සිංහල අවුරුද්ද, නත්තල වැනි උත්සව සමයන් ළංවෙනකොටම, එළවළු “වෙරි වෙරි එරිත්මැටික්” වෙන බව කවුරුත් දන්නා කාරණයකි. පසුගිය දිනවල මම ද ඒ අත්දැකීමට මුහුණ පෑවෙමි. ඒ වගතුග කියන්නට පෙර, ඊට ඍජුවම අදාළ නැතත්, අදාළ නොවන්නේ ද නැති කාරණයක් කිව යුතුය.
ආචාර්ය සිරිමල් අබේරත්න විසින් “ද සන්ඩේ ටයිම්ස්” පුවත්පතට සතිපතා සපයන “ඩවුන්-ටු-අර්ත් ඉකොනොමික්ස්” නමැති විශේෂාංග ලිපිය මා ඉතා ආශාවෙන් කියවනු ලබන්නකි. සිංහලෙන් කියනවා නම්, ප්‍රායෝගික ආර්ථික විද්‍යාවය. එහෙත් එම ලිපියේ ශෛලියට අනුව, “එදිනෙදා ආර්ථික කතාබහ” වැනි සිරස්තලයක් (සිංහලෙන්) වඩා ගැලපේ යැයි සිතමි. (සිල්ලර ආර්ථිකේ?)
ආර්ථික විද්‍යා කරුණු සරල බසින් කීම සෙල්ලමක් නොවේ. මේ සිරි ලංකාවේ නම් එය කළ හැකිවූයේ, මහාචාර්ය තිලක් රත්නකාර, අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැනි දෙතුන් දෙනෙකුට පමණි. රුපියල සහ සත සීය, රුපියල් දෙදහස් පන්සීයකින් මාසයක් ගත කිරීම වැනි කතා කාටකාටත් තාම මතකය.
ආචාර්ය අබේරත්නගේ මෙවර ලිපියේ මාතකෘව “බලංගොඩින් බෝංචි” (Beans from Balangoda) ය. පර් යේෂණ කටයුත්තක් සඳහා බලංගොඩ පෙදෙසට යන සිසුන් පිරිසකට, ගොවි මහතෙක් හමුවෙයි. එය උදෑසනකි. ගොවි මහතා රෙදිකඩකින් නාසය සහ මුව වසාගෙන කොළඹ වෙළෙඳපොළට යැවීමට ඇති තම බෝංචි ගොඩවලට කෘමිනාශක රසායනයක් විදිමින් සිටී. අමුත්තෝ ද ලේන්සුවලින් හෝ සාරි පොටවල්වලින් තම නාස් සහ මුව ආවරණය කර ගත්හ.
ගොවි මහතා සිය කාරිය අවසන් කළ පසු, එක් සිසුවියක් ඔහුගෙන් මෙසේ ඇසුවාය.
“දැන් කඩපු බෝංචිවලට කෘමිනාශක දියර විදින්නෙ ඇයි? අනික, ඒවා මාර්කට් එකට යවන්න ලෑස්ති කරපුවා නේද?”
එවිට ගොවි මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
“නෝනා, මේ බෝංචිවල එක පණුවෙක් හරි ඉඳල අහුවුණොත් මේවා විකුණගන්න බැරි වෙනවා. අනික, මේවා අලුත් එළවළු වගේ තියාගන්නත් පුළුවන්. එතකොට තමයි.. මං මේවා යවන්නෙ කොළඹට. මේ ආදායමෙන් තමයි මගේ ණය ගෙවාගන්නෙත්.”
“ඒ වුණත්, පාරිභෝගිකයන්ට වස විස කවන්න හොඳ නෑ නේද?”
“ඒක නම් එහෙම තමයි. කොළඹ රටේ මිනිස්සුන්ට ලෙඩරෝග වැඩි වෙන්නෙත්, වස විස කැවිල තමයි. ඒත් අපි මොනව කරන්නද නෝනා?”
