2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

රතිඤ්ඤා නිව්ස්

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 144

එක්වරම අවට පරිසරයෙන් රතිඤ්ඤා හඬ නැගෙන්නට විය.

“ඒ පාර මොකද.. කවුද අස්වෙලා තියෙන්නෙ..?”

“කවුද පත්වෙලා තියෙන්නෙ..?”

කෝකටත් ජයසේනගේ නිවෙසේ මුළුතැන්ගේ දෙසින් පොදු ජනතාවගේ හඬ නැගුණි.

“ඔන්න ඒ පාර තුන්දෙනෙක් ආණ්ඩු පක්ෂෙට පැනලලු..” රූපවාහිනිය අසල හිඳ සිරි ලංකාව ක්‍රිකට් තරග දිනන කාලයේ “මැච් එකක්” නරඹමින් සිටි ජයසේන උදාසීන ලෙස පිළිතුරු දුන්නේය.

“අයියෝ තුන්දෙනයිද..? මං හිතුවෙ විස්සක් විසි එකක්වත් පනී කියල..” යළිත් පොදු ජනතාව කතා කළාය. (මෙහිදී ආඛ්‍යාතය ස්ත්‍රී ලිංගික වීමට හේතුව පොදු ජනතාව යනු කෝකටත් ජයසේනගේ භාර්යාව වීම නිසාය. ඔහු පිටතදී ඇය හඳුන්වන්නේ “අපේ පොදු ජනතාව” යනුවෙනි. ගෙදරදී නම් ඇය මහජනතාවය. ජනතා පරමාධිපත්‍යය.)

“පිස්සුවටයැ එහෙම පනින්නෙ... අනික කාටද ඔහොම එක එකාට ලක්ෂ තුන් හාරසීය දෙන්ට තියෙන්නෙ.” ජයසේන කීවේය.

ඒ සමඟම රූපවාහිනී තිරයේ සිටි ජයසූරිය හයේ පහරක් ගැසුවේය. ජයසේන කමෝන් සනා යැයි කෑ ගැසුවේය.

“කවුද... කවුද.. තව එකෙක් පැනලද..?” පොදු ජනතාව ප්‍රශ්න කළේය.

“නෑ.. නෑ.. මේ පරණ මන්ත්‍රී කෙනෙක් හයේ එකක් ගැහුව... දැන් ඉතින් අපිට සන්තෝස වෙන්ට තියෙන්නෙ මේ වගේ පරණ ෂොට්වලට තමයි.”

“අප්පච්චිගෙ පැත්තට කවුරුවත් පැනල නැද්ද..?”

“නෑ.. නෑ... අප්පච්චි මැරුණය කියල ජම්ප් එක දාපු පුතාත් මෙදා පාර අනික් පැත්තට පැනල.”

“මිනිහ දැන් කියයි අප්පොච්චිට වැඩිය බාප්පොච්චි ළඟ ඉන්න එක හොඳයි කියලා.”

පොදු ජනතාව උපහාසයෙන් සිනාසෙනු ඇසුණි. ජයසේනද ඊට එක්වෙමින් මෙසේ කීවේය.

“ඔයා දන්නවද.. ෆේස්බුක් එකේ තිබුණා නියම ක්‍රිකට් එවෝඩ්ස් වගයක්.. ඒකෙදි තරගාවලියේ වීරයා වෙන්නෙ කරු ජයසූරිය, හොඳම පිතිකරු රනිල් වික්‍රමසිංහ, හොඳම පන්දු යැවීම අනුර දිසානායක, හොඳම අර්ධ ශතකය මහින්ද රාජපක්ෂ, හොඳම කඩුලු අතර දුවන්නා වසන්ත සේනානායක.”

“හොඳම තරග තීරකට එවෝඩ් එකක් දුන්නොත් නරකද..?”

මුළුතැන්ගේ දෙසින් එවර නැගුණේ කෙකර සිනාවකි.

“ඒක අයි.සී.සී. එකේ ඊළඟ නිලවරණයෙදී බලාගන්න පුළුවන්..”

ජයසේන එසේ කියත්ම රූපවාහිනී තිරයේ තිලකරත්න ඩිල්ෂාන් ද ඩිල්ස් කූපයකින් හතරේ පහරක් එක්කර ගත්තේය.

“නියම ෂොට් එක.. කමෝන් ඩිල්ෂාන්...”

ජයසේන ජය ඝෝෂා නැගුවේ පිට්ටනියේම සිටින කලක මෙනි. ක්‍රිකට් පිස්සකු වන ඔහුට හද්දා පරණ මැච් පවා ලයිව්ය!

“ඩිල්ෂානුත් පොලිටික්ස්වලට එනවලු නේද..?” මුළුතැන්ගෙයින් ප්‍රශ්නයක් නැගුණි.

“රිටයර් වුණාට පස්සෙ ක්‍රීඩාලෝලීන් අමතක කරන්න බෑනෙ..”

“ඒ වුණාට මම නං කැමති නෑ ක්‍රිකටර්ස්ල පොලිටික්ස්වලට ඇවිල්ලා පච වෙනවට..”

“එහෙම කියන්ට එපා.. බලන්ඩකො ඉම්රාන් ඛාන් අගමැති වුණු හැටි...”

“ඒ පකිස්තානෙනෙ.. අපේ මිනිස්සු එහෙම කළගුණ සලකන්න දන්නෙ නෑ...”

