“කොකේන් මොන රහද?”
තම පරිගණකයට උඩින් එබී බැලූ මිනෝන් ඇසුවාය.
“කන දෙයක් ද, බොන දෙයක් ද කියලවත් දන්නෙ නැතුව රහ ගැන කියන්නෙ කොහොමද?”
අසල මේසයක සිටින සැම්සන් පිළිතුරු දුන්නේය. ක්‍රමයෙන් සියල්ලෝම තම තම නැණ පමණින් “කොකේන්” ගැන කතා කරන්නට පටන් ගත්හ. එහිදී කියැවුණු දෑ මා මෙහි ලියන්නට නොයන්නේ එයින් නරක පූර්වාදර්ශයක් ලැබීමට ඉඩ ඇති නිසාම පමණක් නොව මන්ත්‍රීවරයෙකුගෙන් පවා අසා ගතහැකි සාමාන්‍ය කාරණයක් බවට එය පත්වී ඇති නිසාත්ය.
දුම් කුඩු මෙන් නාසයට අදින මත්කුඩුද, ගිනි කූරෙන් රත්කොට නාසයට අදින කුඩුද, ශරීරයට එන්නත් කරගන්නා මත්ද්‍රව්‍යය ද ඇති බව මා අසා ඇත. අපේ සිරි ලංකාවේ නම් හිටියේ අබිංකාරයෝ, ගංජාකාරයෝ සහ කුඩුකාරයෝ පමණි. එහෙත් දැන් “කොකේන්” කාරයන් ද සිටිනා බව හෙළිදරව් වී ඇත. අපේ රට ද හැම අතින්ම “ජාත්‍යන්තර තත්ත්වයට” ළඟාවෙමින් සිටීම ආඩම්බරයට කාරණයකි.
“කන්ටේනර් ගණන් කුඩු ගේන්නෙ අපේ රටේ ඒ තරමට කුඩු බොන මිනිස්සු ඉන්නවාද?” අහිංසක මිනෝන් යළිත් ඇසුවාය.
ඇත්තෙන්ම එය හොඳ ප්‍රශ්නයකි. තම ජීවිත විනාශයට යන බව දැන දැනත් මත්කුඩට ඇබ්බැහි වීමට තරම් මෝඩ කාලකණ්ණින් අප අතර සිටිනවාද? වරින් වර අල්ලන හෙරොයින් තොග ගැන සිතන විට අපේ රටේ මිනිස්සු බත් කන ගාණටම කුඩුත් ගහනවාදැයි සිතේ.
“ලෝකේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය නැති කළ රටකට මත්ද්‍රව්‍ය නැති කරන්න බැරිද?” මිනෝන් එවර ඇසුවේ ඉංග්‍රීසියෙනි.
“ත්‍රස්තවාදය වගේ නැති කරන්න බෑ. ඩ්‍රග්ස් මාෆියා එක”
ප්‍රනාන්දු ද ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දුන්නේය.
“කලබල වෙන්න දෙයක් නෑ. ජනාධිපතිතුමා වැඩේට බැහැලා ඉන්නෙ... ලබන ඡන්දෙට කලින් ලංකාවෙ මත්ද්‍රව්‍ය ප්‍රශ්නෙ විසඳෙයි.” සැම්සන් කීවේය.
“ඔව්... ඒක හරි... ජනාධිපතිතුමා පිලිපීනෙ අගමැතිතුමාගෙන් උපදෙස් අරගෙන ආවෙ... නියමෙට වැඩේ දෙයි.”
කා.කා.ස. රොබින් ද කට දැම්මේය.
“මේ රටේ ජනාධිපතිවරුන්ට කවමදාවත්, ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. මොනවා හරි මඟුලක් හරස් වෙනවා. එක්කො යුද්දෙ. නැත්නන් ව්‍යවස්ථාව. ඔන්න මේ පාර මත්ද්‍රව්‍ය.”
“ඒකත් ජනතා ප්‍රශ්නයක් තමයි.” කවුදෝ හරස් ප්‍රශ්නයක් දැමුවේය.
“මොකද නැත්තෙ? කුඩු ගහන්නේ පිටරුටියොද? හිරේ ඉන්න වැඩිදෙනා ලෝකල් කුඩු කාරයො.”
“බයවෙන්ඩ එපා සර්... එල්ලුම් ගහ ක්‍රියාත්මක වුණු ගමන් කුඩු ඉවරයි.”
රොබින් කීය. අවාසනාවකට මෙන් රොබින්ගේ උපදෙස් අදහස් පිළිගන්නට කාර්යාලයේ මහත්වරු සූදානම් නැත. සමහරු, රොබින් ද කුඩු කාරයෙකුයි සැක කරති.
“එල්ලුම් ගහෙන් ඩ්‍රග්ස් මාෆියාව විසඳන්න බෑ... එහෙමනම් මෙක්සිකෝව වගේ රටවල නගරයක් නගරයක් ගාණේ එල්ලුම් ගස් හදලා ඒ ප්‍රශ්නෙ විසඳ ගනීනේ... මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තව ප්‍රශ්න ගොඩකට මුලක්. අපි ලෝකෙන් කොන් වෙනවා.”
කරුණාධාර සුපුරුදු උපහාස සිනාවෙන් යුතුව කීවේය.
