බඩඉරිඟු වගාව තුන් මසකට කල් දමා ඇත. සෙනසුරාදා පොළේ ගොඩගසා තිබූ බඩඉරිඟු ‘කඳු’ දැන් දක්නට නැත.
‘සේනා’ නම් දළඹුවාගේ ආක්‍රමණය මීට හේතුවය.
ඉරිඟු ගොවීන්ට ලබාදී ඇති ත්‍රෛමාසික නිවාඩු කාලය තුළ ‘සේනා’ විනාශ කිරීමට කටයුතු සංවිධානය කිරීමට අදාළ අංශ බලාපොරොත්තු වෙයි. ගොවීන්ට, ඒ කාලය තුළ විනෝද ගමන්, වන්දනා ගමන් ආදියෙහි යෙදෙමින් සතුටින්, විවේකයෙන් කාලය ගතකළ හැකිය.
නමක් නැති තවත් දළඹුවෙක්, තම කුඹුරෙන් සොයාගත් බව දඹුල්ල පැත්තේ ගොවි මහතෙක් කියා සිටියේ මේ අතරය. උතුරුකරේ නිවසක සඟවා තිබූ වෙඩිබෙහෙත් තොගයක් සොයාගත් බවක්ද දළඹු පුවත් අතරේම වාර්තා කෙරුණි. එය තවත් “සේනා සංවිධානයක්”දැයි සමහරු සැක පහළ කළහ. ඒ සේනා සහ මේ සේනා ලංකාවේ යහපාලන සමෘද්ධියට තර්ජනයක් වන බවට බොහෝ කතා පැතිරෙයි. මේ පිළිබඳව, අපගේ කැන්ටිමට රැස්වන “විශේෂඥයන්” පළකළ විවිධ මත හා උපදෙස් පිළිබඳව අද මගේ අවධානය යොමුවෙයි. (‘හීසරය’ තීරුව රජයේ බොහෝදෙනා කියවන බැවින්, එම අදහස් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා හේතුවනු ඇතැයි සිතමි. නිලධාරීන් බොහෝ දෙනකුට යාන වාහන, වැටුප්, විදෙස් සංචාර, ටයිපටි, කෝට්, කලිසම් යනාදී සියල්ලක් ඇතත්, නිසි කලට නිසි උපදෙස් හා සැලසුම් නොලැබෙන බවද දනිමි.)
කැන්ටිමේ කතාබහ ඇරඹුවේ, ජයසිංහ මහතාය.
“කවුද අයිසෙ මේ දළඹුවන්ට නම් දුන්නෙ?” ඔහු ඇසුවේය.
මේසය වටා සිටි පිරිස, එකිනෙකා දෙස බැලුවේ “අපි නං නෙවෙයි” කියන්නාක් මෙනි.
“ඇයි මොකක්ද ප්‍රශ්නෙ ජයේ?” කිසිවකු විමසුවේය.
“දළඹුවන්ට මොකටද අයිසේ නම් ගම්... බඩඉරිඟු කන එකා බඩඉරිඟු දළඹුවා. නැත්තං ඉරිඟු පණුවා. බෝංචි කන එකා බෝංචි දළඹුවා, නැත්තං බෝංචි පණුවා.. කවුද ඔය ‘සේනා’ කියන නම දැම්මෙ?”
“ඒ කතාවෙ පොඩි ඇත්තකුත් තියෙනවා. සේනා කියන නම දළඹුවෙක්ට ගැලපෙන්නෙ නෑනෙ.”
හැමෝටම සපෝට් කරන විනී කීවේය. ඉන් ජයසිංහ දිරියක් ලැබුවේය.
“අන්න ඒකනේ.. ඔය නම යෙදීම තුළ ආගමික, ජාතිවාදී කුමන්ත්‍රණයක් තියෙන්ඩ පුළුවන්.”
“ඒ කොහොමද? දළඹුවෙක්ට නමක් දාන එක ජාතිවාදී, ආගම්වාදී වැඩක් වෙන්නෙ කොහොමද?”
අර්ධ වාමාංශිකයකු වන, ස්ටාලින් ඇසුවේ, නළල රැලි කරමිනි.
“ඇයි හලෝ, ඔය වැඩේ බොදුබල සේනාවට කරපු සමච්චලයක් වෙන්ඩ බැරිද?”
“එහෙම ගත්තොත්, ආරක්ෂක සේනාවන්ට කරපු අපහාසයක් කියල හිතන්ඩත් පුළුවන්නෙ. බඩඉරිඟු පණුවෙක්ට දාපු නමක් ගැන ඔය හැටි සීරියස් වෙන්ඩ ඕනෙ නෑ මිස්ට ජයසිංහ.”
ඒ කතාවට, ජයසිංහට ටිකක් තද විය.
“අයිසේ ස්ටාලින්. තමුසෙල හැමදාම සීරියස් වෙන්නෙ කම්කරැ ප්‍රශ්නයි, සේවක ප්‍රශ්නයි ගැන විතරයිනෙ. ජාතික ප්‍රශ්නයක් ගැන කවදාවත් පාරට බහින්නෙ නෑ.”
