මේ දවස්වල හැමතැනම ‘බජට් ටෝක්ස්ය’. නැතිනම් ‘බජට් ජෝක්ස්’ය. බජට් එක නොහොත් අය-වැය ලේඛනයේ එන යෝජනා, රහස් ලෙස සැලකුණු කාලයක්ද තිබුණත්, දැන් නම් ඒවා මොනවාදැයි සිම්පල් සයිමන්ලා පවා කල් තියාම දනිති.
දුම්වැටි, මත්පැන් මිල වැඩිවෙයි. වාහන බදු වැඩිවෙයි. කාගෙ කාගේ හෝ පඩි වැඩිවෙයි. වැඩි මිසක් අඩුවෙන දේවල් නම් අඩුය. අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස සැලකෙන බඩු වර්ග ගණනාවක්ද මේ රටේ ඇත. ජනතාව බලා සිටින්නේ ඒවා අඩුවෙන තුරුය. එහෙත් අවාසනාවකට මෙන්, මේ සිරි ලංකාවේ මුදල් ඇමැතිවරු ඒ බවක් නොදනිති. වාසනාවකට මෙන්, මහා භාණ්ඩාගාරයේ අධිපතිතුමා නම් ඒ බව දනී. ඒ නිසා, මුදල් ඇමැතිටත් හොරෙන් ජීවන වියදම (අංකය) සියයට කීයකින් හෝ පහත දමයි. එය යථාර්ථයක්ද යන්න කීම ආර්ථික විශේෂඥයන්ට බාරය. කෙසේ වෙතත්, මේ දුෂ්කර කාලයේ ජනතාවට මානසික අල්ලසක් හෝ ලැබීම වැදගත්ය.
උපාධි සහතික, නිල පට්ටම් නැති වුවද අපේ රටේ හොඳට ආර්ථික විශේෂඥයන් සිටින්නේ, මුළුතැන්ගෙයිය. මෙවර අය-වැය යෝජනා ඉදිරිපත් කෙරෙන මොහොතේ, ගුවන්විදුලියෙන් ඒ අසා සිටි, “කෝකටත් ජයසේන”ගේ බිරිඳ, වරින්වර විවිධ ප්‍රතිචාර දැක්වුවාය.
ගුවන්විදුලිය මෙසේ කියයි.
“දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළ යයි.”
“ඒක නම් රුපියල් පනහකින් වැඩි කළත් අපිට මොකෝ!” ජයසේනගේ බිරිඳ කියයි.
“මත්පැන් මිල යළි ඉහළට. ගල්අරක්කුවලට අත නොතබයි.” ගුවන්විදුලිය කියයි.
“අනේ සාදු! ඔය ජරාව රුපියල් දාහකින් වැඩි කළත් කමක් නෑ.”
ජයසේනගේ බිරිඳ සරදම් සිනාවක් පායි.
“රජයේ සේවකයන්ගේ පඩි වැඩිවෙයි.” ගුවනින් ඇසෙයි.
“ඔයා රජයේ සේවකයෙක් නෙවෙයිනෙ.”
බිරිඳ ජයසේන දෙස රවා බලයි.
“කොමාන්ඩෝ භටයන්ගේද පඩි වැඩිවෙයි.”
“ඔයාට නම් කොමාන්ඩෝ නෙවෙයි, වොලන්ටියර් කෙනෙක්වත් වෙන්ඩ බැරිවෙයි... ඒකෙනුත් අපිට වැඩක් නෑ.”
බිරිඳ, ජයසේනට කෝචොක් කරයි.
අය-වැය යෝජනා කියවා නිමවෙයි.
“එච්චරද? කෝ අනේ, හාල්, පිටි, කිරිපිටි, ලූනු, සීනි... ඒවා අඩුවෙන්නෙ නැද්ද? බස් ගාස්තු අඩුවෙන්නෙ නැද්ද?”
ජයසේන බිරිඳ ඇස් ලොකු කර අසයි.
“ඒවට පස්සෙ මිල සූත්‍රයක් දායි.”
ජයසේන ෂේප් වුණේය.
ඇත්තෙන්ම, රටේ මිනිස්සු බජට් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ එක දෙයකි. එහෙත් හැමදාම සිදුවෙන්නෙ වෙන දෙයකි.
බජට් එකෙන්, පොකට් එකට නොගැසිය යුතුය. එහෙත් මුදල් ඇමැතිද, “වාසිකාරයකු” සේ, හීන් නූලෙන් පොඩි මිනිහාගේ පොකට්ටුවට විදී.
ජයසේන කාර්යාලයට යනවිට, එතැනත් බජට් කතාය.
