2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

අමුත්තෙක් ඇවිත්

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

නත්තල ගෙවුණා පමණි. එක් උදෑසනක මගේ බිරිඳ මුළුතැන්ගෙයි සිට “හොරෙක්” “හොරෙක්” යැයි කෑ ගසනු ඇසුණු මම දෙකේ දෙකේ පොල්ලක් ද රැගෙන එහි දිව ගියෙමි. “කෝ... කෝ..... හොරා” මා වටපිට බලමින් ඇසුවේ මුළුතැන්ගෙය තුළ කිසිවකු දක්නට නොවූ නිසාය. මගේ බිරිඳ පමණක් ලිප අසලට වී දුම් කවුළුව දෙසට හිස යොමාගෙන සිටියාය.

“හොරෙක් නෙවෙයි වගේ. සුද්දෙක්ද කොහෙදෝ...”

ඒ ඇසූ මම මහත් විමතියට පත්වීමි. සුද්දන් නිවෙස්වල දුම් කවුළු තුළ නවාතැන් ගන්නා තරමට සංචාරක ව්‍යාපාරය පරිහානියට පත් වී ඇත්ද..

“ඔන්න එයා බහිනවෝ...” බිරිඳ බියපත්ව යටිගිරියෙන් කෑ ගැසුවාය.

“ඔහොම කෑ ගහන්න එපා... සංචාරකයන් සිනාසී පිළිගනු කියලනෙ උපදෙස් දීලා තියෙන්නේ. ඒ නැතත් අහල පහළ මිනිස්සු මෙහෙ එන්න පටන් ගනී” මේ අතර අමුත්තා දුම් කවුළුවෙන් පහළට බැස මුහුණේ සහ ඇඳුමේ තැවරී තිබූ දුඹුටු සහ මකුළු දැල් පිසගන්නට වූවාය. ක්‍රමක්‍රමයෙන් මට ඔහු හඳුනාගැනීමට පිළිවන් විය.

මේ අන් කවුරුත් නොව නත්තල් සීයාය.

“ඒයි මේ සැන්ටා නේද?” බිරිඳ ද පුදුමයෙන් ඇස් ලොකු කළාය. 

“ඔව්.... ඔව්..... මම තමයි” සැන්ටා තම දිගු සුදු රැවුලේ තැවරී තිබූ දුඹුටු ඉවත් කරමින් ලැජ්ජාශීලී සිනාවක් පෑවේය.

“හොඳ වෙලාවට මම ලිප ඕෆ් කරලා තිබුණේ. දර ලිප තිබුණ කාලේනම් රැවුලත් පුච්ච ගන්නවා. ඇයි අනේ ඉස්සරහා දොරෙන් ආවෙ නැත්තේ...” බිරිඳගේ හඬෙහි නොරිස්සුම් බවක් ගැබ්ව තිබුණි.

“නෑ...... නෑ.... නත්තල් සීයලා ඉස්සරහා දොරෙන් එන්නේ නෑ. දුම් කවුළුවෙන් ඇවිත් තෑගි බෝග දාලා යන එක තමයි ඒගොල්ලන්ගේ සිරිත”

මම නත්තල් සීයාගේ පැත්තට කතා කළෙමි. ඔහු ද ලැජ්ජාශීලී ලෙස හිස වනමින් මා කියූ දෙය අනුමත කළේය.

“ඔබතුමා ශාන්ත නිකලස් නේද?”

එවර බිරිඳ තමා ද යමක් කමක් දන්නා ගැහැනියක බව පෙන්වීමට උත්සාහ කළාය.

“එතුමා ස්වර්ගස්ථ වෙලා බොහොම කල්. අපි එතුමගේ අනුගාමිකයෝ..”

“මම ගූගල් එකේ සර්ච් කරලා බැලුවා. එතකොටනම් සැන්ටා හිටියේ පින්ලන්තේ.”

“දැන් සැන්ටලා සිය දහස් ගාණක් ඉන්නවනේ.” නත්තල් සීයා කීවේය.

“දැන් නත්තල පහුවෙලා ජනේරුවටත් කිට්ටුයි. මොකද මෙදා පාර පරක්කු වුණේ?”

“මේ සැරේ මට දීලා තිබුණේ දුප්පත්ම රටවල්වල ලිස්ට් එකක්. ඉතින් වටේ ගිහින් එනකොට ටිකක් පරක්කු වුණා. කොහොමටත් දැන් එක දවසින් නත්තල කවර් කරන්න අමාරුයි. ඒ නිසා මාසයක් දෙකක් යනකල් ඩියුටිය කරනවා. ඔයගොල්ලන්ගෙත් බක්මහ උළෙලවල්, වෙසක් පහුවෙනකලුත් තියෙනවනේ නේද?” නත්තල් සීයා මඳ සිනාවක් පෑවේය.

“සල්ලි තියෙනවනම් හැමදාම නත්තල් කියලා කතාවකුත් තියෙනවනේ. ඒ නිසා සැන්ටා අන්කල් කවදා ආවම මොකද?” මගේ බිරිඳ සැන්ටා සමඟ ඕනෑවට වඩා කුළුපගවීමට යාම ගැන මා තුළ ඇති වූයේ නොපහන් බවකි. එහෙයින් මම කතාව වෙනතකට හරවන අතුරු ප්‍රශ්නයක් නැගුවෙමි.

“අපේ රටත් දාලා තිබුණේ දුප්පත් රටවල් අතරටද?”