“ලොකු උන්නැහෙගෙ දරුවන්ටත් කන්ඩ දෙන්නෙ මේ එළවළුමද?”
“අපොයි නෑ! අපිට කන්ට වෙනම එළවළු ටිකක් හදාගන්නවා, වස විස ගහන්නෙ නැතුව.”
එතැන් සිට, එම ලිපිය යොමුවන්නේ මෙම ගැටලුවට හේතු දැක්වීමට හා විසඳුම් සෙවීමටය.
අපේ පුවත්පත්වල මෙබඳු කාලීන හා අගනා අදහස්වලින් යුත් ලිපි නිතර පළවේ. විෂය බාර ලොකු ලොක්කන් ඒවා කියවනවා නම්, ලක්ෂ ගණන් පඩි ගෙවනා උපදේශකවරුන් (මහදැනමුත්තන්) පත්කර ගැනීමට අවශ්‍ය නැත. රටේ ප්‍රශ්න විසඳනවාට වඩා, තම දේශපාලන හෙංචයියන්ගේ පැවැත්ම ආරක්ෂා කර දීමේ වගකීම සහ යුතුකම ද ඒ ලොකු මහත්වරු සතුය. සුළං හමන අතටම යාත්‍රා කිරීම වඩා පහසුය! එසේ නම් උඩුගං බලා යනු කුමට!
මීට මද කලකට ඉහත අපි - මිතුරු නඩයක් - නුවරඑළියට විනෝද චාරිකාවක් ගියෙමු. එහිදී, මිතුරෙකුගේ නිවසකට ද ගොඩවීමු. ඔහු වෙනත් රැකියාවක යෙදෙන්නෙකු වුවද, ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ එළවළු හා අල වගාවය. එම නිවස අවට අක්කර ගණනාවක, “උඩරට එළවළු” වගාකොට තිබුණි. උදෑසන අප එහි යනවිටත් කෘෂි රසායන ඉසීම් සිදුවුණි. එය නරඹන්නට ළඟට ගිය අප මිතුරෙකුට සියුම් හිසරදයක් ද හටගත්තේය. ආපසු ඒමට සැරසෙන මොහොතේ අප මිතුරා එළවළු කූඩ දෙක තුනක් ද තෑගි කළේය.
“මේවා බෙදාගන්න.. ඕවා අපිට කන්න හදන එළවළු. කෙමිකල්ස් ගහල නෑ.” මිතුරා මඳ සිනාවක් පාමින් කීවේය.
මේ රටේ ගොවියෝ, එළවළු ‘ජාති’ දෙකක් වවති. එකක් තමන්ගේ කෑමටය. අනික අනුන්ගේ කෑමටය.
මඳ කලකට ඉහත අපේ හිතවත් මාධ්‍යවේදියෙකු තම ලිපියක සඳහන් කර තිබූ දෙයක් මගේ මතකයට නැගෙයි.
“පිටකොටුවේ වෙළෙඳපොළේ කහ පැහැති අඹ ගොඩවල් දක්නට ඇත. එහෙත් ඒවා ඉදුණු අඹ නොවේ. කාබයිට් ගසා කහ ගැන්වූ ඒවාය. කැන පිටින්ම ඉදුණු කෙසෙල් දක්නට ලැබේ. එහෙත් ඒවා ද සැබෑ ලෙස ඉදුණු කෙසෙල් කැන් නොවේ. රතු පැහැයෙන් දිලෙන ඇපල් ගොඩගසා ඇත. එහෙත් ඇපල් සුවඳක් නම් වහනය නොවේ. එළවළු බක්කිවල නැටුම් එළවළු පිරී ඇත. නරක් වූ එළවළු කිසිත් නැත. අඩුම ගානේ පණුවන් ගැසූ බටු ගෙඩියක්වත් සොයාගත නොහැක.”
