පසුගිය සතියේ දිනෙක සවස් වරුවේ අප අසල්වැසි කෝකටත් ජයසේන, ගීයක් ගයමින් පාරේ ගමන් කරනු දුටුවෙමි.
“අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ”
මම ජයසිරිට කතා කළෙමි.
“ජයේ, ප්‍රියා සූරියසේනගේ සින්දු තාමත් මතකයි නේද?”
“මට ඔය සින්දුව මතක් වුණේ මේ ලයිට් කැපිල්ල හින්දා”
“ආ.. ඒකත් ඇත්ත. හැබැයි ඔය සින්දුව ලයිට් කැපිල්ලක් එක්ක සම්බන්ධයක් නෑ නේද? ”
“මොකද නැත්තේ... මේ දවස්වල ලයිට් නැති වෙලාවට මායි, වයිෆුයි කතා කර කර ඉන්නවා. විශ්වාස කරන්ඩ, ඊයේ රෑ අපි ලයිට් එනකල්ම පැයක් විතර එක දිගට කතා කෙරුවා”
“ඉතින් මොකද්ද ඒකෙ විශේෂෙ?”
“වෙනදට අපි දෙන්නා කෙටි ප්‍රශ්න සහ කෙටි පිළිතුරු විතරයිනේ. කාලෙකට පස්සේ තමයි දිග කතාවලට වැටුණේ”
“එහෙනම් ලයිට් කැපිල්ලේ හොඳකුත් තියෙනවා.”
“නැතුව. ලොකුම දේ තමයි අපේ වයිෆ් එක්කත් කතා කරන්ඩ දේවල් තියෙනවා කියලා මම දැනගත්ත එක. අපරාදේ කියන්ඩ බෑ ඉන්ටරෙස්ටින් ගෑනි. මාර දේවල්නෙ දන්නේ”
“ආ.. හරි හරි.. අඳුරට සොඳුර කියන්ඩ හිතුණෙ ඒකයි”
“ඒක එකක්.. ඊයේ රෑ අපේ දුවයි, පුතයි අපිත් එක්ක රෑ කෑම කෑවනේ. එකට මේසෙ ඉඳගෙන.”
“ඇයි වෙනදට ඒ දෙන්නා වෙනමද කන්නේ?”
“කොයිවෙලේ කනවද අපි දන්නෙ නෑ. එක්කො එෆ්. බී. එකේ. නැත්නම් කම්පියුටර් එකේ.”
“ඔව්.. ලයිට් කැපිල්ලෙන් පවුලේ සමගිය වර්ධනය වෙන එක ලොකු දෙයක් තමයි”
“ඉටිපන්දම් පත්තු කරන් කන හින්දා අපේ පුතා ඒකට නමකුත් දැම්මා කැන්ඩ්ල් ලයිට් පාටි කියලා.”
ජයසිරි සිනාසුණේය.
“ඔව්. ඒක හොඳයි. වෙනදට ජයසිරි තනියමනේ පාටි දුන්නේ”
මම ද සිනාසෙමින් කීවෙමි.
“ඒ විතරක් නෙවෙයි, ලයිට් නැති වෙලාවට මම ළමයි එක්ක කැරම් ගැහුවා. කාඩ්ස් සෙල්ලම් කෙරුවා. දාම් ඇද්දා.”
“ෂා... ලයිට් නැති එක විනෝදෙට හරවගෙන නේද?”
“තව තියෙනවා. වයිෆ්ට ටෙලිනාට්‍ය බලන්ට විදිහක් නැති නිසා ඒ වෙලාවට ළමයින්ට පවුලේ පරණ කතන්දර කියලා දෙනවා. නෑදෑයින්ගේ විස්තර, අපි බැඳපු හැටි වගේ දේවල්”
“ඔව්. ළමයි ඒවා දැනගෙන ඉන්න එක හොඳයි තමයි”
“අපේ දුව අපේ වෙඩින් ඇල්බම් එක දැක්කෙත් ඊයෙ පෙරේදා දවසක.. දවල් ලයිට් ගිය වෙලාවක”
“ඔව්. දැන් ළමයින්ට කිසිම අමතර වැඩකට වෙලාවක් නෑ තමයි.”