“ඔව්. ඇයි ඔයගොල්ලෝ එහෙම නෙවෙයිද?”

“අපි දුප්පත්.. ඒත් රට දුප්පත් නෑ.” මම තරමක ආඩම්බරයෙන් කීවෙමි.

“මට පැහැදිලි නෑ...” නත්තල් සීයා නළල රැලි කළේය.

“අපේ රටේ සල්ලි ඕනෑතරම් තියෙනවා. සමහරුන්ගේ ගිණුම්වල බිලියන ගණන් සල්ලි. මැති ඇමැතිවරුන් පවා කෝටි ගණන්වලට විකිණෙනවා. රටේ සල්ලි තියෙනවා. එත් අපි ළඟ නෑ.” මම දන්නා තරමින් පැහැදිලි කිරීමක් සිදු කළෙමි.

නත්තල් සීයා ද ඊට  එකඟතාවය පළකරමින් හිස සැලීය.

“මමත් සිරි ලංකාවට ආවෙ ඇමැති කෙනෙක්ගේ ආරාධනාවකටයි. එයාගේ ආසනේ ළමයින්ට තෑගි බෙදන්ට. ඒත් ආවට පස්සෙ කියනවා දැන් එයා ඇමැති නෙවෙයිලු.”

“ආ.. හරි.... හරි.... මම හිතන්නේ එයත් දවස් පනහෙ ඇමැති කෙනෙක් වෙන්නැති.

“වෙන්ඩැති...... එයාට ලැබෙන්න තිබුණු ලොකු සල්ලියකුත් අතරමඟ නැවතුණාලු. ඉතින් නත්තල් ප්‍රෝග්‍රෑම් සේරම කැන්සල් කරලා. අඩුගානේ මට ගමන් ගාස්තුවක් වත් දුන්නෙ නෑ.”

“ඔයගොල්ලෝ මේක කරන්නේ සේවයක් හැටියට නේද?”

“ඒ ඉස්සර. දැන් අපිත් වැඩකරන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට..... ඉතින් මෙහෙම වුණාම අපිටත් වෙන්නේ දුම් කවුළුවක් අස්සේ රිංගලා හරි රෑ ගත කරන්න..” නත්තල් සීයා දිගු සුසුමක් හෙලුවේය.

“සැන්ටා අන්කල් කෝ ඔයාගේ මල්ල?”

මගේ බිරිඳ ඇයට අත්‍යවශ්‍ය ප්‍රශ්නය මතු කළාය.

සැන්ටා තම ලෝගුව තුළින් කුඩා මල්ලක් පිටතට ගත්තේය. වෙනදා මෙන් පිටේ එල්ලාගෙන යන ලොකු තෑගි මල්ලි දක්නට නොවූයෙන් බිරිඳගේ මුහුණ හරහා නත්තල් කුණාටුවක් හමා ගියේය.

“මෙදා පාර කාටවත් තෑගි නෑ. ලියුම් විතරයි. නත්තල් කාඩුත් තියෙනවා. එස්. එම්. එස්. කෙළිය නිසා දැන් ඒවත් හොඳටම අඩුයි.” නත්තල් සීයා තම මල්ල තුළට අත දමා ලියුම් සහ නත්තල් ආසිරි පත් කීපයක් පිටතට ගෙන දැක්වීය.

“සිරි ලංකාවෙන් මට ලැබුණු ලියුම් කීපයකුත් මෙතන තියෙනවා. ඉස්සර නම් මට ලියුම් එව්වේ පුංචි ළමයි. ඒගොල්ලෝ හැමෝටම ඕනෙ වුණේ සෙල්ලම් බඩු. හැබැයි දැන්නම් වැඩිහිටියොත් ලියුම් එවනවා. ඔන්න මම එකක් කියවන්නම්”

සැන්ටා ලියුමක් දිගහැර කියවන්නට වූයේය.

“දයාබර සැන්ටක්ලෝස් මහතාණෙනි! පසුගිය දිනෙක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ මන්දිරයේ සිටිනු රූපවාහිනියෙන් දුටුවෙමි. ඔබ කරන කිසිදු ඉල්ලීමක් ට්‍රම්ප් මහතා විසින් ප්‍රතික්ෂේප නොකරන බව අපට විශ්වාසය. ඒ නිසා මා සහ මගේ දරු පවුලට අමෙරිකාවට ඒම සඳහා වීසා ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මා මේ රටේ පරිපාලන සේවකයකුව සිටි නමුත් අමෙරිකාවේ පාරවල් අතුගෑමට හෝ කැමතිය. සිරි ලංකාවේ ඩොලරය ඉහළ ගියත් රුපියල අන්තිමටම බාල්දු වී ඇත. ට්‍රම්ප් මහතා සහ පවුලේ අයට මගේ නත්තල් සුභ පැතුම් පිළිගන්වන්න.”

ඉන්පසු නත්තල් සීයා කියවූයේ කුඩා ළමයෙකු ඔහුට එවූ ලියුමකි.

“නත්තල් සියේ, මේ වතාවේ නත්තල් තෑගි එවීමට කරදර නොවන්න. මම කැමති දෙයක් මෙහෙන් මිලදී ගන්නම්. ඊට වැය වන මුදල මගේ ක්‍රෙඩිට කාඩ් පතට බැර කරන්නේ නම් ස්තූතිවන්ත වෙමි. සුභ නත්තලක් සහ සුභ නව වසරක්!

කපිල කුමාර කාලිංග