මිනිසා සොයාගත් ආයුධ වර්ග අතර පිහියට ද ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. පිහි වර්ග බොහෝය. වක්පිහියේ සිට බටර් පිහිය දක්වාම විවිධ වර්ග ඒ අතරය.
මිනිසාගේ ආහාර වර්ග අතර බටර් නොහොත් වෙඬරුවලට ද ඇත්තේ පිහියට තරම්ම දිග ඉතිහාසයකි.
එක් එක් පිහිවර්ග නිපදවුණේ ඒ ඒ පිහියෙන් කළහැකි විවිධ වැඩ උදෙසාය. වක් පිහියෙන් බටර් ගෑ නොහැක. පාන් පිහියෙන් හෝ මේස පිහියෙන් නම් ඒ වැඩේ ද කරගත හැකිය. එහෙත් පිළිවෙළට කන බොන මිනිස්සු බටර් ගෑම සඳහා හුරුබුහුටි බටර් නයිෆ්ව්ස් නොහොත් බටර් පිහි භාවිතයට ගනිති. එහෙත් කෑම මේසයේදී මිස අන් තැනකදී බටර් පිහියට නිසි තැනක් නැත. බටර් ගෑමටම මිස පාන් පෙත්තක් කපා ගැනීමටවත් මුවහතක් නැතිවීම එයට හේතුවය. ඒ අයුරින් බැලූ කල “ලොවින් එකෙක් එක් දේකට වෙයි සමත.” යන කියමන බටර් පිහියටත් සාධාරණය.
මේ ලෝකයේ තිබෙන ලොකු කුඩා හැම දෙයම මොන මොනවාට හෝ ප්‍රයෝජනවත් වෙයි. කෝඳුරු තෙලුත් වෙදකමට ඕනෑ වෙනවා යයි කියන්නේ ඒ නිසාය.
සූපවිද්‍යා විශාරද ආචාර්ය පබිලිස් සිල්වා පවසන පරිදි ව්‍යාංජනයක් සඳහා යොදාගත නොහැකි කිසිදු ගහක් කොළයක් මේ සිරිලංකා පොළොවේ නොමැත. ඔහු එක් වතාවක් කියා සිටියේ තණකොළ විශේෂයකින් පවා පළාමැල්ලුමක් සකසා දියහැකි බවය. හොඳ වේලාවට එතුමා ඒ අත්හදා බැලීමට නොගියේය. එසේ කළානම් හරකෙකුටවත් කෑමට තණකොළයක් මේ රටේ ඉතිරි නොවනු ඇත. එහෙත් දැන් දැන් මේ රටේ සිදුවන දේවල් අසන දකින පිට ලෝකයා සිතනු ඇත්තේ ආචාර්ය පබිලිස්ගේ අලුත්ම අත්හදා බැලීම සාර්ථක වී ඇති බවකි.
කලින් සඳහන් කළාසේ නොවැදගත්යැයි අවතක්සේරු කළහැකි කිසිවක් මේ ලෝකයේ නැත. බටර් පිහියටද බටර් ගෑම හැර තව තවත් දේවල් වෙනුවෙන් පෙනීසිටිය හැකි බව සිරිලංකාවේ පාර්ලිමේන්තුවේදීම මෑතකදී සනාථ කෙරුණි. එය ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන්න වෙනම අනුකමිටුවක් පත්කිරීමෙන් සොයා ගතයුත්තකි.
