ශ්‍රී ලාංකිකයෙකු වන මගේ ප්‍රියතම ආහාරය වනුයේ බත් නොව, තෝසේ, ඉට්ලි, උළුඳු වඩේ ආදී ඉන්දියානු කෑමය. මා පාර්ලිමේන්තුවට ගිය ද එහි වෙනසක් වනු නැත.
මීට කලකට ඉහත කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කළ අවධියේ සතියකට දෙතුන් දවසක්, දිවා ආහාරය සඳහා අසල පිහිටා තිබූ ඉන්දීය බොජුන් සලකට යාමට පුරැදුව සිටියෙමි. මසාල තෝසයක් කා “ලැසී” නම් වූ සීත කළ මෝරු වීදුරුවක් ද පානය කරන මම ඉන් අනතුරුව “බීටා” නමින් හැඳින්වුණු බුලත් විටක්ද සපමින් ආපසු කන්තෝරුවට එමි.
අප සමඟ සේවය කළ එක් උඩඟු කාන්තාවක් එක් දිනක් මගෙන් මෙසේ ඇසුවේ සරදම් සිනාවක් ද පාමිනි.
“මොකද ඔයා බුලත්විට කන්නේ? මේක ඇමරිකන් සමාගමක් බව දන්නේ නැද්ද?”
(ඇය එසේ ඇසුවේ ඉංග්‍රීසියෙන්)
“ඒ සමාගමේ වැඩ කරන ශ්‍රී ලාංකන්ස්ලත් ඉන්න බව ඔයා දන්නෙ නැද්ද?”
මමද පෙරළා ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දුන්නෙමි. ඇය මුහුණ හකුළා ගත්තාය.
එදා එසේ පිළිතුරු දුන්නද අද නම් මා ඒ විට කෑම ගැන සිතන්නේ වෙනත් විදිහකටය. එම ආයතනය තුළ මා බුලත් කෑම නොකළ යුතුව තිබුණි. දැන් මා පිටපොට ගසන්නේ කොතැනකට පනින්නටදැයි ඔබට වැටහෙනු නිසැකය.
ඕනෑ එකයි එපා එකයි හැමදේම කතා කරන පාර්ලිමේන්තුව නම් ස්ථානයේදී බුලත්විට කෑම ගැනද කෑ කෝ ගැසීමක් ඇසුණි. කවුරු කොහොම කිව්වත් බුලත් විට නම් අත්නොහරින බව මන්ත්‍රීවරයෙක් කියා තිබුණි. ඒ බව කියන්නට ඇත්තේ ද හක්කේ විට හංගාගෙනය. කවුරුන් හෝ විටක් ඒදන විට තමන් ද බුලත් කෑල්ලක්, පුවක් කෑල්ලක් ඉල්ලා ගෙන හපන බව තවත් සමහරු කියා තිබුණි. අනුන්ගේ පූජා වට්ටියට පැනලා අත ගැසීම ද (නිකං පින් ලැබීමට) අපේ ජාතික සිරිතකි.
තවත් කෙනෙක් මතක් කර තිබුණේ ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද මන්ත්‍රීවරු බුලත් කන බවය. බුලත්විට රැගෙන පමණක් නොව පරණ හණමිටි ද කරපින්නාගෙන පාර්ලිමේන්තු එන අය සිටින්නේ ලංකාව සහ ඉන්දියාව වැනි රටවල් දෙක තුනක පමණය. එවැන්නවුන් පාර්ලිමේන්තුවට පත්කරන යවන ගවරුන් සිටින්නේ ද ඒ රටවල් දෙක තුනේමය.
පාර්ලිමේන්තු ගොස් සිටින සමහරු කියන කතාවලට ඔවුන්ගේ කටේ බුලත් විට නොව බුලත් හෙප්පුවක්ම එබුවත් හිතට මදිය. සමහරු බුලත් කෙළ පඩික්කම්ය. සිරි ලංකාව ප්‍රශ්න පත්තරයකි. එහෙව් රටක ප්‍රශ්න විසඳන්නට සභාවට යැවූ එවුන්ට ලොකු වී ඇත්තේ බුලත් විට කෑම වැනි තම තමන්ගේ අති පෞද්ගලික කේස්ය.
බුලත් හපන්නන්ගේ පැත්තට හේත්තු වෙන සමහරැ විට සැපීම සංස්කෘතික කාරණයක් ලෙස හුවා දක්වති. “බතින් බුලතින් සරැ රටක්” වැනි පරණ කියමන්වලින් දමාගසති. බුලත් කෑම සංස්කෘතික ලක්ෂණයක් නම් දවස පුරාම බුලත් කමින් කාපට් පාරවල පවා “ලේ වමනය” කරන බස් හා ලොරි රියැදුරන් ද “කල්චර්ඩ් පොරවල්”ය. සංස්කෘතිය යනු පල් ගඳ ගසන කෙළ පඩික්කමක් නොවේ. එහෙත් පඩික්කම් අදිමින් සෝදමින් ලකුණු දමාගන්නට හදනා පින්වතුන්ගෙන් මේ සිරි ලංකාවට අඩුවක් නැති බවද දනිමු.
මිනිසා කරන කියන අඳින පළඳින කන බොන හැමදෙයක්ම සංස්කෘතියට අයත්ය. ඒ අනුව බලනවිට චුවිංගම් කෑම ද සංස්කෘතිකය. බුලත් කෑමට ඉංග්‍රීසියෙන් කියන්නේ ද “චුවිං බීට්ල්” (Chewing betel) ය.
