සති අන්තයේදී ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු මිලදී ගැනීම සඳහා අසල නගරයට ගියවිට එහිදී හමුවන ඇතැම් වෙළෙඳුන් සමඟ සුළු කතාබහක යෙදීම මගේ සිරිතකි. එය ‘හීසරය’ ලිවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයන් ද නොමිලයේම ලබාගත හැකි එක් මාර්ගයක් බව ද නොකිවමනාය.
මේ වෙළෙඳුන් සෑම කෙනෙක්ම වාගේ පාසල් ගිය අයය. එහෙයින් ඔවුන් මළපොතේ අකුරක් නොදන්නා නූගතුන්ගේ ගණයට දැමිය නොහැක. කෙසේ වෙතත් ඔවුන් පොත් පත්තර කියවන්නේ නම් නැත. ගුවන් විදුලියට සවන් දෙන්නේ ද නැත. (ඉබේට ඇහුණොත් පමණි.) රූපවාහිනී නරඹන්නේ ද ඉඳහිටය. (බොහෝ විට එය ද ක්‍රිකට් තරගවලට සීමා වේ) එහෙත් රටේ තොටේ සිදුවීම් ගැන ඔවුනට හොඳ අවබෝධයක් ඇත. ඒ ගනුදෙනුකරුවන් හා කතාබහ කිරීමෙනි. එයට ‘ජන සන්නිවේදනය’ යනුවෙන් කිව හැකිය.
එක් එක් වෙළෙන්ඳා එක් එක් දෙයට විශේෂඥයෙකි. බොහෝ විට එය තමන්ගේ අලෙවි ක්ෂේත්‍රයට අදාළවය. උදාහරණයක් වශයෙන් එළවළු වෙළෙන්දා නුවරඑළිය, බණ්ඩාරවෙල පළාත් ගැන මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිළිබඳව ද හොඳ දැනුමකින් යුතුය. කරවල වෙළෙන්දා හලාවත, කල්පිටිය වැනි පළාත් ගැන හොඳින් දනී. මාළු වෙළෙන්දා මීගමුව, ත්‍රිකුණාමලය ආදී පළාත්වල සියලු තතු දනී. පොල් වෙළෙන්දා පොල් ත්‍රිකෝණයේ අස්සක් මුල්ලක් නෑර දන්නෙකි.
මේ වෙළෙඳුන්ගෙන් බොහෝ දෙනා හොඳ කතාකාරයෝය. ඊසොප්ලා, නස්රුදීන්ලා මෙන්ම කෞටිලසලා ද ඔවුහු අතර වෙති.
එක් දිනක් මාළු වෙළන්දා මට බල මාළු විකිණීමට උත්සාහ කළේය. ඒ දිනවල බලයා ගිණි ගණන්ය.
“එපා. බල මාළු හරි ඌෂ්ණයිනේ.”
“පිස්සුද මහත්තයා.. උපන් දා ඉඳන් වතුරෙ ඉන්න සතාගෙ මොන ඌෂ්ණයක්ද?”
වෙළෙන්දා කීවේ මට කට උත්තර නැති කරමිනි.
මාර ගස යට සිටින පළතුරු වෙළෙන්දා මගේ මිතුරෙකි. නමින් ගමින් අප එකිනෙකා නොහඳුනන නමුදු මා දකින විට ඔහු දුර තියාම ‘සැලියුට්’ ගසා සිනාසී ‘වෙල්කම්’ කරයි.
පසුගිය ඉරිදා නගරය පාළුවට ගොස් තිබුණි. එහෙත් වෙළෙඳුන් නම් සැමදෙනාම පාහේ දක්නට ලැබුණි. පළතුරු වෙළෙන්දා - ඔහු තරුණයෙකි. කොමඩු ගොඩක් අසල හිඳ සිටියේය. පළතුරු වාරයෙන් වාරයට ඔහුගේ වෙළඳාම ද වෙනස් වෙයි. පහුගිය ටිකේ පැවති දැඩි උෂ්ණත්වය නිසා ඔහු කොමඩු වෙළඳාමට බැස තිබුණි.
“යාළුවා.. කොහොමද තත්ත්වේ?”
මම වෙළෙන්දාගේ උරහිසට තට්ටුවක් දමමින් ඇසුවෙමි.
“අන්තිමයි සර්”
ඒ වචනය බොහෝ දේ කියා පෑවේය.
“වැස්සත් බලපානවා ඇති නේද? මේ දවස්වල කොමඩු කන්ඩ හිතෙන්නෙ නෑනේ”
“නෑ සර්.. බෑග්වල දාගත්තම බෝම්බ වගේ පේනවා කියලා මිනිස්සු ගන්නෙ නෑ”
වෙනදානම් මෙය සිනාවට කාරණයක් වුණත් අප දෙදෙනාගෙන් කිසිවකු සිනාවූයේ නැත.
“ඒ විතරක් නෙවෙයි සර්, මේ කොමඩු ටික විකුණලා ඉවර වුණාට පස්සේ මට බිස්නස් කරන්ඩ දෙයක් නෑ. පිට පළාත්වලින් ලොරි එන්නෙ නෑ.”