“බඩඉරිඟු ප්‍රශ්නයත් ජාතික ප්‍රශ්නයක්ද?”
“නැතුව? ලංකාව කෘෂිකාර්මික රටක්.. කෘෂිකාර්මික ප්‍රශ්නයක් ජාතික ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?”
“දළඹු ප්‍රශ්නය තාවකාලිකයිනෙ මිස්ටර් ජයසිංහ. බඩඉරිඟු වගාව සදාකාලයටම තහනම් කරල නෑනෙ.”
ස්ටාලින් සිනාසුණේය. එය ඇවිලෙන ගින්නට ඉරිඟුපත් දැමීමක් බඳු විය.
“එහෙම කියන්ඩ එපා ස්ටාලින්. ලංකාවේ නිර්ධන පන්තියෙන් බහුතරය ගොවි ජනතාව. තමුසෙලා වගේ බොරු සටන්කාරයො ඒක දන්නෙත් නෑ. ගොවි ජනතාවට එරෙහිවෙන එකා ප්‍රතිගාමියෙක් නෙවෙයිද? ඇයි තමුසෙලා “සේනා විනාශ කරනු” කියලා පෙළපාලි යන්නෙ නැත්තෙ?”
“හරි හරි.. තව මාස තුනක් ඉවසල බලමුකො. ඊට පස්සෙත් දළඹුවා විනාශ නොවුණොත් අපි පෙළපාලි යමු.”
“එතකොට පෙරහර ගිහින් ස්ටාලින්. ඕකෙන් වෙන්නෙ තමුසෙලගෙ මහ ලොකු නිර්ධන පන්තියට බඩඉරිඟු කරලත් අහිමිවෙන එක තමයි.”
ජයසිංහ ඔලොක්කු සිනාවක් පෑවේය.
“එහෙම වෙන එකක් නෑ. චීනෙන් බඩඉරිඟු නැව් දෙක තුනක් එවාවි. ඊට පස්සෙ, අපිට අඩු මිලට, හොඳ චීන ඉරිඟු කන්ඩ ලැබෙයි.”
විනී කීවේ ප්‍රශ්නය සමතයකට පත් කරනු පිණිසය.
“ඉන්දියාවයි, අමෙරිකාවයි ඒකට කැමති වෙන එකක් නෑ.” ජයසිංහ කීවේය.
“අපේ ප්‍රශ්න අපිම විසඳගන්නව නම් තමයි හොඳ. නැත්තං රටේ ස්වාධිපත්‍යයට ප්‍රශ්න මතුවෙන්න පුළුවන්.” විනී කීවේය.
“අපි කවද්ද විනී අපේ ප්‍රශ්න අපිම විසඳගත්තෙ? හැම එකටම විදේශාධාර, උපදෙස් ලැබුණා. ඔය දළඹුවා ආවෙත් පිටරටින්ලු. ඉතින් ඌව විනාශ කරන්නත්, පිටරටින්ම උදව් ඉල්ලන්න වෙයි.”
“ෂී.. ෂී.. ඒක මොන ලජ්ජ නැති කතාවක්ද? කොටි සේනාවක් විනාශ කරපු අපිට, දළඹු සේනාවක් පරාජය කරන්න බැරිද?” ජයසිංහ උස් හඬින් කීවේය.
“එහෙමනම් ඕක කෘෂි විශේෂඥයන්ට නෙවෙයි, ෆීල්ඩ් මාර්ෂල්ලටයි දෙන්ඩ වෙන්නෙ.”
ස්ටාලින් ඇද සිනාවක් පෑවේය.
“රණවිරුවන්ට අපහාස කරන්ඩ එපා ස්ටාලින්.”
“මම කතා කළේ රණවිරුවා ගැන නෙවෙයි, ඉරිඟු දළඹුවො ගැන.”
“ස්ටාලින්.. තමුසෙ හිතන්නෙ මම බඩඉරිඟු ගැන නොදන්න තොත්ත බබෙක් කියලද? තමුසෙ කියවල තියෙනවද ව්‍යවස්ථාවේ, දේශීය කෘෂිකර්මාන්තය ගැන තියෙන ඒ 29 ඡේදය?”
“ඔබතුමාට තරහ යනවනෙ.. ඔහොම පුළුවන්ද ප්‍රශ්න විසඳන්න.”
“තමුසෙල කවද්ද අයිසෙ ප්‍රශ්න විසඳුවේ. රට ගිනි තිබ්බා මිසක..?”
කෝපයට පත් ජයසිංහ නැඟිට යද්දී, ස්ටාලින්ද අසුන පිටුපසට ඇද්දේය.
“ඔන්න දැන් නං බඩඉරිඟු දළඹුවා, ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා!”
විනී, තේ කෝප්පයේ අවසන් උගුර බිව්වේය. (මින් ඉදිරියට කිසිම දළඹුවකුට නම් යෙදීමෙන්, වැළකිය යුතුය!)
►කපිල කුමාර කාලිංග