අනාගත පරම්පරාවම වස විස කද්දී, අපි මත්ද්‍රව්‍ය විරෝධී ජාතික පොරොන්දු දෙමු. සිරි ලාංකික දරුවනට උපතේ සිටම ලැබෙන්නේ වස විස නම්, පසු කාලයක ලබන කොකේන්, හොරොයින් ගැන කවර කතාද? ඇතැම්විට, අනාගත පරම්පරාව වස විසට ඔරොත්තු දෙන ජානවලින් යුක්තව ඉපදීමට ද ඉඩ ඇත. පළමුව කළ යුතු දේ පසුවට තබා, පසුව කළ යුතු දේ පළමුව කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බවක් දැන් දැන් පෙනේ.
මේවාට උපදෙස් දීමට උපදේශකවරු, නිල-නොනිල මට්ටමින් ඕනෑ තරම්ය. පඳුරකට පයින් ගැසුවත්, ටයිකෝට් දැමූ උපදේශකවරු දෙතුන් දෙනෙක් ඉවතට විසිවනු ඇත.
පසුගිය දිනෙක, අමෙරිකාවේ සිට පැමිණි අප මිතුරෙක් (උපාධිධාරියෙකු වන නමුදු, ඔහු එරට ට්‍රක් රථ රියදුරෙකි.) නියම කතාවක් කීවේය.
“එහෙ ඉන්නවා, කාලෙකට උඩදි අමෙරිකාවට ගිය, ලක්ෂරි ලයිෆ් ගතකරන ශ්‍රී ලංකන්ස්ලා.. ඒගොල්ලො අපි වගේ නෙවෙයි, ලොකු රස්සාවල් කරපු අය. හොඳට සල්ලි හම්බකරලා, මාලිගා වගේ ගෙවල්වල පදිංචිවෙලා, විවේක සුවයෙන් ජීවත් වෙනවා. ඒගොල්ලන්ගෙ විනෝදාංශය තමයි, හවසට කාගෙ හරි ගෙදරක - විලා එකක - එකතුවෙලා ලංකාවේ ප්‍රශ්නවලට විසඳුම් හොයන එක. සෞඛ්‍ය ප්‍රශ්න, විදුලි ප්‍රශ්න, කෘෂි ප්‍රශ්න, ආගමික ප්‍රශ්න, පරිසර ප්‍රශ්න.. ඕන එකකට, ඒගොල්ලො ළඟ විසඳුම් තියෙනවා. හැබැයි, ඒ කට්ටිය නිවාඩුවකටවත් ලංකාවට එන්නෙ නෑ!”
මගේ මිතුරා හඬ නගා සිනාසුණි.
අපේ කන්තෝරුවේ සිටින බොහෝ දෙනා ද, ජනාධිපති උපදේශකවරුන් වීමට තරම් සුදුසුකම් (අදහස් - සංකල්ප) ඇති අය යැයි මට හැඟේ. එහෙත් අවාසනාව වන්නේ, ඔවුන්ට තම කුටුම්භය තුළදී හෝ තැනක් නොලැබීමය. බිරින්දෑවරු වඩා කැමති, උපදේශකවරුනට වඩා ගෙදර වැඩ කරන, කඩේ යන සැමියන්ටය. අනෙක් අතට සෑම බිරිඳක්ම උපදේශකවරියකි. ආඥාපතිනියකි.
මම, සිරි ලංකාවේ එළවළු හුටපටය ද ඇය වෙත යොමු කළෙමි. එ සැණින් පිළිතුරු ලැබිණි.
“පොහොරයි, කෘෂි රසායනයි දැමීම නවත්තන කල්ය කියලා, අපි ටික කාලෙකට එළවළු කෑම නැවැත්තුවම ඉවරයිනෙ.. මස්, මාළු, බිත්තර, අල, පරිප්පු ඕන තරම් තියෙන්නෙ.”
සෑම නිවසකම, මාරි ඇන්ටොනයිට් බිසවක් වෙසෙන බව ඔබ පිළිගත යුතුය.
►කපිල කුමාර කාලිංග