2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ඉම්රාන්ට ඇයුමක්

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

“පළාත් සභාවලට පඩි ගෙවන්ඩ සල්ලි නැතිලු!”

රොබින් කෑගසාගෙන අපේ අංශයට පිවිසියේය.

“ඉතින් මොකද මිනිහෝ, අපි පළාත් සභාවෙද?”

සැම්සන් සිනාසුණේය.

“එහෙම කියන්ඩ එපා සෑම් මහත්තයා. වෙඩි නූල පත්තු කළ මගේ දිගටම ගියොත් කාටද කියන්නේ?”

“ඔව්. ඔව්. රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා”

රතු විමලේ ද හවුල් විය.

“රටේ සල්ලිවලට මොකද වුණේ? සේරම ඇලෝගේ මල්ලෙද?”

සැම්සන් ඇසුවේය.

“මේ රටේ හිටපු හැම මුදල් ඇමැතියෙක්ම ඔය තත්ත්වෙට වගකියන්ඩ ඕන.”

සමරපාල ඈත සිටම අදහසක් ඉදිරිපත් කළේය.

“මේ.. මේ.. ඇන්. ඇම්. සහෝදරයව විතරක් ඕවට ගාවන්ඩ එපා. ඒ සහෝදරයා රටේ ආර්ථිකයට නියම සැලැස්මක් හදාගෙන ආවා. අපේ මෝඩයන්ට ඒක දිරවගන්ඩ බැරැව ගියා.”

රතු විමලේ මූලික විරෝධයක් පෑවේය.

එයට එකඟ නොවූ අපගේ ‘ආංශිකයෝ’ තම තමන් රුචි කළ මුදල් ඇමැතිවරුන් ගැන කියන්නට ගත්හ. රොනී ද මැල්, ස්ටැන්ලි ද සොයිසා, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ටී. බී. ඉලංගරත්න ආදී පැරැණියන්ගේ නම් පවා කියැවුණි.

“ඔය කාටවත් අය - වැය පරතරය පියවන්නට බැරි වුණානේ.”

විමලේ පැවසුවේ දකුණත ඔසවා දකුණට කරකවමිනි. එතෙක් වේලා කොම්පියුටරයටම හිස නමාගෙන සිටි මිනෝන් සභාව සන්සුන් කිරීමට උත්සාහ කළාය.

“මොකද මේ ගෝසාව ආ? අපිට වැඩක් කරන්ඩත් බෑනේ.. ෆයිනෑන්ස් මිනිස්ටර් මේ පැත්තේ ආවොත් අද හෙටම අපේ පඩි නවත්තයි”

ඒ කතාවට සමහරු, විශේෂෙයෙන්ම කාන්තාවෝ සිනාසුණහ.

“මිනෝන් මිස් කැමතිද සැලරි නැතුව වැඩ කරන්ඩ?”

රොබින් ඇසුවේ සරදමටය.

“පිස්සුද රොබින්..... සැලරි දාන්නෙ කවදද කියලා ඇඟිලි ගැණ ගැණනෙ අපි ඉන්නේ.”

මිනෝන්ගේ පිළිතුරෙන් කවුරුත් මොහොතකට නිහඬ වූ බව පෙනුණි.

ඒ මොහොතේ මගේ මතකයට නැඟුණේ මීට දශකයකට දෙකකට ඉහත මා සේවය කළ පෞද්ගලික ආයතනයක සිදු වූ දෙයකි.

ආයතනය අර්බුදයකට මුහුණ පා සිටි කාලයක මාසය අවසානයේ නියමිත දිනට වැටුප් නොලැබුණි. ඉන් සේවකයෝ නොසන්සුන් වූහ. බිල්පත් ගෙවීම්, පාසල් වෑන් රථ ගෙවීම්, ටියුෂන් ගාස්තු යනාදිය හිර වූයෙන් සමහරු ණය වූහ.

මේ අතර අප සමඟ සේවය කළ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලොකු කාටුන් චිත්‍රයක් ඇඳ අපගේ ප්‍රධානියාගේ කාමරයේ දොරටුව අසල එල්ලා තැබීය. එහි දැක්වුණේ සේවකයකු ගෙල වැල දාගෙන මියගොස් සිටින අපූරුය. ඊට පහළින් “පඩි පරක්කුව වගෙයි තොණ්ඩුව” යනුවෙන් ලියා තිබුණි.

අපේ ප්‍රධානියා ද තරුණයෙකි. උපහාස රසය හොඳින් විඳිනා රසවතෙකි. එහෙත්, එදානම් සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. කාටූනය දුටු ඔහුගේ මුහුණ ඇඹුල් විය.

