2019 ජනවාරි 26 වන සෙනසුරාදා

රොබින් - ඉන්ටර්නැෂනල්

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 07:46 140

මා මෙතෙක් කල්ම, අපගේ කාර්යාලයේ අත්‍යවශ්‍ය පුද්ගලයකු වන රොබින් ගැන ඔබට කියා නැත. ඊට ප්‍රධාන හේතුව වූයේ තීරුලිපියක් නිසා, ඔහු අමනාප කර ගැනීමට අවශ්‍ය නොවීමය. එහෙත් ඊයේ පෙරේදා රොබින් මා සමඟ කළ කතාබහක් නිසා, ඊට පොටක් පෑදුණි.

“රොබින්.. තමුසෙ කියන කතා පත්තරේ දාන්ඩ වටිනවනෙ.” මම කීවෙමි.

“ඉතින් දාන්ඩකො සර්...” ඔහු එකඟතාව පළ කළේය.

රොබින් අපේ පියන්ය. පියන් කිව්වාම පීචාන්ය. ඒ නිසා ඔහුගේ නිල නාමය කාර්යාල කාර්ය සහායක යනුවෙන් වෙනස් කෙරුණි. එය කෙටියෙන් කිව්වාම වඩාත් ගතිය. කා.කා.ස.. එයත් හරියට අ.ත.ක.ස. වගේය. “අතකස” යනු, අගනුවර තරුණ කවි සමාජයය. මගේ මිතුරු කවියෙක්, වයස 80ක් පනිනතුරුම තරුණ කවි සමාජයේ සිටියේය. ගලිගමුවේද තරුණ කවි සමාජයක් පිහිටුවාගත් නමුදු, ඔවුන් එය අ.ත.ක.ස. මෙන් කෙටි කරන්නට ගියේ නැත.

රොබින්ට නම් කවි බැරිය. ඔහු දෙක තුනක් දමාගත් පසු, ජෝතිගේ “චන්දන ඇල්ලෙන් නාලා” සහ මිල්ටන්ගේ “මේ පිපාසිත ලෝ තලේ” ගීත, ශ්‍රැතියෙන් පිට ගායනා කරයි.

රොබින් කටකාරයෙකි. කාටත් ඩෝන්ට් කෙයාර්ය. එහෙත්, තමන්ගෙ බොක්කට වැදුණු කීපදෙනෙක්ට කෙයාර් කරයි. ඒ ලැයිස්තුවේ මා ද සිටිතැයි මම සිතමි. (මේ ලිපියෙන් පසු එයද “අහෝසි කම්ම” වීමට ඉඩ ඇත.)

රොබින් දුප්පතෙකි. එහෙත් ලක්කාරයෙකි.

එක් දිනක් ඔහු කාර්යාලයේ රථගාලේ නවතා තිබූ කාර්යාලයීය මෝටර් බයිසිකලයක නැඟී, එය පණගැන්වීය. එක්වරම ඉදිරියට ගමන් කළ බයිසිකලය, උස වීදුරු කවුළුවක්ද කඩාගෙන ගොස්, නැවතුණේ ගිණුම් අංශයේ ගණකාධිකාරී කඩන්දාසන්ගේ මේසය අසලය.

“අනේ සර් මගේ ජොබ් එක බේරල දෙන්නැ” යි කියමින් රොබින් හඬා වැළපෙන්නට විය. ඔහුගේ අතක්ද කැපී තිබුණි.

ඒ කාලයේ අපේ බොස්, මනුස්සකම්වලින් පිරී ඉතිරී ගිය පුද්ගලයෙකි. එහෙත් නීතියට වැඩය. මේ නිසා රොබින්ට කුමක් සිදුවනු ඇත්දැයි අපි කුහුලින් බලා සිටියෙමු.
සිද්ධියෙන් සතියකට පසු, රොබින් පිළිබඳ විනය පරීක්ෂණය පැවැත්වුණි.

“තමුසෙට අයිති නැති බයිසිකලේකට අතගැහුවෙ ඇයි?” බොස් ඇසුවේය.

“සර්.. මං මෝටර් බයිසිකල්වලට හරි ආසයි. බයික් එකක් තියෙනව නං, මට කලින් වැඩට එන්නත් පුළුවන්. පරක්කුවෙලා වැඩ ඇරෙන්නත් පුළුවන්. ඒත් මට බයික් එකක් ගන්න සල්ලි නෑ සර්.”

විනය පරීක්ෂණය එතැනින් නිමාවිය. බොස්, කාර්යාලයේ වියදමින් වීදුරු කවුළුව හැදුවේය. බයිසිකලයද අලුත්වැඩියා කොට, එය රොබින්ටම තියාගන්නට දුන්නේය.
රොබින්, රෙඩිමේඩ් කසාදයක් කර ගත්තේය. භාර්යාව හනිමූන් ගියේ, පළමු විවාහයේ දරු දෙදෙනා, නැන්දම්මා බාරයේ තබාය. මාස තුනකට පසු, ඇය ළමුන්ද සමඟ, ලකී ගරාජයේ බාසුන්නැහේ සමඟ පලා ගියාය. රොබින් ලකීය.

