“අපේ පුතයි, දුවයි දෙන්නම බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. කිසිම කතාවක් බහක් නෑ. කන්න බොන්නත් උනන්දුවක් නෑ.”
කෝකටත් ජයසේනගේ භාර්යාව, මාග්‍රට් දුක්මුසු හඬින් කීවාය.
“මේ වෙච්ච විපත්තිය හිතක් පපුවක් තියෙන කාට වුණත් දරාගන්න අමාරුයි තමයි.”
ජයසේන කීවේ සුසුමක් හෙළමිනි.
“නෑ.. නෑ.. අනේ එහෙම දේකට නෙවෙයි. එෆ්.බී., වට්ස්අප් තහනම් කරලා කියලා.”
“මේ ළමයින්ට පිස්සුද මන්දා.. අහිංසක ජීවිත තුන්සිය ගාණක් නැතිවෙලා තියෙද්දී එෆ්.බී. ගැන දුක්වෙන්නෙ. අනික ඒක තාවකාලිකයිනෙ.”
“අනේ මන්දා.. මට බය මේ ළමයි අසනීප වෙයිද කියලා.”
ඒ මොහොතේ ජයසේන යෙදී සිටියේ ඇඳ යටට දමා තිබූ රාමු කරන ලද ඡායාරූපයක දූවිලි පිසිමිනි. එය හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධනගේ ඡායාරූපයකි.
“මොනවටද ඔය පරණ පින්තූර අඳින්නේ.” මාග්‍රට් ඇසුවාය.
“මෙතුමා බලයේ හිටියා නම් මේ කිසි දෙයක් වෙන්නෙ නෑ.. මෙතුමා තමයි කිව්වෙ රටවැසියො තමන්ගෙ ආරක්ෂාව තමන්ම බලාගන්ඩ ඕනේ කියලා.”
“ඇත්තද අනේ ආරක්ෂක ඇමැතිකම කවුදෝ ඇමති කෙනෙක්ගෙ තාත්තට දෙන්න යනව කියන්නෙ?” මාග්‍රට් ඇසුවාය.
“ඔන්න ඔය වගේ කටකතා පැතිරෙන නිසා තමයි එෆ්.බී. තහනම් කෙරුවෙ.”
“ඔයා කියන්නෙ එෆ්.බී. ඕන නෑ කියලද?”
මාග්‍රට් ද සමාජ මාධ්‍ය ප්‍රිය කරන්නියක බව ජයසේන දනී. ඇය ඉවුම් පිහුම් පවා කරන්නේ ජංගම දුරකතනය අසලින් තබාගෙනය.
“ඕන නෑ කියලා මම කිව්වේ නෑනෙ.. එක් රටක ආරක්ෂාවට බලපානවා නම් මිනිස්සු නොමග යවන්ට හේතු වෙනවානම් තාවකාලිකව බ්ලොක් කළාට කමක් නෑ.”
“අපේ ළමයි කියන්නෙ එෆ්.බී., වට්ස්අප් නැතුව කිසිම සත්‍ය තොරතුරක් දැනගන්න විදිහක් නැතිලු.”
“ඇයි පත්තර බැලුවම මොකද වෙන්නෙ. ටී.වී. නිව්ස් බලන්න බැරිද?”
“ඒවාට වැඩිය මේවා පහසුයි කියන්නෙ.. ඇත්ත මොකක්ද කියලා හොයාගන්නත් පුළුවන්ලු.”
මාග්‍රට්ගේ කීමට ජයසේනට සිනා ගියේය.
“එෆ්.බී. එකෙන් ඇත්ත හොයනව කියන්නෙ පිදුරු ගොඩේ වැටුණු ඉඳිකටුව හොයනව වගේ වැඩක්. සමාජ මාධ්‍ය ජාල කියන්නෙ මෝඩයෝ පිනුම් ගහන තැනක් කියලා කවුදෝ මහාචාර්යවරයෙකුත් කියලා තිබුණා.”
“ළමයි කියනවා ඔයා අප්ඩේට් නැතිලු.” මාග්‍රට් කීවේ කනස්සලෙන් මෙනි.
“මම උදේ ඔෆිස් එකට ගියාම හොඳට අප්ඩේට් වෙනවා. හවස ක්ලබ් එකට ගියාම තව ටිකක් අප්ඩේට් වෙනවා. ඒවා තමයි නියම සමාජ මාධ්‍ය. අමුතුවෙන් එෆ්.බී. බලන්න ඕනේ නෑ.”
“එහෙම කියන්න එපා. ඕනම කෙනෙක්ට සමාජ මාධ්‍යවලින් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්නෙ. එතකොට අපිට පුළුවන් ඇත්ත දේ හොයා ගන්න.”
