සුබරත්න පදිංචිව සිටින්නේ “කැලිෆෝනියා බ්‍රීස්” නමැති මධ්‍යම පන්තික නිවාස සංකීර්ණයේය. බොහෝ දෙනෙකු එම නම ඇසූ විට සුබරත්න සිටින්නේ අමෙරිකාවේ යැයි වරදවා සිතීමට ඉඩ ඇත. එහෙත් එය පිහිටා ඇත්තේ අප නිවසට මඳක් දුරින් බව කිවයුතුය. කලකට ඉහත එය හැඳින්වුණේ “කැප්පියාවත්ත* නමිනි. ඉඩම් හා දේපල සමාගමක් විසින් එය මිලදී ගත් පසු “කැලිෆෝනියා බ්‍රීස්”යනුවෙන් නම් කරන ලදී.
කැප්පියාවත්ත මිලදී ගත් දේපල සාමගම විසින් එහි තිබූ සියලු ගහකොළ කපාදමා, මුඩුබිමක් බවට පත්කොට, කොඩිගස් සහ කණු සිටවා, ඉඩම් කැබලි වෙන්කරන ලදී. සුබරත්න තම බිරිඳ ද කැටුව ඉඩම බැලීමට ගියේද සුබ නැකතකිනි.
පොකුණක් ඇති තැනක් දුටු සුබරත්න වහාම ඒ ඉදිරිපස ඉඩම් කෑල්ල තෝරාගත්තේය.
“පොකුණේ නෙළුම් මල් පිපුණාම ලස්සනට තියෙයි. හුළං පාර එන්නෙත් ඒ පැත්තෙන්. අපි ගේ හදමු පොකුණට මුහුණලා. හවසට වැඩ ඇරිලා ගෙදර ආවම ඉස්තෝප්පුවේ ඉඳගෙන පොකුණ දිහා බලාගෙනම ඉන්නකොට ඉබේටම මහන්සි නිවිලා යයි.”
සුබේගේ අදහසට බිරිඳ ද එකඟ වූවාය.
නව නිවසේ පදිංචියට ගොස් මසක් ගතවුණා පමණි. දේපල සමාගම විසින් පොකුණ පුරවා එය වටා කොඩි ගසා පර්චස් කීපයක ඉඩම් කොටසක් බවට පත්කරන ලදී. පොකුණු බිමේ දෙමහල් නිවසක් ඉදිවී සුබරත්නගේ නිවසේ ඉදිරිපස ආවරණය වී ගියේය. සුබරත්න ඕනෑම දෙයක් දරාගන්නා ජාතියේ මිනිහෙකි.
“මට අපේ වයිෆ්ටත් “ඇජස්” වෙන්න පුළුවන් එකේ වෙන මොනවට ද බැරි?”
ඔහු සිනාමුසුව අසයි. ඕනෑම මිනිසෙකු මෙන් සුබේද තම බිරිඳට බයයි. කීකරුය. පක්ෂපාතය. ඔහු පවසන අන්දමට සෑම පිරිමියෙකුම, විවාහයෙන් පසු “අංශභාග රෝගියෙකි.” එක අංශයක් ඔහුගේය. අනෙක බිරිඳගේය. දෙඅංශයම ක්‍රියාත්මක වීමට නම් බිරිඳට පක්ෂපාත විය යුතුමය.
මෑතකදී තම නිවසේ කෑම මේසයේදී පැන නැඟුණු කතාබහක් ගැන සුබේ මට කීවේය. ඔහු දැන් පැන්ෂන් යෑමට ආසන්නය. ඒ බව ඔහුගේ අංශ ප්‍රධානියෝද (බිරිඳ නොවේ) මතක්කරදී කල්තියාම අදාළ පෝර්ම පුරවා තබා සූදානම් වන මෙන් කීය. සුබේ මේ බව කොටස් වශයෙන් බිරිඳටද සැලකර සිටියේය. කෑම මේසයේදී මේ බව පත්තු වූයේ රූපවාහිනි ප්‍රවෘත්තියක් ඇසීමෙනි. ආරක්ෂක අංශ ප්‍රධානියෙක් තමාට විශ්‍රාම යාමට බැරි යැයි කියයි. තව කල් ඉල්ලයි.
“ඔයාටත් තියෙන්නේ හැටවෙනකල් එක්ස්ටෙන්ෂන් එකක් ඉල්ලගන්න.”
“අපේ ලොක්කා නීතියට වැඩ”
“දැන් හැමතැනම නීතිය නවනවා අන්කල්. ඕවා සුළු වැඩනේ!”
ගෙදර නවාතැන් ගෙන සිටින සරසවි ශිෂ්‍යයා වන ළහිරු කීවේය.