“දැන් මේ යක්කු, මේක සමාජවාදී බජට් එකක් කියලා පම්පෝරි ගහන්ඩ ගනී.” සැම්සන් කීය
“ඒ කොහොමද සර්?” රොබින් ඇසුවේය.
“ඇයි හලෝ, ගල්අරක්කුවලට අත තිබ්බෙ නෑනෙ”
“පොඩි මිනිහට ආදරේ පෙන්නන්ඩ ඕනෙ නං, අඩු කරන්ඩ තිබ්බෙ ගල් නෙවෙයි සර්, විස්කි. එතකොට ලොක්කොයි, සොක්කොයි දෙගොල්ලොම ගහන්නෙ එකම වර්ගෙ... ඒකනෙ සර්, සමාජවාදෙ!”
රොබින් පැවසුවේ තරමක ආවේගයකිනි.
“ඒක ඇත්ත... රුසියාවෙ නං කවුරුත් බොන්නෙ වොඩ්කා. මොනව නැතත්, එහෙ සමාජවාදය තියෙනවා.” රතු විමලේ කීය.
“අපේ රටෙත් ඔය සමහර ලොක්කෝ මුල් කාලේ ගල්-කාරයො. විස්කිවලට මාරුවුණේ පහු කාලෙ.” සැම්සන්ගේ කතාවට, විමලේටද සිනා ගියේය.
“ඒක ඇත්ත.. රන්ජන්ට ලොක්ක කිව්වොත්, පාර්ලිමේන්තුවෙ ඉන්න ගල්කාරයන්ගෙ ලැයිස්තුවක් හදල දෙයි.”
තැනින් තැන ඔලොක්කු සිනා නැඟෙද්දී, ඈත මේසයක සිටින සමයවර්ධනද සීරියස් ස්වරයෙන් කතාවට එක් වුණේය.
“අපේ රටේ හැමදෙයක්ම ඉවරවෙන්නෙ විහිළුවක් බවට පත්වෙලා. රටක අය-වැය ලේඛනයත් විහිළුවක් වෙලා. මේක මොන තරම් භයානක තත්ත්වයක්ද? ඇයි අපි ඒක තේරුම් ගන්නෙ නැත්තෙ?”
“තේරුම් ගත්ත කියල මොනව කරන්ඩද? අපි ගිහින් අය-වැය පරද්දන්ඩයැ.” සැම්සන් ඇසුවේය.
“ඒකට ඉතින් ඉලෙක්ෂන් එකක් එනකල් ඉන්න එපායැ.”
රොබින් හිස කැසුවේය.
“ඒකෙනුත් ඇති වැඩක් නෑ. පැති මාරුවෙනව විතරයි.”
“හැම ආණ්ඩුවක්ම එක වගේ. හැම බජට් එකක්ම එක වගේ. මේ සිස්ටම් එක වෙනස් කරන කල් කිසිම දෙයක් හරියන්නෙ නෑ.” රතු විමලේ කීය.
“කැපුවත් කොළ ඩඩ්ලි”ට තද වුණේය. ඔහු හැමදාමත් විමලේ සමඟ කොක්කකය.
“ඉතින් වෙනස් කරනවකො. තමුසෙලත් කයිවාරු විතරයිනෙ. ඒක තමයි තමුසෙලගෙ සිස්ටම් එක.”
“ඒක අපිට තනියම කරන්න බෑ ඩඩ්ලි සහෝදරයා. ජනතාවගෙ සහයෝගය ඕනෙ.”
කොළ-රතු ගැටුම දිග්ගැස්සෙන්නට පෙර, නිර්පාක්ෂික සැම්සන් මැදට පැන්නේය.
“බජට් එක විවේචනය කරන හැමෝටම අපි කියමු විකල්ප අය-වැයක් හදල පෙන්නන්ඩ කියලා.”
“ඒක නියම යෝජනාව සර්.”
රොබින් මිට මොළවා, මාපටැඟිල්ල ඉහළට එසැවීය. ඇත්තෙන්ම, සිරි ලංකාව වැනි රටකට ඇමැතිගෙ අය-වැයක් මෙන්ම විපක්ෂයේ (ජනතාවගේ?) විකල්ප අයවැයක්ද අවශ්‍යය. මේ දෙකම එකම ආණ්ඩුවක් යටතේ ක්‍රියාවට නැංවිය නොහැකි බැවින්, විකල්ප ආණ්ඩුවක්ද අවශ්‍යය. (සමහරවිට, විකල්ප ජනතාවක්ද අවශ්‍ය වීමට ඉඩ ඇත.!)
►කපිල කුමාර කාලිංග