“ඉම්රාන් ඛාන් වර්ල්ඩ් කප් එක දිනලා දුන්න කැප්ටන් නේද..?”

“ඒකනෙ.. අපේ කැප්ටන්ට මිනිස්සු සලකපු විදිහ පහුගිය කාලෙ දැක්කනෙ..” පොදු ජනතාව දුක් වුණාය.

“සංගක්කාර පොලිටික්ස්වලට එයිද..?” ඇය නැවත ඇසුවාය.

“මම හිතන්නෙ නෑ.. මිනිහ කියනව ඒක සමාජ ජාලාවල කුමන්ත්‍රණයක් කියලා.. සංගා දේශපාලනේට කැමති නෑ..”

“එයා හොඳයි නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට.. සංගට පක්ෂ භේදයකින් තොරව හැමෝම කැමති නිසා.”පොදු ජනතාව කීවාය.

“අපොයි ඒක හරියන්නෙ නෑ... මිනිස්සුන්ට දැන් නිර්පාක්ෂික කියන වචනෙත් වහකදුරු වෙලා තියෙන්නෙ...”

“මිනිස්සුමනෙ වැරැද්ද කරගත්තේ.. පක්ෂයක ලේකම් කෙනෙක්ට පුළුවන්ද නිර්පාක්ෂික වෙන්න.”

“ඒ වුණාට තමන් ගැන විශ්වාසය තියපු මිනිස්සුන්ගෙ හිත් රිදවන එක සදාචාර සම්පන්න නෑ.”

“මිනිස්සු දැන් අලගිය මුලගිය තැන් ගැන වැඩි තැකීමක් නෑ... කවුරු හරි ඇවිත් තමන්ගෙ ප්‍රශ්නවලට විසඳුම් දෙයි කියලා තමයි බලන් ඉන්නෙ..”

“ඒක නං ඇත්ත.. මේ යන විදිහට ගියොත් රට ජාතිය දෙකම වඳවෙලා යයි.. පාර්ලිමේන්තුව විතරක් ඉතිරිවෙයි...හදිස්සියකට ඒක වටේ වැලි කොට්ටයක් දාන්නවත් මිනිහෙක් හොයාගන්න බැරිවෙයි..”

දෙදෙනාම මොහොතකට එකඟව නිහඬ වූහ.

ජයසේන රූපවාහිනිය වසා තම ජංගම දුරකතනය දෙසට නෙත් හෙළුවේය. ඉන් පසු ඔහු එක්වරම පොදු ජනතාව ඇමතුවේය.

“ඒයි.. ඒයි.. මෙන්න එෆ්.බී. එකේ නියම අයිඩියා එකක් තියෙනවා..”

“ඕව පරිස්සමින් බලන්න. දැන් හරියට බොරු ප්‍රවෘත්ති යනවා...”

“නෑ.. නෑ.. මේක ප්‍රවෘත්තියක් නෙවෙයි. දේශපාලන යෝජනාවක්...” 

“ඒ මොකක්ද..?”

“මහ මැතිවරණයෙදී හැම පක්ෂෙකින්ම නාමයෝජනා දෙන්ඩ ඕනෑ රොබෝවරුන්ට..”

“ඒක අලුත් යෝජනාවක්යැ.. දැනටමත් පාර්ලිමේන්තුවෙ රොබෝස්ල ඉන්නවනේ... අත් උස්සනව.. ඔළුව වනනවා විතරයි..”

“මේ රොබෝවරු එහෙම අය නෙවෙයි. ඒගොල්ලන්ව පාලනය කරන රිමෝට් එක තියෙන්නෙ ජනතා අධිකරණයක් බාරේ. ඒගොල්ලන්ට පැති මාරුකරන්ට බෑ. සල්ලි මිටි ගන්ට බෑ. ගහ බැණගන්ටත් බෑ. හුදෙක් මහජන සේවය පමණයි.”

“පාර්ලිමේන්තුවට ආවට පස්සෙ රොබෝ කෙනෙක්වත් විශ්වාස කරන්ට බෑ.”

මොහොතකට කතාබහ නතර වුණි. ඒ සමඟම නැවතත් පිටතින් රතිඤ්ඤා දැල්වෙන හඬ එකදිගට ඇසෙන්නට විය.

“අන්න.. අන්න.. තවත් මොනව හරි සිද්ධියක් වෙලා...” 

මුළුතැන්ගෙයින් කෑගසනු ඇසිණි.

“යන්ඩකො ගිහින් නිව්ස් එක බලාන එන්ඩකො..”

ජයසේන කොට කලිසම ඉහළට ඔසවාගනිමින් පාර දෙසට දිව යන්නට විය.

සිරි ලංකාවේ මිනිස්සු දැන් අලුත්ම ප්‍රවෘත්ති දැනගන්නේ රතිඤ්ඤා හඬිනි. එය සමාජ ජාලයන්ටත් වඩා වේගවත්ය. මීට කලකට පෙර නම් රතිඤ්ඤා දැල්වුණේ නත්තලට, අලුත් අවුරුද්දට පමණි. එහෙත් දැන් පැය විසිහතරේ ඕනෑම මොහොතක රතිඤ්ඤා පත්තු වීමට ඉඩ ඇත.

►කපිල කුමාර කාලිංග