“මේ ඉන්නේ මම. ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා එල්ලෙන්ඩ වෙලා තියෙන්නේ මට”

ඔහු වේදනාත්මක ස්වරයෙන් කියා තම කාමරය තුළට ගියේය. මට ඒ අවස්ථාව කිසි දිනෙක අමතක කළ නොහැකිය.

කෙසේ වෙතත් ඊට පසු දිනම අපට වැටුප් ලැබුණි. යළි කිසි දිනෙක අප එවැනි කාටූන් ප්‍රදර්ශනයක් කළේවත්, ඒ පිළිබඳව කතා කළේවත් නැත.

හැමදෙයකම දෙපැත්තක් ඇත. බොහෝ විට අප දකින්නේ අපට වාසිදායක හෝ අපට අවශ්‍ය පැත්ත පමණි.

ආණ්ඩුව ද දැන් සිටින්නේ ගෙළ වැලදා ගන්නා තත්ත්වයක නම් අපි කුමක් කළ යුතු වෙමුද? උද්ඝෝෂණ, පෙළපාලි, පිකටින් කළ හැකිය. එහෙත් එවිට ලැබෙන්නේ පඩි නොව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර පමණි. අනෙක් අතට බීරි අලින්ට වීණා වාදනය කිරීමෙන් පලක් නැත. අන්ධයකුගෙන් පාර ඇසීමෙන්ද වැඩක් නොවේ.

එදින සවස් භාගයේද, තේ විවේකයේදී රටේ ආර්ථික අර්බුදය විසඳන අයුරු සාකච්ඡාවට ගැනුණි.

“අර වාෂ්ප කරපු මත්කුඩු තොගේ වෙන රටකට විකුණගත්තනම් පළාත් සභා සේරටම පඩි ගෙවන්ඩ තිබුණා”

රොබින් කීවේය.

“නෑ. මැති ඇමැතිවරුන්ගේ පඩිය තුන් මසෙකට නැවැත්තුනම් ප්‍රශ්නෙ විසඳෙනවා.”

සමරේ කීය. ඉන්පසු එකිනෙකා අදහස් දක්වන්නට ගත්හ.

“ලොක්කන්ගේ හෙලිකොප්ටර් ගමන් නතර කළොත් පඩි ප්‍රශ්නෙ ගොඩ”

“ඇයි රට සංචාර..... කෝටි කීයක් නාස්ති කරනවද?”

“ලොක්කන්ගේ සුඛෝපභෝගී වාහන ටික විකුණගත්තොත් පළාතකට නෙවෙයි රටටම පඩි ගෙවතෑකි”

අවසානයේදී රතු විමලේ සියල්ලන් නිශ්ශබ්ද කරමින් මෙසේ කීවේය.

“ඔය සේරටම යටයි දූෂණ වංචාවලට. ඒවා නැවැත්තුවොත් පඩි නෙවෙයි මාසෙකට වතාවක් බෝනස් දෙන්ඩ පුළුවන්.. මේ රට කාලකණ්ණි කරන්නේ සුදු යුනිෆෝම් ගහපු හොරු ටික”

“ඒ කතාව ඇත්ත සර්..... ඒත් හොරුන්ට දඬුවම් කරමු කියලා එන උදවියමනේ ආයෙත් හොරකමට බහින්නේ”

රොබින්ගේ හඬ ජනතාවගේ හඬමය!

“ඉම්රාන් ඛාන් කරන්ඩ යන දේ තමයි අපිටත් ඔබින්නේ.”

සෑම් කීවේ උදාසීනවය. එහෙත් ඉන් සභාව ඇවිස්සුණි.

“අන්න වැඩේ! හොරා ගත්තු ධනය ආපහු රටට ලබාගන්න වැඩපිළිවෙළකට ගියොත් හරි. එතකොට චීනය වගේ රටවල් ණය දෙන්න කොන්දේසි දුන්නෙත් නෑ. හොරුන්ගේ ගිණුම්වල තියෙන සල්ලිවලින් පඩි ගෙවමු. උන්ගේ දේපල විකුණලා භාණ්ඩාගාරෙ පුරවමු.”

විමලේ උද්‍යෝගයෙන් කීය.

“ඒත් කවුද ඕවා කරන්නේ?” සෑම් ඇසීය.

“ඉම්රාන් ඛාන්ටම එන්ඩ කියමු. අවුරුද්දකට රට බාර දෙමු”

සමරේ කීය.

“නියමයි සර්... අඩුගාණේ අපේ ක්‍රිකට් ටීම් එකවත් ගොඩදාලා දෙයිනේ.”

රොබින් පැවසුවේ ලෝක කුසලානය දිනුවාක් මෙන් සතුටිනි.

►කපිල කුමාර කාලිංග