“අපේ පුතා අල්ලපු ගෙදර ඇනෙක්ස් එකට අලුත් කට්ටියක් ඇවිත් ඉන්නවා කියලා දැක්කෙත් ඊයේ”
“ඔව්. දැන් ළමයි කාමර අස්සටම මුළු ගැන්නිලානෙ ඉන්නේ. අහළ පහළ දේවල් දකින්නෙ බලන්නෙ නෑ”
“මම යන්නම්. වයිෆ් බලාගෙන ඇති මම එනකල්. දැන් ලයිට් කපලනේ. එයාට පාළු ඇති ටී.වී. එක නැතුව”
එසේ කියමින් ජයසේන යන්නට ගියේය.
පසුදින මා වැඩ ඇරී නිවසට එන විට, මගේ බිරිඳ මිරිස් පැළ කීපයක් පාත්තියක ඉන්දමින් සිටියාය.
“මේ මොකද මේ? කාලෙකට පස්සෙ වගාවට බැහැලා?”
මම ඇසුවෙමි.
“ලයිටුත් නැති එකේ ගේ අස්සට වෙලා ඉන්න බෑනේ. ෆෑන්ස් වැඩ කරන්නෙත් නැති වුණාම ඉන්නම බෑ. පුදුම රස්නයක්නෙ තියෙන්නේ”
“ඒකනම් ඇත්ත. හැබැයි හෙට අනිද්දා වතුරත් කපනවලු. එතකොට පැළවලට දාන්න කඩෙන් වතුර බෝතල් ගේන්න තමයි වෙන්නේ”
“ඒක මම බලාගන්නම්කො. අපේ වතුර ඉවර වුණා කියලා අල්ලපු ගෙදර ටැංකියෙන් වතුර බාල්දියක් දෙකක් ඉල්ලගත්තම ඇති”
මම කට පියා ගත්තෙමි. අපේ මිනිස්සු විල්පත්තුවේ ගස් සිටුවීමට යාමට සැරසෙන මොහොතක මගේ බිරිඳ මිරිස් පැළ පාත්තියක් හෝ දැමීම අගය කළ යුතුය. ඇය ඒ සඳහා යොදා ගත්තේ විදුලිය විසන්ධි කළ කාලය වීම අනෙක් ගෘහණියන්ට ද ආදර්ශයකි.
එදින ලයිට් කැපූ පසු ටෝච් එළියක් ද දල්වා ගෙන අප නිවස දෙසට එන දෙතුන් දෙනෙක් දෙස මම විමසිලිමත් වීමි.
ඒ තරමක් ඈතින් වෙසෙන පරණගම පවුලය.
“හප්පේ දැකපු කල්. ලයිට් යනකල්ම හිටියා අපිව බලන්ඩ එන්ඩ.”
මගේ බිරිය ඔවුන් පිළිගත්තාය.
“අනේ ඔව්. මේ වෙලාවට දැන් කරන්ඩ දෙයක් නෑනේ. ඉතින් අපි අසල්වැසියො බලන්ඩ යනවා”
පරණගමලා ඉස්තෝප්පුවේ පුටුවල හරිබරි ගැහුණේ ලයිට් ආ පසු ද නොයන ආකාරයටය.
“ගමට ලයිට් එන්ඩ කලින් අපි හැමදාම හවසට මේ වගේ එකතු වෙලා කතාබහ කර කර ඉන්නවනේ. මතකද?” පරණගම ඇසීය.
“ඔව්. ඔව්. මට මතකයි ඔයගොල්ලන්ගේ අප්පච්චි මෙහෙ එනවා” මම කීවෙමි.
සෑහෙන විස්තර කතාබහකින් පසු ලයිට් ඒමෙන්ද පැය භාගයකට පසු ඔවුහු ආපසු ගියහ.
මේ දිනවල උදෑසන ඈතින් ඇසෙන යකඩ කටවල කරච්චලය ද නැත. රේඩියෝ, ටී.වී හඬ ද නැත. පරිසරයේ පැවති ශබ්ද දූෂණය නැත්තටම නැත. “ඔන්න ලයිට් ආවෝ.” යැයි කවුරුන් හෝ කියූ සැණින් සකල ඝෝෂා යළි ඇරඹෙයි. දුරකථන නාද වෙයි. පවුල් සබඳතා විසන්ධි වෙයි.
විදුලිය නැති ලොව වෙනම ලොවකි. මා නම් එළියට කැමතිය.
“අඳුර අඳුර මගේ - සොඳුර සොඳුර මගේ..
නොයනු මැනවි දා - තනිකර එළියේ...!”
►කපිල කුමාර කාලිංග