සිරි ලංකාවේදී බුලත් කෑම පෙරදිගය. චුවිංගම් කෑම අපරදිග නොහොත් බටහිරය. බුලත් කෑම ගොඩේය. චුවිංගම් කෑම “පොෂ්”ය. සිරි ලංකාවේ චුවිංගම් හප, දුම්රියේ, බස් රථයේ සීට්වල අලවා තබන්නේ එබඳු පොෂ් පොරවල්ය. සිංගප්පූරුව වැනි රටවල, චුවිංගම් සැපීම තහනම් කෙරුණේ එය පරිසර ප්‍රශ්නයක් වීම නිසාය.
යන යන තැන චුවිංගම් හප ඇලෙන පෑගෙන රටක් නොවීමට සිංගප්පූරුව නීති සම්පාදනය කළේය. වාසනාවකට මෙන් බුලත් හප, අතේ පයේ සපත්තුවේ සෙරෙප්පුවේ ඇලවෙන්නේ නැත. ඒ නිසා ඕනෑ තැනක බුලත් කෙළ ගැසුවාට හප දැමුවාට අපට ප්‍රශ්නයක් නැත. ඒ සංස්කෘතික හැදියාවය.
අපේ රටේ පත්තර කලාවේ සිටි දැවැන්තයෙකු වූ ඩේවිඩ් කරුණාරත්නයන් ඔහුගේ “හිතුනට හිතුණා” නමැති දින සටහන් ග්‍රන්ථයේ “කෙළ පහර” නමින් ලියා ඇති උපහාසාත්මක ලියවිල්ලෙහි (1961 දෙසැම්බර්යේ දී) මෙසේ සඳහන් කරයි.
“බස් මගියෙකු පුත්තලමේ සිට මීගමුවට එද්දී බස් රියෙන් පිටතට ගැසූ සාර බුලත්විට පහරක් ස්ත්‍රියකගේ හැට්ටයේ වැදීම හේතුකොට ගෙන ඒ කාන්තාව හැට්ටය ගලවා මගියාගේ මූණට දමා ගැසූ බවත් ඉක්බිති රු. 2.75ක් වූ එම හැට්ටයේ අලාභය බස් මගියාගෙන් ඉල්ලා ඇය පොරකන්නට වූ විට තමා අතේ සන්තකම තිබූ රු. 1.50 දී යම්තම් බේරී හැට්ටයක් ගෙන පයින්ම ගිය බවක් වාර්තා වී තිබුණි.
බුලත් කෙළ පහරේ කරදරේ පිහි පාරකින්, පොලු පාරකින් කෙළවර නොවී මෙසේ අවසන් වීම වාසනාවක් වුණත් යට කී මගියා එම බුලත් කෙළ පහර එල්ලය අල්ලා හැට්ටයටම ගැසුවේ එම කාන්තාව හැට්ටය ගලවයි ද නොගලවයි ද යන්න පරීක්ෂා කිරීමේ යටි හිතක් ඇතිවද එසේ නැත්නම් රු. 2.75ක හැට්ටයක් රුපියල් 1.50කට ලබාගැනීමේ වෙළඳ සූත්‍රයක් හිතේ ඇතිවද යන්න සැක සහිත බව කාට වුවත් වැටහෙනවා ඇත.
බුලතට දිග ඉතිහාසයක් ඇත. සමහරු එය ඉන්දියාවෙන් අපට ලැබුණක් සේ සළකතත් සිංහල ප්‍රවාදයන්ට අනුව නම් බුලත් එන්නේ නාග ලෝකයෙනි. නාගයන් මනු ලොවට එද්දී බුලත අල්ලාගෙන ආවේ කටිනි. අදටත් බුලත් විට සැකසීමේදී කොළයේ අග්ගිස්ස කඩා දමන්නේ නයි විෂ දුරු කිරීම සඳහාලු (මේ කරුණ මන්ත්‍රීවරුන්ගේ අවධානය පිණිසයි)
සිංහල රජ දවස නිවාස අඩස්සියකට පත් රොබට් නොක්ස් නම් පරදේසියා මෙසේ ලියා තබා ඇත.
“සිංහලයා අන් සැම දේටම වඩා බුලත් හැපීමට ආශා ඇත්තෝය. නින්දට යන විටත් බුලත් විටකින් ඔව්හු අවදි වනවිටත් එහි හපය සුරැකිව මුව තුළ ඇත්දැයි පරීක්ෂාකාරීව බලති. නොකා නොහැඳ සිටියත් විටක් නම් නොකා සිටිය නොහැකිය යනු ඔවුන්ගේ කතාවකි.”
නොක්ස් හිටියේ රජ කාලේ වුණත් බුලත් හපය තවමත් සිංහලයන්ගේ කටේය. පාර්ලිමේන්තු ගියත් එය ඉවත ලෑමට නොහැකිය. ඇබ්බැහිවීම්ද සංස්කෘතිකය. එහෙත් හැම ඇබ්බැහියක්ම උසස් සංස්කෘතික ගති ලක්ෂණයක් නොවන අවස්ථා ද ඇත. සම්ප්‍රදායක්ද, සංස්කෘතිකය. එහෙත් සංස්කෘතිය මෙන්ම සම්ප්‍රදායන්ද, කාලයට, ස්ථානයට, දේශයට අනුව වෙනස් වන සුළුය. එසේ නොවන්නේ පරණ හණමිටි කාරයින් පමණි.
මන්ත්‍රීවරුනි! රට නොකා ඕනෑ විටක් කා ගත්තාම අපට කමක් නැත.
►කපිල කුමාර කාලිංග