ලංකාවේ ආයතනවල විශ්‍රාම යන වයස 55 සිට 60 දක්වාය. පෞද්ගලික ආයතනවල නම් හැට පනින තුරුත් සිටිති. සභාපතිවරු සහ අධ්‍යක්ෂවරු හැත්තෑව පැනපු අයය. එහෙත් කොල්ලන්ටත් වඩා “ස්මාර්ට්ය”.
“අපේ අයියා ප්ලාන්ටර් කෙනෙක්. දැන් වයස හැත්තෑ දෙකයි. තාම ජොබ් එක කරනවා.”
සුබරත්නගේ බිරිඳ කීවාය.
“ප්ලාන්ටර්ස්ලට නීති අදාළ නෑනේ. මයි කාර්, මයි පෙට්රල්! අපිටත් වත්තක් තිබුණා නම්, පෙන්ෂන් ගත්තට පස්සේ ඒක වවාගෙන කන්න තිබුණා.” සුබේ සිනාවක් පෑවේය.
“අපි දෑවැදිත් නැතුව ලව් එකට බැඳපු මිනිස්සුනේ. ඉතින් අපිට කොහෙද වතුපිටි. මේ ගෙට ගත්තු ලෝන් එකත් තාම ගෙවනවා.”
සුබේ එසේ කියුවේ ළහිරු දෙස බලමිනි. බිරිඳ කටපියා ගත්තේද ළහිරු සිටින නිසාය.
“දැන් කාලේ මිනිස්සුනුට රස්සාව කරලත් ජීවත් වෙන්න බෑ. එහෙව් එකේ පැන්ෂන් අරන් කොහොමද?” බිරිඳ කීවාය.
“ඒක නම් ඇත්ත තමයි. මේ වගේ රටවල මිනිස්සුන්ට මැරෙන කල්ම වැඩකරන්න දෙන්නයි වටින්නේ.” සුබේ කීය.
“මැරුණට පස්සේ බැරියැ වයිෆ්ට පෙන්ෂන් එක දෙන්න.” බිරිඳගේ මුහුණේ සිනාවක් නැඟුණේ සුබේගේ විශ්‍රාම වැටුප ඒ මොහොතේ තම අතට ලැබුණාක් මෙනි.
“මිනිසුන් පෙන්ෂන් ගන්නේ නැතුවට වැඩ කරන්න ගියොත් මේ රටේ තරුණ පරම්පරාවට රස්සාවල් කොහෙන්ද අන්කල්? අපිට හැමදාම දියව් දියව් කිය කියා පාරවල් ගානේ වතුර පාරවල් කකා ඉන්නයි වෙන්නේ.”
“ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.”
බිරිඳ එසේ කීවේ තම පුතු සිහිවීමෙනි. ඒ මොහොතේ ඔහු සිටියේ දවස තුළ ගිය හතරවෙනි “ක්ලාස්” එකේය. සුබේගේ පඩියෙන් බාගයක්ම යන්නේ පුතාගේ “ක්ලාස් ෆීස්වලටය. පුතාට රුකියාවක් නැති වුණහොත් ඔහු නාකිවන තුරුම ක්ලාස් යනු ඇතැයි සුබේගේ බිරිඳට බිය සිතුණා විය හැකිය.
“ඕකට හොඳම විකල්පය තමයි පැන්ෂන් යන වයස හැටපහ හැත්තෑව දක්වා දීර්ඝ කිරීම.” සුබේ කීය.
“මේ ළඟදී ලොකු කම්පැනි එකක මැනේජින් ඩිරෙක්ටර් කෙනෙකුත් කියලා තිබුණා මිනිස්සුන්ට වයස හැටපහ, හැත්තෑව දක්වාම වැඩ කිරීමේ ශක්තිය තියෙනවා කියලා. ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අහකදාන එක අපරාධයක්ලු. ශ්‍රමය අපතේ යැවීමක්ලු.”
ළහිරු ද සුබේට එකඟ වූයේය.
“අපේ රටේ පෙන්ෂන් යන්නේ නැත්තේ පොලිටීෂියන්ස්ලා විතරයි. හැත්තෑව පැන්නට පස්සෙත් රට පාලනය කරන්න පුළුවන් නම් කන්තෝරුකාරයන්ට පනස් පහෙන් පස්සේ ඔෆීස් ජොබ් කරන්ඩ බැරි මොකද?” සුබේ බිරිය ඇසුවාය. ළහිරු ද ඉන් ගැම්මක් ගත්තේය.
“වයස අනුව ගත්තොත් ලංකාවේ හිටපු ජනාධිපතිවරු සේරම පැන්ෂන් යන්ඩ ඕනෑකට්ටිය.”
ඒ කතාව ඇසූ සුබරත්නට සිනාගියේය.
“හැබැයි ඒකෙන් ඔප්පු වෙනවා නේද හැටපහ, හැත්තෑව පැන්නට පස්සේ මිනිස්සුන්ට වැඩ බෑ කියන කාරණේ?”
ළහිරු උඩ පැන සිනාසුණේය.
►කපිල කුමාර කාලිංග