ලෝකයේ පිහි ඉතිහාසයේ ආත්මාරක්ෂාව සඳහා බටර් පිහි යොදාගත් බවක් “විකිපීඩියා” ගොසින් හෝ සොයාගත නොහැකි විය. එහෙත් අපේ මැතිඇමැතිවරුන් අතර පිස්තෝල තිබියදීත් ආරක්ෂාව සඳහා බටර් පිහිය වැනි නොමුවහත් අහිංසක අවි යොදාගන්නා ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුත් පුද්ගලයින් සිටිනා බවද සඳහන් කරනුයේ ඔවුන්ට බටර් ගෑමේ අදහසින් නම් නොවේ. හදිස්සියට කොරොස් කටෙත් අතදැමීමට නොහැකි යැයි කියමනක් ඇති නමුදු මැතිසබයේ හදිස්සි සම්බන්ධයෙන් නම් එය අදාළ නැතිසේය. ඇසිල්ලකින් බටර් පිහි දෙකක් සොයා ගැනීමට මන්ත්‍රීවරුන් දෙදෙනෙකුටම හැකිවන්නේ එහෙයිනි. මෙහිදී මතුවන කුතුහලාත්මක ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළම සුඛෝපභෝගි හෝටලයක් වැනි භෝජනාගාරයක් පිහිටා තිබියදීත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සැලසුම් කතිකා කෙරෙන උත්තරීතර සභා ගර්භය තුළට බටර් පිහි වැනි අල්පේශාඛ්‍ය ආයුධ දෙකක් පැමිණියේ කෙසේද යන්නය.
මෙහිදී උකුණු මොළයක් හෝ ඇත්නම් මහජනයා සිතාගත යුත්තේ පැය විසි හතරම ජනතා සේවයේ යෙදී සිටින මන්ත්‍රීවරුනට පාතරාසය ගැනීමට හෝ වේලාවක් නැති බැවින් සැන්ඩ්විච් පාන් රාත්තලක් සභාවට රැගෙන අවුත් එහි බටර් පිහියෙන් බටර් ගාගෙන කෑමට ඉඩ ඇති බවය. එසේම මෙම පිහි බටර් පිහි නොව ලියුම් කඩන “ලෙටර් ඕපනර් නම්” පිහි විය හැකියැයි කෙනෙකු උපකල්පනය කරනවානම් එහිද වරදක් නොපෙනේ. පාර්ලිමේන්තුවේ පිහියා වැනුම් ගැන කතාබහ කෙරෙන මේ වෙලාවේ මීට දශක කිහිපයකට ඉහත එහි සිදුවූ “පිහියා ඇනුමක්” ගැනද මෙහිදී මතකයට නැගේ. එදා සිදුවූයේ සී.පී. ද සිල්වා ඇමැතිවරයා සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුවේ සිට එක්සත් ජාතික පක්ෂයට පැන ගැනීමය. මෙය ශ්‍රී ලංකාකාරයන් දුටුවේ පිටුපසින් පැමිණ පිහියෙන් ඇනීමක් ලෙසය. මේ නිසා සී.පී. ද සිල්වාට “සී. පිහි. සිල්වා” යන ආරූඪ නාමය ද පටබැඳුනි.
කෙසේ වෙතත් සී.පී. ද සිල්වා වීර ක්‍රියාවක් කර රට බේරාගත් බවට එක් අතකින් හඬනැඟුණු අතර ඔහු ද්‍රෝහිකමක් කර ආණ්ඩුව පාවා දුන්නේ යැයි පාලක පක්ෂයෙන් චෝදනා නැඟුණි. එදා පැවති විරුද්ධ පක්ෂයේ සංශෝධනයට පක්ෂව ඡන්ද 74ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ 73කි. ආණ්ඩුව පරාජයට පත්වූයේ එක ඡන්දයකිනි. ඒත් ඒ දිනවල ලන්ඩනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ආචාර්ය එන්.එම්. පෙරේරා, කැනඩාවේ චාරිකාවක යෙදී සිටි බර්නාඩ් සොයිසා, තම මොටර් රථයේ රෝදයක සුළං යාම නිසා ඡන්දය විමසන වේලාවට පැමිණිය නොහැකි වූ අමරනන්ද රත්නායක සහ එදින නොපැමිණි තවත් මන්ත්‍රීවරුන් කීපදෙනෙකුගේ ඡන්දය ලබාගත හැකිවී නම් සිරිමාවෝ රජය බිඳ වැටෙන්නේ නැත.