රොබින්ට, සිරි ලංකාවේ සමාජය සහ දේශපාලනය ගැන විවිධ ප්‍රශ්න මතුවේ. එවිට ඔහු අප කාගෙන් හෝ ඒ ගැන විමසයි.

“සර්.. ඉන්ටර්නැෂනල් කියන එකේ ඇත්ත තේරුම මොකක්ද?” රොබින් මගෙන් ඇසුවේය.

“ජාතීන් අතර... ජාත්‍යන්තර...”

“එතකොට සර්, ඉන්ටර්නැෂනල් ස්කූල් කියන්නෙ ඇයි?”

“විවිධ ජාතීන්ගෙ ළමයි ඉගෙනගන්න නිසා. ඒ ළමයි පෙනී සිටින්නෙත් පිටරට විභාගවලට. ඉගෙනගන්නෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන්.”

“එතකොට සර්, ලංකාවෙ ළමයි විතරක්ම ඉන්න ඉන්ටර්නැෂනල් නැද්ද?”

“තියෙනවා. ඒවයේ සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් ළමයි ඉන්නවා.”

“සිංහල ළමයි විතරක්ම ඉන්න ඉන්ටර්නැෂනල් ඉස්කෝලත් තියෙනවද සර්?”

“එහෙම නැත්තං, ආණ්ඩුවේ ඉස්කෝලවලට දාගන්න බැරිවුණු ළමයි යවන්නෙ කොහාටද?”

“ඉන්ටර්නැෂනල්වල උගන්නන්නෙත්, ඉන්ටර්නැෂනල් ටීචර්ස්ලද සර්..?”

“වැඩිදෙනා, ආණ්ඩුවෙ ඉස්කෝලවලින් පැන්ෂන් ගිය අය.”

“ඉන්ටර්නැෂනල් ළමයි, ආණ්ඩුවෙ ළමයින්ට වඩා දක්ෂද සර්?”

“දෙගොල්ලො අතරෙම දක්ෂයො ඉන්නවා.”

“එහෙමනං සර්, ලොක්කෙක් කියල තිබුණේ විභාග ප්‍රතිඵලවලදි, ඉන්ටර්නැෂනල් ළමයිනුයි, ආණ්ඩුවෙ ළමයිනුයි සමතැන තියන්ඩ එපා කියලා.”

“මං හිතන්නෙ, ඉන්ටර්නැෂනල් ළමයින්ට වරප්‍රසාද වැඩි හින්ද වෙන්ඩැති.”

“ආණ්ඩුවේ ළමයින්ට වරප්‍රසාද අඩුද සර්?”

රොබින් එකදිගට ප්‍රශ්න අසයි. මා පත්වූයේ, මිහිඳු මහරහතන් වහන්සේගේ “අඹ ප්‍රශ්න” ඉදිරියේ දෙවැනි පෑතිස් මුහුණ පෑ තත්ත්වයටමය.

“සර්, සල්ලි ගෙවල ඉගෙනගන්න නිසාද ඉන්ටර්නැෂනල් සුපිරි වෙලා තියෙන්නෙ?”

“ප්‍රයිවට් කොලේජස්වලත් සල්ලි අයකරනවනෙ.”

“ටියුෂන් ක්ලාසස්වලත් සල්ලි ගන්නවනෙ. ඒවත් ඉන්ටර්නැෂනල් ලේබල්නෙ.”

“ඒ වුණාට ටියුෂන් සර්ලම තමයි, පස්සෙ ඉන්ටර්නැෂනල් ළමයින්ට ලෙඩ දාන්නෙ.”

“පව් නේද සර්? සල්ලි තියෙන ඕන කෙනෙක්ට ඉන්ටර්නැෂනල් එකක් දාගන්ඩ පුළුවන්ද සර්?”

“මේ රටේ මොනවද බැරි, සල්ලි තියෙනව නම්.”

“ඉන්ටර්නැෂනල්වලින් උගත්තු බිහිවෙලා තියෙනවද සර්?”

“නැතුව? පාර්ලිමේන්තුවෙත් ඉන්නව ඇති. සමහරැ ප්‍රයිවට් කොලේජස්වල අයිතිකාරයො.”

“එහෙම බලන් ගියාම, ඉන්ටර්නැෂනල් - ගවර්න්මන්ට් දෙකේ ලොකු වෙනසකුත් නෑ වගේ නේද සර්?”

“ඒව එහෙම තමයි රොබින්.”

“එතකොට සර්, ඉන්ටර්නැෂනල් කියන වචනෙට තවත් තේරුම් තියෙනවද?”

“ඔව් රොබින්, හුඟක් ඉංග්‍රීසි වචනවලට, සිරි ලංකාවෙදි වෙන වෙන තේරුම් ලැබෙනවා.”

එය තේරුම්ගත් රොබින් අමුතු සිනාවක් පෑවේය.

(රොබින්, මා සමඟ අමනාප නොවන්න. මා අපේ සංවාදය සටහන් කළා පමණි.)

කපිල කුමාර කාලිංග

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00