“ඔය යකා එන්.ජී.ඕ. කාරයෙක්” ප්‍රනාන්දු ළඟ සිටියෙකුගේ කණට කෙඳිරීය.
මත්ද්‍රව්‍ය භාවිතය සිරි ලංකාවේ පාසල් තුළටත් රිංගා ගෙන ඇතැයි කිසිවෙකු පැවසීමත් සමඟම කතිකාව උණුසුම් විය. මරණ දඬුවම වහාම ක්‍රියාත්මක කළ යුතු බවට ඒකමතිකව (කරුණාධාර පමණක් නිහඬ විය) තීරණය කෙරුණි.
මත්ද්‍රව්‍ය සමඟම පාසල් තුළට ප්‍රචණ්ඩත්වය ද පිවිස ඇත. අහිංසාවාදී නායකයෙකු වූ මහත්මා ගාන්ධි අනුස්මරණ දිනය වූ ජනවාරි 30 දා නිර්ප්‍රචණ්ඩත්වය හා සාමය පිළිබඳ අන්තර් ජාතික පාසල් දිනය වශයෙන් යොදාගෙන ඇත්තේ එහෙයිනි. අධ්‍යාපන සහතික ඇතුව හෝ නැතුව පාසලින් පිටව යන්නේ ප්‍රචණ්ඩකාරී හා මත්ද්‍රව්‍ය ලෝලී තරුණයෙකු නම් අනාගත සමාජය කෙබඳු තැනක් වනු ඇත්ද? එබඳු පුරවැසියන්ගෙන් සැදි සිරිලංකාවේ අනාගත පාර්ලිමේන්තුව මත්ලෝලීන්ගෙන්ම පිරී යනවාට සැක නැත. මෙබඳු අදහස් උදහස් මතු කෙරෙද්දී පාසල් වියේ ලූ දරුවන් සිටින උදවිය බියපත්ව කල්පනාවට වැටුණාහ.
පොහෝ දිනයට පමණක් මත්පැන් පානය අතහැර ගමේ දහම් පාසලේ උගැන්වීමට යන සමයවර්ධන මහතා “සභාවට” පිවිසුණේ “ගිනි බෝම්බයක් ද” අතැතිවය.
“අපේ කන්තෝරුවෙත් කොකේන්කාරයෝ ඉන්නවා.”
ඔහු වේගයෙන් පැවසුවේය.
පිරිස උඩ ගොස් බිම වැටුණහ.
“බොරු කියන්ඩ එපා සමේ!” සැම්සන් විරෝධය පෑවේය.
“කොකේන් තියා බීඩියක්වත් ගහන්ඩ බැරුවයි සර් අපි ඉන්නෙ.”
රොබින්ගේ ස්වරය හැඬුම්බරය.
“උදේට ඇස් රතු කරගෙන නිදිමතේ ඉන්නේ ඒ කට්ටිය තමයි.”
සමයවර්ධන කීය.
“ඒ ගල් අරක්කු ගහලා.”
රොබින් සිනාසුණේය.
“නිකරුණේ මඩ ගහන්ඩ එපා සමයවර්ධන. තමුසෙට පුළුවන්ද ඔය චෝදනාව ඔප්පු කරන්ඩ?”
සැම්සන් තද ස්වරයෙන් ඇසුවේය.
“මගේ ළඟ තියෙනවා විසිහතර දෙනෙක්ගෙ නම් ලැයිස්තුවක්. මම අවශ්‍ය වෙලාවට ඒක ජී.එම්. ගේ අතට දෙනවා.”
“එහෙම බෑ. අපිට නම් ටික කියන්න. තමුසෙ හැමදාම කරන්නෙ දෙබරෙට ගල්ගහල ෂේප් වෙන එක. ඕවා නිකන් ලකුණු ප්‍රොජෙක්ට් විතරයි.”
සැම්සන්ගේ හඬ පෙරටත් වඩා වේගවත්ය. ගාලගෝට්ටිය, තරමක් වේලා පැවතුණි. දැඩි විරෝධය මධ්‍යයේ සමයවර්ධන පසුබැස ගියේය. එහෙත් “කොකේන් නාමාවලිය” සාමාන්‍යධිකාරිගේ අතට පත්කරන බව ඔහු දිවුරා පැවසීය. අවසානයේ දී සේවකයන්ගෙන් පීඩනය එල්ලවූයේ අපගේ සාමාන්‍යධිකාරීතුමාටය.
“මගේ අතට තාම එහෙම නම් ලැයිස්තුවක් ලැබිලා නෑ.”
ඔහු ඇඟ බේරා ගත්තේය.
ටික දිනකින් කාට කාටත් කොකේන් ප්‍රශ්නය අමතක වී ගියේය. ඒ වෙනුවට කිරිපිටි හා ඌරු තෙල් ප්‍රශ්නය සාකච්ඡා මේසයට ආවේය. සිරි ලංකාව වැනි ප්‍රශ්න පෝලිමකින් යුතු රටකට විසඳුම් අවශ්‍ය නැත. එක ප්‍රශ්නයක් පවතින්නේ. තව ප්‍රශ්නයක් එය උඩට එනකල් පමණි. මිනිස්සු ද දැන් ඊට පුරුදු වී සිටිති. ප්‍රශ්න විසඳනවාට වඩා ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම ආතල්ය. එයද එක්තරා විදිහක “කොකේන්” උමතුවකි!
►කපිල කුමාර කාලිංග