බටර් පිහියකින් කළහැකි දෙයක් නැතැයි කිසිවෙකු කල්පනා කරනවා නම් ඔවුන් මේ සිද්ධියෙන් වටහා ගතයුත්තේ සී.පී.ගේ “අතථ්‍ය පිහියෙන්” පවා ආණ්ඩුවක් පෙරළා දැමිය හැකිවූ බවය. එසේ හෙයින් ඓතිහාසික වටිනාකමක් ඇති පාර්ලිමේන්තු බටර් පිහි දෙක කෞතුකාගාරගත කිරීමේ යෝජනාවක් ගෙනඒමට කටයුතු කළයුතුය.
අනාගතයේදී නිපදවෙන “පාර්ලිමන්ට් ජෝක්ස්” වර්ගයේ චිත්‍රපටවලදී බටර් පිහි සටන් ජවනිකාවලට ද ප්‍රධාන තැනක් හිමිවනු නොඅනුමානය. ඊට අමතරව මිරිස් වතුර ගැසීම් හා පුටුවලින් දමා ගැසීම්ද ප්‍රේක්ෂකයාට මහත් හාස්‍යයක් මතුකර දෙනවා ඇත.
මෙම පාර්ලිමේන්තු ගාලගෝට්ටිය නිසා සිරි ලංකාව නැවත වරක් ජාත්‍යන්තර අවධානය දිනාගෙන සිටී. ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන්ගේ සංගමයට ගොස් ලෝක නායකයන්ට මැන්ඩෙලාගේ මාර්ගයේ ගමන් කිරීමට ආරාධනා කළේ මීට මඳ කලකට පෙරය. දැන් එය මෙරට තුළම ක්‍රියාත්මක වන බව ලෝකයාට දැකගත හැකිය.
එක මැන්ඩෙලා කෙනෙක් පාර්ලිමේන්තුව අවුස්සයි.
තව මැන්ඩෙලා කෙනෙක් අත්බැඳගෙන බලා සිටී.
තවත් මැන්ඩෙලා කෙනෙක් අගමැති පුටුව සොයාගත නොහැකිව අන්දමන්ද වී සිටී.
සිරි ලංකාවේ දේශපාලනයේදී ජනතාවට විනෝදය සපයන තවත් කාණ්ඩයක් වනුයේ ආධාරකරුවෝය. ඔවුන් අමුතුම ජන කොට්ඨාසයකි. ඕනෑම අවස්ථාවක තමන්ගේ නායකයා වෙනුවෙන් අගනුවරට පැමිණ මහාමාර්ග අවහිර කරමින් සටන් පාඨ කීමට ඔවුන්ට කාලය ඇත. ධනයද ඇත. යානවාහන ද ඇත. ආහාරපාන ද ඇත. මෙම ඕපපාතික ජන සමූහය සිරි ලංකාවේ දේශපාලන විඥානයේ පිළිකාවක් ලෙස සමහරු හඳුනාගනිති.
හැම කළු වළාවකම රිදී ඉරක් ඇතැයි කීවාක් මෙන් පසුගිය දිනවල රටම කතාවූ පාර්ලිමේන්තු ගාලගෝට්ටියෙහිද හොඳ පැත්තක් අපට පෙනේ. එනම් හිටි හැටියේ අකීකරු වන පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ එක ඉල්ලීමකින් පසු දිනයේම කීකරු බවට පත්වීමය. මෙහිදී අපට සිහිපත් වන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නමැති කතාවය. පාර්ලිමේන්තුව හිතුවක්කාර නොවී කීකරු වීම රටට ඉතා හොඳය. නායකයා ද හිතුවක්කාර නොවීම ඊටත් වඩා හොඳය.
ඡන්දදායකයා නමැති මනුෂ්‍යයා දැන් කාටකාටත් අමතක වී ඇත්තේය. ඒකාද තම තමන්ගේ පිහි අමෝරා ගත්දාට බටර් පිහි කාරයන්ටත්, මිරිස් කුඩුකාරයන්ටත් උන්ට උල්පන්දම් අල්ලන මහඑවුන්ටත් බහුතරය පෙනී දෙවියන් බුදුන් සිහිවනු ඇත.
►කපිල කුමාර කාලිංග