම එතකල් තමයි මිනිස්සුත් බලන් ඉන්නෙ!”
දෙදෙනම අතින් මුව වසා ගෙන සිනාසුණෝය.
►කපිල කුමාර කාලිංග