“හැම එකාටම හැම දේ ගැනම අදහස් දක්වන්න බෑනෙ මාග්‍රට්... පණ්ඩිතයොයි, අති පණ්ඩිතයොයි තම තමන්ගෙ මත කියන්න ගත්තම වෙන්නෙ අවුලක්. ඔක්කොමලා හදන්නෙ පොරවල් වෙන්ඩ.”
ජයසේන පැවසුවේ තරමක් උස් ස්වරයෙනි. ඒ අතර ඔහු ජේ.ආර්. ගේ නාසයේ තිබූ මකුළු දැලක් පිස දැම්මේය. වෙනදා නම් මෙවැනි අවස්ථාවක මාග්‍රට් ද තම හඬේ “වොලියුම්” වැඩි කර ගනී. එහෙත් මේ අවස්ථාවේ සියලුම දෙනා වාද භේදවලින් තොරව එක්සත්ව කටයුතු කළ බව දේශපාලන හා ආගමික නායකයන් විසින් අවධාරණය කර ඇති බව සිහිවූයෙන් ඇය නිහඬ වූවාය. සැමියා හා වාද නොකිරීමට (තාවකාලිකව) තීරණය කළාය.
“ජයේ.. මේ වෙලාවෙ පිටරටවල අනුකම්පාව අපිට ලැබෙන එක ලොකු දෙයක් නේද?”
“නැතුව.. සුනාමියට පස්සෙමනෙ.”
“ඒත් අර බී.බී.සී. කාරයා ප්‍රශ්න අහපු විදිහ හරි නෑ නේද?”
“නැතුව.. මේ වගේ වෙලාවක මිනිස්සු අමාරුවෙ වැටෙන විදිහට එහෙම ප්‍රශ්න අහනවයැ.”
“මිනිහ ඇහුවනෙ හෝටල්වලට ආරක්ෂාව දෙන්නෙ නැද්ද කියලා?”
“පිස්සුනෙ.. ලංකාවෙ තියෙන හෝටල් ඔක්කොටම ආරක්ෂාව දෙන්න නම් අයි.එස්. එකෙනුත් භටයො හයර් කරන්ඩ වෙයි.”
“බී.බී.සී. කාරයෝ හැමදාවත් කෙරුවෙ අමාරු ප්‍රශ්න අහලා අපේ කට්ටිය තරහගස්සලා අමාරුවෙ දාන එක නේද?”
“උත්තර නැති වුණාම ඕන කෙනෙක්ට තරහ යනවා. ඒක සාධාරණයි.”
“උත්තර නැති වෙන ප්‍රශ්න අහන එක අසරණ නිලධාරින්ගෙ මානව අයිතිවාසිකම් කඩ කිරීමක් වෙන්නෙ නැද්ද?”
“ඒක හරි මාග්‍රට් ඔයාගේ සාමාන්‍ය දැනුම නම් ඉතාම ඉහළයි.”
“තැන්කියු ජයේ.. එෆ්.බී. එකට පින්සිද්ධ වෙන්න ඕනෙ.”
ජයසේනගේ මුහුණ ඇඹුල් වුණේය. ඡායාරූපයේ සිටින ජේ.ආර්. ද ඔහු දෙස සිනාමුසුව බලා සිටී.
“ජයේ, මම තව ප්‍රශ්නයක් අහන්ඩද?”
මාග්‍රට් ආඩම්බරයෙන් ඇසුවාය.
“අහන්ඩ”
“මේ විපත කලින් වළක්වා ගන්ඩ තිබුණලු නේද? සමහර ඇමැතිවරු හිටන් මේක දැනගෙන හිටියලුනේ?”
“ඒ ගොල්ලො මේ අවස්ථාවෙන් රටට ප්‍රයෝජනයක් ගන්ඩ හිතන්ඩ ඇති. ආරක්ෂක අංශ වුණත් අර ලියුම පැත්තකට දාලා නිකන් ඉන්ඩ ඇත්තෙ ඒකයි.”
“මොකක්ද ප්‍රයෝජනේ?”
“පසුගිය කාලෙම අපිට කිසි ප්‍රචාරයක් නැතුවනෙ තිබුණේ. යුද්දෙත් ඉවරයි. ක්‍රිකටුත් ඉවරයි. ඔන්න දැන් හිටපු ගමන් සිරිලංකාව ලෝක ප්‍රවෘත්තිවල උඩටම ආවා. ඒක රටට ලොකු කීර්තියක් නෙවෙයිද?”
“ජයේ ඔයාගෙත් සාමාන්‍ය දැනුම හරිම ඉහළයි. ඇත්තටම ඔයා ඉන්ඩ ඕනෙ පාර්ලිමේන්තුවෙ..”
මාග්‍රට් කලකට පසුව ජයසේනට හාද්දක් දුන්නාය. සෑම කළු වළාවකම රිදී ඉරක්ද තිබිය හැක!
►කපිල කුමාර කාලිංග