එයද බැරෑරුම් පිළිතුරකි. එදිනෙදා වෙළහෙළඳාම් කරන බොහෝ දෙනාට බලපාන බරපතළ ප්‍රශ්නයකි.
මොහොතක් නිහඬව සිටි මම වෙළෙන්ඳාගේ සිත සනසන අටියෙන් මෙසේ කීමි.
“මේක ලොකු පොඩි කාටත් එක වගේ බලපානවා යාළුවා. අපේ රටට වුණේ හරිම අවාසනාවන්ත දෙයක්”
“කියලා වැඩක් නෑ සර්.. ජනාධිපතිතුමා ට්‍රිප් එකක් ගියේ අපේ අවාසනාවට.”
වෙළෙන්දාගේ කතාවෙන් මම හොල්මන් වුණෙමි.
“ඇයි යාළුවා එහෙම කිව්වේ?”
“එතුමා ලංකාවෙ හිටියනම්, කල් තියාම මේ සිද්ධිය දැනගෙන වළක්වනවනේ.. රට ඉද්දි එතුමා මේ ගැන දන්නෙත් නෑ. කවුරුවත් දන්නලත් නෑ”
“ඒක නේන්නං.. රට ගියා කියලා බලන්නෙ නැතුව එතුමට දන්වන්න තිබුණා”
“අපේ නිලධාරියෝ හරි හොඳයිනෙ සර්.. ඉඳලා ඉඳලා අවුරුද්දට නිවාඩුවක් ගත්ත කෙනාට කරදර කරන්න හොඳ නෑ කියලා හිතන්න ඇති”
“එහෙමනම් ලංකාවේ හිටපු ලොක්කො ටික වැඩේ බලාගන්ඩ තිබුණනේ. දැන් ඔක්කොම ‘මං සුදනා’ වෙලානේ”
“නෑ සර්.. ඒගොල්ලෝ හිතලා නෑ මේක ලොකු කේස් එකක් වෙයි කියලා. පොඩි කේස් බලාගන්නෙ පොඩි කට්ටියනේ.”
“ඔව් යාළුවා.. වගකීම් පැහැර හරින නිලධාරීන් එක්ක රටකට පැවැත්මක් නෑ...”
“නෑ සර්.. ඉන්න නිලධාරියෝ මදි”
“ඒ කිව්වේ?”
“ආරක්ෂක ලේකම්ලා දෙන්නෙක් දාන්න ඕනේ. එක්කෙනෙක් ආරක්ෂක ලේකම්. දෙවැනියා අනාරක්ෂක ලේකම්. පළවැනියා රටේ ආරක්ෂාවට. දෙවැනියා බී.බී.සී වගේ තැන් තැන්වලට ප්‍රකාශ නිකුත් කරන්න.”
“ඒකත් නරකම නෑ”
මම සිනාව මැඩ ගත්තෙමි.
“පොලිස්පතිලත් තුන්දෙනෙක් ඕන සර්”
“ඒ මොකටද?”
“පළවෙනියා සිංහල අවුරුද්දට ඉස තෙල් ගාන්ඩ. දෙවෙනියා වැඩ බලන පොලිස්පති, තුන්වෙනියා වැඩ කරන පොලිස්පති.”
කොමඩු වෙළෙන්දා මෙසේ දිග නිල ධූරාවලියක් කියාගෙන ගියේය. එය මෙහි ලිවීමට දිග වැඩිය.
සිංහල ගුරුවරුන්ට ද ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය බැරි මේ කාලයේ පොලිස් නිලධාරීන්ට පමණක් දොස් පැවරීම අසාධාරණය. කොම්පඤ්ඤවීදියේදී පිපිඤ්ඤා කරත්තයක් තල්ලු කරගෙන ආ මෙරෙඤ්ඤගේ දොන් සිමන්ව ‘චෙක්’ කිරීමට ගිය අසරණ පොලිස් රාලහාමි කෙනකු ලෝක අමාරුවක වැටුණු සැටි අපි අසා ඇත්තෙමු. අවසානයේ ඒ රාලහාමි ජාමෙ බේරාගත්තේ සැකකාරයා අසල තිබූ මැලේ වීදියට රැගෙන ගොස් ඔහුගේ නම එම්. ඩී. සීමන් යනුවෙන් ද, කරත්තයේ තිබුණේ තියඹරා යනුවෙන් ද වෙනස් කිරීමෙනි. ඒ රාළහාමිටම පසුගියදා මරදානේ රාජකාරි යෙදුණි. සැකසහිත මෝටර් බයිසිකලයක් නතර කළ ඔහු විස්තර විමසමින් සටහන් පොත පෙරළා ගත්තේය.
“රැකියාව?”
“බිස්නස්”
“නම?”
“අබ්දුල් ගමාල්”
“පදිංචිය?”
“දෙමටගොඩ”
නළල රැළි කර ගනිමින් සටහන් පොත වසා දැමූ රාලහාමි සැකකරුට යාමට ඉඩ හැරියේ තම අක්ෂර වින්‍යාස දැනුම ප්‍රමාණවත් වීම පිළිබඳව මහත් සතුටට පත්වෙමිනි.
► කපිල කුමාර කාලිංග